
සත්‍යග්‍රහය ගැන ආණ්ඩුවේත් සාකච්ඡාවක්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවී උද්‍යානයේ ආරම්භ කළ භික්ෂු සත්‍යග්‍රහය අතරතුර, මහ සංඝරත්නය කිහිපනමක්, විපක්ෂයේ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ කාන්තාවන් ඇතුළු පිරිසක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී මුණගැසී සාකච්ඡාවක් පැවැත්වූ බව ජනමාධ්‍ය මගින් වාර්තා විය. ඒ පිළිබඳ ඡායාරූප ද නිකුත් විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනත් වුවමනාවකට මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාලට දුරකතන ඇමතුමක් ගත් අවස්ථාවේ මේ ගැන ද විමසුවේය.
“විහාරමහාදේවිය පැත්තෙ මොකද වෙන්නෙ?”
“විහාරමහාදේවී එකේ පරිපාලනය මේ ගැන නීතිමය පියවර ගන්න ලෑස්ති වෙනවා. අපි මොකුත් කරන්න ඕනෑ නෑ. ඒ ඉන්න පිරිසම එතැන ඉන්න බැරි වෙන විදිහට වැඩකටයුතු කරගෙන යන්නේ. ඒ පිරිසට අවශ්‍ය වෙලා තියෙන්නේ ආණ්ඩුවත් එක්ක ගැටුමක් හදාගන්න. අපි ඒක කල්පනාකාරීව හසුරුවනවා.” ඇමැති විජේපාල කීවේය.
“ඒක ඇත්ත. එයාලට ඕනෑ වෙන්නේ ගැටුමක්. අපි කලබල නොවී ඉන්න ඕනෑ. අවශ්‍ය උපදෙස් මහනායක හිමිවරුන්ගෙන් ලබාගෙන වැඩ කරන්න. එක එක්කෙනා විවිධ පැතිවලට මේක අරගෙන යන්න උත්සාහ කරයි.” ජනාධිපතිවරයා කීවේය.
සතියේ කැබිනට් හමුවෙන් පසු ද මේ ගැන තවදුරටත් සාකච්ඡා විය.
“මෙයාලගේ එකම වුවමනාව අතට අහුවෙන ඕනෑම දෙයකින් ආණ්ඩුවට දමලා ගහන එක...” ආනන්ද විජේපාල ඇමැතිවරයා කීවේය.
“22 වැනි සංශෝධනය වෙලාවේ කිව්වා නීතියට අත තියන්න එපා කියලා. දැන් කියනවා නීතිය නොසලකා ජනාධිපති සමාව දෙන්න කියලා.” සුනිල් වටගල නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
“එයාලට ඕනෑ හැටියට වැඩ කරන්න නෙවෙයිනේ අපිව බලයට ගෙනාවේ. කීයටවත් නීතිය අපේ අතට ගන්නේ නෑ.” ජනාධිපතිවරයා කියා සිටියේය.
“හෙට වෙනකොට මොකක් හරි හේතුවක් හදාගෙන ලජ්ජාව වහගෙන සත්යග්රහයෙන් අයින් වෙයි. දැන් හෝටලයට ගිය පින්තූර වගයකුත් එළියට ඇවිත්නේ...” ඇමැති විජේපාල කීවේය.
“ඒ වුණාට එයාලා ඔය වැඬේ නවත්වන්නේ නෑ. එයාලා පිටිපස්සෙන් ඉන්න කණ්ඩායමට දැන් යන එන මං නැතුවනේ ඉන්නේ. ජාතිවාදය තමයි එයාලගේ එකම ව්‍යාපෘතිය. ඒ නිසා ආයේ මොනවා හරි දෙයක් හොයාගෙන තැනකින් මතුවෙයි. අපි පරිස්සමින් තීන්දු ගන්න ඕනෑ.” ජනාධිපතිවරයා කීවේය.
කෝට්ටේ මහනාහිමියන් අගමැතිනියගෙන් කළ ඉල්ලීම
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගෙදර සිට ගිහි ඇඳුමින් උසාවියට ගෙන ආ පසු ඇති වූ කැලඹුණු භික්ෂු දේශපාලනය නිසා ආණ්ඩුව කෙරෙහි ද යම් භික්ෂු විරෝධී ප්‍රතිරූපයක් ගොඩනැගී ඇත. එනිසාදෝ ආණ්ඩුවේ ප්‍රධානීහු මේ දිනවල රට පුරාම ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථාන කරා යමින් සිටිති. ජනාධිපති අනුර අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන ව්‍යාපෘතියකට සහභාගී වූයේ මහා සංඝරත්නය පෙරටු කරගෙනය. ආණ්ඩුවේ දෙවැනියා ලෙස අගමැතිනිය ද ඥානසාර හිමියන් අයත් කෝට්ටේ සංඝ සභාවේ මහනායක මාහිමියන් බැහැදකින්නට ගියේ කොළඹ දිස්ත්‍රික් ජාතික ජන බලවේග මන්ත්‍රී දේවානන්ද සුරවීර ද කැටුවය.
අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය දේශපාලනයට පැමිණීමට පෙර විශ්වවිද්‍යාලයේ උගන්වන සමයේ සිටම කෝට්ටේ පාර්ශ්වයේ මහනායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් සමඟ සමීප හිතවත්කමක් තිබිණි. උන්වහන්සේගේ උපන් දිනයට සුබ පැතීමට ද අගමැතිනිය නිතර විහාරස්ථානයට ගියාය. එහෙත් මෙවර අධික රාජකාරි හේතුවෙන් නාහිමියන්ගේ උපන් දිනයට සුබ පැතීම සඳහා අවස්ථාව ලැබුණේ ඉකුත් 23 වැනිදාය. උන්වහන්සේ වැඩවසන විහාරස්ථානයෙන් 23 වැනිදා පැමිණෙන ලෙස අගමැතිනියට ද මන්ත්‍රී දේවානන්ද සුරවීරට ද ආරාධනයක් ලැබිණි.
නාහිමියන් බැහැදුටු අගමැතිනිය උන්වහන්සේගේ සුවදුක් විමසා උපන් දිනයට සුබ පැතුවාය. සුහද කතාබහ ඉන්පසු යොමු වූයේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැනය.
“දැන් යන ගමන් මග හොඳයි. ඒක තවත් ක්‍රමවත් කරගෙන ඉදිරියට යමු.” ඉත්තෑපානේ නායක හිමියෝ කියා සිටියහ. රජය ඊට එකඟ බව අගමැතිනිය කීවාය.
දැනට සිරගතව සිටින ගලගොඩත්තේ ඥානසාර හිමියන් ද කෝට්ටේ පාර්ශ්වයේ භික්ෂූන් වහන්සේ නමකි. නාහිමියෝ ඒ ගැන ද මතක් කළහ.
“පුළුවන්කමක් තියෙනවා නම් අපේ ඥානසාර උන්නාන්සේට සමාව දීලා සිරභාරයෙන් නිදහස් කරන්න.” නාහිමියන් කියද්දී අගමැතිනිය කීවේ රජය සමඟ ඒ පිළිබඳව කතා කරන බවය.
අනුරාධපුර සංවර්ධන සැලසුම ගැන පැහැදිලි කිරීමට පියවර
ආණ්ඩුව ඉන්දීය රාජ්‍ය අරමුදලක අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරන අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව ද විවිධ විවේචන එල්ල වෙයි. මේ පිළිබඳව ආණ්ඩුව තීන්දු කර ඇත්තේ මෙම සංවර්ධන සැලසුම ආරම්භ කිරීමට පෙර ඩිජිටල් රූපරාමු ද සමඟ ජනමාධ්‍ය මගින් ජනතාවට පැහැදිලි කිරීමටය. මේ සඳහා අටමස්ථානාධිපති හිමියන්ගේ සභාපතීත්වයෙන් පූජාභූමි සංවර්ධන උපදේශක කමිටුවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.
අලුත් පනත ගැන තානාපතිවරුන්ට කියයි
ඉඳුරුවේ ආචාරියාට සිදු වූයේ එක කඩතොලුවක් මකා ගන්නට ගොස් කඩතොලු දෙකක් හදාගන්නටය. මේ දිනවල ආණ්ඩුවට ද එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නට වී ඇතැයි විපක්ෂය තුළ කතාබහට ලක්වී තිබේ. ඊට හේතු වී ඇත්තේ ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනත අහෝසි කර ගෙනඑන්නට හදන සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ පනත ද පොලිසියට අසීමිත බලතල දෙන බිහිසුණු පනතක් බවට විපක්ෂය චෝදනා නැගීමය.
පනතේ වගන්ති අනුව සැකපිට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ අසීමිත බලයක් පොලිසියට ලැබී ඇතැයි ද, මේ අනුව තම දේශපාලන විරුද්ධවාදීන් පවා පොලිසිය මගින් සිරභාරයට පත් කිරීමට රජයට හැකියාව ඇතැයි ද, වසරක් යනතුරු එවැනි සැකකරුවකුට ඇප නොලැබෙන බව ද විපක්ෂයේ චෝදනාවය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉකුත් ඉරිදා මෙරට සිටින තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් විපක්ෂ නායක කාර්යාලයට කැඳවා තිබුණේ ත්‍රස්තවාදය මර්දන පනත වෙනුවට අලුතෙන් ගෙන එන පනත සහ සංවිධානාත්මක අපරාධ මර්දන පනත්වල ඇති දුර්වලතා ගැන එම රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරීමටය. ඉන්දියාව, යුරෝපා සංගමය, ජපානය ඇතුළු රටවල් ගණනාවක තානාපතිවරු හා නියෝජිතයෝ පැමිණ සිටියහ.
“ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනත අහෝසි කරන්න කියලා දශක ගණනාවක සිට මෙරටිනුත් විදේශයෙනුත් විරෝධතා මතු වුණා. ඒ පනත අයින් කරන්න කියන්නේ මහජන මතවලට සහ ප්රජාතන්ත්රවාදයට එමගින් අවහිර ඇතිවන නිසයි. ඒත් දැන් ඊටත් වඩා අන්ත විදිහට මහජන මත එළියට දැමීමට සහ ජනජීවිතයට බාධා වන නීති අලුත් පනතකින් ගෙනත්, තවත් අණපනත්වල ඇති නීති පවා මෙම පනතට ඇතුළත් කර පොලිසියට අසීමිත බලයක් දීලා...” විපක්ෂ නායක සජිත් තානාපතිවරුන්ගේ අවධානයට ලක් කරමින් කියා සිටියේය.
තානාපතිවරුන් සාමාන්‍යයෙන් පක්ෂව සහ විපක්ෂව මත ඉදිරිපත් නොකරන අතර, එම පනත් ගැන නොපැහැදිලි තැන් ඔවුහු සජිත්ගෙන් විමසා සිටියහ.
“ආණ්ඩුවට මේ පනත් සම්මත කරගන්න අපහසුවක් නෑ. ඔවුන්ට අවශ්‍ය බලය තිබෙනවා. අපි කියන්නේ ඉදිරියේදී ප්රජාතන්ත්රවාදයට, අදහස් දැක්වීම්වලට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ ගැනයි ඔබ දැනුවත් කළේ.” විපක්ෂ නායකවරයා කියා සිටියේය.
සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, දෙමළ සන්ධානයෙන් එම්.ඒ. සුමන්තිරන්, රවි කරුණානායක, ශානක්‍යන් රාසමාණික්කම්, හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, චමින්ද්‍රානි කිරිඇල්ල ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ.
අහම්බෙන් මෛත්‍රී ආපු හැටි කරු කියයි
එජාපයේ හිටපු ඇමැතිවරයකු වන ගාමිණී දිසානායක මහතාගේ ගුණසමරු උළෙලක් ඉකුත් සතියේ පැවැත්වුණේ නවීන් දිසානායක මහතාගේ නිවසේදීය. දේශපාලකයෝ කිහිපදෙනෙක් ද නවීන්ගේ ඇරයුම මත එහි පැමිණ සිටියහ. කරු ජයසූරිය සහ තිස්ස අත්තනායක ද ඒ අතර වූහ. ත්‍රස්ත මර්දන ඇතුළු පනත් පිළිබඳව මේ දිනවල පැතිර යන කතා සම්බන්ධයෙන් හිටපු කතානායක කරු, තිස්ස අත්තනායක සමඟ කතා කළේ තරමක් කම්පාවෙනි.
“ඇත්තටම මේ සියලු පනත් අහෝසි කරනවා මට 2015දී බලය ලැබුණා නම්. අපි මුල ඉඳලම සැලසුම් කළේ ඔය මර්දන නීති කියන ඒවත් විධායක ජනාධිපතිධුරයෙනුත් අහෝසි කරලා දාන්න.... එදා මට එන්න අවස්ථාව දුන්නා නම් මේ රටේ ප්රජාතන්ත්රවාදය මීට වඩා ශක්තිමත් වෙනවා.. ආයේ දෙකක් නෑ ජනාධිපති ක්‍රමය ස්ථිරවම අහෝසි කරනවා. ඒ සියල්ල වෙනස් වුණේ මෛත්‍රීව ගෙනත් දාපු හින්දා.....” කරු ජයසූරිය, තිස්ස අත්තනායක සමඟ කියා සිටියේය.
තවත් දේශපාලනඥයන් ගණනාවක්ම එහි පැමිණ සිටි අතර කාගේත් අදහස වූයේ ගාමිණී සිටියා නම් රටට මෙහෙම නොවන බවය.
“අනේ මෙහෙම ඉඳලා හරියන්නේ නෑ... අපි දෙන්නවත් හම්බවෙලා කතා කරමු.. පක්ෂ දෙකේම එකඟතා ගැන කතාබහ දවසින් දවස කල් යනවා.. අපි දෙන්නවත් වැඩේ පටන් ගනිමු.” නවීන් දිසානායක තිස්සගේ අතින් අල්ලාගෙන කියද්දී තිස්ස ද එම කතාවට එකඟ විය.
නෙළුම් කුලුන උඩ කඨින පිංකම
සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායකට ඉකුත් සතියේ සුවිශේෂී කඨින පිංකමකට සහභාගී වීමේ අවස්ථාව හිමිවිය. මෙම පිංකම සුවිශේෂී වන්නේ එය පැවැත්වුණේ කොළඹ නෙළුම් කුලුනේ හතරවැනි මාලයේ ඇති කැරකෙන ආපනශාලාවේ නිසාය. කෝට්ටේ පාර්ශ්වයේ මහනායක ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් ද උමංදාවේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර හිමියන් ද ඇතුළු මහා සංඝරත්නය සියනමක් පමණ එම කඨින පිංකමට වැඩම කර සිටියහ. කොහුවල පොඩි හාමුදුරුවන්ගේ සංවිධායකත්වයෙන් එම පිංකම සිදුවිය. ඊට සහභාගී වූ තිස්ස, නාලක ගොඩහේවා සහ රමේෂ් පතිරණ එහිදී කතා කළේ දීර්ඝ කාලයකින් තමන්ට ලැබුණු අපූරු ආගමික උත්සවයක් බවය.
විශ්වාසභංගයට කඹ ඇදීම
කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය භාරදී ඇති විශ්වාසභංග යෝජනාව මේ වනවිට අර්බුදයකට ලක්ව තිබෙන්නේ එම යෝජනාව නොව, සංශෝධිත යෝජනාවක් භාර ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති නිසාය. විපක්ෂය එවැනි සංශෝධිත යෝජනාවක් ගෙන ඒම ප්‍රතික්ෂේප කරයි.
මෙම තත්ත්වය මත විපක්ෂය ඉකුත් අඟහරුවාදා සජබ සහ විපක්ෂයේ සෙසු පක්ෂවල සහභාගීත්වයෙන් මීළඟට ගත යුතු පියවර ගැන සාකච්ඡා කළ අතර, එහිදී තීන්දු වූයේ සංශෝධිත යෝජනාවක් භාර නොදීමටය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කථානායකවරයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන මොහොතක ඔහු එම ධූරයේ කටයුතු කිරීම සදාචාරසම්පන්න නොවන බව ද එහිදී විපක්ෂය කියා සිටියේය. චෝදනාවට ලක් වූ කථානායකවරයාම මුලසුන දරන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම ප්රජාතන්ත්රවාදය තුළ විපක්ෂයට හිමි අයිතියට එල්ල කළ බරපතළ පහරක් බව ද විපක්ෂය එම රැස්වීමේදී තීන්දු කළේය.
මේ පිළිබඳව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගෙන් විමසූ විට ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි:
“ඒගොල්ල අපට කියනවා අපි භාරදුන්න විශ්වාසභංගය සංශෝධනය කරන්න කියලා. අපට ඒක කරන්න බෑ. ඒගොල්ලන්ට ඕනෑ හැටියට විශ්වාසභංගයක් ගේන්න නම් අපි මොකටද විපක්ෂය වෙලා ඉන්නේ? ආණ්ඩුවේ තීන්දුව ඒක නම් අපි ඒ සම්බන්ධව ජනතාවත් එක්ක කතා කරනවා.”
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය කියන්නේ සංශෝධිත යෝජනාව නොවැම්බර් 3 වැනිදා විවාදයට ගැනීමට නියමිත බවය.
මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳව විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් ද සිකුරාදා දින පැවැත්වුණු අතර එහිදී පොදු තීරණය වූයේ ආණ්ඩුව කියන ආකාරයට විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කළ නොහැකි බවය.
“එයාලා කියන විදිහට විශ්වාසභංග ගේන්නේ කොහොමද? විශ්වාසභංගයක් කියන්නේ විපක්ෂයෙන් ගේන විවේචනයක්.. ඒකට තමන්ගේ පැත්තෙන් දෙන්න තියෙන පිළිතුරු ලබා දීලා විපක්ෂයේ විවේචනයටත් ඉඩ ලබාදෙන එකනේ විශ්වාසභංගයක් කියන්නේ. මෙතෙක් සිදුවුණෙත් එහෙම. දැන් මේ මොකක් ද කියන්නේ... ආණ්ඩුවට ඕනෑ හැටියට චෝදනා අඩු කරලා ගේන්න කියලනේ රජය කියන්නේ... එවැනි විශ්වාසභංග ගෙනත් වැඩක් නෑ....” විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක එහිදී කියා සිටියේය. රජයේ තීරණයට එකඟ නොවීමට එම හමුවේදී ද තීරණය විය.
නාමල් දින පනහ පසු කරයි
රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට ඉකුත් සිකුරාදා ද නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණියේය. පාර්ලිමේන්තුවට පැමිණි විගසම නාමල් යන්නේ ව්‍යායාම මධ්‍යස්ථානයටය. එදින ඔහුගේ ඇඳුම් රැගෙන ආවේ චානක මාදුගොඩ මන්ත්‍රීවරයාය. විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ද නාමල් හමුවීමට එහි පැමිණ සිටියහ.
“කොහොමද ඇතුළේ ජීවිතේ?” විපක්ෂ මන්ත්‍රීවරයෙක් විමසුවේය.
“හොඳයි, එතැන දැන් දේශපාලන රැස්වීමක් වගේ.. චාමර සම්පත්, රෝහිත බෝගොල්ලාගම, චන්දන කත්‍රිආරච්චි ඉන්නවනේ......” නාමල් කීවේ සිනාසෙමිනි.
“දැන් අපි ගුඩ් මෝනින් කියන්නේ නෑ.. උදේ හමුවුණාම කියන්නේ ඉක්මනින්ම ඇප ලැබේවා කියලා. එහෙමයි සුබ පතන්නේ...” නාමල් කියද්දී එහි සිටි සියලු දෙනාටම සිනාව නවතාගත නොහැකි විය.
ව්‍යායාම කාමරයේ සිට සභාගැබට යනතුරු ද විපක්ෂ මන්ත්‍රීවරු නාමල් සමඟ කතාබහ කරමින් ඔහු සමඟම ගියහ. එදින ද නාමල්ට කතාවක් තිබුණත් ඔහු එය දුන්නේ ඩී.වී. චානක මන්ත්‍රීවරයාටය.
“මේ ඉන්නේ අවනීතියේ සිරකරුවා. මොකද මේක සම්පූර්ණයෙන්ම දේශපාලන දඩයමක්.” නාමල් පෙන්වමින් ඩී.වී. චානක කීවේය.
“ඕ යම් මනුස්සයකුගේ දිවුරුම් ප්රකාශයකටනේ නාමල්ව රිමාන්ඩ් කරලා ඉන්නේ. ඇයි ඒ මනුස්සයව රිමාන්ඩ් නොකරන්නේ? ඔය කියන විදිහට මුලින්ම මුදල් අරගෙන තියෙන්නේ ඒ මනුස්සයානේ.” චානක මාදුගොඩ මන්ත්‍රීවරයා පැවසීය.
“බලමු.... බලමු..... මර්දනය කරලා නම් අපිට නවත්වන්න බෑ....” නාමල් කියද්දී චාමර සම්පත් ද එහි ආවේය.
“අපි එහෙනම් අද එකටම යනවා නේද?” චාමර නාමල්ගෙන් විමසුවේය.
“ඔව්.... එකටම... අපිට ලබන සතියෙත් උසාවි යන්න වෙන්නේ එකටමයි. අපි දෙන්නට විතරක් යන්න ලොකු බස් එකක් ඕනෑ නෑනේ. පොඩි එකක් දෙන්න කියමු.....” නාමල් කීවේය.
“ඔව්.... මම ඒක පාර්ලිමේන්තුවේදී කියනවා....” චාමර සම්පත් කීවේය.
ඉකුත් අඟහරුවාදා ද නාමල් උසාවියට කැඳවාගෙන ආ අතර ඔහුගේ “ක්‍රිෂ්” නඩුවට පෙනී සිටියේ ජනාධිපති නීතිඥ අලි සබ්රිය. සබ්රි ඇප ඉල්ලා සිටිය ද නාමල්ට ඇප නොලැබිණි. එදින නාමල් බැලීමට සාගර කාරියවසම්, ඩී.වී. චානක, සංජීව එදිරිමාන්න, ඉන්දික අනුරුද්ධ ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. එම අධිකරණයේ නඩුවකින් දින පනහක් සිටියදීත් ඇප නොලැබුණු එකම රිමාන්ඞ් සිරකරුවා නාමල් බව ද එහිදී කියැවිණි.
රනිල්ගේ අවධානය සහ එජාප නිවේදනය
භික්ෂූන් වහන්සේලාගේ සත්‍යග්‍රහය අවසන් වුවද ඊට අදාළ ප්රශ්නය තවමත් අළු යට ගිනි සේ පුපුරු ගසමින් පවතී. රනිල් වික්‍රමසිංහ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී ද මූලික අවධානය යොමු කළේ මේ පිළිබඳවයි.
“මහානායක ස්වාමීන් වහන්සේලා මේ ගැන ජනාධිපති එක්ක කතා කරලා තියෙනවා. ඒ වගේම සත්‍යග්‍රහයට සම්බන්ධ භික්ෂූන් වහන්සේලාත් කතා කරලා තියෙනවා මහනාහිමිවරුන් එක්ක. ඊට අදාළ සාකච්ඡා මේ වන විට යනවා. සත්‍යග්‍රහය අතහරින ලෙස මහානාහිමිවරුන් අදාළ හාමුදුරුවරුන්ට දැනුම් දුන්නා. දැන් බලාපොරොත්තුව තියෙන්නේ ආණ්ඩුව යම් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි කියලයි. එවැනි ධනාත්මක ප්‍රතිචාරයක් දෙනවා ද නැද්ද කියන එක දැන් ජනාධිපති තීරණය කරන්න ඕනෑ. සමාව දුන්නොත් ප්‍රශ්නයක් නැති බව ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුවේ සඳහන් වෙනවා. නමුත් ජනාධිපති කියන්නේ සමාව දීම ප්‍රශ්නයක් කියලයි. සමාව නොදුන්නත් මේ ප්රශ්නය මීට වඩා ලොකුවට එන්න තියෙනවා. මේ වස් කාලය නිසා පන්සල්වල කඨින පින්කම් තියෙනවා. මේ නිසා මාසයක් දෙකක් ඇතුළත මේවට උත්තර දෙන්න ඕනෑ. වැඩි කාලයක් නැහැ.” රනිල් මන්ත්‍රීවරුන් හමුවේ පැවසීය.
විපක්ෂයේ කණ්ඩායම් සියල්ල ඉන්නේ සමගි ජන බලවේගය සමඟ අප්‍රසාදයෙනි. සමගි ජන බලවේගයේ දැන් ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ කතානායකගේ විශ්වාසභංගය පිළිබඳවයි. නමුත් පොදු සමාජයේ ඒ ගැන කිසිම උනන්දුවක් නැත. සමාජයේ දැඩි උනන්දුවක් ඇත්තේ චීවරයේ ගෞරවය රැක ගනිමින් බුදුදහම රැක ගැනීම ගැනයි. නමුත් සජිත්ගේ කණ්ඩායම මූලික ප්රශ්නය යටගසමින් වෙනත් කාරණයක් ගැන නන් දොඩවමින් සිටින බවට චෝදනා නැගේ.
මේ අතර අනුරාධපුර පූජා භූමියේ චිරස්ථිතිය සම්බන්ධයෙන් ද විවිධ සැකමුසු කතා සමාජයේ පැතිර යමින් පවතී. නමුත් මීට ආණ්ඩුව තවමත් පැහැදිලි උත්තරයක් ලබා දී නැත.
“දැන් අනුරාධපුරය ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා නම් ආණ්ඩුවට යුතුකමක් තියෙනවා මොකක්ද වෙන්නේ කියලා පැහැදිලිව රටට කියන එක. සමහරු මේක ඉන්දියන් විරෝධී දෙයක් බවට පත් කරගෙන තියෙනවා.” රනිල් පැවසීය.
මේ අතර සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය හෙළා දකිමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කළේය. මේ කාරණය සම්බන්ධයෙන් මෙවැනි නිවේදනයක් නිකුත් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂය පමණි.
“මාලිමා ආණ්ඩුවට මෙරට බුද්ධාගම නැති කිරීමට දැඩි අවශ්‍යතාවයක් තිබෙන බව ඔප්පු වූයේ කරුණු කාරණා එකකින් දෙකකින් පමණක් නොවේ. රජය හැමවිටම උත්සාහ කරන්නේ බුද්ධාගමටත්, ගරුතර මහා සංඝරත්නයටත් ලැබෙන හැම අවස්ථාවෙන්ම පහර ගැසීමටය. මාලිමා රජයේ මේ අතිශය පහත් වැඩපිළිවෙල එක්සත් ජාතික පක්ෂය තරයේ හෙළා දකී. එසේම ආණ්ඩුව අපේක්ෂා කරන ආකාරයට බුද්ධ ශාසනයත්, භික්ෂූන් වහන්සේලාත් නැති කිරීමට ඉඩ නොදෙන බව යළිත් අවධාරණය කරමු” යනුවෙන් නිවේදනයේ සඳහන් කර තිබිණි.
රනිල් ලූලාට යැවූ ලිපිය
බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලූලා දා සිල්වාට සුබ පතමින් රනිල් විශේෂ ලිපියක් යැව්වේය. ඒ ලිපියේ රනිල් සුවිශේෂී කාරණයක් ගැන අවධානය යොමු කර තිබිණි.
“ඔබතුමාගේ නායකත්වය බ්‍රසීලයෙන් ඔබ්බට ද බෙහෙවින් වැදගත් වේ. බ්‍රික්ස් සංවිධානය සාමාජිකත්වයෙන් සහ බලපෑමෙන් වර්ධනය වන විට, ගෝලීය මූල්‍ය, වෙෙළඳාම සහ සංවර්ධනය යන අංශවලදී ගෝලීය දකුණට වඩාත් ස්ථිර හඬක් ලබා දෙන සංසදයක් බවට එය පත් කර ගැනීමට ඔබතුමාගේ සහය අපේක්ෂාවෙන් ලෝකය බලා සිටිනු ඇත. දේශගුණික ක්‍රියාකාරීත්වය, ආහාර සුරක්ෂිතතාව සහ ජාත්‍යන්තර ආයතන ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ඔබතුමා කරන කැපවීම, ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් ඉතා අගයනු ලැබෙන්නේය” යනුවෙන් හුදු සුබ පැතුමකට එහා ගිය දැක්මකින් රනිල් ඒ ලිපිය ඉදිරිපත් කර තිබිණි.
අලුත් පනත් තුන ගැන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය
ආණ්ඩුව අලුතින් ගෙන එන පනත් තුනක් ගැන ඒකාබද්ධ විපක්ෂ නායක හමුවේදී මූලික අවධානය යොමු විය. මහාචාර්ය ජී.එල්. පීරිස් මෙහිදී අදහස් දක්වමින් පැවසූයේ මෙම පනත් තුන එකට ගත්විට අතිශය භයානක ප්‍රතිඵල අත්කර දෙන බවයි.
“ත්රස්තවාදයට විරුද්ධව රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත, සංවිධානාත්මක අපරාධ පනත හා භඨධ (රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධාන) පනත යන මේ තුන එකට ගත්තහම මේ භයානක බව හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. අප ඒ ගැන විශ්ලේෂණය කළා. ඊට විරුද්ධව මම උසාවි ගියා. අලි සබ්රි ජනාධිපති නීතිඥතුමා මම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තර්ක ඉදිරිපත් කළා. හැබැයි අපි පැහැදිලිව තීරණය කළා උසාවියේ නඩු පැවරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ කියලා. මේ පනත් තුන නිසා ඇතිවිය හැකි ප්‍රතිඵල සම්බන්ධයෙන් සමාජයට අවබෝධයක් ලබා දිය යුතුයි.
මෙම පනත් තුන නිසා මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම නිෂේධ වෙනවා. මාධ්‍ය ආයතනවලට කිසිම අනාගතයක් නැහැ. ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය සම්පූර්ණයෙන්ම නිෂේධ වෙනවා. මේ සම්බන්ධයෙන් සිවිල් සමාජය එක්ක සමීපව කටයුතු කරලා ජනමතයක් ගොඩනගන්න අප තීරණය කර තිබෙනවා. වෘත්තීය සමිති 35ක් විතර මේක ගැන ලොකු විරෝධයක් ප්‍රකාශ කරලා තියෙනවා.
දැන් අර හෝමාගම සිද්ධිය අරගෙන බලන්න. ඒකෙන් පේනවා ඔය අධිකරණ අධීක්ෂණයට යටත් නොවන පොලිස් බලතලවලින් මනුෂ්‍ය ජීවිතයට පවා සිදුවන හානිය.
මේ පනතේ අපි ප්‍රධාන වශයෙන් භයානකකමක් හැටියට දකින්න පුළුවන් කාරණයක් තියෙනවා. ඒ කියන්නේ තොරතුරක් ගත්තේ කොහෙන්ද කියලා මාධ්‍යවේදීන්ගෙන් බල කරලා අහන්න පුළුවන්. එතකොට මාධ්‍යවේදීන්ගේ ගවේෂණාත්මක වැඩකටයුතු කොහොමවත් කරන්න බැරි තත්ත්වයක් එනවා. Investigative journalism නිසා තමයි මහා පරිමාණයේ දූෂණ ගැන සත්‍ය කරුණු සමාජයට එළිදරව් වන්නේ. උදාහරණයක් වශයෙන් ගල් අඟුරු වංචාව. පිළිගත්තා එහි අලාභය රුපියල් කෝටි 1,576ක්. පරීක්ෂණ නැතුව කන්ටේනර් 325ක් වරායෙන් නිදහස් කිරීම, මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 1.6ක් අතුරුදහන් වීම වැනි සිද්ධි ගැන ගවේෂණාත්මක වාර්තා මීට පස්සේ දැකගන්න ලැබෙන්නේ නැහැ.” ජී.එල්. පැවසීය.
“එතකොට පොලිස් බලතල හමුදාවට පැවරීම ඉතා භයානකයි. යුද්ධයක් හෝ හදිසි අවස්ථාවක් නැති වෙලාවක මෙවැනි තීරණ ගන්නේ කුමට ද? IGP ට හෝ DIGට පුළුවන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගෙන් ඉල්ලීමක් කරලා ඕනෑම කෙනෙක් මාස දෙකකට හිර කරන්න. කිසිම අධිකරණ අධීක්ෂණය නැහැ. ඊට පස්සේ මහාධිකරණයේ අනුමැතිය ඇතිව අවුරුද්දකට ඒක දීර්ඝ කරන්න පුළුවන්. හෝමාගම සිද්ධියෙනුත් පැහැදිලිව පේනවා අධිකරණ පාලනයෙන් තොරව පොලිසියට මෙහෙම පුළුල් අභිමතයක් දෙනකොට වෙන විශාල හානිය. අනික ආරක්ෂක ලේකම්ට පුළුවන් ඕනෑම තැනක් තහනම් තැනක් හැටියට ප්‍රකාශයට පත් කරන්න.” යැයි ද ජී.එල්. පක්ෂ නායකයන් හමුවේ පැවසීය.
චම්පික හෙළි කළ පැරණි කතා
මල් පාරේ මාධ්‍ය හමුවෙන් අනතුරුව මාධ්‍ය ප්‍රබලයන් සමඟ දොඩමලු වෙමින් පාඨලී චම්පික රණවක වැදගත් කරුණු කිහිපයක් හෙළිදරව් කළේය. හිටපු ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්යක්ෂ ශානුක කරුණාරත්න මෙන්ම කීර්ති තෙන්නකෝන් සහ පසිඳු ගුණරත්න ද එහි සිටියහ.
සුනාමි සහන මණ්ඩලය පැමිණි අවස්ථාවේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව පාඨලී එහිදී විස්තර කළේය.
“අපි සත්‍යග්‍රහයක් කරන්න දළදා මාලිගාවට ගියා. දළදා මාලිගාව ඇතුළේ එම සත්‍යග්‍රහය කරනවාට දියවඩන නිලමේවරයා විරුද්ධ වුණා. දළදා මාලිගාව ඇතුළේ සත්‍යග්‍රහය කිරීමට අදහස් නොකරන බවත්, මාලිගාවෙන් එළියේ එය කරන බවත් අපි දැනුම් දුන්නා. ඒ අනුව මාලිගාවෙන් එළියේ සත්‍යග්‍රහය පැවැත්වීමට ඒ අයම පහසුකම් සලසා දුන්නා. අපටත් කරගන්න අවශ්‍ය වී තිබුණේ ඒක තමයි.
ඒ වගේම බලයේ සිටි අන්තිම කාලයේ ප්‍රේමදාස ජනාධිපතිට එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් ඔහු ලොකු මානසික ආතතියකට ලක්වෙලා හිටියේ. අනුර කුමාරත් ඒ තත්ත්වයටම දැන් ගමන් කරමින් ඉන්නවා. අපිට තියෙන්නේ පොඩ්ඩක් මේකට තල්ලුවක් දාලා පැත්තකට වෙලා ඉන්න විතරයි.” යනුවෙන් ද පාඨලී එහිදී සඳහන් කළේය.
රාජ දූත

