මේ වන විට නැවතත් කොස් අස්වනු නෙළන අවදිය එළැඹී තිබේ. එහෙත් මෙසේ ඵල දරන වාර්ෂික කොස් අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 06 කට ආසන්න ප්‍රමාණයක් අපතේ යන බව සිදුකළ සමීක්ෂණ මගින් අනාවරණය වී ඇත. ඉකුත් 2021 වසරේ සිදුකළ සමීක්ෂණයට අනුව මෙරට හෙක්ටයාර් 27392 ක (හෙක්ටයාර් විසිහත් දහස් තුන්සිය අනු දෙකක) කොස් වගා කර ඇතැයි හෙළිදරව් වී තිබේ. එහිදී එම වසරේ මුළු කොස් පලදාව මෙට්‍රික් ටොන් 758,900 ක් (හත් ලක්ෂ පනස් අට දහස් නව සියයක් ) බවට ද ගණන් බලා තිබුණි. මෙම වාර්තාවන්ට අනුව මෙරට කොස් පලදාවෙන් ඉහළ ප්‍රතිශතයක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අපතේ යන බව පැහැදිලි වෙයි.
රට පුරා හෙක්ටයාර් 27, 392 ක කොස් වගාකරලා
අතු බරට කොස් මනාව පල දරන කාලය මෙරටුන්ට නොහුරු නොවූවකි. ඒ සිංහලයා ගේ ප්‍රධාන ආහාරය වන බත් තරමටම කොස් ද ජනප්‍රිය ආහාරයක් වන බැවිනි. එහෙයින්ම කොස් ගසට බත් ගස ලෙස ද ව්‍යවහාර කෙරෙති. ගම්බදව මෙන්ම නගරයේ බොහෝ දෙනෙකු ද කොස් රසට ලොල් වුවද, තවමත් මෙරට කොස් පලදාවෙන් වැඩි ප්‍රමාණයක් මෙසේ නිකරුණේ විනාශ වන වග සැඟවිය නොහැක්කකි. කොස් වාරයේ දී ගස් යට වැටී හැල්මේ විනාශ වී යන කොස් ගෙඩි ගණන මෙතෙකැයි කිව නොහැකි තරම්ය.
කොස් අප රටෙහි ආහාර සුරක්ෂිතතාව කෙරෙහි කොතරම් බලපෑමක් කළේ ද යත්, බ්‍රිතාන්‍ය පාලකයින් මෙරට ගම්මැදිවල තිබූ කොස් ගස් කපා විනාශ කිරීමට තරම් සාහසික වූ බව කියැවේ. එහෙයින් කොස් මෙරට ආහාර සම්ප්රදාය හා අත්‍යන්තයෙන් බැඳී පවතින්නක් වග ද සැඟවිය නොහැක්කකි. මේ කොස් වාරයේ මනාව පැසුණු කොස් මදුළු එකලස් කොට මහමග පසෙකට වී අලෙවි කොට දිවි සරිකරන වෙළෙඳුන් පිරිසක් ද වෙති. එය එක්තරා අන්දමක කලාවකි. කොහොල්ල දෑතේ තවරා නොගෙන මනාව මදුළු බේරීම කළයුත්තේ සුරුවමටය. සමහරෙකු කොස් රස විඳීමට ප්‍රිය කළ ද, කොහොල්ල සඳහා ඇති අකමැත්ත ඒ සඳහා හරස් වී ඇත. එවැනි බොහෝ දෙනෙකුට මේ වෙළෙඳාම මහෝපකාරයකි. එහෙත් එය රට පුරා කොස් පලදාව ලක්ෂ ගණනින් අපතේ යෑම වැළකීමට ප්‍රමාණවත් වෙළෙඳාමක් නොවේ.
ලක්වැසියන් කොස් පලදාව විවිධ ආකාරයෙන් සකස් කරමින් ආහාරයට එක්කර ගැනීම සිදු කරනුයේ දුරාතීතේ සිටමය. පෝෂණ ගුණයෙන් අනුන හොඳින් පැසුණු කොස් තම්බා පොල් සමග හෝ පොල් සම්බෝලයක් සමග ආහාරයට ගැනීම සාම්ප්‍රදායික ගැමි ආහාර රටාවේ අනිවාර්ය අංගයක්ව පැවත තිබේ. කොස් මැල්ලුමක් ලෙස මෙන්ම කොස් මදුළු ව්‍යාංජනයක් ලෙස සකසා ගත හැකිවේ. මෙසේ සකසන කිරි කොස් ව්‍යාංජනය කා අතරත් ජනප්‍රිය ආහාරයකි. කොස් තම්බා, වියළා තෙලේ බැද අමුත්තන්ට තේ පැන් සංග්රහයක දී වුවද පිළිගැන්වීමට සුදුසුය. කොස් ගෙඩියෙහි අවස්ථා කිහිපයක දී ආහාරයට ගැනීම ලාංකික ආහාර සම්ප්‍රදායට ආවේණික වූවකි. කොස් ගෙඩියෙහි ළපටි අවදියේ දී සකසන පොලොස් ව්‍යාංජනය ආහාරයට එක්කර ගැනීම මගින් ලේ ධාතුව පිරිසුදු වන බව දේශීය වෛද්‍යවරු ද පවසති.
වාර්ෂික කොස් අස්වැන්න මෙට්‍රික් ටොන් 758, 900 ක්
වෙසක්, පොසොන් ආදී පොහොය දින අරබයා මහ මග කොස් තම්බා දන්සල් පැවැත්වීම ද දැන් සිරිතක්ව පවතී. ගැමියන්ගේ සරල, සැහැල්ලු දිවි පෙවෙත සවිමත් කරන්නක් ලෙසත්, දේශීය ආහාර සුරක්ෂිතතාවය සහතික කරන්නක් ලෙසත්, දුරාතීතේ සිට අද දක්වාම කොස් මෙරට ජන ජීවිත හා යාවජීවව පවතී. සම්ප්‍රදායික ගම්මැද්දේ ගැමියන් කොස් හෙවත් බත් ගසෙන් ගත් පල ගැන මනාව දත් මහවැලියෙහි, මීගලෑවේ, ජනශ්රැති පර්යේෂකයෙක් වන සෝමරත්න උල්පතගම මෙසේ කරුණු කීවේය.
“වැලි කොස් ඇට දාන එක, කොස් මදුළු වේළලා දුමේ දාන එක වගේ දේවල් ඒ කාලේ හැම ගං ගෙදරකම වගේ සිද්ධ වුණා. වැලි කොස් ඇට මුල්ලක් හැම ගෙදරකම වගේ තිබුණා. ගෙයි මුල්ලකට වෙන්න වැලි අතරේ කොස් ඇට රඳවලා උඩින් මැටි ගාණවා. එතකොට හුලං වදින්නේ නෑ. කොස් අවාරේ එනකොට හොඳට හයිවෙලා තියෙන මැටි තට්ටුව අයින් කරලා කොස් ඇට ප්‍රයෝජනේට ගන්නවා. මාස පහ හයක් වුණත් මේ විදිහට කොස් ඇට කල් තියා ගන්න පුළුවන්. ආයෙත් කොස් වාරේ එනකොට මේ විදිහට වැලි කොස් ඇට මුල්ලක් දානවා.”
ඉදුණු කොස් වැල හෝ වරකා ලෙස ආහාරයට ගත හැකි ඉතා මිහිරි පලතුරකි. කොස් ඇට මනා පෝෂණ ගුණයකින් යුක්ත වේ. කොස් ඇට ව්‍යාංජනයක් මෙන්ම කළු පොල් මාළුව ආකාරයෙන් සෑදීමට ද ගෘහණියෝ ඇලුම් කරති. කෙසෙල් මුව, කොහිල දලු වැනි එළවළු වලට කොස් ඇට දැමීමෙන් රසවත් ව්‍යාංජනයක් තැනීමට ගෘහණියෝ දක්ෂ වෙති. කොස්වල බහුල ලෙස කාබෝහයිඩ්රේට් අඩංගු වේ. ප්‍රෝටීන්, මේදය, කැල්සියම් වැනි පෝෂක වර්ගයන් ගෙන් කොස් පලදාව අනුන බව දේශීය වෛද්‍යවරුන්ගේ පෙන්වාදීම වී ඇත.
නිවසට අවැසි ආහාර භෝග ගෙවත්ත තුළ දීත්, ගමට අවැසි ආහාර භෝග ගම තුළ දීත්, සමස්තයක් ලෙස රටට අවැසි ආහාර බෝග රට තුළ දීත් නිපදවීමේ අවැසි බව සලකුණු කරන දේශීය ආහාර බෝග නිෂ්පාදන වැඩ පිළිවෙළක අවැසි බව අන් කවරදාටත් වඩා අද දැනෙමින් තිබේ. එහෙත් මේ සා රසයෙන් හා ගුණයෙන් අනුන කොස් පලදාව කෙරෙහි තවමත් ඇත්තේ අඩු අවධානයක් බවට කොස් වාරේ තැන තැන හැල්මේ විනාශ වන කොස් පලදාවම හොඳ සාක්ෂියකි. කොස් වාරෙට පැසුණු කොස් ඉදී ගස් යට වැටී කුණුවී යන දසුන තවමත් වගකිව යුතු කිසිවෙකු නොදැකීම ජාතියේ අභාග්‍යයකි. අතීතයේ කොස් පලදාවෙන් ලැබූ ප්‍රයෝජන පිළිබඳව මනා අවබෝධයක් ඇති මහවැලි එච් කලාපයේ, ගල්නෑව, හුණුපොළගම පුරාණ ගමෙහි ඩී.එම්. කරුණාවතී මෙසේ තොරතුරු පැවසුවාය.
අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 06 ක් පමණ වාර්ෂිකව අපතේ යයි
“ඉස්සර කොස් මදුළු උණු වතුරෙන් තම්බලා, අව්වේ වේළලා, පොට්ටනි බැඳලා දුමේ දාල තියෙනවා. ඕන වෙන කොට වතුර පෙඟෙන්න දාලා කිරිකොස් මාළු හදන්න, තම්බන්න එහෙම ගන්නවා. කිරි දෙන අම්මලාට කිරි එරෙන්න කොස් ඖෂධයක් වගේ. අවාරේක දී වුණත් ඒ කාලේ ගෙවල් වල කොස් වේළලා තියාගත්තේ එහෙම වෙලාවට ප්‍රයෝජනේට ගන්න පුළුවන් හින්දා. කොස් කපලා, සුද්ද කරලා, කොහොල්ල අයින් කරන්න සෑහෙන වෙලාවක් යනවා. ඒ හින්දා මේ ක්‍රමේ ඒකටත් හොඳ විසඳුමක්. සමහරු මදුළු තම්බලා කනවා. සමහරු වෑංජන හදලා කනවා. කොහොම කෑවත් ගුණේ අඩුවක් වෙන්නේ නෑ. ඒත් ඒක දැන් ඉන්න සමහරු දන්නේ නෑ. ඒ හින්දම වටිනාකමක් නෑ.”
මිහිරි පළතුරක් ලෙස කතහැකි වරකා
කොස් පලදාව කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොස් වගාව මෙරට ඈත ගම්මැදි වල මෙන්ම නාගරික ගෙවතු වල ද ව්‍යාප්ත කිරීමට මූලික වී ඇති කොස් මාමා යන විරුදාවලිය ලත් ආතර් වී. දියෙස් පහසුවෙන් අමතක කළ හැකි අයෙකු නොවේ. ජාතික ආහාර බෝග නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසයෙන් මෙරටට ගැළපෙන පිරිමැසුම්දායක ආහාර රටාවක් කෙරෙහි අවධානය යොමු කරමින් කොස් ආදී ගහ කොල සිටුවීමේ වැදගත්කම පහදමින් මෙතුමා ගමින් ගමට ගොස් ඇත. නිදහසින් පසුව ගතවූ මුල් දශකයක පමණ කාලය තුළ මියෙන තෙක්ම මෙරට තුළ කොස් වගාව ව්‍යාප්ත කිරීම උදෙසා ඉමහත් අවංක භාවයෙන් කටයුතු කොට ඇති හෙයින්ම ආතර් වී. දියෙස් කෘතවේ දී ජනයාගේ හදවත් තුළ කොස් මාමා ලෙසින් අද ද ජීවමානව සිටිති.
දියෙස් මහත්මයා සිය නිවසට පැමිණෙන ඕනෑම අයෙකුට කොස් පැළ හෝ කොස් ඇට ලබා දීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ. ගිය සෑම ගමකින්ම බීජ වර්ග එකතු කොට ගෙන විත් ගෙවත්තේ පැළ තවාන් ඇති කොට මෙතුමා නිවසට පැමිණි හැමට පැළ බෙදීමට ක්‍රියා කොට තිබේ. මඟුල් ගෙවල් ආදි උත්සව අවස්ථා වලදී කොස්වලින් සාදා ගත් රසවත් කෑම හඳුන්වා දීමට ද හෙතෙම මූලික වී ඇත.
තැපෑලෙන් කොස් බීජ යැවීමට කටයුතු කොට ඇති එතුමා දහඅට මසකින් පල දරණ කොස් වර්ගයක් මලයාසියාවෙන් මෙරටට ගෙන්වා හඳුන්වා දීමට ප්රමුඛ වී ඇතැයි සඳහන්වේ. 1918 වර්ෂයේ දී ඇරඹී එතුමාගේ මේ මාහැඟි වෑයමට ඉකුත් 2018 වසර වන විට වසර සියයක් සැපිරිණි. කොස්, පොලොස් කන නිරෝගි මිනිසුන් සිටි එදවස වෙත යළි පිවිසෙන්නට අද අපට සිදුව ඇත. ඒ සඳහා අවැසිව ඇත්තේ අන් කවරක් හෝ නොව සිතීමේ වෙනසකි. නිසි වැඩපිළිවෙළකි.
සටහන හා ඡායාරූප - බුල්නෑව
ප්‍රදීප් රණතුංග