ආරක්ෂක ගිවිසුම් අත්සන් කරන්න කියලා මටත් බලපෑම් ආවා එත් මම කළේ නෑ...


- හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - 

රටේ දේශපාලනය ඇතුළත සිදුවෙමින් පවතින්නේ කුමක්ද? එදා සිදු වූයේ මොනවා ද? මේ ගැන විමසමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග කළ සාකච්ඡාවකි. 

Q රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් හැදුවා කියලා ආණ්ඩුව කියනවා. එහෙම දෙයක් ඔබට පෙනෙනවා ද - දැනෙනවා ද?

පිළිතුර:- ආණ්ඩුව එහෙම කිව්වට මටනම් තාම එහෙම දෙයක් පේන්නේ නෑ. මොකද ආණ්ඩුවේ මැති ඇමැතිවරු කියන කතා එකිනෙකට පරස්පරයි. අනිත් පැත්තෙන් ගත්තාම රටේ දේශපාලන සංස්කෘතියත් එක්ක ආර්ථිකය බලපානවා. රටේ මහජනතාවට දේශපාලන සංස්කෘතිය පැහැදිලි ලෙසම ජනතාවගේ ආර්ථිකය දිහා බලලා තමයි තීන්දු තීරණ ගන්න ඕනෑ දැන් ජනතාව දැඩි ආර්ථික පීඩනයකින් ඉන්නේ. මේ රජය බලයට පත්වෙන වෙලාවේ තිබුණ බඩු මිල සියයට සීයකින් ඉහළ නැගලා. ඒ නිසා ජනතාවගේ දුක්ගැනවිල්ලක් තියෙනවා. ‘‘“අපට දැන් හරි අමාරුයි. ජීවත් වෙන්න කියලා’’ අනික් පැත්තෙන් ගත්තාම රජයේ කටයුතු සම්බන්ධයෙන්  විනිවිද භාවයක් නෑ!

Q ඔබ එහෙම  කියන්නේ?

පිළිතුර:- මම එහෙම කියන්නේ මේ ආණ්ඩුව ඉන්දියාවත් එක්ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. ඒ ආරක්ෂක ගිවිසුමේ තියෙන කරුණු කිසිම දෙයක් තවම මේ රටේ ජනතාව දන්නේ නෑ. ලංකා ඉතිහාසයේ ආරක්ෂක ගිවිසුම් රජකාලේවත් තිබිලත් නෑ. අවසානෙට තිබුණු ගිවිසුම ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණයට ආධිරාජ්‍යවාදීන්ගේ කාලයේදී ගිවිසුමක් ඒගොල්ලෝ අත්සන් කළා. ඒ එවකට තිබුණ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නායකයන් සමග. ඒ ගිවිසුමේ තිබුණේ ‘‘ලංකාවට නිදහස දෙනවා. එහෙම වුණත් බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ යුද කඳවුරු දෙකක් කටුනායක සහ ත්‍රිකුණාමලයේ පවත්වාගෙන යාමට “අවශ්‍යයි’’ කියලා. ඒ හදපු ගිවිසුමත් 1956 දී බලයට පත්වුණ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා ඒ රටවල් එක්ක සාකච්ඡා කරලා ඒ කඳවුරු දෙකත් ඉවත් කරගත්තා.

ඒ විදියට බලනකොට මෙතෙක් කිසිම රටක් එක්ක මේ රට ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරලා නෑ. මේ අත්සන් කරපු ආරක්ෂක ගිවිසුමේ කරුණු මොනවද කියලා ඇමැති මණ්ඩලයත් පාර්ලිමේන්තුවත් දන්නෙත් නෑ. මේ රටේ කිසිම කෙනෙක් දන්නෙත් නෑ. ඒ නිසා රාජ්‍ය පාලනය තුළ තිබූ ප්‍රජාතාන්ත්‍රවාදී ස්වරූපයට මේ ගිවිසුම බරපතළ තත්ත්වයක්.

Q ඔබ ජනාධිපතිව සිටි සමයේ මේ වගේ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන බලපෑමක් ආවද?

පිළිතුර:- ඔව් ඔව්. මම ජනාධිපති කාලෙත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහෙම ගිවුසුමක් අත්සන් කරන්න යෝජනාවක් ආවා. මම ඒ එකකටවත් කැමති වුණේ නෑ. අපේ අල්ලපු මිත්‍ර රාජ්‍ය වගේම ලෝකයේ අද බලවත්ම ධනවත්ම රටෙනුත් ආවා. එම්.සී.සී. ගිවිසුම කියන  එක එවකට හිටපු ඇමෙරිකානු තානාපතිනිය මාව තුන් පාරක් හමුවුණා. ඒක ක්‍රියාත්මක කරගන්න.  මම ඒ තුන් සැරේම කිව්වා. “මම කැමති නෑ.” කියලා.

Q ඔබ ඉන්දියාවත් එක්ත ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළේ ඇයි? ගිවිසුමේ අන්තර්ගතය දැනගෙන ද?

පිළිතුර:- ඉන්දියාවත් එක්ක එහෙම ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමේ උවමනාවක් ඒ වෙලාවේ තිබුණේ නැනේ. මගේ අවුරුදු පහ ගත්තාම ඉතාම සාමකාමිනේ.

Q පාස්කු ප්‍රහාරය වෙන්නේ ඔබේ කාලයේදී?

පිළිතුර:- ඔය කොහේවත් යන පාස්කු බෝම්බය වැදුණට එහෙම වෙනත් රටක් සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන තරමට අපි දුර්වල වෙලා හිටියේ නෑ.

Q ඔබ කියන්නේ දැන් රටක් හැටියට අපි දුර්වලයි කියලද?

පිළිතුර:- සමහර වෙලාවට මේක අත්සන් කළේ අපි දුර්වලයි කියලා හිතාගෙන ද කියලා මට කියන්න බෑ. නමුත් මෙහෙම ආරක්ෂිත ගිවිසුමක් අත්සන් කරන්න  කලින් කැබිනට් එකට දාන්න ඕනෑ. පාර්ලිමේන්තුවට දාන්න ඕන. අපි වෙනත් රටවල් සමග ඕනෑ තරම් ගිවිසුම් අත්සන් කරනවා. ඒ සංස්කෘතික ආර්ථික අධ්‍යාපන කෘෂිකාර්මික තාක්ෂණය වැනි ක්ෂේත්‍රවලට අදාළව. ඒවා කැබිනට් එකටත් දානවා. හැබැයි නිදහසෙන් පස්සේ කිසි රටක් එක්ක අපි ආරක්ෂක ගිවිසුම් අත්සන් කළේ නෑ. රටේ තිස් අවුරුද්දක යුද්ධය තිබුණු කාලෙ ඉන්දියන් හමුදාව ලංකාවට ආවා. හැබැයි එතැනදිත් කතාබහ කරලා ගෙන්න ගත්තා මිසක් ගිවිසුමක් අත්සන් කළේ නෑ.

Q ඇයි ඉන්දු ලංකා ගිවිසුම?

පිළිතුර:- ඉන්දු ලංකා ගිවිසුමේ තිබුණේ බලය බෙදීම පිළිබඳවයි. ඒක ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇතිවෙච්ච කාරණාවක්. බලය සම්බන්ධයෙන් ගිවිසුම අත්සන් කරලා ඊට පස්සේ ගෙනාවා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභා හදන තැනට යන්න අපට සිද්ධ වුණේ එහෙමයි. 13 වැනි සංශෝධනයෙන් පස්සේ පළාත් නවයක් සඳහා පළාත් සභා 9ක් ඕනෑ කියලා තුන්වැනි සැරේට පළාත් සභා පනත හැදුවා. ඒවායේ මේ ආරක්ෂක කටයුතු පිළිබඳව කිසිම දෙයක් තිබුණේ නෑ. ඒ නිසා මේ අත්සන් කරලා තියෙන ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් රටේ ජනතාව අවධානය යොමු කරන්න ඕනෑ.

බැසිල් රාජපක්ෂ බලශක්ති සම්බන්ධ ගිවිසුමක් රෑ 12.50ට ලෝකෙට ලොක්කත් එක්ක අත්සන් කළේ. අද වෙනකම් ඒකේ මොනවද තියෙන්නෙ කියලා දන්නෙත් නෑනෙ. මගේ පාස්කු කොමිසමේ ෆයිල් ඔක්කොම ගෙනහින් දීලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වෙනම ෆයිල් එකක් දීලා ‘‘“මේක නීතිපතිට යවන්නත් එපා පොලිසියට දෙන්නත් එපා’’ කියලා ඒකේ තියෙන්නේ මොනවද කියලා. කවුරුවත් දන්නෙත් නෑ. ඒකෙ මොනවද තියෙන්නෙ කියලා දන්නෙවත් නැතිව තමයි මට කෝටි 10ක් වන්දි ගෙවන්න වුණේ.

Q ඔබ ඒ වන්දිය ගෙව්වනේ.

පිළිතුර:- ඔව් මම ඒ වන්දිය ගෙව්වා. එහෙම තිබියදීත් මම දැක්කා ඊයේ පෙරේදා ලෝකෙට ලොක්කා වෙන්න හදන එක මනුස්සයෙක් කියනවා. ‘මට දඩ ගහනවා’ කියලා. මට දඩ ගැහුවෙ නෑ. වන්දියකුයි ගෙවන්න වුණේ.

Q ඒ අධිකරණ තීන්දුවට එදිරිව ඔබට අභියාචනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබුණා. නමුත් ඔබ ඒක කළේ නෑ. 

පිළිතුර:- ඇත්තටම කෝටි 10ක් වන්දි ගෙවන්න තිබුණ වෙලාවේ මට අභියාචනාවක් කරන්න දස පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලන්න තිබුණා. මට තීන්දුව දුන්නේ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක්. එතකොට අලුතෙන් එක්වෙන්නේ විනිසුරන් තුන් දෙනයි. ඒ තුන්දෙනා වෙනස් විදියට මේක දිහා බැලුවත් තීන්දුව දුන්න හත්දෙනා එක පැත්තකනේ. ඒක නිසා අධිකරණය සමග හැප්පෙන්න අගෞරව කරන්න මම ගියේ නෑ. මම ඉතින් නිශ්ශබ්දව මට පුළුවන් විදියට කෝටි 10 ගෙවලා නිකම් හිටිය. මම වෙන මොනවා කරන්නද?

Q පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මම දන්නවා කියලා ඔබ කිව්වා. මේ ආණ්ඩුව කිව්වා මහ මොළකරු හෙළි කරනවා කියලා. නමුත් තවම මුකුත් වුණේ නෑ?

පිළිතුර:- සමාජ වෙබ් අඩවිවල දැන් මේ යන්නේ ‘‘මහ මොළකරු අහවලා ඇයි එයාව අත්අඩංගුවට ගන්නේ නැත්තේ? කියලා නමක් කියැවෙනවා. ඒකට සම්බන්ධ පිරිස් ගැනත් මම දැක්කා සෝෂල් මීඩියාවල යනවා ආරක්ෂක අංශවල ලොක්කෙක් ගැනත් කියැවෙනවා. අපිටත් තියෙන ප්‍රශ්නය මේකේ මහ මොළකරු කවුද කියන එකනේ. මටත් ප්‍රශ්නය ඒක තමයි.

Q “මම දන්නවා’’ කියලා ඔබ කිව්වනේ?

පිළිතුරු:- ඔව් මම ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීලා තියෙනවා. මම ඒවා මාධ්‍යයට කියන්න යන්නේ නෑ. 

Q කෝටි 10ක වන්දි මුදල අමාරුවෙන් හොයාගත්තා කියලා කිව්වත් රෝයල් පාක් මිනීමැරුම් අපරාධකරුට ජනාධිපති සමාව දීලා ඔබ කෝටි 50ක් හොයා ගත්තා.

පිළිතුර:- මෙහෙමනේ දේශපාලනයේ ජඩ මඩ දෙකම තියෙනවා. ඕනෑ කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. දේශපාලනඥයකුට හිතවත් පිරිසට වඩා අහිතවත් පිරිස තමයි වැඩි. දැන් ඉන්න ජනාධිපතිතුමා සියයට 43ක් අරගෙන දිනුවනේ නමුත් වැඩි ඡන්දයක් පාවිච්චි වෙලා තියෙන්නේ. එයාට විරුද්ධවනේ. ඒ නිසා චරිත ඝාතන, මඩ කියන ඒවා සාමාන්‍ය දෙයක්. 

Q ඒ කියන්නේ ඔබට එල්ල වුණේ බොරු මඩක්.

පිළිතුර:- මට මේ හිරකාරයෙක්  නිදහස් කරලා කෝටි 50ක් හරි 100ක් හරි ගන්න තරම් දුර්වල මිනිහෙක් නොවෙයි. අවුරුදු 35ක් පාර්ලිමේන්තුවේ ඉඳලා අවුරුදු 23ක් ඇමැතිකම් දරලා රටේ ජනාධිපති වෙලා ඉන්න මට හිරකාරයෙක් නිදහස් කරලා සල්ලි ගන්න තරම් හිඟන තත්ත්වයක් නෑ. මේ චරිත ඝාතන. මම  ඕනෑම කෙනෙකුට අභියෝග කරනවා ඔය චෝදනාව ඔප්පු කරන්න කියලා.

Q ඔබ ඉන්න මේ නිල නිවසට ඉදිරිපිටින් තියෙන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ නිල නිවස. ජනාධිපති සමාව අවභාවිත කිරීමේ චෝදනාව මත ඔහු අද ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ. ඔබ ජනාධිපතිව සිටි සමයේදී ජනාධිපති සමාව  අවභාවිත වෙලා තියෙනවා කියලා ඔබ හිතන්නේ නැද්ද?

පිළිතුර:- මගේ කාලයේ තරම් හිරකාරයෝ නිදහස් කළේ නෑ වෙන කිසිම කාලයකවත්. මම දහස් ගණනක් නිදහස් කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම  ඒවායින් සාමාජික රටවල්වලට තියෙන්නේ. පුළුවන්තරම් සිරකරුවන් පුනරුත්ථාපනය කරන්න. අඩු කරන්න කියලයි. එතකොට ඔය රෝයල් පාක් සිද්ධියට අදාළ හිරකරුවා සම්බන්ධයෙන් අතුරලියේ රතන උන්වහන්සේ තමයි එහෙ මෙහෙ දුවලා දාඩිය දාගෙන පවුලේ අයත් හත් අට වතාවක් මං ගාවට එක්කරගෙන ඇවිල්ල සෑහෙන්න මහන්සි වුණේ. මේකට මගේ අත්සන ගන්න මං ගාවට ආවේ මගේ නීති අධ්‍යක්ෂක. එයා ගෙනාවමත් මම කිව්වා ‘“ඕක අත්සන් කරන්න මගේ එච්චර කැමැත්තක් නෑ” කියලා.

Q ඔබ ඇයි කැමති වුණේ නැත්තේ!

පිළිතුර:- මම කිව්වා ඕකට ලොකු විරෝධයක් එයි කියලා.

Q නමුත් අන්තිමට ඔබ අත්සන් කළා?

පිළිතුර:- මගේ නීති අධ්‍යක්ෂ කිව්වා ‘‘“සර්ට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.” ආණ්ඩුවකට ව්‍යවස්ථාවට අනුව සර්ට පුළුවන් හිරකාරයන් නිදහස් කරන්න. මේක අත්සන් කරන්න කියලා. මම වෙන වැඩ වගයක් කර කර හිටියේ. එයා ගෙනාවේ ලොකු ෆයිල් එකක්ම ඒක පෙරළන කොටත් එපා කිව්වා. ‘‘“සර් එකේ ඔච්චර බලන්න දෙයක්  නෑ. මේ සිරකරුවා අවුරුදු 10ක් හිරේ ඉන්නකොට එයාගේ මරණීය දණ්ඩනය ඉවත් වෙලා තියෙනවා” කියලා. 

Q ඒක වුණෙත් ඔබේ කාලයෙදි!

පිළිතුර:- නෑ, නෑ ඒක වෙලා තියෙන්නේ මම එන්න කලින්. ඒක සාමාන්‍ය ක්‍රමවේදයක්. අවුරුදු 10ක් අච්චු කරලා තියෙද්දි එයාගේ මරණීය දණ්ඩනය ඉවත් වෙලා තියෙනවා. මේ ප්‍රශ්නය මම ගාවට ආවෙ ඊටත් අවුරුදු දෙකකට පස්සේ. එයා  හිර ගෙදර ඉන්නකොට සාමාන්‍ය උපාධිය සමත් වෙලා තියෙනවා. එයාව පශ්චාත් උපාධිය කරන්න ලියාපදිංචි වෙලා පාඩම් කරනවා කියලා තමයි කිව්වේ. ඒත් මගේ එච්චර කැමැත්තක් තිබුණේ නෑ.  නමුත් රතන උන්නාන්සේගේ තිබුණ දැඩි බලපෑමත්, නීති අධ්‍යක්ෂකගේ මග පෙන්වීමත් නිසා මම අත්සන් කළේ.

Q ඔබට දැන්වත් සැක හිතෙන්නේ නැද්ද මේ ක්‍රියාවලිය පිටුපස යමක් වෙලා තියෙනවා කියලා.

පිළිතුර:- ඒ වෙනකොට මට ඒ ගැන කිසිම තොරතුරක් ලැබිලා තිබුණේ නෑ. නිදහස් කළාට පස්සේ තමයි මට නොයෙක් විදියට මඩ ගහන්න පටන් ගත්තේ.

Q ඔය චෝදනාව ගැන පරීක්ෂණයක් කළේ නැද්ද?

පිළිතුර:- මේ ගැන හොයන්න කියලා මම බුද්ධි අංශවලට බාරදුන්නා. ඒ ගෙදර අය කියලා තිබුණෙත් නෑ කාටවත් සල්ල දුන්න කියලා. දුන්නත් කියන්නෙත් නෑනෙ. මේකේ අතරමැද හිටපු අතුරලියෙ රතන උන්නාන්සේගෙන් මේ ගැන කිසිම විමර්ශනයක් කළේ නෑ. උන්නාන්සේ මෙකේ ප්‍රධාන වගඋත්තරකරු දෙවැනි වග උත්තරකරු වෙන්න ඕනෑ මගේ නීති අධ්‍යක්ෂ. ජනාධිපතිවරු කියන අය විශ්ව දැනුම තියෙන අය නොවෙයි. 

Q එප්පාවල සමුපකාර සමිතියට අයින් ඉඩමක ඔබ ගොඩනැගිල්ලක් හදලා තියෙනවා කියලා ඊයේ පෙරේදා සීඅයිඩියට පැමිණිල්ලක් ආවා?

පිළිතුර:- ඒකත් හරිම විනෝදජනක කතාවක්. මම ඔය එප්පාවල සමුපකාර සමිතියෙ අධ්‍යාපන හා සැපයුම් නිලධාරී හැටියට සේවය කළා. අවුරුදු එක හමාරක් විතර වැඩ කරලා මම ඉල්ලා අස්වුණා. ජනාධිපති වෙලා මම ඉන්නකොට එක දවසක් මම යනකොට මට හිතුණ එතැනට ගිහින් බලන්න ඕනෑ කියලා. මම යනකොට මගෙත් එක්ක වැඩ කරපු කිසිම කෙනෙක් හිටියේ නෑ. මම කෝල් එකක් දෙන්නේ නැතිව ගියේ. ජනාධිපති හැටියට මම එතැනට ගියාම ඒ අය පුදුම වුණා. මම ඇවිත් ඉන්නවා කියලා ආරංචිවෙලා. ඒ ඒ ළඟ ඉන්න මගෙත් එක්ක  වැඩ කරපු කීප දෙනෙකුත් ආවා. මම හොඳට කතා බස් කරලා කාරකට නගින්න යනකොට සභාපතිතුමා මට කිව්වා. ‘‘&සිරි අපිට මේ ගොඩනැගිල්ල ඉඩ මදියි අපට කාර්යාලයක් හදලා දෙන්න කියලා.’’ මම කිව්වා ‘‘&ලියුමක් දෙන්න’’  කියලා. ඒ ලියුම ලියනකම් මම වාඩිවෙලා හිටියා.

ඒ ලියුමට මම අත්සන් කරලා මගේ නිලධාරින්ට දුන්නා. ඒ අනුව තමයි  හමුදාවේ ග්‍රාම දායකත්වයෙන් එතැන  බිල්ඩිම හදන්න පටන් ගත්තේ. ඊට පස්සේ ආණ්ඩුව වෙනස් වුනා. එතැන වැඩ කරපු හමුදාවේ අයව නැවත කැඳෙව්වා. ඒ විදියට තමයි එතැන වැඩ  නතර වුණේ. මේ ඉතිහාසය ගමේ ග්‍රාමසේවකගෙන් හරි ඇහුවානම් පැමිණිල්ලක් කරනවා තියා හිතන්නෙවත් නෑ. 

Q ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

පිළිතුර:- මම ඉතින් රටේ ඉහළම තැනට ගිය කෙනෙක්. මම ජීවිතය ජයග්‍රහණය කරගත් කෙනෙක්. ජීවිතයේ විඳින්න පුළුවන් හැම දුකක්ම විඳපු කෙනෙක්. දේශපාලනය නිසා හිරේ විලංගුවේ වැටුණ කෙනෙක්. අපි බලමු ඉදිරියට මොකක්ද වෙන්නේ කියලා.

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්