පළාත් පාලන ආයතන 339 කට සභිකයන් තෝරා පත්කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ ප්‍රතිඵල පසුගිය බදාදා (07) දින නිකුත් කෙරිණි. ප්‍රතිඵලවලට අනුව, ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගය පක්ෂයට පළාත් පාලන ආයතන 265 ක ජයග්‍රහණය හිමි වූ අතර ඒවායෙන් ආයතන 126 ක බහුතර බලය හිමි විය. එම පක්ෂයට බලය හිමි වූ පළාත් පාලන ආයතන 265 අතරට මහ නගර සභා 23 ක් නගර සභා 25 ක් සහ ප්‍රාදේශීය සභා 217 ක් අයත්ය. ප්‍රතිඵල සටහනේ දෙවැනි තැනට පත් වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට පළාත් පාලන ආයතන 37 ක බලය හිමි වූ අතර සමගි ජන බලවේගයට පළාත් පාලන ආයතන 14 ක බලය හිමි විය. මේ අතර පළාත් පාලන ආයතන කිහිපයක බලය ස්වාධීන කණ්ඩායම්වලට හිමිවීම ද විශේෂත්වයකි.
ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන රැසක බලය හිමිවුවද, ඒවායෙන් ඇතැම් ආයතනවල එම පක්ෂය ලබා ගත් සභික සංඛ්‍යාව ඉක්ම වූ සභික සංඛ්‍යාවක් සෙසු පක්ෂ ලබාගත් සභික ප්‍රමාණයෙහි එකතුවෙන් නිරූපණය වෙන හෙයින්, එම ආයතනවල ප්‍රධානීන් සහ උපප්‍රධානීන් (නගරාධිපතිවරුන්, උපනගරාධිපතිවරුන්, සභාපතිවරුන් සහ උප සභාපතිවරුන්) තෝරා පත්කර ගැනීම අර්බුදකාරී වෙනු ඇතැයි දේශපාලන හා නීති අංශ පෙන්වා දෙයි.
මෙම ඡන්ද විමසීමට අදාළ ප්‍රතිඵලයෙන් විෂද වෙන අනිත් වැදගත් කාරණය නම් පාලක ජාතික ජන බලවේගය පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී ලද ඡන්ද ප්‍රතිශතයෙහි යම් පසුබෑමක් දක්නට ලැබීමය. ඒ අනුව, ඉකුත් 2024 වසරේ නොවැම්බර් මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම පක්ෂය මුළු ඡන්ද හැට අට ලක්ෂ හැට තුන් දහස් එකසියය අසූ හයක් (6,863,186) ලබා ගත්තේ සියයට 61.56 ක ඉහළ ප්‍රතිශතාත්මක අගයක් වාර්තා කරමිනි. (2024 සැප්තැම්බර් මස පැවති ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක ඡන්ද 5,634,915 ක් ලබා ගත්තේය) කෙසේ වෙතත් මෙම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී, ජාතික ජන බලවේගයට ලබා ගත හැකි වූයේ මුළු වලංගු ඡන්දවලින් සියයට 43.26 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව හතළිස් පන් ලක්ෂ තුන් දහස් නවසියය තිහකි (4,503,930). ඒ අනුව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව සමග සැසඳීමේ දී මෙවර මැතිවරණයේ දී එම පක්ෂයේ ඡන්ද පදනම විසි තුන් ලක්ෂ පනස් නව දහස් දෙසිය පනස් හයකින් (2,359,256) අඩු වී ඇත. ප්‍රතිශතාත්මක අඩුවීම 18.3 කි.
සියයට 50 නැති පළාත් පාලන ආයතනවල සභාපතිවරු තෝරා ගැනීම කල් යන ලකුණු
මේ ගණන් හිලව් ගැන විශ්ලේෂණය කළ යුත්තේ, මැතිවරණවලට අදාළ ප්‍රධාන රටාවන් දෙකක් සිත්හි තබා ගෙනය. පළමුවැන්න නම්, ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ජයගත් පක්ෂය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සහ පළාත් සභා ඡන්ද විමසීම ද ජයග්‍රහණය කිරීමට ඉහළ සම්භාවිතාවක් පැවතීමය. දෙවැන්න නම්, ප්‍රධාන මැතිවරණ ගණයට වැටෙන ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණවලට සාපේක්ෂව පළාත් පාලන ආයතන මැතිවරණවල සහ පළාත් සභා මැතිවරණවල ඡන්දය ප්‍රකාශ කිරීම අඩු මට්ටමක පවතින බවය. පළමු රටාව ගතහොත් එය සැබෑවක් වී තිබේ. ඒ අනුව පාලක ජාතික ජන බලවේගයට ආයතන බහුතරයක බලය හිමි වී තිබේ. දෙවැනි රටාව ද යථාර්ථයක් වී තිබේ. ඒ අනුව පසුගිය මහ මැතිවරණයේ දී වාර්තා වූ සියයට 68.93 ක් වූ ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය මේ පළාත් පාලන ආයතන මැතිවරණයේ දී සියයට 55 ත් 60 ත් අතර අගයක් දක්වා පහළ වැටී තිබේ.
ආණ්ඩු පක්ෂයට බහුතර පළාත් පාලන ආයතන රැසක බලය හිමිකර ගැනීමට හැකි වී තිබුණ ද, ඡන්ද පදනම ලක්ෂ විසි තුනකින් පමණ අඩු වී තිබීම බැරෑරුම්ව සැලකිය යුතු තත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඉහත දී සඳහන් කළ පරිදි, ප්‍රධාන විපක්ෂය වෙන සමගි ජන බලවේගය ආයතන 14 ක බලය හිමිකර ගැනීමට සමත්ව සිටින අතර පසුගිය මහා මැතිවරණයට සාපෙක්ෂව ඔවුන්ගේ ඡන්ද පදනම ද සුළු අගයකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව එම පක්ෂය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී මුළු ඡන්ද 1,968,716 ක් ලබා ගත්තේ සියයට 17.66 ක් ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමිනි. කෙසේ වෙතත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී සජබ ඡන්ද විසි දෙලක්ෂ පනස් අට දහස් හාර සියය අසූවක් (2,258,480) ලබාගත් අතර එහි ප්‍රතිශතාත්මක අගය සියයට 21.69 කි. ඒ අනුව එම පක්ෂයේ ඡන්ද පදනම 289,764 කින් වැඩි වී තිබේ. ප්‍රතිශතාත්මක වැඩි වීම සියයට 4.03 කි. මීට අමතරව පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵලයට සාපෙක්ෂව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්ද පදනම ඡන්ද 604,088 කින් ද එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම ඡන්ද 422,172 කින් ද ඉහළ ගොස් තිබේ.
එළැඹෙන ජූනි 02 වැනිදා වෙන විට පළාත් පාලන ආයතන පිහිටුවිය යුතුය. එහෙත් මුලදී සඳහන් කළාක් මෙන්, ඇතැම් පළාත් පාලන ආයතනවල කිසිදු පක්ෂයකට සියයට 50 ඉක්ම වූ සභික ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වී ඇත. තවත් ආයතනවල බහුතරය ආණ්ඩු පක්ෂයට හිමි වී තිබුණ ද සෙසු පක්ෂ ලබාගෙන ඇති සභික ප්‍රමාණය එම අගයට සමාන හෝ එය ඉක්මවයි. මේ සන්දර්භයේ එවැනි ආයතනවල නගරාධිපතිවරුන්, උපනගරාධිපතිවරුන්, සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් පත් කිරීම කල් යෑමට ඉඩ ඇති බව දේශපාලන හා නීති අංශ මත පළ කරයි.
අප මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් කළ විමසීමේ දී ඔහු සඳහන් කළේ ඇතැම් පළාත් පාලන ආයතනවල බහුතර බලය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්ව පැනනැගී ඇතත් පළාත් පාලන ආයතන පිහිටුවීම කිසිසේත්ම කල් නොයන බවය. “පළාත් පාලන ආයතන පිහිටුවීමට අදාළ ගැසට් පත්‍රය කොමිසම විසින් ජූනි 2 වැනි දිනට පෙර නිකුත් කරනවා. ඊට පස්සෙ ඕනෑම දවසක සභා පිහිටුවන්න පුළුවන්. සභාවලට ඒ ඒ පක්ෂවලින් සහ කණ්ඩායම්වලින් පත් කරන අපේක්ෂකයන්ගේ නම් කොමිසමට එවන ලෙස දන්වමින් ඊට අදාළ ලිපි අපි ඉක්මනින්ම යොමු කරනවා. ඒ අය දින 7 ක් ඇතුළත ඒ නම් එවිය යුතුයි. අපිට එවන නම් අපි ගැසට් කරනවා” ඔහු පැහැදිලි කළේ ය.
මේ අල්ලපනල්ලේ එවැනි සභාවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂ එකතු විය යුතු බව ප්‍රකාශ වෙන අතර මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ විපක්ෂයේ පක්ෂ සමග එකතු වී එවැනි සභාවල බලය පිහිටුවීමට සිය පක්ෂය සූදානම් බවය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ කිසිදු කණ්ඩායමක් සමග එකතු වී පක්ෂයට බහුතරය නැති ආයතනවල බලය පිහිටුවීමට කටයුතු නොකරන බවය.
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක, කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතර බලයක් හිමි නොවී ඇති හෝ සමාන සභික සංඛ්‍යාවක් බෙදී ගොස් ඇති ආයතන සඳහා ප්‍රධානීන් පත් කිරීමේ ක්‍රමවේදය මෙසේ පැහැදිලි කළේ ය.
“පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී, පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් හා උපප්‍රධානීන් තේරීමේ දී තනි පක්ෂයක් හෝ කණ්ඩායමක් සීයට 50 කට වඩා වැඩි ප්‍රසාදයක් ලබා නැති අවස්ථාවල දී, අදාළ ආයතන සඳහා ප්‍රධානීන් පත් කිරීම සිදුවෙන්නෙ පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන් වූ පසු, යම් පළාත් පාලන ආයතනයකට තරග කළ කණ්ඩායම් අතරින් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සියයට 50 ට වැඩි සභික ප්‍රමාණයක් හිමි වෙලා තියෙනවා නම්, මැතිවරණ කොමිෂන් සභාව අදාළ පක්ෂයේ ලේකම්වරයාට හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයාට ලිපියක් මගින් දැනුම් දෙනවා ඔබේ නියෝජිතයන් තෝරන්න කියලා. මෙහිදී පක්ෂවලට හා කණ්ඩායම්වලට සභාවලට පත් කරන්නේ කවුද යන්න තීරණය කළ හැකියි.”
ආණ්ඩුවට ඡන්ද ලක්ෂ 23 ක් අහිමි වෙයි
“ඒත් යම් සභාවක එක් පක්ෂයක් සියයට 50 ක සභික ප්‍රමාණයකුත් අනිත් පක්ෂ සියල්ල ලබා ගත් සභික ප්‍රමාණයෙහි එකතුව සියයට 50 කුත් වෙන අවස්ථාවක දී, සියයට 50 ක් ගත් තනි පක්ෂයේ ලේකම්වරයාට හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයාට පුළුවන් අදාළ සභාවේ ප්‍රධානී තනතුරට පුද්ගලයෙකුගෙ නමක් යෝජනා කරලා යවන්න. එවැනි සභාවල බහුතර බලය ලබා ගත් තනි පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නියෝජනයෙන් පත් වුණු ප්‍රධානීන්ට පළාත් පාලන ආයතන අයවැය ඡන්ද විමසීම්වල දී හා වෙනත් අන පනත් සම්මත කිරීම් දී තමන්ගෙ තීරක ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. යම් පළාත් පාලන ආයතනයක කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සියයට 50 ඉක්ම වූ සභික සංඛ්‍යාවක් දිනාගත නොහැකි අවස්ථාවල, මැතිවරණ කොමිෂන් සභාව සභිකයන්ගේ නම් ලැයිස්තුව පමණක් ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කරනවා.
2018 වසරේ පෙබරවාරි 10 වැනිදා පැවැත් වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සියයට 50 ට වැඩි සභික සංඛ්‍යාවක් ලබා ගත නොහැකි වූ සභාවලට තේරී පත් වූ සභිකයන්ගේ නම් ලැයිස්තුව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඒ වසරේ මාර්තු 9 වැනිදා. ඒ සඳහා කොමිෂන් සභාව දවස් 29 ක් අරන් තිබුණා පක්ෂවලින් මේ ගැන අහන්න.
අතිරේක ලැයිස්තුවෙන් හා කාන්තා නියෝජනය යටතේ සභාවලට පත්වෙන අයගේ නම් මැතිවරණ කොමිසමට ඒ ඒ පක්ෂ හා කණ්ඩායම් විසින් දැනුම් දිය යුතු නිශ්චිත දිනයක් ගැන පනතෙ සඳහන් වෙන්නෙ නෑ. ඒක දුර්වලතාවක්. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කර ඇති අංක 2424/02 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව එම අමාත්‍යාංශය විසින් ජූනි මාසෙ 2 වැනිදාට පෙර පළාත් පාලන ආයතන 339 ම ප්‍රතිස්ථාපිත කළ යුතුයි. මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කළ යුත්තෙ ඒ ගැසට් නිවේදනයට අනුව.”
ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනය නිකුත් කළාට පසු මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය අවසන් වෙනවා. ඊට පස්සෙ පෙර කී අවිනිශ්චිත සභාවන් සඳහා සභිකයන් පත් කිරීමේ බලය තියෙන්නෙ පළාත් පාලන කොමසාරිස්වරුන්ට. ගැසට් නිවේදනය නිකුත් කරලා සතියක කාලයක් ඇතුළත පළාත් පාලන කොමසාරිස්වරුන් ඒ ඒ සභාවලට තෝරා පත් කර ඇති සියලු සභිකයන්ට ලිපියක් මගින් දැනුම් දිය යුතුයි එක් එක් සභාවල ප්‍රධානීන් හා උපප්‍රධානීන් තෝරා පත් කර ගැනීම සඳහා පළමු රැස්වීම පැවැත්වෙන දිනය ගැන. එහිදී යෝජනා ස්ථීරත්වයෙන් සභාවක සභාපති ධූරයට කෙනෙකුගෙ නමක් යෝජනා කරන්න පුළුවන්. එහිදී නම් දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් යෝජනා වුණොත් ඊට අදාළව සභාවේ කැමැත්ත විමසනවා. එලෙස කැමැත්ත විමසන අවස්ථාවේ දී වැඩි බහුතරය ලබා ගත් තැනැත්තා සභාපති හැටියට පත් කරනවා. නමුත් යම් අවස්ථාවක දී දෙදෙනෙක් පමණක් ඉදිරිපත් වෙන විට සභාවෙන් ලැබුණු ඡන්ද ප්‍රමාණය දෙපාර්ශ්වයටම සමාන වුවහොත් එහිදී කුසපත් ඇදීමෙන් කෙනෙක් තෝරා ගන්නවා. මෙහිදී හැම විටම බලන්නේ පැමිණ ඇති අයගේ වැඩි බහුතර කැමැත්ත ඇති තැනැත්තා කවුද යන්නයි.
නිදසුනක් ලෙස, සභිකයන් 20 ක් ඇති සභාවක තිදෙනෙක් ඉදිරිපත් වෙන්නේ නම් ඒ තිදෙනා ලබා ඇති ඡන්ද පිළිවෙළින් 11, 5, 5 සහ 3 ලෙස සලකමු. එක් සභිකයෙක් ඡන්දය දීමෙන් වැළකී ඇත. එහිදී සභාපති වශයෙන් තේරී පත් වෙන්නේ ඡන්ද 11 ක් ලබා ඇති තැනැත්තා. එහෙත් එම නිදසුනට අනුවම ඡන්ද ලැබී ඇති පිළිවෙළ 10,5,5 යැයි සිතමු. එහිදී ජයග්‍රාහකයා වෙන්නේ ඡන්ද 10 ක් ලබා ගත් පුද්ගලයා නොවේ. 5 බැගින් ඡන්ද ලබාගත් දෙදෙනා අතර කුසපත් ඇදීමක් කරනවා. එහිදී කුසපත් ඇදීමෙන් ජයගත් කෙනා හා ඡන්ද 10 ක් ගත් කෙනා අතර ඡන්ද විමසීමක් පවත්වලා එහිදී වැඩි ඡන්ද ලබාගත් තැනැත්තා සභාපති හැටියට පත් කරනවා. අදාළ කුසපත් ඇදීම මුලසුන දරන පළාත් පාලන කොමසාරිස්වරයාගේ අභිමතය පරිදි සිදු කළ හැකියි. ඒ ඔහු ඒ අවස්ථාවේ තේරීම් භාර නිලධාරියා වශයෙන් කටයතු කරන නිසා. ”
මේ විදිහට සභාපතිවරු තෝරා පත්කර ගැනීමේ දී ගණ පූර්ණය (සභාවක් පවත්වා ගෙන යෑමට සිටිය යුතු අවම සභිකයන් ප්‍රමාණය) ඉතාම වැදගත්. කිසියම් සභාවක සභාපතිවරයා පත්කර ගැනීමට පවත්වන පළමු රැස්වීම සඳහා නියමිත ගණ පූර්ණය නොතිබුණොත් ගණ පූර්ණය හැදෙන තෙක්ම තේරී පත් වූ සභිකයන්ව සභා රැස්වීමට ගෙන්වා ගැනීම සඳහා පළාත් පාලන කොමසාරිස්වරු ලිපි යොමු කළ යුතුයි. ලංකාවේ දේශපාලනයේ තියෙන ප්‍රතිවිරුද්ධ ගතිකයන් නිසා, තමන්ට අවශ්‍ය ප්‍රධානීන් පත්කර ගත නොහැකි බව හැඟෙන විට, සභිකයන් සභා රැස්වීම්වලට නොපැමිණ සිටීමට පුළුවන්. 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු, උතුරු පළාතේ එක් සභාවක සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ගණ පූර්ණය නොමැති වූ නිසා ඒ සභාව 9 වතාවක් රැස් කිරීමට සිදු වූ බව හිටපු පළාත් පාලන කොමසාරිස්වරයෙකු මා හට ප්‍රකාශ කළා”. යැයි පැවසීය.
උපුල් වික්‍රමසිංහ