ජනතාවට බස් නැතත් ආණ්ඩුවට ඩබල්කැබ්


සංවර්ධනය වේගවත් කිරීම වත්මන් ආණ්ඩුවේ අභිප්‍රාය විය. අලුත් අදහස්, අලුත් සැලසුම් ප්‍රකාශයට පත් කරන ලදි. රාජ්‍ය වියදම් අඩුකර ඉහළ ඵලදායීතාවක් සඳහා ආණ්ඩුව ගමන් කරන බව විශ්වාස කළ ජනතාව රට ඉදිරියට ගෙන යන සැලැස්ම කෙරෙහි බලාපොරොත්තු තැබීය. මුල් වටයේ දී රජයේ සුඛෝපභෝගී වාහන ප්‍රසිද්ධියේ වෙන්දේසි කෙරිණ. වාහන පිරිවරාගත් මැති ඇමැති සංචාර නතර කරන පියවර ගැනීම දෙවැනි වටයේ දී සිදු විය. අවුරුද්දක් අවසානයේ දී සියල්ල සාමාන්‍යකරණය වෙමින් පවතී. සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කළ පරිදි ආර්ථික සංවර්ධන අමාත්‍යංශය අලුත් ඩබල් කැබ් එක් දහස් හත්සිය හැත්තෑ පහක් මිල දී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත. 

බදු ඉවත්කර අඩුම මිලකට වාහනයක් මිල දී ගැනීම සඳහා පොදු ජනතාව බලා සිටියහ. ඛනිජ තෙල් අලෙවියේ දී අය කරන බදු ඉවත්කර පහසුවෙන් ජීවත්විය හැකි රටක් ගැන සිහින මැවූහ. වාහනයක වටිනාකම තුන්සිය ගුණයකින් ඉක්මවන බද්දක් ආනයනයේ දී නියම කරන ආණ්ඩුව තමන්ගේ පරිහරණය සඳහා බදු රහිත අලුත්ම වාහන මිල දී ගැනීමට සූදානම්වීම ඉතාම බරපතළ තත්ත්වයකි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඉක්මවන තරම

ක්ලීන් ශ්‍රී ලංකා වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන මෙහෙයුමකි. එය හුදෙක් පරිසරය ලස්සනට තබාගැනීම පමණක් නොවේ. ශ්‍රී ලංකා යුද හමුදාව අත්හැර දමා තිබුණ හමුදා වාහන හැත්තෑ හයක් අලුත්වැඩියා කළේය. ඔවුන් එය ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියට අනුව බව සඳහන් කළ අතර වාහන කුලී සඳහා ගෙවන ලද රු. මිලියන දහය බැගින් මාස් පතා ආණ්ඩුවට ඉතිරි කරන බව නිවේදනය කර ඇත. ට්‍රක්, වෑන්, වතුර බවුසර හා තවත් වර්ගවල වාහන භාවිත කළ නොහැකි බව හුවා දක්වා අලුතින් මිල දී ගැනීමට ඉල්ලීමක් කළේ නම් එය බැහැර කළ නොහැක. ගමනාගමන මණ්ඩල ඩිපෝවල අත් හැර දමා තිබුණ බස් රථ ගණනාවක් ද මෙම ආකාරයට ඉතා ආදර්ශවත් ලෙස අලුත්වැඩියා කර ධාවනයට යොදවා තිබේ. 

හමුදා වාහන සහ මගී බස් රථ අලුත්වැඩියා කර මහත් වෑයමකින් ප්‍රයෝජනයට ගන්නා නමුත් මැති ඇමැතිවරුන්ට සහ නිලධාරීන්ට පැරණි පන්නයේ වාහන නොගැලපේ. ආණ්ඩුවක් බලයට පත් වූ පසු වාහන ගැන මතභේද ඇති කෙරේ. සුඛෝපභෝගී බව හුවා දක්වා ගාලුමුවදොරට ගෙනැවිත්  ප්‍රදර්ශනය කරන අතර පසුව වෙන්දේසියේ විකුණා ඇත. වත්මන් ආණ්ඩුවද වාහන ප්‍රදර්ශනය කර ඒවා වෙන්දේසි කළ අතර උපයාගත් ආදායම රුපියල් මිලියන 200 කි. අලුත් ඩබල් කැබ් රථයක මිල රැ. ලක්ෂ දෙසිය තිහක් පමණ වේ. වෙන්දේසි ආදායමෙන් ලබාගත හැකි ඩබල් කැබ් ගණන දහයකි. 

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අලුත්වැඩියාව

විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තා අනුව ජනාධිපති ලේකම් කාර්යාලයට හොඳ වාහන සංචිතයක් අවශ්‍යය. 2016 වසරට කලින් මිල දී ගත් අවුරුදු දහයකට වඩා පැරණි වාහන නඩත්තුව පහසු නැත. පසුගිය වසරේ වාහන අලුත්වැඩියා කිරීම සඳහා පමණක් රු. මිලියන 645 ක් වැය කර තිබේ. එකම වාහනය එකම කාර්මික දෝෂය සඳහා නැවත නැවතත් අලුත්වැඩියා කර ඇත. අනෙක් අතට 2025 ජුනි 09 වැනි දා වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබුණ වාහනවලින් 29ක් සොයාගත නොහැකි බව විගණකාධිපතිවයා සිය වාර්තාවේ සඳහන් කර ඇත. අතුරුදන් වන වාහන සොයාගැනීමටත් පැරණි වාහන අලුත් වැඩියාවටත් අමාත්‍යංශ දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණ පැවැත්වීම අතිශය වියදම් සහගතය. අලුත්ම වාහන මිලයට ගැනීම වැඩදායක බව තීරණය කර ඇති බව පැහැදිලිය. 

ඩබල් කැබ් ටෙන්ඩරය අනුව ඒවා ඉක්මනින් මිල දී ගැනීම අරමුණු කර ඇත. ලන්සු තැබීමට දින දහයක පමණ කෙටි කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ඉතා උපායශීලීව කටයුතු කර ඇත. පසුගිය සැප්තැම්බර් මාසයේ දී අමාත්‍යාංශ හා දෙපාර්මේන්තුවලින් තොරතුරු එකතුකිරීමට පියවර ගැනිණ. රජයේ සංවර්ධන වැඩසටහන් කාර්යක්ෂම හා වේගවත් කිරීම සඳහා අවශ්‍ය වාහන ගැන අමාත්‍යාංශ හා පළාත් සභා ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් කරුණු දක්වා ඇති බව නිරීක්ෂණය වේ.

ආණ්ඩුව මිල දී ගැනීමට අදහස් කරන ඩබල් කැබ් ප්‍රමාණය වෙනුවෙන් අවම වශයෙන් රුපියල් බිලියන හතළිහක් වැය කරන්නට සිදුවෙන බව ගණන් බලා තිබේ. රජයේ වාහන ගෙන්වීමේ ක්‍රියා පටිපාටිය  බදුවලින් නිදහස්ය. බදු ආදායම අහිමිවීම ආණ්ඩුවේ ගිණුම්වලින් බැවින් රටට ලැබෙන වාසියක් නැත.   

වෙන්කළ මුදලින් බස් ගෙන්නුවද?

2025 අය වැය මගින් ගමනාගමන මණ්ඩලයට අවශ්‍ය නවීන බස් රථ ආනයනය සඳහා රුපියල් බිලියන තුනක් වෙන් කර තිබුණි. එම බස් රථ සාමාන්‍ය ජනතාවගේ පහසුවටය. ජනතාවගේ ගමන් බිමන්වලින් සංවර්ධනය වේගවත් නොවන බව ආණ්ඩුව විශ්වාස කරන බව පෙනේ. අය වැය ප්‍රකාශයට පත්කර අවුරුද්දක් අවසානයේ දී පවා එකම බස් රථයක් හෝ ගෙන්වන්නට ටෙන්ඩර් කැඳවා නැත. ආණ්ඩුවේ ඩිපෝවල ධාවන තත්ත්වයේ පවතින බස් රථ ගණන පන් දහසක් බව දැක්වේ. ඩිපෝ 110 ක දෛනික ධාවන අවශ්‍යතා සඳහා අවම වශයෙන් බස් රථ 7,400ක් අවශ්‍යය. අවුරුදු ගණනකින් අලුත් දුම්රියක් සේවයට යොදවා නැත. දිනපතා කොළඹට එන මගී ජනතාව බස් හා දුම්රියවල නැගී ඉතාම වෙහෙසකර ජීවිත ගත කරන බව සඳහන් කළ යුතුව තිබේ. අය වැය මගින් මුදල් වෙන් කළ බස් රථ ගෙන්වීම සඳහා නැති උනන්දුවක් ඩබල් කැබ් සඳහා ඇති කිරීමෙන් ආණ්ඩුවේ දෙබිඩිභාවය ඔප්පු කරමින් තිබේ. 

අමාත්‍යාංශ, පළාත් සභා සහ දෙපාර්තමේන්තු මට්ටමින් කැබ් රථ බෙදාගැනීමෙන්  පසු උද්ගතවන අනෙක් පැත්තක් ද අමතක කළ යුතු නැත. රජයේ ඉහළ නිලධාරීන් සඳහා බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කර තිබේ. දැනට වාර්තාවන පරිදි මෙම බලපත්‍ර 23,000 ක් පමණ නිකුත් කිරීම ප්‍රමාද වී ඇත. ඉහළ නිලධාරීන් ඩබල් කැබ් බෙදාගත් පසු අනෙක් ශ්‍රේණිවල නිලධාරීන්, වෛද්‍ය හා ඉංජිනේරු අංශ තම අයිතිවාසිකම් ගැන සටන් කරන්නට ඉඩ තිබේ. එය ඉතා බරපතළ තත්ත්වයකි. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වාහන ගෙන්වූ ශ්‍රී ලංකාව ඉදිරි කාලයෙහි එහි අතුරු ප්‍රතිවිපාකවලින් ව්‍යසනයකට පත්වනු ඇත.

මහජනතාවගේ වාහන බදු ඔවුන්ගේ විහරණයට

ආණ්ඩුව විශාල මුදල් අර්බුදයක සිටි බව නොරහසකි. බදු ආදායම පිරිහී, විදේශ විනිමය රහිත තැනක තිබුණි. වත්මන් ආණ්ඩුව බලයට පත්වීම එම අර්බුදයේ එක කොටසකි. වාහන ගෙන්වීමට ඉඩ දී එයින් විශාල බදු ආදායමක් අපේක්ෂා කළ ආණ්ඩුව කෙටි කාලයකදී ආර්ථික වශයෙන් ඉතාම පහසු තැනකට පැමිණ සිටී. 2019 වසරේ වාහන ආනයනයෙන් ලැබුණ ආදායම රුපියල් මිලියන 13,900 කි. 2025 වසරේ දී අපේක්ෂා කළ බදු ආදායම රුපියල් බිලියන 450 ක් නමුත් දැන් එය රුපියල් බිලියන හත්සියය දක්වා ඉහළ නැගෙනු ඇතැයි විශ්වාස කෙරේ. වාහන ආනයනයෙන් රජය ලැබූ ආදායම සියයට අටසියය ඉක්මවන වර්ධනයකය. 

මෙයට අමතරම රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 3,827 ක් තෙක් ඉහළ ගොස් ඇත. භාණ්ඩ හා සේවා බද්ද, ආදායම් බද්ද, මත්පැන් හා දුම්කොළ බදු වශයෙන් සෑම තැනකින්ම අධික ආදායමක් බව මුදල් අමාත්‍යාංශ වාර්තා දක්වයි. මෙම වාසිදායක තැනට රට හරවන්නට කැප වූ නිලධාරීන් හැන්ද තමන්ගේ පිඟානට හරවාගෙන තිබේ. අය වැය හිඟය පාලනය කරගෙන ආර්ථිකය සංවර්ධනය වී ඇති අතර එය තවත් වේගවත් කිරීම සඳහා ඩබල් කැබ් පහසුකම් ඉදිරියෙන් තබා ඇත. 

බදු ගෙවන මහජනතාව පහසු ජීවිතයක් ගත කරන්නේ නැත. ඔවුහු විශාල පීඩනයක පසුවෙති. උද්ධමනය වැඩිවෙන අතර විනිමය අනුපාතිකය සමග තවත් වටයකින් වියදම ඉහළ යන තත්ත්වයක් සටහන් වෙමින් පවතී. සිස්ටම් වෙනස්කරන සේ බලකරන ලද ජන කොටස් ඉතා ඉවසිල්ලකින් මෙම අවස්ථාවේ පසුවෙන බව මතක තබාගත යුතුය. ඉතිහාසය නැවත වතාවක් ආපසු අප ඉදිරියේ දිගහැරෙන අවදානමක් පවතී. ලස්සන ජීවිතයක් වෙනුවෙන් දල්වන ලද බලාපොරොත්තු බිඳ දැමීම සුදුසු නොවේ. 

සාරා කන්දෙගොඩ