මනුෂ්‍ය අපේ මීළඟ නවාතැන අඟහරු ලෝකය යැයි බොහෝ දෙනාගේ පිළිගැනීමය. අඟහරු හෙවත් රතු ග්‍රහයා ගවේෂණයට රොබෝ ගවේෂණ යානා යැවීමට හැකි වුවත්, අඟහරු මතට ගගනගාමීන් යැවීමට තවමත් හැකි වී නැත. එහෙත් ඒ සඳහා බලාපොෙරාත්තු ඇත. එමෙන්ම ඉදිරි දශකයේ සඳට ගගනගාමීන් යැවීමට පමණක් නොව - සඳ මත ජනපද පිහිටුවීමට ඇමෙරිකාව, චීනය පවා මේ වනවිට ලහි ලහියේ සුදානම් වෙයි. ඒත් මිනිසාගේ මීළඟ නවාතැන වන්නේ අඟහරුද? නැතිනම් අප පෘථිවියේ උප ග්‍රහයා වන සඳු ද?
කෙසේ වෙතත් විද්‍යාඥයන් ගේ මතය වී ඇත්තේ අඟහරු හෝ සඳ හෝ මනුෂ්‍ය වාසයට සුදුසු නොවන බවය. ප්‍රධාන වශයෙන් මනුෂ්‍ය අපට අත්‍යවශ්‍යම සාධකයක් වන ඔක්සිජන් අඟහරු මත හෝ සඳ මත නොපවතී. එය එසේ වී නමුත්, තවත් වසර බිලියන ගණනක් ගතවෙද්දී - මිනිස් ජීවය කෙබඳු වේවි ද? මනුෂ්‍ය වර්ගයාගේ මීළඟ නවාතැන් පොළ අඟහරු වේවි ද? චන්ද්‍රයා වේවි ද? නැතිනම් අප සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් අභ්‍යවකාශ වස්තුවක් වේවි ද?
අප සෞරග්‍රහ මණ්ඩලයේ හිරුට පසු මුලින්ම ඇත්තේ පාෂාණමය ග්‍රහලෝක 4 කි. බුධ, සිකුරු, පෘථිවිය සහ අඟහරු හෙවත් රතු ග්‍රහයා යනු එම පාෂාණමය ග්‍රහවස්තූන් 4 වේ. එම පාෂාණමය ග්‍රහවස්තූන් 4 පසු කළ විට, ග්‍රහක පටිය හමුවෙයි. ග්‍රහක පටියෙන් ඔබ්බට යද්දී, අපට හමුවන්නේ වායුමය ග්‍රහ වස්තූන් ය. අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති, ලස්සනම ග්‍රහයා වන සෙනසුරු, ඉන්පසු යුරේනස් සහ ප්ලූටෝ ආදී ග්‍රහවස්තූන් ද ඇත්තේ ඉන්පසුවය. මෙම වායුමය ග්‍රහවස්තූන් 4 දෙනා ගෙන් පසු කයිපර් පටිය සහ ඌට් වලාව පිහිටයි. මුළු සෞරග්‍රහ මණ්ඩලයේ සැකැස්ම වන්නේ මෙයයි.
සූර්යයාට ඉතාමත් ආසන්නයේ ඇත්තේ - බුධ සහ සිකුරු ග්‍රහයන් ය. ඒවායේ උෂ්ණත්වය අධික බැවින් ජීවයක් බිහිවීමට හෝ පැවැතීමට සුදුසු පරිසරයක් බුධ හෝ සිකුරු ග්‍රහයන් ගේ නැත. සූර්යයාට ඉතා ආසන්නව පිහිටන බැවින් ජලය ද්‍රව අවස්ථාවේ නොපවතී. ජල අංශු තිබුණත්, සූර්ය උෂ්ණත්වය නිසා සැණින් වාෂ්ප වේ. අඟහරු වලින් ඔබ්බට යද්දී සූර්ය උණුසුම නැති කලාපයේ ඇති ග්‍රහලෝක අධික සිසිලසකින් යුක්තය. එහෙයින් ජීවය බිහිවීමට හෝ පැවැතීමට හෝ අවශ්‍ය සාධක නැත. සූර්යාලෝකය ඉතා අඩුවෙන් මෙම ග්‍රහවස්තූන්ට ලැබෙයි. මෙම ග්‍රහ වස්තූන්ගේ ජලය පවතින්නේ මිදුණු අයිස් ලෙසය.
සූර්යාලෝකය අඩුත් නැතිව, වැඩිත් නැතිව ලැබෙන කලාපයේ ඇත්තේ අප පෘථිවිය සහ අඟහරු ග්‍රහයා පමණි. මෙම කලාපය ජීවයට සුදුසු කලාපය නැතිනම් හැබිටබල් සෝන් ලෙස සැලකෙයි. ඒ අනුව ගලා යන ජලය පවතී. අධික උෂ්ණත්වයක් නොමැති නිසා ජලය වාෂ්ප වීමක් සිදුවන්නේ නැත. උෂ්ණත්වය අඩු නිසා ජලය මිදී අයිස් වීමක් සිදුවන්නේ ද නැත. ඒ අනුව ජීවයට සුදුසුම කලාපය මෙයයි. ඒත් අඟහරු ග්‍රහයා ගෙන් ගලා යන ජලය මෙතෙක් හමුවී නැත. අතීතයේ අඟහරු මත විල් සහ සාගර තිබෙන්න ඇතැයි පැහැදිලි සාක්ෂි නම් සොයා ගැනීමට හැකි වී ඇත. බොහෝ විද්‍යාඥයන්ට අනුව, අප සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙද්දී, මුලින්ම ජීවය නිර්මාණය වන්න ඇත්තේ අඟහරු ග්‍රහයා ගෙනි. වසර මිලියන ගණකක් ඈත අතීතයේ අඟහරු ජීවයෙන් පිරුණු සශ්‍රීක තැනක් වන්නට ඇත. නමුත් අඟහරු යම් ආකාරයකට සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. අද එය ජීවයෙන් තොර කර්කශ තැනකි. අඟහරු මත වූ ජීවය පෘථිවියට පැමිණි බවත්, පසුව පෘථිවිය ජීවයෙන් පිරුණු බවටත් අදහසක් පවතී.
හැබිටබල් සෝන් සදාකාලික නැත. එය නිරන්තරයෙන් ටිකෙන් ටික වෙනස්කම් වලට ලක්වෙයි. එය සිදුවන්නේ අප සූර්යයා වයසට යද්දීය. මේ වනවිට අප සූර්යයා පවතින්නේ තරුණ අවදියේය. වර්තමානය වෙන විට සූර්යයාගේ වයස අවුරුදු බිලියන 4.5 කි. සූර්යයාගේ වයස ටිකෙන් ටික වැඩි වෙද්දී - සූර්යයා මතුපිට හයිඩ්‍රජන්, හීලියම් බවට පත්වීමේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව සෙමින් සෙමින් අවසන් වීමට පටන් ගනී. ඒ අනුව අදින් වසර බිලියන පහක පමණ කාලයක් ගිය පසු සූර්යයාගේ හයිඩ්‍රජන් ප්‍රමාණය නිරන්තරයෙන් අඩුවීමක් සිදුවෙයි. සූර්යයාගේ හයිඩ්‍රජන් ප්‍රමාණය අඩු වෙද්දී සූර්යයා ටිකෙන් ටික ප්‍රමාණයෙන් විශාල වෙයි. ඒ රතු යෝධයකු බවට පත් වෙමිනි. සූර්යයා මෙසේ රතු යෝධයකු වූ පසු හැබිටබල් සෝන් වෙනස් වෙයි. සූර්යයා රතු යෝධයකු වූ විට එහි ප්‍රමාණය අඟහරු ග්‍රහයා පිහිටන ස්ථානය දක්වා විශාල වෙයි. එවිට පෘථිවිය විනාශ වනු ඇත. අප පෘථිවිය සුර්යයා විසින් ගිලිනු ලබනු ඇත.
තව වසර බිලියන පහක් පමණ යද්දී මිනිසා අභ්‍යවකාශ තරණයේ ලොකු දියුණුවක් ලබා තිබෙන්න පුළුවනි. අභ්‍යවකාශ ගමන් බිමන් සාමාන්‍ය එදිනෙදා ගමන් බිමන් වී තිබෙන්න ද පුළුවන. එහෙයින් සූර්යයා විශාල වී අඟහරුගේ කක්ෂය ආසන්නයට පැමිණෙද්දී, එනම් පෘථිවිය විනාශ වෙද්දී මනුෂ්‍ය වර්ගයා ඔවුන්ගේ නව නවාතැන ලෙස, නව හැබිටබල් කලාපයේ ස්ථානයක් තෝරා ගෙන අභ්‍යවකාශ යානා වලින් එහි යනු ඇත. සූර්යයා රතු යෝධයකු ලෙස ප්‍රසාරණය වෙද්දී - නව හැබිටබල් කලාපය වනු ඇත්තේ, බ්‍රහස්පති සහ සෙනසුරු අයත් වන කලාපයයි. බ්‍රහස්පති සහ සෙනසුරු උෂ්ණත්වය අඩුත් නැති වැඩිත් නැති ග්‍රහයන් බවට පත් වෙයි.
මෙම කලාපයේ ග්‍රහවස්තුන් ගේ ඇති ජලය (අයිස්) ද්‍රව මට්ටමට පත් වෙයි. බ්‍රහස්පති අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකයයි. බ්‍රහස්පති වටා භ්‍රමණය වන උප ග්‍රහයන් හෙවත් චන්ද්‍රයන් බොහොමයකි. ඒ අතරින් ද ප්‍රධාන චන්ද්‍රයන් කීප දෙනෙකු සිටී. ඒ අතරින් තාරකා විද්‍යාඥයන්ගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ යුරෝපා චන්ද්‍රයා කෙරෙහිය.
යුරෝපා චන්ද්‍රයාට විශේෂත්වයක් ඇත. ඒ යුරෝපා චන්ද්‍රයා සතුව වැසුණු සාගරයක් පැවතීමය. වැසුණු සාගරය ඇත්තේ අයිස් වලිනි. යුරෝපා චන්ද්‍රයා ද හැබිටබල් සෝන් කලාපයට අයත් වෙද්දී, අයිස් වැස්ම සෙමින් සෙමින් ඉවත් වී දියවී යයි. එවිට පහළින් ඇති සාගර මතුවීම සිදුවෙයි. මේ වන විට මිනිස් වාසයට සුදුසු පරිසරයක් යුරෝපා ග්‍රහලොව මත නිර්මාණය වී තිබෙනු ඇත. අවසානයේ සූර්යයාගේ ප්‍රසාරණයත් සමග පෘථිවිය විනාශ වෙද්දී මිනිසා ගේ නව නවාතැන වීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ බ්‍රහස්පති ගේ යුරෝපා චන්ද්‍රයාය. යුරෝපා යනු බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයන් හතරෙන් එකක් වන අතර, එය 1610 වසරේ දී ගැලීලියෝ ගැලීලි විසින් සොයා ගනු ලැබුණි. එය පෘථිවි චන්ද්‍රයාට වඩා තරමක් කුඩාය. විෂ්කම්භය කි.මී. 3,130 ක් පමණය. සාගර වලට අමතරව, යුරෝපා චන්ද්‍රයා ප්‍රධාන වශයෙන් පාෂාණ වලින් සමන්විත වීම ද විශේෂත්වයකි.
ලුසිත ජයමාන්න
බීබීසී ප්ලැනට්ස් ඇසුරිනි