ජනාධිපතිවරයාගේ වියදම් පාලනය කිරීමේ හෝ වගවීමේ නීතියක් ව්‍යවස්ථාවේ නැහැ


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීමත් සමග ජනාධිපතිවරයකුට හිමි බලතල පිළිබඳ කතාබහක් සමාජයෙහි මතු වී තිබෙනවා.

ලංකාවේදී හෝ පිටරටක දී හෝ වේවා ජනාධිපතිවරයකු සතු බලතල මොනවාද? එය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව කෙරෙන විග්‍රහයකි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා වශයෙන් සුවිශේෂ වන්නේ ඇයි?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශේෂඥයකු වන ඩයිසි සඳහන් කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය තුන් ආකාරයකින් ක්‍රියාත්මක වන බවයි. එනම් විධායක බලය විධායකය විසින් ද, අධිකරණ බලය අධිකරණය විසින්ද, ව්‍යවස්ථාදායක බලය ව්‍යවස්ථාදායකය විසින්ද ක්‍රියාත්මක කිරීමයි. එසේම එම බලය කිසි විටෙකත් වෙනත් ආයතනයක් වෙත පැවරීමට නොහැකිය. මෙය තවදුරටත් පැහැදිලි කළොත් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව සතු විධායක බලය ක්‍රියාත්මක වන්නේ විධායක ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මගින් බවකි. ලංකාවේ ජනාධිපතිවරයා සෘජු ඡන්දයෙන් තෝරා පත්කරනු ලබන බැවින් ඔවුන් සතු පරමාධිපත්‍ය බලය කිසිම අයුරකින් වෙනත් අයෙකුට පැවරිය නොහැක.

ජනාධිපතිවරයා නිල හෝ පෞද්ගලික වශයෙන් සංචාරයක යෙදෙන විට ඔහු සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන නෛතික තත්ත්වය කෙබඳුද?

ජනාධිපතිවරයා මෙරට සිටියත් පිටරට සංචාරය කළත් ඔහු ධූරය කාලය දරන තාක්කල් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාය. එබැවින් ඔහු පෞද්ගලිකව හෝ නිල සංචාරයක යෙදුණ ද ඔහුගේ ජනාධිපතිකම අහෝසි නොවන බැවින් ඔහුගේ ආරක්ෂාව සහ වියදම් රාජ්‍ය මගින් දැරිය යුත්තේය. මක්නිසාද ජනතාවගේ විධායක බලය දරන ඔහු හෝ ඇය රැකගැන්ම රාජ්‍ය වගකීමක් වන බැවිනි.
ඒ වගේම ජනාධිපතිවරයෙකුට පෞද්ගලික සංචාරවල නිරත විය හැකියි. උදාහරණ වශයෙන් ජනාධිපතිවරයෙකුගේ අසනීප තත්ත්වයකට විදේශගතව ප්‍රතිකාර ගැනීමට යාම දැක්විය හැකියි. එහිදී ඔහුට ජාත්‍යන්තර නීතියෙන් හිමි විනිර්මුක්තිය හිමිවෙයි. ඔහුට අවශ්‍ය ආරක්ෂාව අදාළ රාජ්‍යයෙන් සැපයීම සම්ප්‍රදායයි. ජනාධිපතිවරයා කැමැත්තේ නම් ඔහු පෞද්ගලික මුදල් ඒ සඳහා වියදම් කළ හැකිය. ඇතැම් විට තනතුරට අදාළ රක්ෂණයක් පවතී නම් එම මුදල් ලබාගත හැකිය. නැත්නම් පෞද්ගලික රක්ෂණයක් පවතී නම් එයින්ද මුදල් එම මුදල් ලබාගත හැකිය.

ජනාධිපතිවරයෙකු විදේශ සංචාරයක නිරත වන විට හෝ දේශීය වශයෙන් වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය දැක්වන නීතියක් තිබෙනවාද?

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ජාතික අයවැයෙන් සම්මත කරනු ලබන්නේ එකී සම්මත කරන ලද වැය ශීර්ෂය වියදම් කිරීම පිළිබඳ සීමාකරන හෝ මගපෙන්වන පනතක් ශ්‍රී ලංකාවේ නැහැ. එබැවින් එම මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුටත් ප්‍රශ්න කිරීමට නෛතික අයිතියක් හෝ සදාචාරාත්මක අයිතියක් ඇත්තේම නැහැ.

ඔබ සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයාගේ වියදම් සම්බන්ධයෙන් කිසිම ආකාරයකින් ප්‍රශ්න කළ නොහැකිද?

එය ප්‍රශ්න කළ හැකිවන්නේ ජනාධිපතිවරයා එම මුදල් වියදම් කළේය යන පදනම මත ව්‍යාජ බිල් ඉදිරිපත් කර ඔහු එකී මුදල් වියදම් නොකර තමා විසින් තබා ගන්නේ නම් පමණි. එහිදී දූෂණය නමැති වරද සිදුවන බැවින් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර නඩු පැවරීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ හැකියාව ලැබෙයි. මක්නිසාද යත් එහිදී දූෂණය නම් වරද සිදුවන බැවිනි.

ජනාධිපතිවරයෙකු සහභාගි වන සංචාර වර්ග කරන්නේ කෙසේද?

ජනාධිපතිවරයෙකුට සහභාගි විය හැකි සංචාර ගණනාවක් ඇත. එනම්

● රාජ්‍ය සංචාර (State visit)
● නිල සංචාර (Official visit)
● ආරාධිත සංචාර (Invited visit)
● පෞද්ගලික සංචාර (Private visit)

මෙවැනි සංචාරවල තත්ත්වය පිළිබඳ විග්‍රහ කළොත් කෙසේ විය හැකිද?

රාජ්‍ය නායකයකු තවත් රටකට යන විට ඒ රටේ ජනාධිපතිවරයා විසින් පිළිගෙන හමුදා උත්තමාචාර පවත්වා රතු පලස් මතින් එකී රාජ්‍ය නායකයා පිළිගන්නවා ඔබ දැක ඇති. එවැනි අවස්ථා තමයි ඇත්තටම රාජ්‍ය  සංචාර නැතහොත්  (State visit) යනුවෙන් හඳුන්වනු ලබන්නේ. සෑම විටම රාජ්‍ය නායකයෙකුට මෙකී රාජ්‍ය සංචාර ලැබෙන්නේ නැහැ.

නිල සංචාර (Official visit) යනුවෙන් හඳුන්වන්නේ රාජ්‍ය නායකයා යම්කිසි රටක පවතින ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වීම සඳහා යන අවස්ථාවක් විය හැකියි. උදාහරණයක වශයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයක් ඇමතීමට යාම පෙන්වා දිය හැකියි. එහිදී මෙරට රාජ්‍ය නායකයා ඇමරිකා එක්සත් ජනපදයට සම්ප්‍රාප්ත වූ විට එරට හමුදා උත්තමාචාර හෝ එරට ජනාධිපතිවරයා විසින් සමහර විට පිළිනොගන්නවා ඇත. එහිදී ඇතැම් විට ඔහුව පිළිගනු ලබන්නේ නිව්‌යෝක්හි සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා විය හැකියි. නැතහොත් ඇමරිකා එක්සත් ජනපදයේ විදේශ කටයුතු භාර ලේකම්වරයා විය හැකියි. මෙහිදී ඔහුට රාජ්‍ය ගෞරව හෝ හමුදා උත්තමාචාර ලැබෙන්නට හෝ නොලැබෙන්නට පුළුවන. එසේ වූ පමණින් මෙකී නිල සංචාරය නිල සංචාරයක් නොවන බවට කිසිවෙකුට තර්ක කළ නොහැකිය.

එසේම ආරාධිත සංචාර කියලා කියන්නේ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන විසින් රටක ජනාධිපතිවරයෙකුට හෝ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට කිසියම් සාකච්ඡාවකට, සම්මන්ත්‍රණයකට හෝ සමුළුවකට කරනු ලබන ආරාධනයක් ලෙස සලකන්න පුළුවන්. ජනාධිපතිවරයා ඒ සඳහා සහභාගි වන්නේ නම් ඇත්තටම ඔහු රටේ නායකයා වන නිසා ඔහුට අවශ්‍ය ආරක්ෂාව සහ වියදම් රජය විසින් දැරිය යුතුයි. එසේම ඔහු එම රටේ දී විනිර්මුක්තිය ලැබේ. එසේ වන්නේ ඔහු මෙරට රාජ්‍ය නායකයා වන බැවිනි.

රාජ්‍ය සංචාරය සහ නිල සංචාර හැරුණු විට රාජ්‍ය නායකයකුට වෙනත් සංචාර තියෙන්න පුලුවන් ද?

ඔව්. අප කලින් සඳහන් කළ පරිදි රාජ්‍ය සංචාර සහ නිල සංචාර හැරුණු විට ආරාධිත සංචාර  (Invited visit) තියෙන්නත් පුළුවන්. විශේෂයෙන් දීර්ඝ කාලයක් පාර්ලිමේන්තු සම්ප්‍රදායෙහි රැඳී සිටින රාජ්‍ය නායකයකුට තවත් රටක පාර්ලිමේන්තුවක එහෙමත් නැත්නම් විශ්ව විද්‍යාලයක දේශනයකට ආරාධනා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් කිසියම් කණ්ඩායමක් විසින් රාජ්‍ය නායකයකුට දේශනයක් සඳහා ආරාධනා කරන්න පුළුවන්. එවිට එවැනි ආරාධනයක් පිළිගතහොත් එකී සංචාරය සඳහා යන රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව සහ වියදම් දැරීම රජය සතු වගකීමකි. මක්නිසාදයත් ඔහු එකී සංචාරයට සහභාගි වන්නේ අදාළ රටේ රාජ්‍ය නායකයා වශයෙන් වන බැවින් මිසක් පෞද්ගලිකව ඔහුගේ නමින් නොවන නිසා.

ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයක යෙදුණහොත් ඇතිවන තත්ත්වය කෙසේද?

අපි හිතමු ශ්‍රී ලංකාවේ ජනාධිපති වන X නමැත්තාගේ ඥාතීන් එංගලන්තයේ ජීවත් වෙයි. එවිට මේ  X නැමැත්තාගේ ඥාතියකු විදේශ රටක මියගියහොත් අවමඟුලට යන විට ඇතිවන තත්ත්වය බැලුවොත් එය පෞද්ගලික සංචාරයක් වශයෙන් යෙදුණ ද ඔහු ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් එකී සංචාරයේ නිරත වන මොහොතේ නිලය දරන නිසා ඔහුට අවශ්‍ය ආරක්ෂාව සහ වියදම් දැරීම ඔහු වෙනුවෙන් රජය සිදුකළ යුතුයි. එසේම ජාත්‍යන්තර නීතියට අනුව ඔහු පෞද්ගලිකව අවමඟුල් උත්සවයකට සහභාගි වුව ද ඔහුට විනිර්මුක්තිය (immunity) හිමි වේ.

ජාත්‍යන්තර නීතියට අනුව මේ තත්ත්වය පැහැදිලි කළොත්?

ජාත්‍යන්තර නීතියෙහි සඳහන් වන්නේ රාජ්‍ය නායකයෙකු නැතහොත් දූත මණ්ඩලයක සාමාජිකයකු නැතහොත් රාජ්‍ය නායකයාගේ නියෝජිතයන් වන තානාපති හෝ මහ කොමසාරිස්වරයෙකු හෝ එහි සාමාජිකයකු රටක් නියෝජනය කරන අමාත්‍යවරයෙකු විදේශ සංචාරයක දී යම් වරදක් කළහොත් ඔහුට විනිර්මුක්තිය ලැබෙන බවයි. එනම් එකී රටේ දී එම නිලධාරියා හෝ අදාළ තැනැත්තා යම්කිසි වරදක් කළහොත් එම වරද සම්බන්ධව නඩු නොපවරන බවයි.

ජාත්‍යන්තර නීතියෙහි ඇයි එහෙම පිළිගැනීමක් තියෙන්නේ ?

ඇත්තෙන්ම රටවල් 2ක් ගත්තොත් ඒ රටවල් දෙක ධනවත් වුවත්, කුඩා වුවත්, සම්පත්වලින් පොහොසත් වුවත් දුප්පත් වුවත් ඒ රටවල් දෙකම සමාන රටවල් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ පිළිගන්නවා. ඒ රටවල් දෙකටම ලැබෙන්නේ එකම ඡන්දයක් පමණයි. ඒ නිසා කිසිම කුඩා රාජ්‍යයක් තවත් විශාල රාජ්‍යයකට දෙවෙනි වෙන්නේ නැහැ. මේ නිසා පිළිගැනීමක් තියෙනවා ජාත්‍යන්තර නීතියට අනුව රටකට එරෙහිව තවත් රටක නඩු විසඳන්න බැහැ කියලා. ඒ නිසා තමයි මෙන්න මේ සංකල්පය ඇවිල්ලා තියෙන්නේ. යම් රටක රාජ්‍ය නායකයෙකුට හෝ රාජ්‍ය තත්ත්වය දරන රාජ්‍ය තාන්ත්‍රිකයකුට එරෙහිව නඩු පවරන්න බැහැ කියලා. මේ තත්ත්වය පරම බලධරයාගේ විනිර්මුක්තිය කියන සංකල්පය මත පැහැදිලි වෙනවා.

ජාත්‍යන්තර නීතිය යටතේ ක්‍රියාත්මක වූ පරම බලධරයාගේ විනිර්මුක්තිය සම්බන්ධ පෞද්ගලික ක්‍රියාවලිය නඩු පැවරීමට  නොහැකි බවට උදාහරණ?

කලකට ඉහත දී ශ්‍රී ලංකාවේ හිටපු බුරුම තානාපතිවරයා ඔහුගේ භාර්යාව සිටි නිවස තුළදීම වෙඩි තබා ඝාතනය කළා. එහිදී මතු වූ ගැටලුව වුණේ බුරුම තානාපතිවරයාට විනිර්මුක්තිය ලැබෙනවාද යන්නයි. ශ්‍රී ලංකාවේ අධිකරණය තීරණය කළේ ඔහුට විනිර්මුක්තිය ලැබෙන බැවින් ඔහු විසින් කරන ලද ක්‍රියාව පෞද්ගලික ක්‍රියාවක් වුවද ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකි බවයි.

ජාත්‍යන්තර නීතිය තුළ පරම බලධරයා විසින් කරනු ලබන ක්‍රියා නිල හා පෞද්ගලික වශයෙන් බෙදා වෙන්කර පිළිගෙන තිබෙනවාද?

බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව ගත්තොත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ ක්‍රියා පෞද්ගලික ද නැතහොත් නිල ද යන්න බෙදා වෙන්කර නැහැ. ඒ පිළිබඳ විග්‍රහයක් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු ජාත්‍යන්තර නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නොයෙල් ඩයස් වියන් රචනා කරන ලද ජාත්‍යන්තර හා තුලනාත්මක නීතිය නම් ග්‍රන්ථයේ සඳහන් වෙනවා. එහි දක්වා ඇත්තේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව බලධරයාගේ ක්‍රියා පෞද්ගලික ද නිල ද යන්න වෙන්කර හඳුනාගත නොහැකි බවයි. එහිදී සල්මන් ජොහාර් නඩුවේදී මෙය පිළිගෙන ඇති බවද දක්වා තිබෙනවා. (පිටුව 167)

බ්‍රිතාන්‍යයට අදාළ වන ජාත්‍යන්තර නීතිය ලංකාවට බලපාන්නේ කෙසේද?

ලංකාව සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාදායක ක්‍රමය නැත්නම් වෙස්ට්මිනිස්ටර් ක්‍රමය හෙවත් බ්‍රිතාන්‍ය ක්‍රමය අනුගමනය කරනවා. එමෙන්ම ලංකාවේ ක්‍රියාත්මක වන බහුතරයක් නීති ඉංග්‍රීසි නීති කිව්වොත් නිවැරදියි. උදාහරණ වශයෙන් අපරාධ නීතිය සාක්ෂි නීතිය ආදිය පෙන්වා දිය හැකියි. ඉතින් අපි වගේ රටක ඉංග්‍රීසි නීතිය ගත්තොත් බ්‍රිතාන්‍ය ඇතුළු වෙනත් රටවල ක්‍රියාත්මක වෙන ඉංග්‍රීසි නීතිය හා නඩු තීන්දුව අපේ අධිකරණය සලකා බලනවා. ඒ වගේම රෝම ලන්දේසි නීතිය ගත්තත් එම නීතිය ක්‍රියාත්මක වන වෙනත් රටවල අධිකරණ විසින් දෙන තීන්දු අපි අදාළ කරගන්නවා. ඒ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව බැලුවොත් රාජතන්ත්‍රික හෝ පෞද්ගලික හෝ නිල ක්‍රියා පිළිබඳ සඳහන් වන සම්ප්‍රදාය අපට පිළිගන්න පුළුවන්. ඒ වගේම අනිත් අතට අපි ජාත්‍යන්තර නීතියේ පවතින සංකල්පය පිළිගන්නා රටක් බවට පත්වෙනවා. එහිදී ඇතැම් යෝජනා සම්මත වූ පසුව ඒවාට අත්සන් කර පිළිගනු ලබන අතර සාමාන්‍ය වශයෙන් පවතින ජාත්‍යන්තර නීති එසේ අත්සන් කිරීමකින් තොරව පිළිගැනීම සිද්ධ වෙනවා.

රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ පෞද්ගලික ක්‍රියා සම්බන්ධයෙන් විනිර්මුක්තිය බල නොපාන අවස්ථා ඇත්තෙම නැද්ද?

තියෙනවා. උදාහරණයක් හැටියට අපි හිතමුකෝ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ප්‍රකෝටිපතියෙක්. ඔහුට අවශ්‍ය වෙනවා ඔස්ට්‍රේලියාවේ ඇපල් වත්තක අක්කර සීයක් මිලදී ගන්න. ඔහු ඔස්ට්‍රේලියාවට යනවා. ඒ යන ගමනේදීත් ඔහුට විනිර්මුක්තිය පවතිනවා. එහෙත් ඔහු ඔස්ට්‍රේලියාවේ දී ඇපැල් වත්ත මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇතිවන ගිවිසුමක දී සිද්ධවෙන යම් වරදකට සම්බන්ධව ඔහු එරට නීතියෙන් බැඳෙනවා ඔහුට ඒ කටයුත්තදී  පමණක් විනිර්මුක්තිය නැතිවෙනවා. එකී ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පවරා එරට නීතිය අනුව කටයුතු කිරීමට අදාළ පාර්ශ්වයට හැකිය. ඒක සැබැවින්ම ඔහුගේ පෞද්ගලික අභිමතාර්ථ මුල් කරගත් ව්‍යාජ කටයුත්තක් වන නිසා තමයි එහෙම වෙන්නේ.

ඔබ ඔය  කියන විනිර්මුක්තිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් ඉවත් කරලා තියෙනවා නේද?

ජාත්‍යන්තර නීතියේ තියෙන සංකල්පයක් වන විනිර්මුක්තිය අපේ පාර්ලිමේන්තුවේ පනතක් පනවා අහෝසි කරන්න බැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අහෝසි කරලා තියෙන්නේ ජනාධිපතිවරයා විසින් කරනු ලබන කටයුතු එනම් මානව හිමිකම් කඩකිරීම, බරපතළ මූල්‍ය වංචා සිදුකිරීම වැනි කරුණුවල දී ජනාධිපතිවරයාට නඩු පැවරිය නොහැකිය යනුවෙන් තිබූ කොටස සංශෝධනය කිරීම පමණයි. විදේශ සංචාරයක දී මුදල් වියදම් කළා කියන එක දූෂණයක් නොවෙයි.

ජාත්‍යන්තර නීතියෙහි සහ ලංකාවේ නීතියෙහි ඇති සම්බන්ධතාව?

ජාත්‍යන්තර නීතියේ රාජ්‍ය තාන්ත්‍රික භාවය පිළිගන්නවා නම් ලංකාවේ නීතියේදී එය බැහැ කියලා කියන්න පුළුවන්ද? මේ අදාළ රාජ්‍ය නායකයාට නිල තත්ත්වයක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඔහුට ලංකාවේ රජයෙන්ද අදාළ නිල තත්ත්වය ලැබෙනවා. නිල තත්ත්වය ලැබෙනවා නම් ඔහුගේ ආරක්ෂාව සහ වියදම් රජය විසින් දැරිය යුතුයි.

ජනාධිපතිවරයා හෝ රාජ්‍ය තාන්ත්‍රිකයා හැරුණු කළ ඔහුගේ පවුලේ අය සම්බන්ධයෙන් පවතින තත්ත්වය කුමක්ද?

ඇත්තෙන්ම කියනවා නම් ජනාධිපතිවරයාට පමණක් නොවේ තානාපතිවරයෙකුට පවා ඔහුගේ කලත්‍රයා සහ ඔහුගෙන් යැපෙන්නන් සම්බන්ධව කටයුතු කළ හැකියි. ඔවුන්ට ද ජාත්‍යන්තර නීතිය අනුව  විනිර්මුක්තිය ලැබෙනවා. ඒ වගේම ඔවුන්ට එකී රටට යන්න එන්න අවශ්‍ය ගුවන් ටිකට්පත් වගේම නවාතැන් පහසුකම් ආදිය රජයෙන් සැපයෙනවා. ජනාධිපතිවරයාගේ කලත්‍රයාට අවශ්‍ය නම් ජනාධිපතිවරයා යන ගමනකට සහභාගි වෙන්න පුළුවන්. ඒ සඳහා යන වියදම් රජය දැරිය යුතුය. එකී වියදම් සීමා කරලා නැහැ. ලංකාවේ විතරක් නොවෙයි. ඔබ දකින්න ඇති පසුගිය දවස්වල ප්‍රංශ ජනාධිපති එමෑනුවෙල් මැක්රෝන් විදේශ සංචාරවල යෙදෙන විට ඔහුගේ ආර්යාව ඔහු සමග ගමන් ගත්තා. ආර්යාව රැගෙන යනවද? නැද්ද? යන්න තීරණය කිරීම ජනාධිපතිවරයා සතු පෞද්ගලික අභිමතාර්ථයක්.  ආර්යාව රැගෙන යනවා නම් ඇය වෙනුවෙන්ද  විනිර්මුක්තිය විදේශ රටක දී ලැබෙනවා.  එමෙන්ම ඇයගේ වියදම් හා ආරක්ෂාව දැරිය යුතු වෙනවා. තානාපති විනිර්මුක්තිය යටතේ ඔහුගේ කලත්‍රයාට සහ දරුවන්ටත් විනිර්මුක්තිය හිමිවෙනවා. තානාපතිගේ දරුවන්ගේ අධ්‍යාපනික වියදම් පවා රජය විසින් දැරිය යුතුය.

රාජතන්ත්‍රික ගමනකදී යම් ආකාරයක ප්‍රතිලාභයක් රටට ගේන්න ඕනෑ කියලා මතයක් තියෙනවා.  එහෙම නැත්නම් එය රාජ්‍යතාන්ත්‍රික ගමනක් නෙවෙයි කියලා?

කිසිම නීතියක එහෙම සඳහන් වෙලා තියෙනවද? එහෙම සඳහන් වෙලා නැත්නම් ඒක පිළිගන්න බැහැ. අනිත් එක බලන්න මෑත කාලයේ වත්මන් ජනාධිපතිතුමා වුණත් රටවල් පහකට හයකට ගියා. ලැබිච්චි දෙයක් තියෙනවද? එහෙම ගණන් බලන්න බැහැ. ඒක නිසා ඔය කවුරුවත් හිතලා කියන ඔය  වගේ දේවල් පිළිගන්න බැහැ. යම් නීතියක එහෙම සඳහන් වෙලා තියෙනවා නම් පමණයි පිළිගන්න පුළුවන්. නමුත් කිසිම නීතියක එහෙම සඳහනක් නැහැ. එහෙම නම් ඔය කියන කතා පුහු තර්ක විතරයි.

ජනාධිපතිවරයා හෝ යම්කිසි රාජතන්ත්‍රිකයෙකු පිටරටක දී නීති විරෝධී දෙයක් කළොත් ඇතිවන තත්ත්වය කුමක් ද?

ඇත්තෙන්ම කලින් කියූ පරිදි රටකට තවත් රටකට එරෙහිව නඩු දාන්න බැහැ කියන පදනම මත ඒ වගේ අවස්ථාවක දී නඩුදාන්න බැහැ කියන තර්කය ඉදිරිපත් වෙනවා. ඇතැම් විට එවැනි අවස්ථාවල සිදුවන්නේ අදාළ රාජතන්ත්‍රික නිලධාරියා අසාධු පුද්ගලයෙක් හැටියට නම්කර ආපසු සිය රටට එවීමයි. මේ හැරුණුවිට තවත් අවස්ථා තියෙනවා. යම් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වගේ දෙයක් හිතා මතා සිද්ධ කළොත් එහෙම නැත්නම් වර්ගවා දී ඝාතනයන්ට තුඩුදෙන දෙයක් සිද්ධ කළොත් ඊට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රිකභාවය නොසලකා කටයුතු කරන අවස්ථා තියෙනවා.

ලංකාව වගේ රටක ජනාධිපතිවරයාගේ වියදම් සම්බන්ධයෙන් පොදු දේපොළ පනත යටතේ දූෂණයක් සිදු කළාය යන චෝදනා එල්ල කිරීමට තියෙන නෛතික පසුබිම කුමක්ද?

ලංකාවේ ජනාධිපතිවරයාට ජාතික අයවැයෙන් ලබාදී තිබෙන වැය ශීර්ෂය අනුව වියදම් කිරීම ඔහු සතු කාර්යයක්. එහිදී පෞද්ගලික කාර්ය මණ්ඩල බඳවා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් වෙලා තියෙනවා. ඒක දූෂණයක් කියන්න බැහැ. ඒ වගේම ඔහුගේ වියදම් පාලනය කරන හෝ එහෙමත් නැත්නම් මග පෙන්වීමක් කරන නීතියක් හෝ ව්‍යවස්ථාවක් ලංකාවේ පනවලා නැහැ. ඒක නිසා මුදල් වැඩියෙන් වියදම් කළා කියන නීති කෘත්‍යයක් ගෙනියන්න අමාරුයි.

සාකච්ඡා කොට සකස් කළේ 
දීප්ති ප්‍රමිතා අධිකාරි