සබරගමු සරසවි ඉතිහාසය අලුතින් ලියූ ‘රත්තරන් උපාධිධාරිණිය’


“මට හඬන්න ද? හිනාවෙන්න ද? කියලා හිතාගන්න බැරි වුණා.කියාගන්න වචන නැති වුණා.”- ඉෂානි යුවතියකගේ දිවියේ ස්වර්ණමය මොහොත කිමෙක්දැයි යමකු  විමසුවොත් - ඇය සිය සිහින විජිතයේ සළුපිළි දරන, තැලිපිළි පලඳින විවාහ මංගල්‍ය අවස්ථාව යැයි යමකුට කිව හැකිය. එහෙත් එය සැබවින්ම සාමාන්‍ය තත්ත්වයකි.

අප මේ සඳහන් කරන්නට යන්නේ එම සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වෙනත් අතිශය විරල තත්ත්වයක් යටතේ යුවතියකගේ ගෙල රන්දමින් වැසීගිය සුවිශේෂ අවස්ථාවක් ගැනය. යුවතියක් මනාලියක වන මෙහොතේවත් මේ ආකාරයෙන් හා ප්‍රමාණයෙන් ඇගේ ගෙල රන්දමින් වැසීයාමට කිසි හේතුවක් නැත.   

මේ යුවතිය අයි. එච්. ඉෂානි සෙව්වන්දි චතුරංගිකා ය. ඇය සරසවි සිසුවියකි. ඇගේ ගෙල මේ අයුරින් රන්දමින් වැසී ගියේ ඉගෙනීමේ දී ඈ විශද කළ අසමසම සුවිශේෂී ප්‍රතිභාව නිසාය. හය වරක් පීඨාධිපතිවරයා ඇගේ නම උච්චාරණය කරද්දී සභාවේ නැඟුණු අත්පොළසන් හඬින් ශ්‍රීලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දයානන්ද සෝමසුන්දර ශ්‍රවණාගාරය රැව් පිළිරැව් දෙන්නට විය. 

ඉකුත්දා පැවැත්වුණු උපාධි ප්‍රදානෝත්සවයේ අධ්‍යාපනික වශයෙන් ඉහළතම අභිෂේකය ලත් ඇය කළමනාකරණ අධ්‍යාපන පීඨයේ පළමු පන්තියේ ගෞරව උපාධියක් හිමිකර ගත්තාය. රන් පලඳනාවන් හයකින් ඇගේ ගෙළ සරසනු ලැබුවේ එම විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපතිතුමා විසිනි. ඇය සිය ගෙළ සරසා ගත්තේ සබරගමු සරසවි කළමනාකරණ පීඨ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිය නම ද රන් අකුරින් ලියා තබමිනි.

රළු බොරළු, කටු අකුල් පිරි මාවතක අනේක විධ දුක්ගැහැට විඳිමින් ඉගෙනුමට කළ අපරිමිත කැපකිරීම් තුළ ලත් අග්‍රඵලය භුක්ති විඳීමේ සතුට සැනසුම ලඝු කරමින් ඕනෑම දක්ෂයෙකුට වුව තත්ත්වය හා සන්දර්භය වචනවලට පෙරළීම එතරම් ලෙහෙසි පහසු නැත. ඉහවහා ගිය සතුට ඈ වචනයට පෙරළුවේ මෙලෙසිනි. 

“කලින් දවසේ උපාධි ප්‍රදානෝත්සවයෙ හිටපු මගේ යාළුවෙක් පොතේ මගේ නම තියෙනව දැකලා මට ඒක එවලා තිබුණා. ඒ වෙලාවේ ඇඟේ හිරිගඩු පිපුණා. මට අඬනවද හිනා වෙනවද කියලා හිතාගන්න බැරි වුණා. මට වචන නැති වුණා. එදා දවසේ තරුව මම කියලයි මට දැනුණේ. දන්න තරමින් ගොල්ඩ් මෙඩල් හයක් ගත්ත ළමයෙක් ඉඳලා නැහැ.”

රත්නපුර කුරුවිට කඳන්ගොඩ ඇගේ ගමය. ගැහැනු දරුවන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියාය. පියා වඩු කාර්මිකයෙකි. කඳන්ගොඩ ප්‍රාථමික විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ ඇය ශිෂ්‍යත්වය සමත් වූවාය. ද්විතීයීක අධ්‍යාපනය ඇහැළියගොඩ ජාතික පාසලේ සිදු කළාය. අ.පො.ස. සාමාන්‍ය පෙළ ඒ  සාමර්ථ 6 ක්, බී සාමාර්ථ 2 ක්, හා සී සාමාර්ථයක් ලබා සිටි ඇය පැවසුවේ ඉංග්‍රීසි භාෂාවට ඇය දුර්වල බවය. උසස් පෙළ ඒ ‍2ක්, බී 1ක් සමගින් ඇය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වූවාය.

ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම 

“මට ඉංග්‍රීසිවලට තිබුණෙ එස් එකක්. මට ඉංග්‍රීසි බැහැ. ලකුණු තිබුණෙ 30ට අඩුවෙන්. අනෙකුත් විෂය දැනුම තිබුණාට ඉංග්‍රීසි භාෂාවට තිබ්බේ අඩු හැකියාවක්. පස්සේ ඉංග්‍රීසි පාඨමාලාවක් හැදෑරුවා. එතනින් ඉංග්‍රීසි හදාගෙන එම ආයතනයේ වැඩ කරන්නත් මට හම්බ වුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පහසු වුණේ ඉංග්‍රීසි හදාගැනීම තුළයි. පාසල් කාලයේ නෙට්බෝල් ක්‍රීඩාව වැනි ක්‍රීඩාවන්ට යොමු වුණත්, විශ්වවිද්‍යාලයේදී මුලින් කැරම් වගේ දේවල්වලට ගියා එච්චරයි. මට එතනින් එහාට ක්‍රීඩා පැත්තෙන් දක්ෂතාවක් තිබුණෙ නැහැ.” 
ඇය කියන්නීය.

“බාහිර ක්‍රියාකාරම්වල යෙදුණා. ලියෝ සමාජයයේ සහ සීරෝ ප්ලාස්ටික් මාකටින් ඇසෝසියේෂන්වල මම හුඟක් වැඩ කළා. අවසාන සමස්ත අධ්‍යාපනික දක්ෂතාව 3.90 ක් ගන්න පුළුවන් වුණා.” 

අලෙවිකරණ විෂයයේ වැඩිම ලකුණු හිමි කරගත් ශිෂ්‍යාවට පී. කුමුදු. පී . සිල්වා ප්‍රදානය කරනු ලබන අලෙවිකරණ රන් සම්මානය (Sales Management Gold Medal)  ඇයට හිමි විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – Gold medal & Scholarships for Postgraduate Diploma in Marketing Management) පිරිනමනු ලබන රන් සම්මානය සමග පශ්චාත් උපාධි ශිෂ්‍යත්වය දිනාගත්තේ සමස්ත හොඳම කාර්ය සාධනය සහිත පළමු පන්තියේ උපාධියක් ලබාගැනීම වෙනුවෙනි. ජෝන් කරුණාරත්න අනුස්මරණ ගොස්පෙල් හවුස් හැන්ඩික්‍රාෆට් ෆෙයා ට්‍රේඩ් ගෝල්ඩ් මෙඩල් (John Karunarathna Memorial, Gospel House Handicrafts - Fair) ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ විෂය වෙනුවෙන් ප්‍රදානය කරනු ලබන රන් සම්මානය ඇයට හිමිවිය.

මහාචාර්ය ජී. ඩී. කපිල කුමාර පිරිනමන ලලිත් ඇතුළත්මුදලි අනුස්මරණ රන් සම්මානය  (Honorable Lalitha Athulathmudali Memorial Gold Medal)  විශ්වවිද්‍යාලයේ හොඳම සමස්ත අධ්‍යයන කාර්ය සාධනය ඇති ශිෂ්‍යයාව ලෙස ඇය දිනාගන්නට සමත් වූවාය. ආචාර්ය විලාසිනී ද සිල්වා පිරිනමන, කළමනාකරණ පීඨයේ අලෙවිකරණ කළමනාකරණ විෂයෙහි හොඳම කාර්ය සාධනය සඳහා වූ රන්සම්මානය (Marketing management Gold Medal)  ද ඇයට හිමිවිය. සමස්ත ඉහළ කාර්ය සාධනය (G.P.A.)  වෙනුවෙන් පිරිනැමුණ ලංකා බැංකුව පිරිනමනු ලබන රන් සම්මානය (Bank of Ceylon Gold medal) ඇතුළු රන් සම්මාන හයකට මෙසේ ඇය හිමිකම් කීවාය.

කැපවීම සහ ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම

“අංක එක විශ්වවිද්‍යාලයට එනකොට ඉංග්‍රීසි භාෂාව හදාරලා එන්න ඕන. ගොඩක් ළමයින්ට විෂය කරුණුවල දක්ෂතාව තිබුණට ඉංග්‍රීසි දුර්වලයි. කැම්පස් තේරුණාම ළමයි කරන්නේ මොකක් හෝ රැකියාවක නිරත වෙලා මුදල් හෙවීම. මුදල් ඕනේ තමයි. ඒත් මුලින්ම ඉංග්‍රීසි හදාගන්න ඕනි, කැම්පස්වලින් අධ්‍යාපනය අධ්‍යයනය කටයුතු කරන්න නම්.

විවිධ සිද්ධීන්ට මුහුණපාන්න සිද්ධ වෙනවා සරසවි ජීවිතයේ දී. ඒ කිසිම දේකට සැලෙන්න හොඳ නෑ. සමහර ළමයි කැම්පස් එක අතෑරලා දාලා යනවා. ආචාර්යවරු කියන දේ අහන්න ඕනෑ. මට හිටියා මගපෙන්වන්නෙක් (Mentor) සඳුනි දිලංකා කියලා. පළමු වසරෙදි කැම්පස් එන්න කලින් දුරකථනයෙන් සම්බන්ධ වෙලා අපිට වෙන්න ඕනේ දේ, ගැටලු‍, සටහන් හදාගන්න විදිහ දැනුම දුන්නා. අපිව අඳුනගත්තෙ නැතත් ඒ දුන් උපදේශ හිතට වැදුණා. පළමු වසරේ දැනගෙන හිටියේ නැහැ ඒ ප්ලස්  ගත්තම අවසන් ලකුණු එහා මෙහාට වෙන බව පළමු වසරේ ජී. පී. තුනයි දශම හතයි පහක් තිබුණා. දෙවන වසරේ තමයි හොඳින් වැඩ කළේ. මම හැමදාම දේශනවලට සහභාගි වුණා. මම මගේ සටහන්  හදාගන්නවා, දේශනයේ දී පාඩම අහනවා වගේම. සමහරුන් එහෙම තමන්ගේ නෝට් එක හදාගන්නේ නැහැ. ළමයෙක්ට පාඩම් නොකළත් සී එකකට යන්න දැනුම තියෙනවා මේ තමන්ගේ සටහන හදා ගැනීම තුළ. සමහර අය දේශනවලට යන්නෙත් නැහැ. ආචාර්යවරයා දෙන සටහන මුද්‍රණය කරගන්නවා කියන දේ දන්නේ නැ.”

“අම්මයයි තාත්තයි පුංචි අම්මයි උදව් කළා. ආචාර්යවරු හැමෝටම එක වගේ ඉගෙනුම්වල විවිධ පැතිවලින් උපදෙස් දුන්නා. එක හා සමාන උදව් කළා. මම අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විදිහට ඉන්න කාලය පුහුණුව තුළ මර්චන්ඩයිසර් කෙනෙක් විදියට ඇඟලුම් ක්ෂේත්‍රයේ කටයුතු කළා ටික කාලයක් අභ්‍යන්තර පුහුණු කාලය තුළ. මට තිබුණේ ඇණවුම් ගැනීම වගේ දේවල්. එය මගේ රැකියාව වුණත් එය මගේ කැමැත්ත නොවේ. මගේ ආසාව තියෙන්නේ කථිකාචාර්යවරියක වීමටයි.”

කුසගිනි දරමින්, නිදිවරමින්, අප්‍රමාණ කැපකිරීම් හා දුක් දොම්නස් මැදින් ඇය දිනූ ලොව හෙට ආලෝකමත් වේවා යී  “ඉරිදා ලංකාදීප”යේ සුබ පැතුම් ගෙන එමු.

බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක