කමතට පැමිණි සුදුලියන්


කමතේ මී ගවයන් ලවා ගොයම් පැගීමට එක්වීම 
 
 
විදෙස් සංචාරකයන්ට දෑකැත්තෙන් කුඹුරුවල ගොයම් කැපීම හා මීගවයන් යොදා ගනිමින් ගොයම් පෑගීම පාරම්පරික සම්ප්‍රදායික කමත් චාරිත්‍රවලට අනුව සිදුකරන ආකාරය, සහභාගී නිරීක්ෂණ ක්‍රමවේදය අනුසාරයෙන් ඉගැන්වෙන විශේෂ ව්‍යාපෘතියක් - “අයුබෝවන් ඌවපරණගම සමුපකාර සමිතිය විසින්” ආරම්භ කර තිබේ.
 
ඌවපරණගම  ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වන එච්.එම්. අසංක බණ්ඩාර ඇතුළු තරුණ පිරිසක් විසින් බෝඹුරු ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර, ආරම්භක වැඩසටහන අතිශයින් සාර්ථක වූ බැව් සංවිධායකයෝ පවසති.
 
එංගලන්තයේ සිට සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජෙබ් (න්‍්ඉැ)  හා ස්පාඤ්ඤයේ සිට පැමිණි බැලැන්කා (ඊ ක්බන්) යන තරුණ මිතුරියන් දෙදෙනා ඌවපරණගම බෝඹුරු ඇල්ල නැරඹීමට පැමිණි අවස්ථාවේ දී වැඩසටහන පිළිබඳ වාචික හඳුන්වා දීමක් සිදු කර ඇති අතර, එහිදී ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී තිබේ. 
 
ඒ අනුව බෝඹුරු ඇල්ල කුඹුරු යායට ඔවුන් කැටුව ගොස් ගැමි කතුන් සමග ගොයම් කැපීමෙහි නිරත කරවා ප්‍රායෝගික පුහුණුව ලබා දී තිබේ. පසුව සන්ධ්‍යා භාගයේ දී මී ගවයන් උපයෝගී කරගෙන ගොයම්  මැඩීම හා ඒ ආශ්‍රිත සියලු ක්‍රියාකාරකම් කමත් චාරිත්‍රනුකූලව අධ්‍යයනය කිරීමේ අවස්ථාව සංවිධානය කර දී ඇති අතර, ඇඹුල රැගෙන ඒම වැනි සරළ ක්‍රියාකාරකම් පවා වැඩසටහනට ඇතුළත්ව තිබී ඇත.   
 
 කුඹුරෙන් කැපූ ගොයම් කමතට රැගෙන  ඒම
 
ලංකාවේ සංචාරයකට පැමිණ - ජීවිතයේ කිසිදාක අත් නොවිඳි මත්තෙහි ද අත්විඳීමට නොලැබෙන ස්වභාවයේ සුන්දර අත්දැකීමක් විඳි   සුදු ජාතික තරුණියන් බෙහෙවින් සතුටු වී යැයි සංවිධායකයෝ “ඉරිදා ලංකාදීපය” ට ප්‍රකාශ කළහ.  
 
සුදු තරුණියෝ, ලාංකීය ගැමි තරුණියන් ලෙස මල් චීත්තයෙන් හා හැට්ටයෙන් සැරසී - අපේ ලියන් සමග හවුලේ ගොයම් කපමින්, ගොයම් මිටි කමතwට අදිමින්, අල්ලට සීනි ගෙන තේ කහට බොමින්, වෑදම් බත් කමින්,  අතිශය උනන්දුවෙන් ඉගෙනුම් ක්‍රියාවලියෙහි නිරත වූවෝය.
 
බ්‍රිතාන්‍ය ජාතික ජෙබ් (න්‍්ඉැ) හා ස්පාඤ්ඤ ජාතික බැලැන්කා  (ඊක්බන්)  මෙසේ පැවසුවෝය.
 
“අපි සුන්දර ලංකාවේ දර්ශනීය ස්ථාන නැරඹීමට පැමිණ සතියක විතර කාලයක් වෙනවා. අපි ඇල්ල නගරය අවට සිරි නරඹන අතරතුර - ඌවපරණගම පිහිටි බෝඹුරු ඇල්ල දිය ඇල්ල ගැනත් අවට සුන්දර පරිසරය ගැනත් අසන්නට ලැබුණා. ඒ අනුව අපි මෙහි පැමිණියා. එම අවස්ථාවේ මේ සුන්දර ගම්මානයේ  සිටින තරුණයන් පිරිසක් ශ්‍රී ලාංකීය ගොවියෝ කුඹුරක පාරම්පරිකව වැඩ කරන අන්දම පිළිබඳව අපිව දැනුවත් කළා. අපේ ජීවිතයට අත් නොදැක්ක නැවත දකින්නට නොලැබෙන මෙම දර්ශන දැක බලාගන්නත්, ඒ අත්දැකීම් විඳ කියා ගන්නත්, අපිට අවශ්‍ය වුණා.” 
 
“ඒ අනුව අපි මෙම කුඹුරු යායට ආවා. අපිත් ශ්‍රී ලාංකීය ගැමි කාන්තාවන් වගේම  සැරසුණා. ගොවියො, ගෙවිලියන් සමග කුඹුරේදි ගොයම් කැපුවා. කැපූ ගොයම්  මිටි බැඳ කමතට හිසේ තබා ගෙන රැගෙන ආවා. මීගවයන් බැඳ ගොයම් පෑගීමේ දී අපිත් එම මීගවයන් දැක්කුවා. ඒ විතරක් නොවෙයි. ගැමි කාන්තාවන් විසින් අපේ ආහාරයත් (ඇඹුල, වෑදම) කමතට ගෙනවිත් දුන්නා. ජීවිතේට පළමු වතාවට මැටියෙන් තැනූ පිඟානකින්  බත් කෑමත් පොල් කට්ටකින් වතුර බීමත් කළා. අපිට ලංකාවේ ගැමියන් ගේ කෑම වේලක රස බලන්න ලැබුණු පළමු අවස්ථාවත් මෙයයි.”
 
“ලංකාව කියන්නේ ඉතාමත් අලංකාර රටක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. බලන්න ලස්සන තැන් වගේම ඉතා නිහතමානී ජනතාවක් ජිවත් වෙන රටක් වගේම, පාරම්පරික දේවල් රැක ගන්නා රටක් බව අද අපි අත් දැක්කා. මේ සුන්දර රටේ මතකයන් රැගෙන අපේ රටවලට ගොස් එහි ජීවත්වන අයටත් එක් වතාවක් හෝ ලංකාවට එන්න කියන පණිවිඩය අපේ රටේ වැසියන්ට ලබාදෙනවා.”
 
 
මෙම වැඩසටහන සංවිධානය කළ ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන එච්.එම්. අසංක බණ්ඩාර අප හා එක් වූයේ මෙසේය.
 
“ඌවපරණගම ජන ජීවිතයට නව ශක්තියක්, ජවයක් ලබාදීමේ අරමුණෙන් විදේශීය සංචාරකයන් ඉලක්ක කර කරමින් “ආයුබෝවන් ඌවපරණගම” යන ව්‍යපෘතිය ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර හැටියට ගොයම් කැපීම, මැඩීම පාරම්පරික කමත් චාරිත්‍ර අනුගමනය කරමින් සිදුකරන අන්දම පිළිබඳව සංචාරකයන් දැනුවත් කිරීමක් සිදු කරනවා. අපේ අරමුණ ඌවපරණගම පුරාවටම මෙවැනි ව්‍යාපෘති සිදුකරන්නයි. මෙවැනි ව්‍යාපෘති ඔස්සේ සංචාරකයන්ගේ සහයත් සමග  වෙනත් ව්‍යාපෘති ද හඳුන්වා දෙනවා. මේ සඳහාම අපි ‘%ආයුබෝවන් ඌවපරණගම සමුපකාර සංගමය’ පිහිටුවා තිබෙනවා. ඒ හරහා වෙබ් පිටුවක් ක්‍රියාත්මක වෙනවා. එමගින් අපේක්ෂා කරන්නේ ඌවපරණගම ජනතාව ජ්‍යාත්‍යන්තර ප්‍රජාව හා බද්ධ කිරීමට කටයුතු කිරිමටයි. ඌවපරණගම ප්‍රෞඩ ඉතිහාසය, සංස්කෘතිය සමග අපේ අභිමානය  ලෝකයට ගෙන යාමත් අපේ බලාපොරොත්තුවක්.”
 
“මේ කටයුත්තට වත්මන් ආණ්ඩුවත්, ඌවපරණගම ප්‍රාදේශීය සභාවත් ලබා දෙන සහායත් අති විශාල බව කියන්න ඕනෑ. මෙම සුන්දරවූ බෝඹුරු ඇල්ල දිය ඇල්ල නරඹන්න එන දෙස් විදෙස් සංචාරකයන් මෙම ස්ථානයෙන් බාහිරව ඌවපරණගම විවිධ ස්ථානවල සොබා දහම විසින් නිර්මාණය කර තිබෙන ස්ථාන හා පරිසරයත් නැරඹීමට එකතු කර ගනිමින්, ගැමියන්ගේ  කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු ප්‍රදේශයට ආවේණිකව පවතින ද්‍රව්‍යයන්ට වෙළෙඳපොළක් නිර්මාණය කරගැනීම අපේ එකම අරමුණයි.”
 
ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්. ජිනදාස මෙසේ කීවේය.
 
බදුල්ල දිස්ත්‍රික්කයේ අාදායම අඩු ප්‍රාදේශීය සභා අතරට ඌවපරණගමත් අයත් වෙනවා. එනිසා අපේ සභාවේ අාදායම ඉහළ නංවා ගැනීමට සංචාරක ව්‍යාපාරය වැදගත් සාධකයක් වෙනවා. අපේ ඌවපරණගම  සංචාරක සිත් ඇදගන්නා ස්ථාන රාශියක්ම තිබෙනවා. එම ස්ථාන සඳහා සංචාරක ආකර්ෂණයක් ඇති කිරීමත්, ප්‍රදේශයේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන හා පාරම්පරික ආහාර ද්‍රව්‍ය සඳහා ඉල්ලුමක් ඇති කොට ගැමියන්ගේ ආර්ථිකය ගොඩ නගන්නත් හැකියාවක් තිබෙනවා. අපි සංචාරක ව්‍යාපාරය ඌවපරණගම තුළට ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.” 
 
වැලිමඩ කේ.ආර්. රාජමන්ත්‍රි