ක්‍රිකට් හදන වැඩේ කරන්න පුළුවන්


ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ වෙනසක් සිදුවෙතැයි කියැවෙන කතාබහක් අධි වේගයෙන් පැතිර යයි. එහිදී ක්‍රිකට් පරිපාලනය ඉරාන් වික්‍රමරත්න වෙත පැවරීමට සූදානම් බවට වෙන කතාබහක් පැතිර ගියේය. ඒ හා සමගම ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ කෙසේ කොහොම දැයි බොහෝ දෙනා කල්පනා කළහ. එහෙයින් ඉරාන් සහ ක්‍රිකට් අතර සම්බන්ධය කුමක් දැයි අපි ඔහු ගෙන්ම විමසා සිටියෙමු. 

Q ඔබ සහ ක්‍රිකට් අතර සම්බන්ධය ගොඩනැගෙන්නේ කොහොම ද ? 

“ඒක මම මෙහෙම කියන්නම්. මගේ පියා ගිහින් තිබුණේ ගමේ ඉස්කෝලෙට. අම්මලා තාත්තලා ජීවත් වුණේ කුලී ගේක. පාසල් යන වයස ආවම අම්මා මාව අපේ ගමේ පන්සලේ, ඒ කියන්නේ කොල්ලුපිටිය වාලුකාරාමයේ පටන් අරන් තිබුණ අලුත් පාසලට අරන් ගියා. එතකොට පන්සලේ ස්වාමීන් වහන්සේ කියලා තියනවා, ’රජයේ පාසලක් මේ ළඟ තියනවා. ඒකට අරන් යන්න’ කියලා. ඉතින් මාව ඒ පාසලට එක්කන් ගියා. ඒ රජයේ පාසල තමයි රාජකීය විද්‍යාලය.” 

“ක්‍රිකට් ගැන උනන්දුව මට පොඩි කාලේ ඉඳලම තිබුණා. පාසලේ විවේක වේලාවල දී අපි ක්‍රිකට් ගැහුවා. ඒ අතරේ මුලින්ම මම පාසලේ 12න් පහළ කණ්ඩායම තෝරා ගන්නා පුහුණුවීම් වලට ගියා. එතැනදී කණ්ඩායමට  මාව තේරුණේ නැහැ. මම හිටියේ අතිරේක ක්‍රීඩකයෙක් වගේ. කොහොම හරි තරගයක් පැවැත්වෙන දවසක එක ක්‍රීඩකයෙක් ආවේ නැහැ. මට කිව්වා ගිහින් ආරම්භක පිතිකරු වෙලා ක්‍රීඩා කරන්න කියලා.එදා මම හොඳ ලකුණු ප්‍රමාණයක් ගත්තා. එදායින් පස්සේ ආපසු හැරීමක් තිබුණේ නෑ. මට විශේෂ පහසුකමක්වත්, පවුලේ ක්‍රිකට් ගහපු කෙනෙක්වත් කිසිවක් තිබුණේ නෑ. ඒත් මම ඉස්සරහටම ගියා. 14න් පහළ, 16න් පහළ ගැහුවා. 16න් පහළ උප නායකයා වුණා. පස්සේ පාසලේ දෙවන පෙළ කණ්ඩායමේ නායකයා වුණා. ඉන් පස්සේ පාසලේ පළමු පෙළ කණ්ඩායමට ක්‍රීඩා කළා.” 

“16න් පහළ පාසල් තරගාවලියේ අවසන් තරගය මට සුවිශේෂ මතකයක්. නාලන්දය සමග පැවැත්වුණ තරගයේ නාලන්දයේ හිටියා අනුර රණසිංහ කියලා කෙනෙක්. අති දක්ෂයෙක්. දැන් ජයසූරිය ගැන කතා කරනවා නේ. එදා සනත් තමයි අනුර රණසිංහ. ඒ තරගයේ ඔහු ක්‍රීඩා කරපු හැටි මට තාම මතකයි.” 

Q ඔබ පාසලේ වර්ණලාභී ක්‍රීඩකයෙක්. ඒ ගැන මතක් කළොත්. 

“ඒක වෙනම මතකයක්. දැන් වුණත් පාසල්වල තිබෙනවා මම හොඳට සෙල්ලම් කළා - ඒත් මාව තෝරා ගත්තේ නෑ, මට අසාධාරණයක් වෙනවා කියලා කතාවක් ගියා. මම මේක මතක් කළේ යම් සිදුවීමක් එක්ක. ඒ කාලේ රාජකීය විද්‍යාලය වෙනුවෙන් ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ‘බිග්මැච් එක ගහන හැම දෙනාටම වර්ණ ප්‍රදානය කෙරෙනවා. මේක වෙන්නේ මහා තරගයට දින කීපයකට පෙර පාසලේ සියලුම දරුවන් ඉදිරියේ. 1975 වර්ණ ප්‍රදානයේ දී කණ්ඩායමේ ක්‍රීඩා කරන 11 දෙනා විතරක් නොවෙයි 14 දෙනෙකුට වර්ණ ප්‍රදානය කළා. ඒකට හේතුව වුණේ පාසලේ විදුහල්පතිතුමා සහ ක්‍රිකට් කමිටුව හිතුවා කණ්ඩායමේ ස්ථානයක් ලැබිය යුතු කිහිප දෙනෙකුට විවිධ හේතු නිසා ස්ථානය ලැබුණේ නැහැ කියලා. එහෙම බිග් මැච් නොගහා වර්ණ ලැබුණ අය අතර මාත් හිටියා.” 

“මේ අවුරුද්දෙම තමයි පාසල් අතර මහා තරගයෙන් පස්සේ එක්දින තරගයක් ගහන්න පටන් ගත්තේ. මට බිග්මැච් එක නොලැබුණත් එක්දින තරගයට මාව නම් කළා. මගේ නායකයා වුණේ ප්‍රසන්න කාරියවසම්. ඔහු සමග මම පළමු රාජකීය – ශාන්ත තෝමස් එක්දින තරගයේ ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කළා. ඉන්පසුව 1976 - 77 වර්ෂවල මම පාසලේ පළමුපෙළ ක්‍රීඩා කළා. 77 බිග් මැච් එකේ මම වැඩිම ලකුණු ලැබුවා. මට මතක විදියට 68 ක් ගැහුවා. එක්දින තරගයෙත් මම වැඩිම ලකුණු ලැබුවා.” 

Q ඔබ පිතිකරුවෙක් විතරයි? 

“ඔව් මම දිගටම පිතිකරුවෙක් විතරයි. ඒත් මාව ප්‍රතිවාදීන්ගේ පිතිකරු සම්බන්ධතා කඩන්න සමහර අවස්ථාවල පාවිච්චි කළා. ඒකේ හොඳ මතකයක් තිබෙනවා අන්තර් පාසල් එක්දින තරගයක දී ආනන්ද විද්‍යාලයට එරෙහි තරගයක දී. ඔවුන්ගේ හොඳම පිතිකරුවෙක් තමයි තිලාන් විජේසිංහ. පසුකාලයක දී ක්‍රිකට් පරිපාලනයටත් ආවා. තිලාන් ගහගෙන යද්දී අපේ කැප්ටන් අශොක් ජයවික්‍රම මට බෝලෙ දුන්නා. තිලානුත් පුදුමෙන් වගේ බලා හිටියා, ඇයි මම වැඩිය බෝල් කරන්නෙ නෑනේ. හැබැයි ඒ ඕවරයේ තිලාන් මගේ පන්දුවකට අවුට් වුණා.” 
“1977 රාජකීය විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම ඒ වසරේ හොඳම ක්‍රිකට් කණ්ඩායම වුණා. අපේ නායකයා අශෝක් ජයවික්‍රම වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වුණා. අපේ කණ්ඩායමෙන් වැඩිම ලකුණු ගත්තේ රන්ජන් මඩුගල්ල. දෙවැනියා මම.”

Q ඔබ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට සම්බන්ධ වෙන්නේ කොහොම ද? 

“මම ඉස්කෝලෙ ක්‍රීඩා කරන අතරතුර 1977 ටැමිල් යුනියන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස පළමුපෙළ ක්‍රිකට්වලට ආවා. ඒ කාලේ ඒ තරගාවලිය ’‘සරා තරගාවලිය’ ලෙස නම් වුණේ. ඒ කාලේ රටේ ප්‍රධාන ක්‍රිකට්පිටිය ඕවල් එක. ඒ කියන්නේ පී. සරවනමුත්තු ක්‍රීඩාපිටිය. එහි කණ්ඩායම තමයි ටැමිල් යුනියන්. ඒ කාලේ ශූරතා තුනක් තිබුණා ක්‍රීඩා සමාජ තරගාවලියේ. පළමු පෙළ තරගාවලිය ‘’සරා කුසලානය’. දෙවැනි පෙළ තරගාවලිය ‘’ඩොනවන් ඇන්ඩ්‍රි’. තෙවැනි පෙළ ‘’ඩේලි නිවුස්’ කුසලානය. මම පාසලෙන් කෙළින්ම පළමු පෙළ ක්‍රීඩා කළා.” 

“ඒ වගේම ඉස්සර ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම කියලා එකකුත් තිබුණා. මේ කණ්ඩායම ජනසතු සේවා තරගාවලියට වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළා. මම ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමෙත් ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කළා. ඒ වගේම ඒ කාලේ පාසල් කණ්ඩායම යනවා පාකිස්ථානයේ ‘’අලි බූතෝ කුසලානය’ට ක්‍රීඩා කරන්න. මම ඒ කණ්ඩායමටත් තේරුණා. අපි යන්න හිටිය අවුරුද්දේ තමයි පාකිස්ථාන අගමැති අලි බූතෝව තනතුරෙන් පහ කරලා හමුදාව පාලන බලය ගත්තේ. එයින් පස්සේ අලි භූතෝ කුසලානයත් නැවතුණා.” 

පාසල් ක්‍රිකට් පිටියේදී...

Q ඉන් පසුව ඔබ එංගලන්තයට ගිහින් ක්‍රිකට් ගැහුවා කියලා කියැවෙනවා. 

“ඔව්. මම එංගලන්තයට ගියා 1978දී. ඒ කාලේ එහේ පළමු පෙළ සහ ලීග් ක්‍රිකට් තමයි තිබුණේ. මම ගියේ ලීග් ක්‍රිකට් ගහන්න. ලීග් ක්‍රිකට් අංශ දෙකයි. එකක් වෘත්තීය ලීගය අනෙක ආධුනික ලීගය. මම 1978 - 79කෙන්ට් ආධුනික ලීගයට ක්‍රීඩා කළා. ඒ කාලේ මගේ ලීග් එකේ හිටියා රනිල් අබේනායක. රනිල් ශාන්ත තෝමස් විද්‍යාලයේ නායකයා වෙලා හිටියා. පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමටත් ක්‍රීඩා කළා. හැබැයි ආධුනික ලීග් එක නිසා අපට ගෙවන්නේ නෑ. ජීවත් වෙන එක හරි අමාරු වුණා. ඉතිං මම හෝටල්වල පිඟන් හේදුවා, අතුගාන රස්සාවල් හොයා ගත්තා, පෙට්‍රල් ෂෙඩ්වල වැඩකළා.  ඔය වගේ ගොඩක් දේවල් කරා. මං වගේ අඩු ආදායම් පවුල් කෙනෙකුට වෙන විකල්ප නෑනේ. කොහොම වුණත් තත්ත්වය අසීරු වෙද්දී මම තීරණය කළා ලීග් ක්‍රිකට් නවත්තලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වෙන්න. ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා මම අධ්‍යාපනය පටන් ගත්තා. එහෙත් ක්‍රිකට් තිබුණා. එහෙත් ඉහළ මට්ටමක තිබුණේ නෑ. ඒ එක්ක ක්‍රීඩා කිරීම අඩුවෙලා ගියා. 

ඊට පස්සේ මම පශ්චාත් උපාධිය දක්වා ඉගෙනීම කළා. ඊට පස්සේ ලංකාවට ඇවිත් බැංකු ක්ෂේත්‍රයේ වැඩ කළා අවුරුදු 15 ක් විතර. ඉන් පස්සේ තමයි තවත් කිහිප දෙනෙකු එක්ක එකතු වෙලා එන්.ඩී.බී. බැංකුව ආරම්භ කළේ. එහිදීත් මම ක්‍රිකට් ක්‍රීඩාවට උදව් කරන්න අවස්ථාව ආවම ඒක කළා.” 

Q ඔබ ක්‍රිකට් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 2023දී කතා කළා නේද? 

“ඒකට හේතු වුණේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් විශේෂයෙන් 70 - 80 දශකයේ හිටපු පිරිසක් මගෙන් කළ ඉල්ලීමක්. ඔවුන් මා හමුවෙලා කිව්වා ක්‍රිකට් ගැන පාර්ලිමේන්තුවේදී කතා කරන්න කියලා. ඒ අනුව මම ක්‍රිකට් විවාදයේදී කතාවක් කළා. ඒක දිග එකක් නෙවෙයි. මම කිව්වේ මේකෙ හොඳ සිස්ටම් එකක් හදන හැටි. එහෙම නැති වුණොත් ක්‍රිකට් විනාශ වෙන හැටි තමයි මම ඒ කතාවෙදි කිව්වේ. මම මෙහිදී යෝජනා කළේ අලුත් ක්‍රිකට් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලයි.” 

Q වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ගැන ඔබේ අදහස ?

“අපි කුඩා රටක් වුණත් අපි ඔප්පු කරලා තියෙනවා අපට හැකියාව තිබෙනවා කියලා. ඒක අර්ජුන ඔප්පු කළා 1996 දී. පස්සේ විස්සයි20 දීත් ශූරතාවක් දිනාගෙන අපි ඒ හැකියාව ඔප්පු කරලා තියනවා. අපට ඉහළින් ඉන්න අවශ්‍ය හැකියාව තිබෙනවා. අනෙක් ක්‍රීඩා එක්ක සසඳන කොට ක්‍රිකට් කියන්නේ යම්තාක් දුරකට විද්‍යාත්මක ක්‍රීඩාවක්. ඒ නිසා ඊට  දැනුම සහ නිවැරදි මෙහෙයුම අවශ්‍යයි. ඒ වගේම ඉදිරියට යන්න අධිෂ්ඨානයක් ඕනි. දවසින් දෙකෙන් මේ තත්ත්වය ලඟා කරගන්න බෑ. සැලසුමක් හදලා ඒක වෙනස් නොකර ඉදිරියට යන්න ඕනි. එවිට අපට ඉහළ තලයට යන්න පුළුවන්.” 

Q මේක කරන්න පුළුවන් ද? 

“ඔව් ඒක කරන්න පුළුවන් අය ඉන්නවා. ඒක කරන්න මමම වෙන්න ඕනි නෑ. ඒකට සුදුසු අය ඕනෑ තරම් අපේ රටේ ඉන්නවා.ඒ අය ඉදිරිපත් වෙයිද? නැද්ද? කියන්න නම් මා දන්නේ නෑ. නමුත් පැහැදිළිවම ඉන්නවා. අපි අමතක කරන්න හොඳ නෑ, 96 ලෝක කුසලානය දිනන්න කලින් මේක ඉහළට ගෙනාව අය හිටියා. දර්ශනය, උපායශීලී වීම, සැලසුම්, කණ්ඩාම් ගොඩනැගීම, නායකත්වය සහ කළමනාකාරීත්වය සියල්ල අවශ්‍යයි. ඒ අය අපට හිටියා. දැනුත් ඉන්නවා. ඒ වගේම උපරීම කැපවීම අවශ්‍යයි. හරි තීරණ ගත යුතුයි. වැනෙන්න බෑ.”

Q හරි. ඔබට ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය ලැබුණොත් කොහොමද ක්‍රිකට් හදන්නේ?

“මම එදත් කතා කළේ ක්‍රිකට්වල අනාගතය හදන්න අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනි කියලයි. ඒක හරහා තමයි ක්‍රිකට් හදන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි විශ්වාස කරන ක්‍රමවේදය. ඒක කරන්න පුළුවන්.”

Q අවුරුදු 50 කට කලින් හොඳම පාසල් ක්‍රීඩකයෙකු වූ ඔබට වර්තමානයේ දරුවන්ට කියන්න තියෙන්නේ කුමක් ද? 

“ක්‍රීඩා පිටියේ ඉගෙන ගන්න පාඩම් පන්ති කාමරය තුළ ඉගෙන ගන්න බෑ. පන්ති කාමරය වැදගත්. ඒත් ක්‍රීඩා පිටියත් වැදගත්. කණ්ඩාමක් ලෙස දිනන්නේ කොහොම ද? කියන එක අපි ඉගෙන ගන්නේ ක්‍රීඩා පිටියෙන්. නායකත්වයට අවශ්‍ය අමුද්‍රව්‍ය වැටෙන්නේ ක්‍රීඩාවෙන්. මම ලෝකයේ ප්‍රසිද්ධම විශ්වවිද්‍යාලවල ව්‍යාපාර පීඨවලට ගිහින් තියනවා. එහෙත් මම බොහෝ දේ ඉගෙන ගත්තේ ක්‍රීඩා පිටියෙන්.” 

“දෙමාපියන්ට යමක් කියන්න ඕනෑ. අද සංස්කෘතියේ ළමයින්ව මනින්නේ විභාග ලකුණු වලින්. අම්මලා තාත්තලා වැඩිය ධෛර්යමත් කරන්නේ නෑ ක්‍රීඩා කරන්න. ඒත් ක්‍රීඩාවෙන් ඉගෙන ගන්නා හැසිරීම,ක්‍රමෝපායන්, නායකත්ව ගුණාංග, තීරණ ගැනීම, දිනුම – පැරදුම.... යනාදී වශයෙන් ඇති ඒ සියල්ල ක්‍රීඩාවෙනුයි ලැබෙන්නේ. ක්‍රිකට්ම වෙන්න ඕනි නෑ. ඕනෑම ක්‍රීඩාවක නිරත වීම වැදගත්.”

කාංචන දසනායක