ඖෂධ මාෆියාව අපි හොඳට මෙල්ල කරලා තිබුණේ


කළුතර දිස්ත්‍රික් ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී
දොස්තර රාජිත සේනාරත්න

   මේ ආණ්ඩුව හොඳ මට්ටමකින් රට කළමනාකරණය කළා කියන එක මම හිතන්නේ නෑ

රටේ උණුසුම් දේශපාලන මාතෘකා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය:- ඖෂධ අධිකාරියෙ දත්ත මැකුවේ ඔබ සෞඛ්‍ය ඇමැතිවෙලා ඉන්න කාලේ කළ දූෂිත ගනුදෙනු සඟවන්න?  


පිළිතුර:- මම ඔය චෝදනාවට පාර්ලිමේන්තුවේදිත් මාධ්‍ය හමුවලදිත් හොඳට උත්තර දුන්නා. මම පෙන්වලා දුන්නා දත්ත ඔන්ලයින් කළේ කවදා ඉඳලද කියලා. ඔන්ලයින් කරන්න පටන් අරගෙන තියෙන්නේ 2020 ජුනි මාසයෙ 5 වැනිදා. ඒ ගොල්ලන් පත් කරපු සභාපති තමයි නිවේදනයක් නිකුත් කළේ මෙදා සිට සියලුම ෆයිල් ඔන් ලයින් එවන්න කියලා. එතෙක් ඒවා කළේ මැනුවෙල්. අපේ කාලයෙ ව්‍යාපෘතිය ආරම්භ කළාට ඒක ක්‍රියාත්මක කළේ 2020 දි. එතකොට මම සෞඛ්‍ය ඇමැති නොවෙයිනේ. එතකොට දත්ත මැකිලා තියෙන්නේ මගේ කාලයේ ඒවා නොවෙයි. එහෙමනම් මේ දත්ත පද්ධතිය නැති කරලා තියෙන්​නේ කාගේ හරි වුවමනාවකට නම් ඒ මේ ආණ්ඩුවේ කාගෙ හරි උවමනාවකට.  


ප්‍රශ්නය:-  ඔබ හිතන්නේ මෙතැන මොකද්ද වෙලා තියෙන්නේ.  


පිළිතුර:- සීඅයිඩී පරීක්ෂණවලින් මේ දත්ත පද්ධතිය භාරව හිටපු ඉංජිනේරුවා අත්අඩංගුවට ගත්තා. ඔක්කොටම පස්සෙ තමයි ඔහුගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තේ. ඇත්තටම මුලින්ම ප්‍රශ්න කරන්න ගන්න තිබුණේ එයාව. එයාගේ භාරයේ තමයි මේක තිබුණේ. බාරව හිටපු කෙනාගෙන් නේ මුලින්ම කට උත්තර ගන්න තිබුණේ. එහෙම කළේ නෑ. එහෙම නොකර ඒ ගොල්ලෝ හැදුවේ ඒකේ විධායක නිලධාරියාව අත්අඩංගුවට ගන්න. ඒකෙන් පේනවා මෙතැන යටි අරමුණක් තියෙනවා කියලා. අවසානයෙදි මේ ඉංජිනේරුවා අත්අඩංගුවට ගත්තා. සීඅයිඩී එකෙන් හොයාගෙන තියෙනවා ඔහු මේ දිනයේ උදේ පාන්දර 3.48 සිට උදේ 7 වෙනකම් මේ දත්ත පද්ධතිය විනාශ කිරීමේ වැඩ පිළිවෙළෙහි යෙදිලා කියලා. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා පැහැදිලිවම පාර්ලිමේන්තුවේදි කිව්වා මේ දත්ත පද්ධතිය එක පාරටම මකන්න බෑ. පස් සැරයක් මකන්න ඕනැද කියලා කම්පියුටරය අහනවා කියලා. මේ ඉංජිනේරුවා පැය තුනකට වැඩි කාලයක් තිස්සේ මේ දත්ත පද්ධතිය මකනව? ඔහුගේ අවශ්‍යතාවයකටද එහෙම නැත්නම් තවත් කාගෙ හරි අවශ්‍යතාවයකටද එහෙම කළේ කියලා හොයන්න ඕනෑ. මේක අත්වැරැදීමක් නොවෙයි. සිතා මතා කරපු දෙයක්. මේ පුද්ගලයා ඊට දවස් 10 කට පස්සේ මේ අධිකාරියෙන් අයින් වෙනවා. ඔහු යන්නේ කාගේ සමාගමකට කියලා හොයා ගත්ත. මේ රජයට ඉතාම හිතවත්, ඇන්ටිජන් ගනුදෙනුවලට සම්බන්ධ ව්‍යාපාරිකයාගේ ඉතාමත් කුළුපග මිතුරකුගේ සමාගමකට තමයි ඔහු යන්නේ. එතකොට මෙතැන මොකක්ද වෙලා තියෙන්නේ කියලා හොයන්න ඕනෑ. මම හිතන්නේ නෑ මේ රජය යටතේ මේ පරීක්ෂණ සිදු කෙරෙයි කියලා. මේ පරීක්ෂණය කරන්න වෙන්නේ අනාගත රජයකට. 

ප්‍රශ්නය:-  බලවත් ඖෂධ මාෆියාවක් තිබෙන බව කියැවෙනවා. ඇත්තටම කොහොමද මේ මාෆියාව මේ විදියට බලවත් වුණේ.  


පිළිතුර:- ඉස්සර මෙහෙම බලවත් වෙලා තිබුණේ නෑනේ. අපි මේ මාෆියාව හොඳට මෙල්ල කරලා තිබුණේ. සියලුම ඖෂධ සමාගම්වල මිල අපි පාලනය කරලා තිබුණේ. ඒ විතරක් නොවෙයි ටෙන්ඩර්වලට දාන මිල අපි පාලනය කළා. ඒ විතරක් නොවෙයි ‘මෙඩිකල් ඩිවයිසස්’ වල මිල පාලනය කළා. එහෙම පාලනය කරලා ඒ වාසිය ජනතාවට දුන්නා. අද එහෙම මිල පාලනයක් නෑ. ඖෂධවල මිල දෙගුණයක් වෙලා තියෙන්නේ. රජය ඒක ගණන් ගන්නේ නෑ වගේ මිල පාලනය එහෙමම තිබියදිත් ඒ ඒ අයට කැමති කැමති විදිහට වැඩ කරන්න දීලා තියෙනවා. එකම ඖෂධයේ මිල ෆාමසියෙන් ෆාමසියට වෙනස්. ඒ වගේ තත්ත්වයට අද පත්වෙලා තියෙන්නේ. එහෙනම් මාෆිය එකට ඉඩ දීලා තියෙන්නේ කවුද? මාෆියා එකත් එක්ක ගනුදෙනු කරන්නේ කවුද? මාෆියාව ගන්න වැරැදි තීන්දුවලට විරුද්ධ නොවී ඉන්නේ කවුද? මේවා හොයන්නකෝ. එතකොට හොරුයි බඩුයි ඔක්කොම අහුවෙනවා.  


ප්‍රශ්නය:- ආණ්ඩුවේ වැරැදි විවේචනය කරමින් විතරක් දේශපාලනය කරන්න බෑ. වැඩ පිළිවෙළක් අවශ්‍යයි කියලා. ඔබේ පක්ෂයේම චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කිව්වා.  


පිළිතුර:- ආණ්ඩුවේ වැරැදි තියෙනව නම් විපක්ෂයේ වගකීම තමයි ඒ වැරැදි පෙන්වාදීම. තමුන්නාන්සේලා දන්නවා දේශපාලන විද්‍යාවෙදි උගන්වනවා විපක්ෂය යනු ‘අසු විදින මදුරුවා’ කියලා. අශ්වයාට තේරෙන්නේ ඒ මදුරුවා විද්දාමයි. විපක්ෂය කියන්නේ ආණ්ඩුවේ වැරැදි පෙන්වාදීම. ඒ පිළිබඳව රටේ සංවාදයක් ඇති කිරීම. ඒක විපක්ෂයෙ කාර්ය භාරය  


ප්‍රශ්නය:- මන්ත්‍රී චමින්ද විජේසිරි කියන්නේ සමගි ජන බලවේගයට වැඩපිළිවෙළක් නෑ කියලයි.  


පිළිතුර:- මෙහෙමයි. විවේචනය විතරක් නොවෙයි විපක්ෂය බලයට එනකොට වැඩපිළිවෙළක් තියෙන්න ඕන දකින වැරැදි නිවැරැදි කර ගන්න. දැන් එවැනි වැඩපිළිවෙළක් හදාගෙන යනවා. මම මේ සාකච්ඡාවට එන්න කලින් අපේ පක්ෂයේ ‘ලයින්’ එක පක්ෂයේ මූලධර්ම මොනවද කියලා සාකච්ඡාවක ඉඳලයි ආවෙ. අපි අලුත් පක්ෂයක් වශයෙන් අපේ ප්‍රතිපත්ති පක්ෂයේ ව්‍යවස්ථාව මේ සියල්ල එකට ගැට ගැහිලා එක වැඩ පිළිවෙළක තියන්න ඉදිරියේදී රට පුරාම අපි දැවැන්ත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.  


ප්‍රශ්නය:- මොන මොන සාකච්ඡා තිබුණත් අවසානයෙදි ක්‍රියාත්මක වෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඕනැ දේයි.  


පිළිතුර:- නෑ. එහෙම එකක් නෑ. අපි කමිටුවක් හැටියට ගන්න තීන්දුවලට එතුමා එකඟ වෙනවා. එහෙම නැතිව ඔබ කියන විදියේ දෙයක් වෙන්නේ නෑ.  


ප්‍රශ්නය:-  ඔබත් මාධ්‍යයට කිව්වා ‘පක්ෂය ඇතුළේ ගැටලු තියෙනවා’ කියලා.   


පිළිතුර:- ගැටලු තියෙනවා. ගැටලු නැති පක්ෂයක් නෑ. ඒ ගැටලු පිළිබඳවත් අපි දැන් කතා කරගෙන යනවා. ඒවාත් අපි දැන් සංවාදයට අරන් තියෙන්නෙ. නායකත්වය හා පක්ෂය ගැන අපි පූර්ණ වශයෙන් එකඟතාවක ඉන්නේ.  


ප්‍රශ්නය:- ඔබලා ආරම්භයේදීම කිව්වා ‘අලුත් සන්ධානයක් හදනවා’ කියලා. නමුත් තවමත් නෑ.  


පිළිතුර:- කොවිඩ් වසංගතය නිසා පහුගිය කාලයෙදි ඒ කටයුතු අතපසු වෙලා තිබුණේ. අපි ඒකට අවශ්‍ය මූළික වැඩපිළිවෙළ ආරම්භ කරල තියෙන්නේ. සිවිල් සංවිධාන සමග සාකච්ඡා කරනවා. දේශපාලන කණ්ඩායම් එක්ක සාකච්ඡා කරනවා.  


ප්‍රශ්නය:- චම්පික රණවක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය තවමත් ඉවර නෑ නේද? ඔහු වෙනම ගමනක් යමින් ඉන්නේ.  


පිළිතුර:- නෑ ඔහු අපිත් එක්ක එකට එකතුවෙලා වැඩ කරනවා. ඔහුට වෙනම සංවිධානයක් තියෙනවා. ඔහු ඒකෙත් වැඩ කරනවා. අපේ පක්ෂය ඇතුළේ මුස්ලිම් පක්ෂ තියෙනවා. දෙමළ පක්ෂ තියෙනවා. ඔවුනුත් සන්ධානයක් හැටියට අපිත් එක්ක ඉඳගෙන වැඩ කරමින් යනවා.  


ප්‍රශ්නය:- ඔය ඔබ කියන හවුල්කාර පක්ෂ බොහොම වේගයෙන් විපක්ෂ නායක සජිත්ගෙන් ඉවත් වෙමින් ඉන්නවා.   


පිළිතුර:- නෑ එහෙම එකක් නෑ. ඒ නායකයොත් එක්ක ඊයේ පෙරේදාත් සාකච්ඡා කළා. ඔවුන් කියන්නෙත් අපි පුළුවන් තරම් ඉක්මනට එක්වෙලා එක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්න ඕනැ කියලයි.  


ප්‍රශ්නය:-  එජාප නායක රනිල් වික්‍රමසිංහ නිකම් ඉඳී කියලා ඔබ හිතනවද?  


පිළිතුර:- රනිල්ට කරන්න පුළුවන් දෙයක් නෑනේ. එයා පැරදිලා ජාතික ලැයිස්තුවෙන් ඇවිත් ඉන්නේ. එතුමා පහුගිය අවුරුදු පහේ කරපු පාප කර්මවල ප්‍රතිඵලය තමයි මේ රජය. ඒක නිසා එයාට කරන්න දෙයක් නෑ. එයා මේ රජය ගෙන්වීමේ පාප කර්මයෙ ප්‍රධාන වග උත්තරකරු. ඒ නිසා එතුමාගේ මොන බුද්ධිය තිබුණත් එතුමා මේ රජයේ නායකයන් එක්ක තිබුණ ගනුදෙනු මුළු රටම දන්නවා. අදත් එක්සත් ජාතික පක්ෂයේ බොහෝ අය වැඩ කරන්නේ මේ ආණ්ඩුවේ ගනුදෙනුත් එක්ක.  

 

ප්‍රශ්නය:- ලෝක වසංගතයත් සමග ලෝක ආර්ථික කඩා වැටීමක් සමග වුවත් මේ ආණ්ඩුව යම් හොඳ මට්ටමකින් රට කළමනාකරණය කරලා කියලා ඔබ පිළිගන්නේ නැද්ද?  


පිළිතුර:- මේ ආණ්ඩුව හොඳ මට්ටමකින් රට කළමනාකරණය කළා කියන එක මම හිතන්නේ නෑ. අංගොඩ ඉන්න අයවත් පිළිගන්නවා කියලා. මොකද මේ රජය බලයට පත් කරපු පිරිස් රජය බලයට ගේන්න දැවැන්ත වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරපු සියලුම දෙනා දැඩි කලකිරීමට පත්වෙලා ඉන්නේ. කිසිම කළමනාකරණයක් නැති කිසිම වැඩපිළිවෙළක් නැති ආණ්ඩුවක් කියන එක පොඩි ළමයි වුණත් දන්නවා. රට පාලනය කරනවා තියා හාල් මිල පාලනය කරගන්නවත් මේ ආණ්ඩුවට බැහැ. ගත්තොත් ගන්නේ මෝඩ තීන්දු. ඒ තීන්දුවත් වෙනස් කරලා ආයෙත් ගන්නේ ඊටත් වැඩිය මෝඩ තීන්දු. වියත් මඟ කියන නමටත් ලජ්ජයි. කොරෝනාවලින් දහතුන් දාහක් මියගියා. ඒ හැම මරණයකටම මේ ආණ්ඩුව වගකිව යුතුයි. 

 
ප්‍රශ්නය:-  විපක්ෂය හැටියට එහෙම කියනවා හැරෙන්න වෙන මොනවා කියන්නද?  


පිළිතුර:- එහෙම නොවෙයි. යථාර්ථය ඒකනේ. දැනට මේ දේශපාලන භූමියෙ පොදුජන පෙරමුණට අමතරව තියෙන ප්‍රධානම බලවේගය තමයි අපි. විපක්ෂයෙ වැඩිම මන්ත්‍රී පිරිස ඉන්නේ අපිට. හැබැයි ඒ අපි ප්‍රධාන විපක්ෂය වුණා කියලා විතරක් මදියි. මේ බලවේගය රාජ්‍ය බලය අත්පත් කර ගැනීම දක්වා ශක්තිමත් විය යුතුයි. ඒ වෙනුවෙන් අපිට තව කළ යුතු වැඩ කොටසක් තියෙනවා. හැබැයි ඕනෑම මැතිවරණයක් තිබ්බොත් මේ රාජපක්ෂලාට තියෙන දැඩි විරෝධය නිසා ඔවුන් ඡන්ද පොළට යන්නේ රාජපක්ෂවරුන්ට එරෙහිව. ඒ වාසිය අපට තියෙනවා. නමුත් අපි ඒ වාසිය ඒ විදියටම පාවිච්චි කරන්නේ නැතිව අපි බලය ගත්තාම ඒ බලය හරියට පාවිච්චි කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි ජනතාවට ඉදිරිපත් කරනවා.

 

 

සාකච්ඡා කළේ
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්