කිරින්ද වෙරළේ මහරූ “අයිස් කන්දක්” වැටලූ හැටි


බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන ඒකකයේ එක්තරා පොලිස් නිලධාරියෙක්ට රහසිගත තොරතුරක් ලැබුණේ - ජාවාරම්කරුවන් පිරිසක් දකුණු පළාතේ කිරින්ද වෙරළ ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය තොගයක් ගොඩබෑමේ ක්‍රියාන්විතයක් දියත් කර ඇති බවයි. 

ඒ සඳහා අප රටේ ධීවර බෝට්ටුවක් දියඹට ගොස් ඇති බව ද, එම නිලධාරියාට දැන ගන්නට ලැබුණි. වහාම ක්‍රියාත්මක වූ එම පොලිස් නිලධාරියා එම ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලු‍ගල හමු වී ඒ සම්බන්ධව දැනුම්වත් කළේය. ඕලු‍ගල අදාළ විමර්ශනය විශේෂ වැටලීම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාට පැවරීය. ඒ අනුව ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් රොහාන් ඕලු‍ගල සමග එක්ව සැලැස්ම සකස් කළහ. මත්ද්‍රව්‍ය තොගය ගොඩට රැගෙන එන්නේ යැයි ඔත්තු සේවා වාර්තා කළ නොවැම්බර් 11 දා රාත්‍රියේ අදාළ වැටලීම සිදුකිරීමට සියලු‍ කටයුතු සූදානම් වුණි.  

ඒ අනුව අදාල නිලධාරී කණ්ඩායම 11 දා රාත්‍රියේ රහසිගතව කිරින්ද වෙරළ තීරයට අවුත්, නිසොල්මනේ ලැගුම් ගත්හ. 

ඔවුන්ට ලැබී තිබූ ඔත්තුව අනුව අදාල මත්ද්‍රව්‍ය තොගය ගොඩ බෑමට තිබුණේ කිරින්දේ වෙරළ උද්‍යානය හරහාය. ඒ නිසා එම කණ්ඩායම වෙරළ උද්‍යානය වෙත සක්මන් ගමනින් විසිරී ගමන් ගත්හ. එහිදී අවට ප්‍රදේශයේ තැනින් තැන වාහන නවතා තිබූ ආකාරයක් දෘශ්‍ය වූ අතර, සිවිල් ඇඳුමින් සැරසී සිටි නිලධාරීන් දෙදෙනකු වෙරළ උද්‍යානයේ වාඩියකට ගොස් සැඟවුණේ, ඒ කවරකට දැයි යන්න සෝදිසි කිරීම සඳහාය.  

අත්අඩංගුවට ගත් ප්‍රධ​ාන සැකකරු

මද වේලාවකට පසු ඔවුන් දෙදෙනා ගෙන් පොලිස් පරීක්ෂකවරයාට  ඇමතුමක් ලැබුණේ - වෙරළ උද්‍යානයේ රථගාලේ සැක සහිත වෑන් රථයක් නවතා ඇති බවත්, එම වාහනයේ අංකය පී.ඒ. 5000 බවත්, ය. වහාම එම දැනුම් දීම අනුව අදාළ වාහනයේ අංකය නිලධාරීන් විසින් පරීක්ෂා කෙරුණු අතර, එම අංකය ව්‍යාජ එකක් බව අනාවරණය වුණි. ඒ නිසා පොලිසිය එම වෑන් රථය මත්ද්‍රව්‍ය රැගෙන යාම සඳහා පැමිණි එකක් යැයි උපකල්පනය කරන්නට යෙදුණි . මේ වන විට වේලාව රාත්‍රි 10 පසුවී තිබුණි.

මධ්‍යම රාත්‍රි 12 පසුවනවාත් සමග, පෙර කී සිවිල් ඇඳුමින් සැරසී වාඩියේ රැඳෙමින් තොරතුරු නිරීක්ෂණය කළ පොලිස් පරීක්ෂකවරයාට වාර්තා කරමින් සිටි නිලධාරීන්ගෙන් යළිත් ඇමතුමක් ලැබුණි. ඒ මුහුද දෙසින් බෝට්ටුවක හඬක් ඇසෙන බවට ය. මේ මත්ද්‍රව්‍ය රැගෙන එන අදාළ බෝට්ටුව යැයි අනුමාන කළ පොලිසිය, වැටලීම සඳහා යුහුසුළු වූහ. එහෙත් එසැණින් ලැබුණු ඇමතුමෙන් වැටලීම ඇනහිටුණි. ඒ ගොඩබිමට එමින් තිබූ අදාල බෝට්ටුව හරවාගෙන යළි දියඹ දෙසට යමින් ඇති බවත්,  ගොඩබිම තිබූ ප්‍රකාශිත වෑන් රථය ද එතැනින් පිටත් වූ බවත්, පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාට ලැබුණු ඇමතුමත් සමගම ය. 

ලින්ටන් සිල්වා ඒ මොහොතේම දුරකතන සබඳතා ඔස්සේ මෙහෙයුම හා සම්බන්ධ වෙමින් සිටි අධ්‍යක්ෂ රොහාන් ඕලු‍ගලට මේ බව දැනුම් දුන්නේය. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ඕලුගල තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා අමතා, අදාළ වෑන් රථය වහා අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදන්නැයි ඉල්ලා සිටියේය.  ඒ අනුව වීරවිල, තිස්ස සහ කිරින්ද පොලිස් නිලධාරීන්  අදාළ කටයුත්තට යෙදවුණි. මේ අතර   තැන තැන නවතා තිබූ සෙසු වාහන ද අතුරුදන් වී ඇති බැව් ලින්ටන් සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායමට දැකගත හැකි විය. ඒ අනුව ඔවුන් පෙර සටහන් කරගෙන තිබූ එම රථවාහන අංක - වහා මාර්ග බාධක යොදා ඒ වන විටත් පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් අතට පත් කළහ.

ඉනික්බිති ලින්ටන් සිල්වා ඇතුළු කණ්ඩායම වෙරළ තීරය දිගේ බෝට්ටුව යන ප්‍රදේශයට ගියහ. එය ඉතා දුෂ්කර ගමනක් විය. ඔවුහු කටුඅකුල්, ගල්, වැලිකඳු වැනි බාධක මැදින් කිලෝ මීටර් දෙක හමාරක් පමණ ඉදිරියට ගියහ. එහිදී පාළු, අඳුරු ඉසව්වක සිටි පුද්ගලයෙක් හුදෙකලාව මුහුද දෙස සිට ගොඩබිම දෙසට වැර යොදා ලණුවක් අදිමින් සිටින අයුරු ගනඳුර මැදින් යාන්තමින් පොලිසියට දැක ගැනීමට හැකි විය. පොලිස් නිලධාරීන් ඔහු අසලට ගොස් ප්‍රශ්න කොට නිරීක්ෂණය කළ විට දර්ශනය වූයේ - හෙතෙම ලණුවේ ගැටගැසූ මලු‍ කීපයක් ගොඩට අදිමින් සිටිනා බවයි. 

වෙරළේ සිට අත්අඩංගුවට ගත් පුද්ගලයා දෙවිනුවර රජයේ කාර්යාලයක සහකාර ගබඩා පාලකවරයා විය. ඔහු ගෙන් සිදුකෙරුණු ප්‍රශ්න කිරීම්වලදී  මෙම අයිස් තොගය රන් මල්ලී නමැති පුද්ගලයාට අයත් බැව් අනාවරණය වුණි.

වහාම අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීහු ලණුව ගොඩට ඇද ගත්හ. එහිදී මලු‍ අටක් ගොඩට ගත් අතර, ඒවායෙහි අයිස් අඩංගු බව තහවුරු කර ගැනුණි. 

මේ අතර මාර්ග බාධක යොදා සිදුකෙරුණු පරීක්ෂා කිරීම්වලදී රථවාහන හතක් පොලිස් අත්අඩංගුවට පත් ව තිබුණි. ඒ අතර පෙර කී වෑන් රථය ද විය. බොරැල්ල, කඩුවෙල වැනි ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් එම රථ සමග අත්අඩංගුවට ගෙන තිබුණි. 

අත්අඩංගුවට ගත් වාහන

වෙරළේ සිට අත්අඩංගුවට ගත් පුද්ගලයා දෙවිනුවර රජයේ කාර්යාලයක ගබඩා සහායකවරයකු විය. ඔහු ගෙන් සිදුකෙරුණු ප්‍රශ්න කිරීම්වලදී  මෙම අයිස් තොගය රන් මල්ලී නමැති පුද්ගලයාට අයත් බැව් අනාවරණය වුණි. තමන්ට පැවරී තිබුණේ අදාළ මත්ද්‍රව්‍ය තොගය ගොඩ බිමට ගැනීමේ කාර්යය පමණක් බවත්, ඒ සඳහා රු. ලක්ෂ 5ක් ගෙවීමට එකඟව තිබූ බවත්, කෙසේ වෙතත් පසුව යාත්‍රාවකින් දියඹට ගොස් වෙනත් යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය තොගය භාරගන්නා ලෙස රු. 25,000 ක් සමග චන්ද්‍රිකා දුරකතනයක් ද දී දැනුම් දුන් බවත්, සැකකරු පොලිසියට ප්‍රකාශ කොට ඇතැයි දැනගන්නට ඇත. 

මෙහිදී අත්අඩංගුවට ගැනුණු කිලෝ ග්‍රෑම් 329 ක් වූ  අයිස් තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 300 ක් විය. 

අත්අඩංගුවට ගත් වාහන හිමිකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි බව ප්‍රකාශ වුණි. බොරැල්ලේ පුද්ගලයා දෙමටගොඩ චමින්දගේ සමීප අයෙක් විය. තවත් පුද්ගලයකු බටුවත්ත චාමර ගේ අයකු විය. එහෙත් සියලු‍ දෙනා ගෙන්ම ප්‍රශ්න කිරීමේ දී පොලිසියට හෙළි වී ඇත්තේ - මේ පිටුපස රූබන් නැමැති පාතාල සාමාජිකයා සිටින බවය. මේ සියල්ල සැකකරුවන්ගේ ප්‍රකාශ වූ අතර, පොලිසිය සැක කරන්නේ මේ තොගය පාතාලයෝ පිරිසකට අයත් ඒවා විය යුතු බවයි. කෙසේ වෙතත් මේ සියලු‍ තොරතුරු සොයාගත හැකි බෝට්ටුව තවමත් අතුරුදන් වී ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙම අයිස් තොගය බා ඇත්තේ නාවික හමුදා කඳවුර ආසන්නයේ බවයි. එය නොතකා බයක් සැකක් නොමැතිව සැකකරුවන් ක්‍රියා කිරීමට හේතුව පොලිසියට උභතෝකෝටිකයක් වී ඇත.

අත්අඩංගුවට ගත් අයිස්

පසුව එදිනම සවස අදාළ සැකකරුවන් මත්ද්‍රව්‍ය සමග මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදුන් අතර, දින  90 රැඳවුම් නියෝග ලැබ එම අංශය වැඩිදුර විමර්ශන පවත්වයි.  

බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ රොහාන් ඕලු‍ගලගේ අධීක්ෂණය මත, එහි විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාගේ මෙහෙයවීමෙන්, පොලිස් පරීක්ෂක සුභාෂන සහ බණ්ඩාර, සැරයන් 73132 කුමාර, කොස්තාපල්වරුන් වන - 82728 මනෝජ්, 88617 හෙන්නායක, 88753 අබේරත්න, 37801 ලක්මාල් සහ පොලිස් රියැදුරු 80782 යන කණ්ඩායම විසින් මෙම වැටලීම සිදුකොට වීරවිල, තිස්ස සහ කිරින්ද පොලිසිවල ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරීන්ගේ සහයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ගයාන් ගාල්ලගේ