කාලය 2002 - 2003 අතර කාලයදී ය. රත්නපුර පොලීසියේ කරුණාරත්න රාලහාමි ඝාතනය වන්නේ - පිරිසක් එකට කා බී, පරණ කෝන්තරයක් මුල් කරගෙන ඇතිවුණ අඬදබරයක් දුරදිග යාම නිසාය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවරෙන්නේ එවක රත්නපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ තරුණ ස්‍ථානාධිපතිවරයාටය. ඔහු මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා සාදයේ සිටි පුද්ගලයින් පස් දෙනකු සැකපිට අත් අඩංගුවට ගත්ත ද, හෙතෙම ඉන් සෑහීමට පත් වූයේ නැත. ඒ සැකකරුවන් ගේ ප්‍රකාශ සහ එම ඝාතනය සිදුවී තිබූ ආකාරය අතර පැහැදිලි අන්තර් සම්බන්ධයක් ගොඩනඟා ගත නොහැකි වූ නිසාය. කාලය ගෙවී ගියේය.
මේ තරුණ නිලධාරියාට ඔත්තුවක් ලැබුණේ - එම ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු සන්තකයේ ඇත්දළ යුගලක් පවතින බවත්, ඔහු එය එම ප්‍රදේශයේ පන්සලක විවෘත කිරීමක් සඳහා පැමිණීමට නියමිත ප්‍රභූවරයකුගේ පරිවාර ආරක්ෂක වළල්ලට ආවරණය වී කොළඹට රැගෙන යාමට සැලසුම් කර ඇති බවත්, ය.
වහාම ක්‍රියාත්මක වුණු එම තරුණ පොලිස් නිලධාරියා - නියමිත දිනයේ ප්‍රභුවරයාගේ ආරක්ෂක වළල්ල ද, අතරමග දී වෙනත් ආරක්ෂක කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමට සැලසුම් කර ඇතැයි, උපක්‍රමශීලීව එකී දේශපාලනඥයාට සන්නිවේදනයවන ආකාරයට ක්‍රියා කළේය. එම තොරතුර සවන් වැකුණු සැණින් ඇත්දළ කොළඹට රැගෙන යාමේ අදහස අදාල තැනැත්තා විසින් අත්හළේය. ඒ ඇසිල්ලෙන් වහා ක්‍රියාත්මක වුණු අප තරුණ පොලිස් නිලධාරියා අදාල නිවස වටලා ඇත්දළ දෙක සමග සැකකරු අත් අඩංගුවට ගත්තේය.
සැකකරු ගෙන් සිදුකෙරුණු වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඇඟ ලොමු ඩැහැගන්වන කතාවක් එහී දී හෙළිවිය. එනම් මීට පෙර මියගිය කරුණාරත්න රාලහාමි සහ ඔහුගේ ඝාතනයට අත් අඩංගුවට ගත් පස්දෙනා එක්ව ඇතෙකු ඝාතනය කර ඇති බවයි. එම ඇතා ඝාතනය කර දළ යුගල කපාගෙන එය විකිණීමට උත්සාහ කර ඇති බවත්, ඒ ගැටුම නිසා රාලහාමි ඝාතනය කර ඇති බවත්, එම සිදුවීමෙන් පසුව දළ යුගල මන්ත්‍රීවරයාට විකිණීමට ලබාදුන් බවත්, පුවත විය.
එසමයේ මහත් ආන්දෝලනයට ලක්වූ මෙම සිදුවීම මාධ්‍ය මගින් ප්‍රචාරය විය. ඊට හේතුව වූයේ මේ ඇතා සමනොළ කන්දේ සිටි එකම සහ අන්තිම ඇතා වූ කුරු ඇතා නොහොත් සුදු ඇතා වීම නිසාය. මේ පුවතින් රත්නපුරයම කම්පාවට පත්විය. එසේම මෙම අත් අඩංගුවට ගැනීමට ද පුළුල් ප්‍රචාරයක් ලැබුණේය. ඒ මේ තරුණ නිලධාරියා නිසාය.
එදා මාධ්‍යයෙන් ඔහුගේ නාමය රාව ප්‍රතිරාව දුන්නේ යම් සේ ද, මෙදා ඊටත් වැඩියෙන් දනන් මුවග රැව් පිළිරැව් දෙනු දක්නට ඇත. ඒ නාමය “ඕලුගල”ය.
රොහාන් ප්‍රදීප් ඕලුගල නොහොත් වත්මනෙහි සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලය.
මේ රොහාන් ඕලුගල පොලිසියට බැඳුණේ අහම්බෙන් නොවේ. ඒ ඔහුගේ පියා ගේ අඩි පාරේ යමින්ය. ඔහුගේ පියා 70 දශකයේ ජනප්‍රිය පොලිස් නිලධාරියෙක් විය. ඒ වෙන කිසිවක් නිසා නොව ප්‍රබල අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම නිසාය. පුත්‍රයාට ඒ ආභාෂය පිහිටන්නට ඇත්තේ ඒ නිසාය. ලෝකයා, වෙස්සන්තර කරුණේ වැනි එවක සිටි අපරාධකරුවන් අත්අඩංගුවට ගත්තේ ඔහුය. ඔහු පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් වුණේ - එවක මුළු දිවයිනේම නමගිය අයි.ආර්. සී. අපරාධකාරයකු වූ අග්ගොන චන්දරේ අත්අඩංගුවට ගැනීම නිසාය. ඔහු සුගතපාල ඕලුගල ය. සුගතපාල ඕලුගල යුවතිපතීන්ගේ එකම දරුවා රොහාන් ඕලුගල ය.
උපන්දා සිට කොළඹ හැදී වැඩුණු ඕලුගල මුලික අධ්‍යාපනය ලැබුවේ දෙමටගොඩ වේළුවන විද්‍යාලයෙනි. පසුව ද්වීතීයික අධ්‍යාපනය සඳහා කොළඹ තර්ස්ටන් විද්‍යාලයට හා ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වන ඔහු, තරමක ක්‍රියාකාරී සහ හිතුවක්කාරී චරිතයක් විය. කෙසේ වෙතත් 1988 - 89 වකවානුවේ මහා තරුණ සංහාරයක් හා ආරක්ෂක අංශ රැකියා ද අනතුරුදායක යැයි හඟවන සන්දර්භයක දෙවරක් නොසිතා ඕලුගල තෝරා ගත්තේ සිය පියාගේ අඩිපාරය. ඒ අනුව ඔහුව 1988 වසරේ දී විශේෂ කාර්ය බළකායට බැඳුණේ ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසිනි. එසේ රැකියාව කරන අතරතුර 1990 වසරේ දී ඕලුගල විශේෂ බළකා පුහුණුවට එක්විය. ඉන්පසුව ඔහු අසීරුම මෙහෙයුම් සඳහා යොදවනු ලැබුවේය.
ඔහු විශේෂ කාර්ය බළකායේ අම්පාර නුවරගලතැන්න ප්‍රදේශයට යෙදවීය. ආරක්ෂක රාජකාරිවල වුණත් ඔහු හැම අවස්ථාවේම ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න උත්සාහ ගත් අයකු විය. මේ නිසාම එවකට නැගීගෙන එන ගායිකාවක වූ නිරෝෂා විරාජනී ගෙනවිත් විවිධ සංගීත වැඩසටහන් කළේය. දක්ෂ දරුවන් සඳහා ඔහු කොළඹ මාධ්‍ය ආයතනවල අවස්ථාව උදා කරන්නට උත්සාහ ගත්තේය.වැලිඔය වැනි ප්‍රදේශ පමණක් නොව ඔහු අරන්තලාව විශේෂ බළකා කඳවුරේ අණ දෙන නිලධාරියා විය.
කෙසේ වෙතත් මේ අතර කාලයේ ප්‍රභූ ආරක්ෂක කටයුතු වල පවා නිරත වු ඕලුගල 2002 වසරේ දී සාමාන්‍ය පොලිස් සේවය සඳහා එකතු විය. ඒ රත්නපුර දිස්ත්‍රික්කය වෙතය. රත්නපුර ප්‍රදේශයේ රාජකාරි කරන විට ඉහත කී සමන් දෙවි අඩවියේ ඇතා ගේ සිදුවීම මෙන්ම අපරාධ රැසක් අනාවරණය කරගත්තේය. ඉන් පසුව රටම දැනගත් ඕලුගල නැවත ඉස්මතු වන්නේ 2013-2014 වසරේදී ය. ඒ වනවිට ඔහු සිටියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකකයක ස්ථානාධිපති ලෙසය. එවකට කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්වර්ණමය යුගය විය. බොහෝ අපරාධ සහ පාතාල මර්දනය කළේ එම ඒකකය හරහාය.එවකට කොළඹ කෞතුකාගාරය කඩා දමා කඩු කස්ථාන මැණික් රැගෙන ගිය පරීක්ෂණය කළේ මෙකී කණ්ඩායම විසින් ය. කන්ගැට්ටා ඇල්ලුවේ ද එකී කණ්ඩායම විසින්ය. කිසිම තරඟයක් නොමැතිව එකමුතුව ඔවුහු වැඩ කළහ.
ඕලුගල (දකුණේ) ක්‍රියාන්විතයේදී
මේ අතර 2013 වසරේ දී කහවත්ත ඝාතන රැල්ලේ දෙවන ද්විත්ව ඝාතනය සිදුවුයේය. ඒ ප්‍රේමවතී සහ දයාවතීය. ඒ සඳහා පරීක්ෂණ කණ්ඩායම් කොළඹින් පවා යැවීය. කහවත්ත රත්නපුර ගැන හොඳ අවබෝධයක් තිබු ඕලුගල ද ඒ සඳහා යවනු ලැබීය.
පරීක්ෂණ අතරතුර (සතියක පමණ ඇවෑමෙන්) ලියුම්කරු ඕලුගල ව ඇමතුවේය. ඒ කාලයක පටන් මිත්‍රයකු වීම නිසාය. “මචං මම කොළඹට ඉමීඩියේට්ලි ට්‍රාන්සර් කරලා” ඕලුගල ලියුම්කරුට කීවේය. කෙසේ වෙතත් මෙම මාරු කිරීම සම්බන්ධයෙන් ලියුම්කරු මාධ්‍යවේදියකු ලෙස සොයා බැලුවේය.එහිදී අනාවරණය වූණේ එවකට ආණ්ඩුවේ රත්නපුර ප්‍රදේශයේ ප්‍රබල ඇමතිවරයකුගේ බලපෑම මත එම හදිසි මාරුව සිදුවු බවය. ඔහු විසින් එවකට බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලවා මේ හදිසි කැඳවීම කර තිබුණි. පුදුමය නම් ඒ කැඳවීම නැවතුණේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නොව කොළඹ කෙළවරක වූ මෝදර පොලීසියනි.
එසේ මාරුවීම් ලද පසුව දිනක් ලියුම්කරු ඕලුගල සොයා ගියේය. ඒ මෝදර පොලීසිය වෙතය. යනවිට ඕලුගල සිටියේ නැත. මම ඇමතුමක් දුන් පසුව කීවේ පහල දකුණු පැත්තේ ඇති ප්‍රජා පොලිස් ඒකකය වෙත යන ලෙසය. ඕලුගල එහි ස්ථානාධිපති විය. මා එම කාමරයට යන විට සම්පූර්ණයෙන් කුණුදුවිලි වලින් පිරි ස්ථානයක් විය. දරා ගන්න බැරි තරම් රස්නයකි.විදුලි පංකාවක් හෝ නැත. ලී මේසයක් සහ ලී පුටුවක් පමණක් ඇත. කොහේදෝ සිට ඕලුගල එතනට ආවේය. මම ආපු සැණින් මිත්‍රකමට ප්‍රශ්නයක් ඇසුවෙමි.
“මෙහෙම ඉන්න පුළුවන්ද අප්පා. එපා වෙන්නේ නැද්ද?” (භාෂාව තරමක් වෙනස් විය)
ඕලුගල සිනාසුණේය...ගොරහැඬි හඬින්..
“අපි පොලිස් කාරයොනේ බං” ඔහු කීවේය.
ඔහු වැනි අයකුට මේ සිදුවු පළිගැනීම දරාගත නොහැකි නිසාම ලියුම්කරු මේ ගැන මාධ්‍යයට ලීවේය. පුදුමය නම් එසේ සිටිය දී පවා මෝදර පාතාල මිනීමැරුමක් ඕලුගල එසමයේ ඇල්ලීමයි.
ඕලුගල වැඩිකලක් මෝදර සිටියේ නැත. වහාම ඔහුව වැලිගම මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස මාරු කෙරිණි. ඔහු එහිදී සේවය කරන විට කහවත්ත කොටකෙතන ඝාතන එන්න එන්න වැඩි වෙමින් තිබුණේය. කහවත්ත ගැන දන්න හොඳම එකම පුද්ගලයා නිසා වහාම ඕලුගලව කහවත්ත පොලිසියේ ස්ථානාධිපති කරනු ලැබීය. ඒ වනවිට කහවත්තේ ඝාතන 19ක් සිදුවී තිබුණේය.
ඕලුගල පැමිණ පරීක්ෂණ ආරම්භ කළේ ප්‍රදේශයේ ජනතාවට බලාපොරොත්තු ගොන්නක් සමගය. ලියුම්කරු එවකට කහවත්තේ නැවතී මේ සම්බන්ධයෙන් වාර්තා කරන සමයකි. ඕලුගල සමග ලියුම්කරු ද දින කිහිපයක් ගත කළේය. දිනක් රාත්‍රී වැඩ නිමවී පැමිණ මමත් ඔහුත් රාත්‍රී 11ට පමණ මේ ගැන සාකච්ඡා කරමින් සිටියෙමු. ඒ ක්ෂණයකින් පොලිස් තොරතුරක් ආවේ නිවසකට අයෙක් ඇතුළු වන්නට උත්සාහ කළ බව කියාය. ඒ අනුව අපි මහ රාත්‍රියේ කොටකෙතන ගමට ගියෙමු. රාත්‍රි එළිවෙනතෙක් ඔහු එම නිවසේ ආරක්ෂාව සඳහා ඒ අසල සිටියේය. ලියුම්කරු වන මාද එහි විය. අවසානයේ කහවත්තේ දාම ඝාතකයා හමුවිය. පරීක්ෂණ කණ්ඩායම් සියල්ල අවසන් කොට ලියුම්කරු කොළඹ ගියේය.ඕලුගල කහවත්තේ සිටියේය.
දිනක් ඇමතුමක් ගත් රොහාන් ඕලුගල - “අපි වැඩක් කරනවා. දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදලා දෙනවා. පුළුවන් උදව්වක් කරපන් මචං” ඔහු කීවේය. පසුව ලියුම්කරු මේ සම්බන්ධයෙන් වාර්තාවක් පුවත්පතේ පලකළේය. ඒ අනුව ඕලුගල නිවාස සීයකට ආසන්න ප්‍රමාණයක් කහවත්තේ ගොඩ නැඟුවේය.
ඕලුගල ගැන ලියුම්කරු දන්නා තවත් කතා ගොන්නක් ඇත. කිසි දිනෙක ඔහු සැකකරුවන්ට පහර දෙන්නේ නැත. හැමවිටම සැකකරුවන්ට මනුස්සයන් සේ සැලකුවේය. දිනක් ඔහු කියු කතාවක් මේ මොහොතේ මතක් කල යුතුය.අධික රස්නය ඇති සමයක ඔහු පොලීසියට එන විට සැකකරුවෝ දාඩිය දමමින් කූඩුවේ සිටියහ.
“උඹලට දාඩිය ද.? ඉන්න අමාරුයි නේද?” ඔහු සැකකරුවන් ගෙන් ඇසුවේය.
සැකකරුවන් ඔව් වත් කීවේ නැත. ඒ පොලීසියෙන් කිසිදා මනුස්සකමක් ලැබෙතැයි සිතන්නේ නැති නිසාය. ඔහු සිය රාජකාරි සඳහා මඳ වේලාවකට පිටතට යන නිසා ඔහුගේ කාර්යාලයේ වූ සිටුවන විදුලිපංකාව සැකකරුවන් ගේ කූඩුවට යොමු කොට ක්‍රියාත්මක කරවා - “ආ...දැන් හරිනේ. රස්නේ නෑනේ. ආයේ මම ගිහින් එද්දි ඇත්ත කියන්න ඕන හොඳේ...” යි කියමින් නික්ම ගියේය .
අදටත් සැකකරුවන් ඕලුගලට ඇත්ත කියන්නේ - ඔහුගේ එවැනි ගුණාංග හා මුසු වූ ඔහුටම ආවේණික අපූරු උපාය උපක්‍රම නිසාය.
ඕලුගල ගේ තවත් සිරිතක් ඇත. ලියුම්කරු ඒ බව ඇස් දෙකෙන් දැක ඇති නිසා සඳහන් නොකරම බැරිය.
ඔහු පොලීසියට එන විටත් යන විටත් සැකකරුවන් ගෙන් අහන එකම ප්‍රශ්නයක් ඇත.
“ඒ...උඹලා කාල ද...” ඒ රොහාන් ඕලුගල ගේ හැටිය.
එකී රොහාන් ඕලුගල අද ලංකාවේ ජනාදරය දිනාගත් පොලිස් නිලධාරියෙකි. කහවත්තෙන් රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වූ ඕලුගල සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා උසස් වීම් ලැබීමෙන් පසුව වහාම මාරුවීම් ලැබුවේ කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසය. ඔහු එහී සිටින විට මහත් ආන්දෝලනයකට තුඩුදුන් ඝාතනයක් සිදුවිය.
ඒ 2022 වසරේ දී අටලුගම ප්‍රදේශයේ අවුරුදු 9 ක දැරියක් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීමයි. එම ඝාතනයට අදාළ සැකකරු ඇල්ලුවේ ද ඕලුගල ය. ඒ පවුලේම අයෙකි. කෙසේ වෙතත් එම සිදුවීම නිසා ඕලුගල ගේ නම නැවතත් කියවීමට පටන් ගත් නිසා ඔහුට එක්තරා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් විශාල බලපෑම් එල්ල වෙන්න විය. ඔහුට පොලිස් සේවය එපා වෙන තැනකට ගෙනාවේ පළිගැනීම් නිසාය. එහෙත් ඒ මොහොතේ ඔහුගේ ආරක්ෂාවට සහ රැකවරණයට සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුය. ඔහු කලකිරී සිටි ඕලුගල ඔහු සමීපයට ගත්තේය.
කෙසේ වෙතත් 2024 ආණ්ඩුව මාරු වූ සැණින් ඕලුගල නැවතත් සක්‍රිය සේවයට යොදා ගැනීමට එවකට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තීන්දු කළේය. ඒ අනුව අස්සක සිටි රොහාන් ඕලුගල රැගෙනවිත් කාලයක් රටම කතා කළ පොලිස් ඒකකයක් වන බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන ඒකකය හෙවත් පෑලියගොඩ අපරාධ ඒකකකයේ අධ්‍යක්ෂ ලෙස ගෙනත් වාඩි කළේය. ඒ පාතාලය මර්දනය සඳහාය.
එතැන් සිට කෙහෙල්බද්දර පද්මේ ගේ ජාලය අවසන් කළේ පද්මේව ද ලංකාවට රැගෙන එමිනි. ඉන් අනතුරුව සෙව්වන්දිව ද රැගෙන ආවේ එකී මෙහෙයුමේ දිගුවක් ලෙසිනි. ඒ සියල්ල සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මැදිහත් විය. එහි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට, අධ්‍යක්ෂ ශානි අබේසේකර වැන්නවුන් රොහාන් යොදා ගත්තේ ඔහු ගැන තිබූ විශ්වාසය නිසාය. ඒ නිසා අද රටම කතා වෙන්නේ ඔහු ගැනය. ඒ නිසාම ඔහු ගැන මෙලෙස සටහන් කළේ ඔහුට කරන ගෞරවයක් ලෙසිනි. ඒ ඇගයීම සිදුකළ යුතු හොඳම මොහොත වන නිසාය. ඒ වෙන කිසිවක් නිසා නොව ඔහුට සේවයට සමුදෙන්නට ඇත්තේ, තව අවුරුදු තුනකටත් වඩා අඩු කාලයක් බැවිනි.
ගයාන් ගාල්ලගේ