
ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක බලයට පත් වී මෙම මස 21 වැනිදාට වසර දෙකක් සපිරෙයි. කිසිදා ජනාධිපතිවරණයක් ජයගෙන හෝ පාර්ලිමේන්තු බලය හොබවා හෝ නොතිබූ ජාතික ජනබලවේගය සහ ජවිපෙ යන පක්ෂ දෙක දැන් ආණ්ඩුවක් කරගෙන යන්නේ අනුර අදින් වසර දෙකකට පෙර ජනාධිපතිවරණය ජයගත් නිසාය. දෙවර්ෂ පූර්ණ සංවත්සරයක් යනු ජනාධිපති ලෙස අනුරට මෙන්ම පක්ෂයටද මහත් සතුටින් ජයඝෝෂා මැද සැමරිය යුතු අවස්ථාවකි. එහෙත් සංවත්සරයට සතියකට පෙර මෙරට නිල සංචාරයකට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා ජනාධිපති අනුරගේත් ආණ්ඩුවේත් ජයග්‍රාහී සංවත්සර සැමරුම අවුල් කළා ද? ආරක්ෂක යුද නැවක් පිරිවරාගෙන ලක්දිවට ආ ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා ලංකාණ්ඩුවේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තියට එරෙහිව යම් තර්ජනාංගුළියක් එසවූයේ ද? ඒ පිළිබඳ යම් සැකයක් මතුවන්නේ ඉන්දියාවේ ආරක්ෂාවට බලපාන කිසිදු කටයුත්තක් ශ්‍රී ලංකා රජයෙන් සිදුනොවන බවට ජනාධිපතිවරයා පැවසූ බව රජයේ මාධ්‍ය මගින්ම පැවසූ නිසාය.
වසර තිස්පහකට පසු ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයකු ලංකාවට පැමිණියේ ඇයි?
ලොව ඕනෑම බලවතකු මෙන් ඉන්දියාවද තම අසල්වාසී රටවල් දෙස බලන්නේ තමා අබිබවා නොයා යුතුය යන අදහසිනි. වර්තමානයේ රුසියාව යුක්රේනයට එරෙහිවද චීනය තායිවානයට එරෙහිව ගෙන යන්නේ එම ප්රතිපත්තියයි. අතීත කාලයේ ආන්ද්‍ර, පාණ්ඩ්‍ය සහ චෝල ආක්‍රමණිකයන් ලක්දිව ආක්‍රමණය කළේද එම ප්‍රතිපත්තියෙනි. 1987 දී ඉන්දීය අගමැති රජීවි ගාන්ධි ලංකාව අරබයා ක්‍රියාත්මක කළේද එම ප්රතිපත්තියමය. 1987 ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමට මෙරටට ආ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ජේ.ආර්. සමග පැවැති සාකච්ඡාවේදී කළ ප්‍රකාශයක් එවක මෙරට සිටි ඉන්දීය මහකොමසාරිස් ජේ.ඇන්. ඩික්සිත් සටහන් කර ඇත්තේ මේ ආකාරයටය.
“තමා සමග අත්සන් කරන ගිවිසුම ගැන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මෙරට ඇමරිකානු තානාපතිවරයා සමග සම්පූර්ණයෙන්ම සාකච්ඡා කර ඇතැයි රජීව් ගාන්ධිට මම දැනුම් දුනිමි. රජිව් එම වදන් අසා පුදුමයට පත්විය. පසුදා ජේ.ආර්.මේ බව රජීව්ට දැනුම් දුන් පසු රජීව් මොහොතක් නිහඬව සිට හිස වැනුවේය. ශ්‍රී ලංකාව තම ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා පාකිස්තානය, ඇමෙරිකාව, ඊශ්‍රායලය ආදී රටවල් සමග ක්‍රියාන්විත කාර්යයන්හි සබඳතා ඇතිකර නොගන්නා තාක් ඉන්දියාවෙන් විරුද්ධත්වයක් මතු නොවේ යැයි ඔහු පැවසීය. එසේ වුවද ශ්‍රී ලංකාව එළඹෙන මෙකී ගනුදෙනු ඉන්දියාව සමීපව නිරීක්ෂණය කරන බවද රජීව් සඳහන් කළේය. ඉන්දු - ලංකා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා එකී රටවල් කිසිදු ආකාරයකින් හවුල් කර නොගත යුතු බව රජීව් අවධාරණය කළේය. වෙනත් කිසිදු රටකින් එන ආධාරයක් ගිවිසුමේ විධිවිධාන හෝ ඇමුණුම්වල අන්තර්ගත කරුණු උල්ලංඝනය නොකළ යුතු බවද රජිව් කියා සිටියේය”
එදා පමණක් නොව මතු අනාගතය දක්වා සදහටම ඉන්දියාව ලංකාවෙන් බලාපොරොත්තු වන හැසිරීම ඉතා තියුණු වගන්ති සිය ගණනකින් රජීව් ගාන්ධි ඉන්දු - ලංකා ගිවිසුමට ඔබා තිබුණේ ඒ අයුරිනි. ලංකාවේ භූමිය කිසිදු අයුරකින් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු රටකට ලබා නොදිය යුතු බව සේම ලංකාවේ තෙල් ටැංකි, ඛනිජ තෙල් කැණීම ඇතුළු වේගවත් සංවර්ධනයකට අදාළ වන ක්‍රියාකාරකම් සියල්ල ඉන්දියාවේ ආරක්ෂාව යන වගන්ති තුළට බහා ඉර හඳ පවතින තාක් කල් බල පැවැත්වෙන සේ මුද්‍රා තැබුවේ 1987 දීය. වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයාට ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට අදාළ වන ඕනෑම කටයුත්තකදී කිසිම රටකට පොළොව ලබා නොදෙන බවය.
ඉන්දියානු ආරක්ෂක ඇමැතිවරයාගේ සංචාරය සිදුවූයේ ඉන්දියාව කලාපයේ පමණක් නොව සමස්ත ලෝක සිතියම තුළම ඉතා ප්‍රබල තත්ත්වයක සිටින මොහොතකය. චීන ජනාධිපති ෂී ජින් පිං, රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් යන නායකයන් ඇතුළුව ‘‘‘‘‘“බ්‍රික්ස්” රටවල රාජ්‍ය නායක සමුළුව පැවැත්වූයේද ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා මෙරටින් නික්ම ගිය දිනට පසුදාය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මූලිකත්වයෙන් ජී 7 රටවල රාජ්‍ය නායක සමුළුවට දෙවැනි තැන ගන්නා ‘“බ්‍රික්ස්” රාජ්‍ය නායක සමුළුව නවදිල්ලි අගනුවරදී පැවැත්වුණේ ලෝක බල තුලනය සඳහා ඉන්දියාව වැදගත් බලවතකු ලෙස ජනාධිපති ට්‍රම්ප් ඇතුළු බටහිර බලවතුන් ද එකහෙළා පිළිගන්නා පසුබිමකය. එහිදී ඉන්දීය ආරක්ෂක හා සංවර්ධන ඉදිරි ගමන සඳහා ලංකාව තම භූමිය පිටස්තරයන්ට ලබා නොදෙන බවට වගබලා ගැනීම ඉන්දියාවට ඉතා වැදගත්ය. ආරක්ෂක ඇමැතිවරයා පැමිණියේ එදා රජිව් ගාන්ධි කී අයුරින්ම “‘පාඩුවේ සිටින්නැ” යි මෙරට ආණ්ඩුවට කියා යන්නට බවට කිසිදු සැකයක් නැත.
“අසල්වැසියන්ට පළමු තැන” යන්න මෝදි රජය යටතේ ඉන්දියාවේ ප්‍රතිපත්තිය වේ. එහිදී ඉන්දියාවේ ආරක්ෂක වුවමනාවන් ගැන මනා අවබෝධයක් ශ්‍රී ලංකා රජයට තිබිය යුතුය. ඇමෙරිකාව, චීනය ඇතුළු බාහිර බලවතුන් සමග සබඳතා වර්ධනය කරගත්තද ඉන්දියාවේ ආරක්ෂක කටයුතුවලට හානි වන ගිවිසුම්වලට ශ්‍රී ලංකා රජයය නොබැඳියි යුතුය
ලංකාව පිළිබඳ ඉන්දියාවේ ප්‍රතිපත්තිය වන්නේ එයයි.
ඉන්දියාව කොතරම් බලවතකු වුවද වෙළෙඳ නාවික ගමනා ගමනයෙහිදී ඉන්දීයාව සිටින්නේ ඉතා අසරණවය. ඉන්දියාව සහ ලංකාව අතර පිහිටි නොගැඹුරු මුහුදු තීරය එයට හේතුවය. මේ හේතුවෙන් විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට දකුණු ඉන්දීය වරායවලට පැමිණිය නොහැකිය. දකුණු ඉන්දියාවේ චෙන්නායි ජොන්ඩිචේරි වැනි වරායවල්වලට විශාල ප්‍රමාණයේ නෞකාවලට පැමිණිය නොහැකිය. ඒ නිසා විශාල ප්‍රමාණයේ නෞකා හැසිරවීම සිදුකෙරෙන්නේ ඉන්දීය බටහිර වෙරළේ අරාබි මුහුදු තීරයේ පිහිටි මුම්බායි (බොම්බාය) වරාය සහ බෙංගාල බොක්කේ පිහිටි කොල්කටා වරාය වලිනි. එහෙත් විශාල රටක් වන ඉන්දියාවේ දකුණු දිග ප්‍රාන්තවල ගොවි නිෂ්පාදන සහ කාර්මික අපනයන නැව්ගත කිරීමට මෙම වරාය දෙක පමණක් ප්‍රමාණවත් නොවේ. එය වියදම් අධික කටයුත්තක්ද වෙයි. එමෙන්ම ජාත්‍යන්තර නාවික මාර්ගයේ සිට වැඩි කාලයක් සහ වැඩි මුදලක් ගෙවා මෙම වරාය වෙත යා යුතුය. නවීන ලෝකයේ එය වියදම් අධිකය. ඒ නිසා ඉන්දියාව යෝජනා කර ඇත්තේ දකුණු ඉන්දියාවේ ධනුස්කෝඩි හෝ සිට වැලිපර දූපත් පෙළට සමාන්තරව ඉදිකරන මුහුදු මහා මාර්ගයකින් දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දූපත යා කිරීමටය. එතැන් සිට ගොඩබිම් අධිවේගී මාර්ගයකින් ත්‍රිකුණාමල වරාය කරා භාණ්ඩ ප්‍රවාහනයට ඉන්දියාව යෝජනා කර ඇත. දෙරට යා කිරීමට යෝජිත මෙම මාර්ගයේ දුර කිලෝමීටර් 32 කි.
කොළඹ වරායට පැමිණෙන භාණ්ඩ ධාරිතාවෙන් සියයට හැත්තෑවක්ම ඉන්දියාවට අයත්ය. එයට හේතුව ඉන්දියානු වරායවලට විශාල ප්‍රමාණයේ නෞකාවලට යා නොහැකි නිසා කුඩා නෞකාවලින් කොළඹ වරායට රැගෙන විත් එතැන් සිට විශාල නෞකාවල අඩුක්කර පිටරටවලට යැවීමය. මෙම සියයට හැත්තෑවට ඉන්දියාවට එන සහ යන බඩු දෙකොටසම අයත් වෙයි. මුහුදු මාවතක් ඉදිකිරීම මගින් ඉන්දියාව අපේක්ෂා කරන්නේ කොළඹ වරායට ප්‍රති නැව්ගත කරන භාණ්ඩ කන්ටේනර් මුහුදු මාවත දිගේ කොළඹට හා ත්‍රිකුණාමල වරායට ලොරි රථ මගින් එවා එතැනින් නෞකාවලට පැටවීමටය. එහෙත් එම යෝජනාවට තවමත් ශ්‍රී ලංකා රජයේ එකඟතාව පැමිණ නැත. ත්‍රිකුණාමල වරායේ පාලනය ලබාගැනීම ද ඉන්දියාවේ සිහිනයක්ව තිබිණ. ඉන්දු - ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස මෙරටට ආ ඉන්දීය හමුදාව වසර දෙක හමාරක්ම ත්‍රීමල වරාය පාලනය කළේ ඔවුන්ගේ සිහිනය මුදුන්පත් කරගනිමිනි.
එලෙසම නැගෙනහිර පළාතට පැමිණි ඉන්දියන් හමුදාව මෙරට රැඳී සිටි වසර දෙක හමාරක කාලය තුළ නැගෙනහිර පළාතේ ඇති ඛනිජ සම්පත් නිධි පිළිබඳ පූර්ණ විස්තරයක් ලබාගත් බව එකල සිටි ලාංකීක හමුදා නිලධාරීන්ට රහසක් නොවේ. ඇතැම් ඛනිජ නිධි විද්‍යාත්මක ගවේෂණයකට ද ලක්කිරීමට ඉන්දියාව එදා පියවර ගත්තේය. ඉන්දියාවේ රාජ්‍ය ප්‍රතිපත්ති ලංකාවේ මෙන් නිතර වෙනස් නොවන හෙයින් නැගෙනහිර පළාතේ ඛනිජ සම්පත් අත්පත් කර ගැනීම අදටත් ඉන්දියාවේ අපේක්ෂාව යැයි සමහරුන්ගේ මතය වේ.
2023 දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර නවදිල්ලියේ හයිද්‍රාබාද් මැදුරේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ත්‍රිමලය වරාය කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම ඇතුළු ගිවිසුම් හතරකට දෙරටම අත්සන් තැබීය. යෝජිත මුහුදු මහා මාර්ගය, ඉන්දියාවේ සිට ලංකාවට නළ මගින් ඛනිජ තෙල් පොම්ප කිරීම එම ගිවිසුම් අතර වෙයි.
මෙම පාලම ඉදිකිරීම මගින් එය මෙම කලාපයේම සංචාරක ආකර්ෂණයක් වනු ඇතැයි ද ඉන්දියාවට එන බොහෝ විදේශීය සංචාරකයන් මෙම පාලම මතින් ලංකාවට ද ඒමට කැමැති වෙනු ඇතැයි ද එමගින් ලංකාවට විශාල ඩොලර් ආදායමක් ලැබෙනු ඇතැයිද ඉන්දීය පාර්ශ්වයේ විශ්වාසය වුවත් මෙම සියලු සැලසුම් තවමත් දෙරටේ අමාත්‍යාංශ පෙට්ටගම්වල දූවිලි බැඳෙමින් තිබේ. ඉන්දීය ආර්ථික වුවමනාවන් සඳහා ලංකා රජය තම භූමිය ලබාදීමට පැකිළෙන අතර ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා වෙනත් බලවත් රටක් හවුල්කර ගැනීමේ දී ඉන්දීය මාර්ග බාධක ඉතා ඉක්මනින් ඉදිවෙයි. මේ දිනවල මන්නාරම ඛනිජතෙල් නිධියක් ගවේෂණය කිරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව ආයෝජකයන්ගෙන් ලංසු කැඳවීමක් සිදුකළ අතර ඉන්දීය මාර්ග බාධකවලින් පැන එම ගවේෂණ සිදුකිරීම බලවත් අභියෝගයක් වන බවට සැක නැත. උතුරේ දූපත්වල සහ මන්නාරමේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ද තවමත් නිසිලෙස ආරම්භ කර නැත. ‘“බ්‍රික්ස්” සමුළුවේ දී ඉන්දීය සහ චීන රාජ්‍ය නායකයන් ඉතා සමීපව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වමින් දෙරටේ ආර්ථික සමෘද්ධිය සඳහා නව සැලසුම් යථාවත් කිරීමට සාකච්ඡා කළ ද චීන සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම ගැන ඉන්දියාව දක්වන්නේ අමනාපයකි. ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා පැමිණියේ මෙම ඉන්දියානු වුවමනාවන් ගැන ජනාධිපති අනුරට යළිත් සිහි කැඳවා යන්න ද? එසේ නැතිනම් වෙනත් හේතුවක් ද? කවරක් වුවත් ඉන්දියානු පණිවිඩය ලංකා රජයට අභියෝගයක් බව නම් නිසැක ය.
ප්‍රේමකීර්ති රණතුංග

