“රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් වැඩක් නැහැ” යන කියමන සත්‍යයක්ම ය. නිරෝගීකමට අකැමැති කවුරුන් ද? සියල්ලෝම නිරෝගීකම ප්‍රිය කරති. බුදුරදුන් දේශනා කළේ ‘‘අරෝග්‍යා පරමා ලාභා’’ යනුවෙනි. එනම් නිරෝගිකම පරම ලාභය ලෙසිනි. නමුත් මිනිසුන් රෝගීවීම වැළක්විය නොහැක්කකි. රෝගී වූවෙකුට නිරෝගිකම නම් වූ පරම ලාභය අත්කර දෙනු ලබන්නේ වෛද්‍යවරයෙකු විසිනි. වෛද්‍යවරයකු යනු සෞඛ්‍ය සේවා වෘත්තිකයකු පමණක් නොව ජීවිත ආරක්ෂකයෙකි. ඔවුන්ගේ කාර්යය රෝග විනිශ්චය කිරීම සහ ප්‍රතිකාර නියම කිරීම ඉක්මවා යන්නකි. ඒ තුළ දයානුකම්පාව, සංවේදනය සහ මිනිස් දුක් වේදනා සමනය කිරීම සඳහා නොසැලෙන කැපවීම ද ඇතුළත් වේ. වෛද්‍යවරයක් යනු රෝගී වූවෙකුගේ ජීවිතය වෙනස් කරන්නෙකු ද වේ.
මෙවර පාර්ලිමේන්තුවට විවිධ වෘත්තිකයින් යැවීමට ජනතාව කටයුතු කර තිබේ. පසුගිය මහ මැතිවරණවලට වඩා මෙවර එම තත්ත්වය කැපී පෙනෙන ලෙස වැඩි වී තිබේ. ඒ අනුව මෙවර මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයින්, ව්‍යවසායකයින් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිකයන් රටේ බහුතර ජනතාව විසින් තමුන්ගේ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවා තිබේ.
එක් එක් කාලයන්හි දී වෛද්‍යවරු අලළා විවිධ වූ ප්රවෘත්ති නිර්මාණය වීම සුලබ සිද්ධියකි. සයිටම් ගැටලුව, කොවිඩ් සමයේ සුවවිරුවන්, වෛද්‍යවරු විශාල වශයෙන් රට හැර යාම, වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන පුවත් මවන්නට හේතු වූ කරණා විය. මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙන්නේ මැතිසබයට ගිය වෛද්‍යවරුන් පිළිබඳවය. මැතිසබයට මින් පෙරද වෛද්‍යවරුන් තේරීපත් වී ඇත. අමාත්‍ය ධුරද දරා ඇත. රමේෂ් පතිරණ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රාජිත සේනාරත්න, කාවින්ද ජයවර්ධන, තිලක් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, සීතා අරඹෙපොළ මෑත කාලීනව මැතිසබයේ සිටි වෛද්‍ය මන්ත්‍රීවරුන් වෙති. නමුත් මෙවර පවතින විශේෂත්වය වන්නේ වෛද්‍යවරු 20 දෙනෙකු මැතිසබය නියෝජනය කිරීමයි. එයින් 19 ක් අලුතින් තේරී පත්වූ අය ය. පසුගිය පාර්ලිමේන්තුවේ සිටි සජබ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මෙවර ද තේරී පත්වී සිටී. මෙතරම් ‘දොස්තර මන්ත්‍රීවරු’ පිරිසක් එක්වර මැතිසබය නියෝජනය කළ වගක් ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ සටහන් වී නැත.
අලුතින් තේරී පත්වූ වෛද්‍යවරුන් අතරින් 17 ක් ජාතික ජනබලවේගය නියෝජනය කරන අතර - එක් අයෙකු ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන්ද තවත් අයෙකු යාපනය ස්වාධීන කණ්ඩායම අංක 17 ද නියෝජනය වෙයි.
නවක මන්ත්‍රීන් ලෙස තේරී පත්ව ඇති වෛද්‍යවරු මෙසේය.
ජාතික ජනබලවේගයෙන්
- කොළඹ - මොහොමඩ් රිස්වි
- ගම්පහ - ක්‍රිෂාන්ත අබේසේන
- කළුතර - නිහාල් අබේසිංහ නලින්ද ජයතිස්ස
- ගාල්ල - නිශාන්ත සමරවීර
- හම්බන්තොට - සාලිය සඳරුවන් මදරසිංහ
- අනුරාධපුර - සුසිල් රණසිංහ
- පොළොන්නරුව - ජගත් වික්‍රමරත්න
- රත්නපුර - ජනක සේනාරත්න
- කුරුණෑගල - නාමල් සුදර්ශන ජගත් ගුණවර්ධන
- මහනුවර - මුදිත හංසක විජේමුණි ප්‍රසන්න ගුණසේන
- නුවරඑළිය - මධුර සෙනවිරත්න
- කෑගල්ල – එච්. පී. ධම්මික පටබැඳි
- යාපනය – ශ්‍රී බවනන්ද රාජා සංමුගනාදන්
- ජාතික ලයිස්තුව - නජිත් ඉන්දික
ඉලංකෙයි තමිල් අරසු කච්චි
- මඩකළපුව - ඉලයතම්බි ශ්‍රීනාත්
කණ්ඩායම් අංක 17
- යාපනය - රාමනාදන් අර්ජුනා
මේ අතරින් වෛද්‍යවරු තිදෙනෙක් කැබිනට් අමාත්‍යවරුන් ලෙස ද පත්වූහ.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූයේ නලින්ද ජයතිස්ස ය. පොලේගොඩ මහ විද්‍යාලයේ සහ මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මධ්‍ය මහ විද්‍යාලයේ ආදි සිසුවකු වූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ලෙස ද කටයුතු කළේය. වෛද්‍යවරයකු වශයෙන් සේවය කරමින් සිටියදී 2007 වසරේදී රාජ්‍ය සේවයෙන් ඉවත්ව පූර්ණ කාලීනව දේශපාලනයට එක් විය. 2009 වසරේදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස පත් වූ ඔහු 2014 වසරේදී දෙවැනි වරටත් පළාත් සභාවට පත් විය. 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.
පරිසර අමාත්‍යවරයා ලෙස පත්වූයේ ධම්මික පටබැඳිගේ ය. කෑගල්ල අඹන්පිටිය ග්‍රාමයේ උපන් හෙට්ටිතන්ත්රි පටබැඳිගේ ධම්මික පටබැඳිගේ, කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත්ව වෛද්‍ය උපාධිය ලබා ඇති හෙතෙම කෙටි කාලයක් වෛද්‍ය වෘත්තියේ නියැළී, පසුව වෛද්‍ය වෘත්තියට සමුදී පූර්ණ කාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිස තිබේ. ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු ලෙසත්, කෑගල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසත් කටයුතු කළ ඔහු පසුගිය මහ මැතිවරණයේදී කෑගල්ල දිසාවෙන් මනාප ඡන්ද 186,409 ක් ලබාගෙන ලැයිස්තුවේ පළමු තැන හිමි කරගත්තේය.
විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ක්‍රිෂාන්ත අබේසිංහ පත් විය. හෙතෙම විශේෂඥ වෛද්‍යවරයෙකි. ක්‍රිස්තියානි අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය, බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන ඇති හෙතෙම, ජාතික ජනබලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය. විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ලෙසද ඔහු කටයුතු කර ඇත.
වෛද්‍ය වෘත්තීකයන් විශාල ප්‍රමාණයක් මෙවර පාර්ලිමේන්තුවට පැමිණීම ගැන වෛද්‍යවරයෙකු ලෙස තම අදහස අමාත්‍යවරයා මෙසේ පළ කළේය.
“වෛද්‍ය වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් ජනතා නියෝජිතයන් ලෙස තෝරා ගෙන තිබීම ගැන ඇත්තෙන්ම සතුටුයි. ඡන්දදායකයන්ගේ ඡන්දයෙන් තමයි ඔවුන්ව පාර්ලිමේන්තුවට තෝරා පත් කරගෙන තියෙන්නෙ. වෛද්‍යවරයෙකුට සමාජය ගැන හොඳ අත්දැකීම් තියෙනවා. දැනුම තියෙනවා. මිනිසුන් ඔවුන්ව තෝරා ගන්න ඇත්තේත් ඒ විශ්වාසය නිසා. මම හිතනවා මේ තෝරාගැනීම හොඳයි කියලා. අපේ 159ක මන්ත්‍රීවරුන් අතරේ විවිධ වෘත්තීකයන් සිටිනවා. ඒ අතරින් වෛද්‍යවරුන් මෙතරම් පිරිසක් මහජන නියෝජිතයන් වීම ගැන සතුටුයි.
“වෛද්‍ය වෘත්තිය හොඳ වැටුපක් සහිත රැකියාවක්, ඉන් වරප්‍රසාද විඳීමට අවස්ථාව තිබියදීත් ජනතා නියෝජිතයෙක් ලෙස පත්වීම ගැන මොකද හිතන්නේ?”
ඒක තමයි අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කරන උත්සාහය. මොකද, අපි පැරණි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්න හිතුවේ. අපේ වෘත්තිය තුළ අපට බොහෝ වරප්‍රසාද විඳීන්නට අවස්ථාව තිබුණා. හොඳ වැටුපක් හිමිවුණා. නමුත් මේ හැමදේම දාලා රටට සේවය කිරීම උදෙසා තමයි මේ ගමන එන්නේ.
මම හිතන්නේ අනාගතයේ තවත් වෛද්‍යවරුන්ට ජනතා නියෝජිතයන් වීමට මේක හොඳ අවස්ථාවක් වෙයි. ඒ වගේම, තවත් පරම්පරාවකට මේකෙන් හොඳ බලපෑමක් ලැබෙයි. ලෝකයේ අනිත් රටවල් ගත්තහම, වෛද්‍යවරුන් රටේ නායකයින් වුණ අවස්ථාත් තියෙනවා. එතනදී වෛද්‍යවරුන්ම කියල මම කොටස්කරන්නේ නැහැ. සෙසු අය ඉන්නවනම්, මොන වෘත්තියේ සිටියත් ඒ කැපවීම තියෙනවනම්, දේශපාලන සදාචාරය තියෙනවානම්, රට වෙනුවෙන් දෙයක් කරන්න හැඟීම තියනවා නම්, ජනතා සේවයට සම්බන්ධ වීම හොඳයි කියල මම විශ්වාස කරනවා.”
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය මුදිත හංසක විජේමුණි තම ගමන ගැන මෙසේ අදහස් දැක්වීය.
“මම වෛද්‍ය වෘත්තියට සමු දීලා දේශපාලනයට පැමිණියේ මේ රට තුළ හඳුනාගත් වැරදි ගණනාවකට ප්‍රතිකාර කිරීමටයි. ජාතික ජන බලවේගය වශයෙන් අපි මේ රට සංවර්ධනය කරා ගෙන යාම සඳහා දීර්ඝ කාලීන සැලසුම් සකස් කොට තිබුණා. ඒවා නිකම්ම නිකම් සැලසුම් නොවෙයි. පසුගිය කාලයේ මේ රට තුළ ක්‍රියාත්මක වූ පාලනතන්ත්රයේ ගැඹුරටම කිඳා බැස සොයාගත් වැරදි, නිවැරදි කිරීම සඳහායි ජාතික ජනබලවේගය එම සැලසුම් සකස් කළේ.
එම සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහායි මම වෛද්‍ය වෘත්තියට සමු දීලා දේශපාලනයට පැමිණියේ. අපගේ එම සැලසුම් ක්‍රියාත්මක කිරීම තුළින් මේ රටේ දුක් විඳින, පීඩාවට පත්වූ විශාල ජනතාවකට, සාධාරණය ඉෂ්ට වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.
ඉදිරියේදී, කොමිස් නොමැතිව මෙරටට ඖෂධ ගෙන්වීමේ ක්‍රමවේදයක් හදනවා. මෙරට සෞඛ්‍ය පද්ධතිය සඳහා රජය දරන වියදමට සාපේක්ෂව අපේ සෞඛ්‍ය ඉදිරියෙන් සිටිනවා. නමුත් එහි ක්‍රමවේදය සකස් විය යුතුයි. එහි දර්ශක හොඳ මට්ටමක තිබුණත් ඒවා පරණයි. එම දර්ශක යාවත්කාලීන විය යුතුයි කියා මම සිතනවා.
රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගියාගේ ආත්මගරුත්වය රැකෙන ආකාරයේ ක්‍රමවේදයක් සැකසිය යුතුව තිබෙනවා. රෝගියාට අවශ්‍ය ඇඳක් සහ රෝගියාගේ ආත්මගරුත්වය රැකෙන ආකාරයට වැඩ කටයුතු සිද්ධ වෙන ක්‍රමවේදයක් සැකසිය යුතුව තිබෙනවා. ග්‍රාමීය මට්ටමේ ඇති රෝහල්වල අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බැලිය යුතුව තිබෙනවා. සමහර අඩුපාඩු, නවීන තාක්ෂණය භාවිත කොට ඉතා සුළු මුදලකින් සම්පූර්ණ කළ හැකි අඩුපාඩු හැටියට අපි හඳුනාගෙන තිබෙනවා. එම සුළු අඩුපාඩු හඳුනා නොගැනීම හේතුවෙන් සහ ඊට පිළියම් නොයෙදීම තුළින් එම ග්‍රාමීය ජනතාව විශාල අපහසුතාවකට පත්වෙන ආකාරය අප නිරීක්ෂණය කොට තිබෙනවා. ඒවා ඉදිරි කාලයේ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙනවා.”
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තේරි පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය සුසිල් රණසිංහ අප හා අදහස් දැක්වූයේ මෙසේය.
“මගේ දේශපාලන ගමන ආරම්භ වෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිටි සමයේ. වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් ලෙස මාව තේරීපත් වුණා. පසුව මම වෛද්‍යවරයෙකු ලෙස අම්පාර දිස්ත්‍රික්කය සහ අනුරාධපුර දිස්ත්‍රික්ක තුළ දිගු කාලයක් සේවය කළා. මම අනුරධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පුරවැසියෙකු ලෙසත් වෛද්‍යවරයෙකු ලෙසත් එම දිස්ත්‍රික්ක තුළම සේවය කළ නිසාත් සාමාන්‍ය ජන ජීවිතය ගැන යථාර්ථය මම දැක්කා. ඒ ගැන වැඩිදුරටත් අධ්‍යයනය කරන්න, තොරතුරු සොයන්න ක්‍රියාකාරීව කටයුතු කරන්න පෙළඹවීම තමයි මාව දේශපාලනය කෙරෙහි යොමු කළේ.
වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන ගමන්ම දේශපාලනයේ ක්‍රියාකාරියකු බවට පත් වුණා. ඒ නිසා මට ආරාධනයක් ලැබුණා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙකු වෙන්න. මම අවුරුදු 18 ක සේවා කාලයක් සම්පූර්ණ කළ වෛද්‍යවරයෙක්. ඒ නිසා රටේ පුරවැසියන් සමග ගැටිලා පුරවැසියන් ගැන ප්‍රමාණාත්මක අවබෝධයක් මට තියනවා. ඒ නිසා මම දේශපාලනයෙන් යමක් කරන්න පුළුවන් කියන විශ්වාසය මත අපේක්ෂක්ත්වය බාර ගත්තේ. මගේ අවසන් බලාපොරොත්තු වෙන්නේ ජනජීවිතය ඉහළට ඔසවා තැබීම. රටේ ආර්ථික, සමාජීය තත්ත්වයේ යම් වෙනසක් කරන්න දායක වෙන්න ඕනැ නිසා තමයි දේශපාලනය තෝර ගත්තේ. මම වෛද්‍ය වෘත්තිකයෙක් ලෙස මට වටිනාකම්, වරප්‍රසාද රාශියක් හිමියි. නමුත් ඒවාට වඩා මට මේ ලැබුණු ජනවරම වටිනවා. මෙවර ජනතාව තීරණය කරලා තියනවා මැතිසබය වෛද්‍යවරු වැනි වෘත්තිකයන් නියෝජනය කරන්න ඕනෑ කියලා. දේශපාලන සංස්කෘතියේ පවතින විකෘතිභාවය තුරන් කිරීම සඳහා වෘත්තිකයන්ට මේ ලැබුණු අවස්ථාව හොඳ තෝතැන්නක් වේවි. ජන ජීවිතයේ යථාර්ථය අත්විඳපු වෘත්තිකයන් මැතිසබය නියෝජනය කිරීම තුළින්, තිබූ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න හොඳ පිටුවහලක් ලැබේවි.”
වෙදකමට එහා ගොස් ජනතා සේවය උදෙසා මැතිසබයට ගිය වෛද්‍යවරුන්ට වෙදකමින් රෝගීන් සුව කරන්නා සේ ගිලන්ව සිටින රට සුවපත් කරන්නට හැකිවේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.
ශෂිකා අබේරත්න
ෂේන් සෙනෙවිරත්න
දුලක්ෂි ලියනගේ