
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කරන ණය වැඩසටහනේ පස් වැනි සමාලෝචනය ඉකුත් දා අවසන් කෙරිණ. එම අරමුදලේ සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෝ මීළඟ ණය වාරිකය නිදහස් කිරීමට අදාළ කාර්ය මණ්ඩල එකඟතාවට එළැඹුණහ. මේ අතර ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනය ලබන මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදී මූල්‍ය අරමුදලේ එකඟතා විශාල ප්‍රමාණයකින් සැලකිල්ලට ගැනීමට රජයට සිදු වනු ඇත. ඒ සම්බන්ධ ආර්ථික පරිසරය ගැන මහාචාර්ය සේමසිංහ වන්නිනායක සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියක් මෙසේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් අතර එම අරමුදලේ ණය වැඩසටහනේ පස් වැනි සමාලෝචනයට අදාළ සාකච්ඡා ඉකුත් සතියේ දී පැවැත්විණ. සාකච්ඡා අවසානයේ මීළඟ ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹුණහ. එම එකඟතාවට අයි.එම්.එෆ්.හි විධායක මණ්ඩලයේ අනුමතය හිමි වූ පසු ඩොලර් මිලියන 347 ක මුදලක් රටට ලැබේ. මෙම ණය වාරිකය රටට හිමි වීම මගින් ශ්‍රී ලංකාව එම ණය වැඩසටහන සමග ඉදිරියට යන බවත් අදාළ එකඟතා මගින් ආර්ථිකයේ යම් ප්‍රගතියක් සිදු වූ බවත් ගම්‍ය වේ.
ප්‍රශංසනීය වර්ධනයක්
අයි.එම්.එෆ්. සමග වසර හතරක එකඟතාවකට ශ්‍රී ලංකාව එළැඹුණේ 2023 දී ය. මේ වනවිට එයින් වසර දෙකහමාරක කාලයක් ගත වී ඇත. එම කාලයේ දී අපේ ආර්ථිකය ප්‍රශංසනීය වර්ධනයක් පෙන්නුම් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ණය වැඩසටහන්වලට එළැඹුණු වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වේගවත් එකකැයි කිව හැකි ය. ආර්ථික අර්බුදයෙන් පසු බිඳවැටුණු ආර්ථිකය වේගවත් ප්‍රකෘතියක් අත් කරගෙන ඇති බව එහි ඇඟවුම යි. පසුගිය කාලයේ දී ආර්ථිකයේ බොහෝ අංශවලින් සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කෙරිණ. නිදසුනක් ලෙස 2025 මුල්භාගයේ දී ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4.8 කින් වර්ධනය විය. 2024 වසරේ දී වර්ධන අනුපාතය පැවතුණේ සියයට 5 ක මට්ටමක ය. අයි.එම්.එෆ්. ආයතනය එම වසර වෙනුවෙන් පුරෝකථනය කළ ආර්ථික වර්ධන වේගය ඉක්ම වූ වර්ධනයක් ළඟා කර ගැනීමට අපට හැකි විය.
එසේම විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන 6.1 කි. එය මේ වසර ආරම්භයේ දී ඩොලර් බිලියන 6.5 කට ආසන්න මට්ටමක පැවතුණ ද ගත වූ කාලයේ දී වාහන ආනයනය සඳහා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් වැය කළ හෙයින් සංචිත සුළු ප්‍රමාණයකින් පහත වැටිණ. එවැනි සන්දර්භයක ඩොලර් බිලියන 6 ඉක්ම වූ සංචිත ප්‍රමාණයක් පවත්වා ගෙන යෑම සැලකිය යුතු වර්ධනයක් ලෙස මම සලකමි. උද්ධමනය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී පසුගිය කාලයේ දී එය ඍණ අගයක තිබිණ. එහෙත් සැප්තැම්බර් වනවිට එම අගය සියයට 2.1 ක මට්ටමකට පැමිණ තිබේ. අධිඋද්ධමනය මෙන් ම ඍණ උද්ධමනයද ආර්ථිකයට අයහපත් ය. එසේ වුවත් ඒ තත්ත්වයෙන් මිදෙමින් මේ වෙද්දි උද්ධමනය ධන අගයකට පැමිණ ඇත. පරිභෝජන වියදම්වල ඇති වූ වර්ධනය ඊට ඉවහල් විය. අයි.එම්.එෆ්.හි පුරෝකථනවලට අනුව ද මෙය සාධනීය තත්ත්වයක් වෙන අතර 2026 වනවිට උද්ධමනය සියයට 5ක මට්ටමට ළඟා වනු ඇතැයි අනුමාන කෙරේ.
ණය තිරසරභාවය පිළිබඳ ගැටලුව
ප්‍රාථමික ගිණුමේ අතිරික්තයත් සියයට 2.2 ක අගයක පවත්වා ගෙන යෑමට හැකි වී තිබේ. එකඟතාව අනුව එය පවත්වා ගෙන යා යුතු වන්නේ සියයට 2.3 ක මට්ටමක ය. ඉලක්කය ආසන්නයට පැමිණීමට අපි සමත් වී සිටිමු. 2022 දී මෙරට රාජ්‍ය ආදායම තිබුණේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 8.4 ක වුව ද එම අගය මේ වනවිට සියයට පහළොවේ (15) අපේක්ෂිත ඉලක්කය කරා පැමිණ ඇත. වාහන ආනයනයට අවසර ලැබීමත් සමග බදු ආදායම් ඉහළ ගිය අතර එයත් මේ වර්ධනයට හේතුවකි.
ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වී තිබේ. වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇත. එය රටේ ණය තිරසරභාවය සඳහා ඉතා වැදගත් වන අතර ණය තිරසරභාවය කඩිනමින් ළඟා කර ගත යුතු බව අයි.එම්.එෆ්. ණය වැඩසටහනේ එක් කොන්දේසියක් ද වෙයි. මේ දත්ත ආශ්‍රයෙන් කිව හැක්කේ මේ දක්වා සැලකිය යුතු ආර්ථික ප්‍රතිසාධනයක් අත් කර ගැනීමට ලංකාව සමත් වී ඇති බව ය. ආර්ථික අර්බුදයෙන් ඉක්බිති අයි.එම්.එෆ්. සමග ණය වැඩසටහනකට ඇතුළු වීම සම්බන්ධයෙන් කවරාකාරයේ විවේචන ඉදිරිපත් වුව ද ඒ අවස්ථාවේ තිබූ හොඳම විකල්පය එය බව මගේ අදහස ය. එම ණය වැඩසටහනෙන් එකඟ වූ එකඟතා ඉටු කිරීම හේතුවෙන් ආර්ථිකය වේගයෙන් ප්‍රකෘතියට ගෙන ඒමට හැකි විය. එම ගෞරවයෙන් කොටසක් වත්මන් ආණ්ඩුවට ද හිමි විය යුතු ය. ඊට හේතුව මෙම රජය බලයට පත්වුව හොත් අයි.එම්.එෆ්. එකඟතා පැහැර හරිනු ඇති බවට පැවති මතය අසත්‍යයක් කරමින් ආණ්ඩුව ඒවා ක්‍රියාත්මක කිරීම ය. රජය සුබවාදීව අයි.එම්.එෆ්. එකඟතා අනුව කටයුතු කරන බව පෙනේ. ණය මුදලේ මීළඟ වාරිකය නිදහස් කිරීමට එකඟ වීමෙන් ද එය තහවුරු වේ.

පස් වැනි සමාලෝචනයේ දී අයි.එම්.එෆ්. නියෝජිත කණ්ඩායම විසින් සලකා බලන ලද්දේ ණය වැඩසටහනෙන් එකඟ වූ එකඟතා කොතරම් දුරට ඉටු කර තිබේ ද යන්න ය. ශ්‍රී ලංකාව විසින් සාක්ෂාත් කර ගනු ලැබිය යුතු කොන්දේසි කිහිපයක් තිබේ. එකක් රාජ්‍ය මූල්‍ය ස්ථායීතාව සඳහා ප්‍රමුඛතාව දිය යුතුය යන්න යි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ගැන ගැඹුරින් සලකා බැලිය යුතුය යන ඇඟවුම එහි අන්තර්ගත ය. ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් එකඟතාවලට පැමිණිය යුතුය යන්න තව කොන්දේසියකි. ඒ අනුව රජය වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් එකඟතාවලට පැමිණිය යුතු ය.
ප්‍රතිසංස්කරණ කොන්දේසි
වසර 2026 සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනය අයි.එම්.එෆ්. ණය වැඩසටහනෙහි පරාමිතීන්ට අනුව සකස් කළ යුතුය යන්න තවත් කොන්දේසියකි. එහිදී රජයේ ආදායම් ඉහළ නංවා ගැනීම අරබයා ඉලක්ක ලබා දී තිබේ. ඒවා සැපිරිය යුතු ය. ප්‍රාථමික ගිණුමේ අතිරික්තය සියයට 2.3 ක අගයක පවත්වා ගැනීම සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇති කිරීම තවත් කොන්දේසි දෙකකි. බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණ යටතේ ලංවිම වෙනුවට සමාගම් හතරක් පිහිටුවිය යුතු ය. පසුගිය රජයද ඒ සඳහා උත්සාහ කළේ ය. මා සිතන හැටියට එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙන්නේ වත්මන් රජයටය. හේතුව වෙනත් රජයකින් ඒ සඳහා උත්සාහ කළේ නම් බරපතළ වෘත්තීය සමිති විරෝධතා එල්ල විය හැකි වීම ය. මේ රජය යටතේ එම බලශක්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී වෘත්තීය සමිති විරෝධතා මතු වුව ද ඒවා අදාළ ක්‍රියාවලිය කඩාකප්පල් කරන ආකාරයේ දරුණු ඒවා වූයේ නැත. එයින් පෙනෙන්නේ යථොක්ත අයි.එම්.එෆ්. එකඟතාව අනුව ක්‍රියා කිරීමට වත්මන් පාලනාධිකාරිය සමත් වී ඇති බව ය. ලංවිම වෙනුවට අදාළ ආයතන සතර පිහිටුවීම අත්‍යවශ්‍ය යැයි මම විශ්වාස කරමි.
පිරිවැය නිරූපිත මිල ක්‍රමයක් බලශක්තිය සඳහා හඳුන්වා දිය යුතුය යන්න තවත් කොන්දේසියකි. විදුලි බිල එහිදී ප්‍රධාන වේ. මේ වසරේ ඉදිරි කාලය වෙනුවෙන් සියයට 6 ඉක්ම වූ විදුලි ගාස්තු සංශෝධනයක් ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටිය ද මහජන උපයෝගීතා කොමිෂන් සභාව එය ප්‍රතික්ෂේප කළේ ය. විදුලි බිල වැඩි කිරීම මගින් ජනතාව විෂයෙහි අහිතකර බලපෑම් එල්ල වන බව සැබෑ ය. එහෙත් ලංවිම භාණ්ඩාගාරයට බරක් නොවන පරිදි පවත්වා ගෙන යෑමට විදුලි බිල ඉහළ දැමිය යුතුය යන්න අයි.එම්.එෆ්. කොන්දේසියකි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාළව මූල්‍ය අරමුදල දැඩිව අවධාරණය කරන්නේ රජයේ බදු ප්‍රතිපත්තිය යි. බදු නිදහස් කිරීමේ රාමුව ශක්තිමත් කළ යුතු යැයි එම අරමුදල කියයි. අත්‍යවශ්‍ය නොවන දේවල්වලට හැර බදු නිදහස් කිරීම් නොදෙන ලෙස ද අයි.එම්.එෆ්. ශ්‍රී ලංකාවට උපදෙස් දෙයි.
පසුගිය කාලයේ දී විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් ආයෝජකයන්ට බදු සහන සහ බදු නිදහස් කිරීම් ලබා දුන් බව අපි දනිමු. මේ ක්‍රියාවලිය තාර්කික විය යුතු බව අයි.එම්.එෆ්. කොන්දේසිය වේ. රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම අරබයා බදු අනුකූලතාව වැඩි කළ යුතු බව ද එම ආයතනය කියයි. බදු ගෙවිය යුත්තන් බදු ගෙවීම සඳහා ඉදිරිපත් වීම වැඩිදියුණු විය යුතුය යන්න එහි ඇඟවුම යි. බදු පදනම පුළුල් කළ යුතු බව ද ඔවුහු කියති. රජයේ ප්‍රසම්පාදන සහ රජයේ වත්කම් කළමනාකරණය රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනුව සිදු විය යුතු යැයි ද එම අරමුදලේ තවත් කොන්දේසියකි. දූෂණ වංචා වැළැක්වීමේ දී එය ඉතා වැදගත් වේ.
අයි.එම්.එෆ්. සමග වසර හතරක එකඟතාවකට ශ්‍රී ලංකාව එළැඹුණේ 2023 දී ය. මේ වනවිට එයින් වසර දෙකහමාරක කාලයක් ගත වී ඇත. එම කාලයේ දී අපේ ආර්ථිකය ප්‍රශංසනීය වර්ධනයක් පෙන්නුම් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ණය වැඩසටහන්වලට එළැඹුණු වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වේගවත් එකකැයි කිව හැකි ය.
නිෂ්පාදන ආර්ථික අභියෝගය
මහ බැංකුවේ ස්වාධීනතාව ආරක්ෂා කළ යුතු බව අයි.එම්.එෆ්. අඛණ්ඩව අවධාරණය කරයි. මහ බැංකුව කිසි ලෙසකවත් අයවැය මූල්‍යකරණය සඳහා මැදහත් නොවිය යුතු බවට ද එම ආයතනය කොන්දේසි පනවයි. රාජ්‍ය බැංකුවල පාලනය සහ අධීක්ෂණය ශක්තිමත් කළ යුතු යැයි ද කියයි. අක්‍රීය ණය ගැටලුව විසඳිය යුතු බව ද සඳහන් කරයි. මෙවැනි කොන්දේසි ගණනාවක් එම ආයතනය විසින් පනවනු ලැබ තිබේ.
ඉහත කී පරිදි ලංකාව ආර්ථික ප්‍රගතියේ මාවතට අවතීර්ණ වී ඇතත් ආර්ථිකය සම්බන්ධ අවදානම මුළුමනින්ම පහව ගිය බවක් එයින් අදහස් නොකෙරේ. තවමත් යම් යම් අංශවල සැලකිය යුතු මට්ටමේ අවදානමක් තිබේ. 2028 සිට ණය ගෙවීම යළි ආරම්භ කළ යුතු බව සිහි තබා ගත යුතු ය. ඒ සඳහා වසරකට ඩොලර් බිලියන 4ත් 4.5 ත් අතර මුදලක් වැය වෙනු ඇත. ඒ අරබයා දැනට තිබෙන විදේශ සංචිත ප්‍රමාණවත් නැත. එබැවින් රජය ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු ය. නිසි පරිදි විදේශ වත්කම් වර්ධනය කරගැනීමට අසමත් වුවහොත් දෙවැනි වරටත් ආර්ථික බංකොලොත්භාවයකට යෑමට සිදු වනු ඇත. මේ වනවිට විදේශ ප්‍රේෂණ හා සංචාරක ආදායම්වල සැලකිය යුතු වර්ධනයක් තිබුණ ද 2028 වෙද්දී අදාළ ඉලක්ක කරා ළඟා නොවුණ හොත් විදේශ ණය පියවීම දුෂ්කර විය හැකිය.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ආර්ථික ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට ශ්‍රේණිගත කරනු ලැබ ඇත. එහෙත් ණය තිරසරභාවය සම්බන්ධ අවදානම තවම පහව ගොස් නැති බව එම ආයතන කියයි. ආර්ථික වර්ධන ඉලක්ක වෙත ළඟා වීමට නම් මේ අයවැයෙන් නිෂ්පාදන ආර්ථිකයකට පදනම දැමිය යුතු ය. ආණ්ඩුවේ පළමු අයවැයෙන් එවැනි පදනමක් සැපයුවේ නැත. නිෂ්පාදන ආර්ථිකයකට අයවැයෙන් පදනම දැමීමේ දී දේශීය ආර්ථිකය ගොඩනැංවිය යුතුය යන්න සැබෑවක් වුව ද ගෝලීය ආර්ථිකයෙන් මිදී කටයුතු කළ නොහැකි ය. විදේශ ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම ද අත්‍යවශ්‍ය වේ. එයින් ලැබෙන්නේ මුදල් පමණක් නොව වෙළෙඳපොළක් ද ලැබේ. නව තාක්ෂණයත් ලැබේ. එබැවින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම අරබයා රජය ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු ය.
දුප්පත්කම සහ විරැකියාව සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති හෙයින් ජනතාව අතර නොසන්සුන්තා ඇති වීමේ පෙර නිමිති පහළ වී තිබේ. රජයේ අවධානය ඒ කෙරෙහිද යොමු වීම වැදගත් වේ. අස්වැසුම වැනි දිළිඳු සහන වැඩසටහන් ඉලක්කගත වැඩසටහන් බවට පත් කිරීමට රජයේ අවධානය යොමු විය යුතු ය. පසුගිය මාස හයක කාලයේ දී රාජ්‍ය ණය රුපියල් බිලියන 1,060 ක පමණ සැලකිය යුතු අගයකින් වැඩි වී තිබේ. එය රජයේ නොපිය වූ ණය වෙන අතර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස එම නොපිය වූ ණය ප්‍රමාණය සියයට 105 කි. මෙය හොඳ තත්ත්වයක් නොවේ. මෙවර අයවැය සකස් කිරීමේ දී එය ද සැලකිල්ලට ගැනීම වටියි.
සාකච්ඡා සටහන
උපුල් වික්‍රමසිංහ

