යේමනයේ හූති සටන්කාමීන්ගේ ප්‍රහාර හමුවේ, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ට අධි ආරක්ෂිත බංකරවල සැඟවී සිටීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යේමනයේ ෂියා මුස්ලිම් හූති සටන්කාමීන්, දිගින් දිගටම සෞදියට ප්‍රහාර එල්ල කරයි. හූති සටන්කාමීන්, ඉකුත් සති අන්තයේ, රියාද් අගනුවර ‘කිං කාලීඩ්’ ජාත්‍යන්තර ගුවන්තොටුපාළට එල්ල කළ ප්‍රහාරය, හූතිවරුන් සෞදියට එල්ල කළ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙයි.

එම මිසයිල ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළේ සිටි 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 300 කට වැඩිය.

එම ප්‍රහාරයෙන් පසු  ‘කිං කාලීඩ්’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද ඇතුළු සෞදියේ සෙසු ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සියල්ල මේ වනවිට මෙහෙයුම් නවත්වා තාවකාලිකව වසා දමා ඇතැයි පැවැසෙයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, 41 හැවිදිරි සල්මාන් කුමරුන්ගේ ආරක්ෂක අංශ සාමාජිකයන් පසුගිය දින කීපයේ, කුමරුන් රියාද් අගනුවර අධි ආරක්ෂිත බංකර් කීපයකට මාරුවෙන් මාරුවට රැගෙන ගොස් ඇත.