මැතිවරණ සටන අරඹමින් ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ ආණ්ඩුව එක පක්ෂයක් පළාත් පාලන ආයතන බලය තවත් පක්ෂයකත් තිබීමෙන් ප්‍රතිවිරෝධයක් නිර්මාණය වී ගැටලු සහගත තත්ත්වක් උදාවිය හැකි බවය. ඒ නිසා පළාත් පාලන ආයතන බලය ආණ්ඩුව සතුව තිබීම ඉතා වැදගත් බවත් ගමේ බලය ජාතික ජන බලවේගයට ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවත් මහලේකම්වරයා පැවසීය. එහෙත් ජනතා තීන්දුව ඒ ආකාරයට ලැබී තිබුණේ නැත. ඍජුව ආණ්ඩුවට බලය නොමැති ස්ථාන සියයකට වඩා තිබූ අතර එම ආයතනවල බලය පිහිටුවීමට ආණ්ඩුව හා විපක්ෂය යන කණ්ඩායම් දෙකම උත්සාහ දරමින් සිටියි.
විපක්ෂය එකතු වෙයි
පළාත් පාලන මැතිවරණය අවසන් වී ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදීම සජබය ඇතුළු විපක්ෂයේ පක්ෂවල නායකයන්ට පෙනී ගියේ මාලිමා ආණ්ඩුව බොහෝ පළාත් පාලන ආයතනවල ඉදිරියෙන් සිටිය ද සියලු විපක්ෂ කණ්ඩායම් එකතු වුවහොත් මාලිමා ආණ්ඩුවට එම ආයතනවල බලය පිහිටුවිය නොහැකි බවය. අවශ්‍ය මන්ත්‍රී බහුතරය ජාතික ජනබලවේගයට නොමැති වීම එයට හේතුවය. මේ නිසා සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට උපදෙස් දුන්නේ ජනතාව ආණ්ඩුවට වඩා විපක්ෂයට සහාය පළ කරමින් ආණ්ඩුවේ ගමනට විරෝධය පළකර ඇති නිසා ජනතා අභිලාෂයට සවන් දෙමින් පොදුවේ විපක්ෂය එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීට කටයුතු කළ යුතු බවය. ඒ අනුව විපක්ෂයේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමට සජබ නායකයා සහ මහලේකම්වරයා තීන්දු කළහ. ඒ වන විට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ මට්ටමේ සාමාජිකයකු ද සජබ මහලේකම්වරයා අමතා එකතු වීමේ අභිලාෂය පවසා තිබිණි. සජබය ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දුන්නේය.
පුටුව ලකුණින් තරග වැදුණු පොදුජන එක්සත් පෙරමුණට මෙවර මැතිවරණයේ දී මන්ත්‍රීවරුන් 300 දෙනකු ලැබී තිබේ. ආණ්ඩුවට බහුතර බලයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ දී මෙම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ද පොදු විපක්ෂය වෙනුවෙන් සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ තීන්දු කර ඇත. ශ්‍රීලනිප හිටපු මහලේකම් දුමින්ද දිසානායක මහතා ඉකුත් බදාදා ජනමාධ්‍ය අමතමින් කියා සිටියේ ද මාලිමා ආණ්ඩුවට පණිවිඩයක් දීම සඳහා පොදු විපක්ෂය එක්ව ආයතන එකසිය හැත්තෑවක බලය පිහිටුවීමට සහාය පල කරන බවය.
එජාප දේශපාලන කමිටු රැස්වීම
මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු එක්සත් ජාතික පක්ෂ දේශපාලන කමිටුව රැස්වූයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් තුන්සිය දෙනකු එජාපයට හිමිවීමේ සතුට ද සමගය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට මහලේකම් තලතා අතුකෝරාල සභාපති වජිර අබේවර්ධන රුවන් විජයවර්ධන, දොස්තර රාජිත සේනාරත්න නවින් දිසානායක, සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
‘‘“අපිට දැන් විකල්ප තුනක් තිබෙනවා. එකක් තමයි ජේවීපී එකත් එක්ක යනව ද? නැතිනම් විපක්ෂයේ ඉතිරි පක්ෂත් එක්ක යනවද? එහෙමත් නැතිනම් තනිවම ඉන්නවද කියන එක අපේ මන්ත්‍රීවරුන්ට තියෙනවා’’ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
‘‘“ඔක්කොම කට්ටිය ඉල්ලන්නේ විපක්ෂයේ සියලු පක්ෂ එකතුවෙලා සභාවල බලය පිහිටුවන්න කියලයි.’’ ‘‘දොස්තර රාජිත සේනාරත්න මහතා කීවේය.
“‘‘අපි ඕක තමයි මුල ඉඳලම කීවෙ විපක්ෂ එකට එකතුවෙලා ඉල්ලමු කියලා සභා තුන්සිය ගානෙන් බාගයකටවත් ජවිපෙ තනි බලය නෑ. අපි එකතු වුණානම් සභා පනහක්වත් ගන්න තිබුණා.’’ මහලේකම් තලතා අතුකෝරාල මහත්මිය කියා සිටියාය.
‘‘“මම කීවෙ එකට එකතු වෙලා සභා සීයකට ඉල්ලමු කියලනෙ. එහෙම වුණානම් ඒ සීයම අපිට දිනා ගන්න තිබුණා.’’ එජාප නායකයා කීවේය.
‘‘“අද මට පස් දෙනෙක් විතර සජබ අය කතා කළා එකතුවෙන්න. මං හොඳ වැයින් කීවා...’’ මහ ලේකම්වරිය කියද්දී දොස්තර රාජිත කීවේ දැන් ඕවා කතා කරලා වැඩක් නෑ, දැන් එකතුවෙලා සභා ටික පිහිටවමු’’ කියාය.
‘‘“නාමල්ට සියට තුන් සීයකින් ප්‍රතිශතය වැඩිවෙලා ඒකට හේතුව තමයි එයා ආණ්ඩුවට හොඳටම පහර දෙනවා.
හොඳටම ෆයිට් කළා. ඒකයි නාමල්ට මෙච්චර ඡන්ද වැඩි වුණේ. එස්.ජේ.බී. එකට ඔය ඡන්ද ටික හරි වැටුණේ මිනිස්සු හිතුව රජයට එරෙහිව ප්‍රධාන විපක්ෂයට ඡන්දෙ දෙන්න ඕනෑ කියලා. අපිටත් විශාල ජයග්‍රහණයක් මේක. දැන් තියෙන්නෙ එකතුවෙලා රජයට විරුද්ධව වැඩ කරන එක...” රාජිත සඳහන් කළේය.
තමා පසුදා ඉන්දියාවේ සංචාරයක නිරත වන බව කී එජාප නායකයා අඟහරුවාදා වන විට යළි හමුවීමට සූදානම් වන ලෙස කීවේය.
‘‘“ගාල්ලෙ සමහර කොට්ඨාස ඡන්ද පහෙන් හයෙන් තමයි එජාපයට නැති වුණේ... එහෙම ෆයිට් එකක් සමහර ගම්වල තිබුණා.’’ වජිර අබේවර්ධන සඳහන් කළේය.
‘‘“මේ ජයග්‍රහණය ගත්තෙ මිනිස්සුන්ගෙම මහන්සියෙන්. සමහර අපේ සංවිධායකවරුන් ගම්වලට ගිහිල්ලවත් නෑ. පක්ෂයෙන් ලීෆ්ලට් එකක්වත් ගහල දුන්නෙ නෑනෙ. අපි ඉදිරි පියවර ගැන වැඩ පිළිවෙළක් හදන්න ඕනෑ...’’ රාජිත කියද්දී සාගල රත්නායක කීවේ පක්ෂයට අරමුදල් එකතු කරන්න සූදානම් වෙන්න කියාය.
කොළඹ නගර සභාව ඇතුළු ආයතනවල බලය පිහිටුවීම සඳහා පොදු විපක්ෂය සමග එකතු වීමේ දී වැඩිම ඡන්ද ඇති පක්ෂයට නගරාධිපතිධුරයත් දෙවැනි වැඩිම ඡන්ද ගත් පක්ෂයට නියෝජ්‍ය නගරාධිපති තනතුර හෝ සභාපති තනතුර ලැබිය යුතු බවටත් එජාප දේශපාලන මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට බඳුන් විය.
කොළඹ මහ නගර සභාවේ සජබ නගරාධිපතිවරයෙක් හා එජාප උප නගරාධිපතිවරයෙක් යටතේ පාලනය ගෙන යාමට සහාය වන්නැයි එජාපයේ ප්‍රධානීන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කළ ඉල්ලීමට ද යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි දැන ගන්නට ඇත.
කොළඹ බලය ගන්න ආණ්ඩුවත් වෑයමක
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා විපක්ෂය සාකච්ඡා පවත්වමින් සිටිය දී ආණ්ඩුවද තම උත්සාහය අතහැර නැත. තේරී පත්වී සිටින ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් වෙත ආණ්ඩුවට සම්බන්ධ බලවතුන් කිහිප දෙකුගෙන් පෞද්ගලිකව ඇමතුම් ලැබී ඇත්තේ බලය පිහිටුවීම සඳහා සහාය ඉල්ලමිනි. ඇතැම් මන්ත්‍රීවරුන්ට විවිධ යෝජනා කර ඇති බවත් ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර කතා බහට ලක්විය. එහෙත් ස්වාධීන අපේක්ෂකයන් සිටින්නේ නව දෙනකු පමණක් නිසා එම පිරිස පමණක් එකතු කර ගැනීම ප්‍රමාණවත් නොවේ.
සජබ ලැයිස්තු මන්ත්‍රීන් පත් කරන හැටි
පළාත් පාලන මැතිවරණ ක්‍රමය අනුව මන්ත්‍රීවරුන් පත් කිරීම ක්‍රම දෙකකට සිදුවෙයි. එනම් ඡන්ද පොළ මට්ටමේ දී කොට්ඨාස ක්‍රමය සහ පක්ෂයට ලැබෙන ඡන්ද ප්‍රමාණය අනුව සමානුපාතික ලැයිස්තුවෙනි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙනවාත් සමගම පක්ෂ නායකයන්ට ඊළඟට මතුවන අභියෝගය මැතිවරණයෙන් පරාජය වූ අපේක්ෂකයන් තමා සමානුපාතික ලැයිස්තුවෙන් පත් කරන ලෙස කරන ඉල්ලීමය. මේ නිසා පක්ෂයට වඩාත් ප්‍රතිඵලදායක පුද්ගලයන් සමානුපාතික ලැයිස්තුවෙන් පත්කිරීම සඳහා විධිමත් ක්‍රමයක් සකස් කරන ලෙස සජබ නායක සජිත් ප්‍රේමදාස ඉකුත් සතියේ සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායකට භාර දුන්නේය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දීම සජබ නායකයා තිස්සට කතා කර කීවේ කිසිවකුටවත් අසාධාරණයක් නොවී පක්ෂයට අවශ්‍යම පුද්ගලයන් පත් කිරීම පිණිස කමිටුවකට බලය දීම සිදුසු බවය. ඒ අනුව පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ තවත් දෙදෙනකුගෙන් යුතු කමිටුවක් පත්කර එම කමිටුව මගින් සමානුපාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මේ සතිය තුළම පත්කළ යුතු බව සජිත් ප්‍රේමදාස කියා සිටියේය.
පක්ෂයේ නාම යෝජනා සකස් කළ කාල සීමාවේ තිබූ දැඩි ඉල්ලීමට සමාන ඉල්ලීමක් බ්‍රහස්පතින්දා දිනය වන විටත් සජබ නායකයන්ට එල්ල වී තිබුණේ සමානුපාතික ලැයිස්තු වෙන් මන්ත්‍රීධුර ලබා ගැනීම සඳහා ය.
මනෝගේ අපේක්ෂකයන් පැරදුණේ ඇයි?
මනෝ ගනේෂන් හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් කොළඹ මහනගර සභාවට තරග වැදුණු අපේක්ෂකයන් හය දෙනාම පරාජයට පත්වීම විපක්ෂයේ දේශපාලකයන් අතර කතා බහට ලක්ව තිබේ. ඉකුත් මහා මැතිවරණයේ දී සමගි ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ මනෝ ගනේෂන් ද පරාජයට පත්විය.
සජබ මැයි රැලිය අතරමග නැවතුණා ද?
තලවාකැලේ දී පැවැත්වුණු සමගි ජනබලවේග මැයි රැලියේ දී පක්ෂ නායකයා කතා කර අවසන් වූ සැනින්ම පැමිණ සිටි පාක්ෂිකයන් ද පිටව යාම මැතිවරණ දින කිහිපය පුරාම දැඩි කතාබහට ලක්වූ සිදුවීමක් විය. සාමාන්‍යයෙන් දේශපාලන රැලියක දී පක්ෂ නායකයා කතා කරන්නේ අවසානයට වුවත් එදින සජබ නායකයාව වේලාසන කතා කිරීමට සිදුව තිබුණේ විශේෂ හේතුවක් නිසාය.
කොළඹ පැවැති රණසිංහ ප්‍රේමදාස ගුණසමරු උත්සවය අවසන් වීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තලවාකැලේ මැයි දින රැලිය සඳහා පිටත්ව ගියේ ගුවන් හමුදා හෙළිකොප්ටර් යානයකිනි. රැලිය පැවැත්වීමට නියමිත වේලාව වූයේ සවස දෙකයි තිහට වුවත් රැලිය ආරම්භ වෙද්දී තුන පසු වී තිබිණි. කඳුකරයේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා යානයට ඉක්මනින් පිටත්වීමට සිදුවී ඇති බව නියමුවන් දැනුම් දුන් අතර විපක්ෂ නායකවරයා යොදා ගත් තවත් කටයුත්තක් ද තිබූ හෙයින් රැලිය අතරමග දී තම කතාව පවත්වා තම අසුන වෙත ආ විපක්ෂනායකවරයා එහි මඳ වේලාවක් වාඩි වී සිට වේදිකාවෙන් බැස ගියේය. තම පක්ෂයේ නායකයා වේදිකාවෙන් බසින ආකාරය දුටු පාක්ෂිකයෝ ද රැලිය අවසන් බව සිතා රැස්වීම් භූමියෙන් පිටව ගියහ. ඉන් අනතුරුව රැස්වීම ඇමතීමට නියමිතව සිටි තිස්ස අත්තනායක, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා ආචාර්ය හර්ෂ ද සිල්වා යන කිසිවකුටත් රැස්වීම ඇමතීමට නොහැකි විය. වෘත්තීය සමිති නායක තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා පමණක් අසීරුවෙන් කතා කළේ පාක්ෂිකයන් රැස්වීම භූමියෙන් පිටව යද්දීය.
මැතිවරණ ප්‍රතිඵලය ගැන මහින්ද සමග සාකච්ඡාවක්
මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ඒ මහතාගේ නිවසට ගියහ. පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම්, ජයන්ත කැටහොඩ ඩී.වී. චානක ඇතුළු පිරිසක් එම ගමනට එක්වූහ. දණහියේ සැත්කමක් සිදුකර ඇති නිසා හිටපු ජනාධිපතිවරයා මේ දිනවල නිවසේ විවේක සුවයෙන් පසුවෙයි. මැතිවරණ ප්‍රතිඵලය ගැන හිටපු ජනාධිපතිවරයා ද සිටියේ සතුටිනි.
‘‘“තාත්ති දැන් නිදොස් කොට නිදහස්...’’ නාමල් රාජපක්ෂ මහතා එහිදී පැවසුවේය.
‘‘“ඇයි? ඒ මොකද?’’ එහි සිටි සෙසු පිරිස විමසූහ.
‘‘නෑ ඉතින් අපේ තාත්තට තිබුණේ චෝදනා කීපයයි. එකින් හයිවේවලින් වරායෙන් ගුවන්තොටුපොළ හදද්දි මුදල් ගත්ත කියන චෝදනාව... ඔන්න දැන් වෝහාරික විගණන කරල ඔප්පු වෙලා තියෙනව සත පහක්වත් ඒවගෙන් අරගෙන නෑ කියන එක. ඊට පස්සෙ කරපු අනික් චෝදනාව තමයි එල්ටීටීඊ එකේ රත්තරන් ටික හොරකම් කළා කියන එක. ඔන්න ඒ රත්තරනුත් ආමි එකේ තිබිල පොලිසියට භාර දීල තියෙනවා. ඒ චෝදනාවලින් තාත්ත නිදොස් කර නිදහස්... ඒ කියන්නෙ සියලු රාජපක්ෂලා නිදොස් කොට නිදහස් වෙලා තියෙන්නෙ’’ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේය.
“‘‘අපි මේ පාර මැතිවරණයේ දී සියයට තුනේ ඉඳල සියයට නවයයි දශම එකයි හතට ගියා. මිලියනයකට කිට්ටු ඡන්ද ප්‍රමාණයකුත් ගත්තා. මේකේ සම්පූර්ණ ගෞරවය නාමල්ට යන්න ඕනෑ’’ එහි සිටි පිරිස කියා සිටියහ.
5නෑ... නෑ... ඒ ක්‍රෙඩිට් එක මට නෙවෙයි. ඒක යන්න ඕනැ අපි සියයට තුනට වැටිල ඉන්න වෙලාවෙ බය නැතිව අපෙන් ඡන්දෙ ඉල්ලන්න ඉදිරිපත් වෙලා ගමේ ගෙයක් ගෙයක් ගානෙ ගිහිල්ලා අපේ පක්ෂය වෙනුවෙන් බය නැතිව ඉදිරිපත් වූ අපේක්ෂක අපේක්ෂිකාවන්ටයි. සංවිධායකවරුන්ටයි. මොකද අපි වෙනද වගේ පෝස්ටර් ගහල දුන්නෙ නෑ. පෝලිම් බූත්වලට අවශ්‍ය කලමනා අපේක්ෂකයන්ට දුන්නෙ නෑ. ඡන්ද හිමිනාම ලේඛන පවා පොටෝ කොපි ගහගෙන අතින්ම වියදම් කරගෙනයි මේ පාර අපේෂකයොයි සංවිධායකවරුයි වැඩ කෙරුවේ. මේ ගෞරවය ඒ අයටයි යන්න ඕනෑ.’’ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
ලබාගත් මැතිවරණ ප්‍රතිඵලය ගැන හිටපු ජනාධිපතිවරයා නාමල් ඇතුළු පක්ෂයේ කණ්ඩායමටම ප්‍රසංසා කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු පළාත් පාලන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හත්සිය හතළිස් දෙකකි.
මෙම පිරිස පත්කරන ක්‍රමවේදය පිළිබඳව සහ සභාවේ පාලනය ලබා ගැනීම සඳහා වෙනත් පක්ෂ සහයෝගය ඉල්ලා සිටින අවස්ථාවේ සහයෝගය ලබාදෙනු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ රැස්වීමක් වහාම කැඳවීමට ද හිටපු ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී තීරණය විය.
ලෝක බැංකු තෑග්ග
පළාත් පාලන මැතිවරණය අවසන් වනවාත් සමගම දිවයිනට පැමිණි ජාත්‍යන්තර අමුත්තෙක් වූයේය. ඒ ලෝක බැංකු සමූහයේ සභාපති අපේ වංගා මහතාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ගිවිසුමකින් බැඳී මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීමට සඳහා සටනක යෙදී සිටින ශ්‍රී ලංකා රජය මූල්‍ය අරමුදල පනවන යම් යම් යෝජනා ඉටුකිරීම කල් දමමින් සිටින මොහොතක පැමිණි ලෝක බැංකු සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡා පැවැත්වීය.
මෙම සාකච්ඡාවට ඇතුළත් වූයේ ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජයගැනීම සඳහා ලෝක බැංකුවට සහාය විය හැකි ආකාරය පිළිබඳවය. නව ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට සඳහා රජය මේ වන වන විට ගෙන ඇති පියවර ගැන ජනාධිපතිවරයා විස්තර කළේය. මුදල් නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු රජයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති විදුලි බල මණ්ඩලයේ වියදම් පිරිමසා ගැනීම සඳහා විදුලිබිල වැඩිකරන ලෙස වූ යෝජනාවට ජනාධිපතිවරයා ඇතුළු රජයේ පාර්ශ්වය ඉකුත් කාලයේ කල් ඉල්ලා සිටි අතර ඒ හේතුවෙන් මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා වැඩ සටහන අඩාළ විය හැකියැයි මතයක්ද දේශපාලකයන් තුළ ඇතිව තිබේ. කෙසේ වෙනත් ඉදිරි වසර තුන තුළ මෙරට සිදු කෙරෙන ආර්ථික වර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් මෙරටට ලබාදීම ද ලෝක බැංකු සභාපතිවරයා ජනාධිපතිවරයාට පොරොන්දු විය.
එහෙම නොකියා බෑ ලාල් කාන්ත
අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන්ට ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක් මගින් ලබාදුන් ගෞරව ආචාර්ය උපාධිය පිළිබඳ සන්නස් පත්‍රය ලබාදීමේ උළෙල ඉකුත් සතියේ පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය.
මෙම උත්සවය සඳහා පූජ්‍ය පක්ෂයේ විශාල පිරිසක් ද දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන කිහිප දෙනෙක් ද ආරාධනා ලැබ සිටියහ. හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුද මීට එක්වූහ.
රනිල්ගේ අනාවැකිය
පළාත් පාලන ඡන්දයට මූද හත් ගව්වක්වක් තබාගෙන රනිල් කීවේ ඡන්දය දිනන්නට නම් විපක්ෂයේ පක්ෂ එකතු විය යුතු බවයි. මැයි හයවෙනිදා තිබුණු ඡන්දයේ ප්‍රතිඵලය රනිල් එදා කී කතාවේ සත්‍යතාවය සියලුම දෙනාට පෙන්වා දෙමිනි.
“මේ මනුස්සයා කියපු දේම වෙච්ච හැටි. ටක්කෙටම කිව්වනේ.” බොහෝ දෙනාගේ අදහස එය විය.
මැතිවරණයෙන් පසුවදා ප්‍රතිඵල විශ්ලේෂණයට මුලින්ම රනිල් හමුවට ගියේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක, ජනාධිපති හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න, සහ ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ දිනුම් කොළඹගේ ය.
රනිල් හිටියේ සිනා සිනාමුසුවය.
“සර් කියපු දේ එහෙමම වෙලා නේද?” මාධ්‍ය සගයන් කී කතාවට රනිල් සැහැල්ලුවෙන් සිනාසුනේය.
“උපදෙස් දුන්න විදියට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වෙලා පළාත් පාලන ආයතන පනහකට සීයකට තරඟ කළා නම් ඒ සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගානක් ගන්නට ඉඩ තිබුණා. කොළඹට විතරක් වත් එවැනි දෙයක් කරන්නට තිබුණා. මම කිව්ව විදියට විපක්ෂය එකතු නොවූ නිසා ජනතාව දෙපැත්තකට ටොකු ඇන්නා” රනිල් කීවේ එසේය.
රනිල් ඒ ගැන තවත් විවරණයක් කළේය.
“අවුරුදු පහකට පසුව අප අලියා ලකුණ යටතේ තරඟ කළා.මෙය යම් ඇරැඹුමක් ලෙස සැලකිය හැකියි. සමහර ප්‍රදේශ වල අපේ ප්‍රතිඵල හොඳයි. සෑහීමකට පත්විය හැකියි. දැන් අලුතින් එක්සත් ජාතික පක්ෂය වැඩ කළ යුතුව තිබෙනවා. දැන් විපක්ෂය එකතු වී ජනතාවට යම් වැඩපිළිවෙළක් හඳුන්වා දිය යුතුයි.
මා මැතිවරණ ප්‍රචාරක වැඩවලට සහභාගී වූයේත් නැහැ. තරුණ නායකයන්ට මෙය කරගෙන යන්න බාර දුන්නා. මෙය යම් පරීක්ෂණයක්.හොඳ තැන් මෙන්ම අසාර්ථක තැන්ද තිබෙනවා.අප දැනට තිබෙන ශක්තියෙන් ඉදිරියට යන්නේ කෙසේදැයි සිතිය යුතුයි.
අලියා ලකුණින් ඉදිරිපත් වූ විට ජනතාව ඡන්දය දෙන්නට එන බව සමහරුන් කිව්වා. අලියාගෙන් ඉදිරිපත් වූවා කියා පමණක් ඡන්දය දාන්නට එන්නේ නැති බව දැන් පෙනෙන්නට තිබෙනවා. දැන් පක්ෂයේ අලුත් අය හඳුන්වා දිය යුතුයි.
මේ පක්ෂය ගොඩනැගිය යුත්තේ අවුරුදු පනහේ- හතළිහේ අයයි. මෙතනින් පසු තරුණ පරපුර වගකීම් බාරගෙන ඉදිරියට යා යුතුයි” රනිල් කීවේ එසේය.
රාජ දූත