ලෝකයම හොල්ලන විස්මිත පොහොරක් හැදූ අපේ විද්‍යාඥයෝ !


ලෝකයේ ම කෘෂිකර්මාන්තයේ පෙරළියක් ඇති කිරීමට සමත් ජෛව පොහොරක් ලොව ප්‍රථම වරට නිපදවීමට ශ්‍රීලාංකික විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ. අස්වැන්න දෙගුණ තෙගුණ කරන, පාරිසරික සුවතාව - මානව සුවතාව සුරකින, සියයට සියයක් හරිතමය නිපැයුමක් වන මෙය රසායනික පොහොර භාවිතය අඩකින් අඩුකරමින් ඒවායින් වන දිගුකාලීන අහිතකර බලපෑමෙන් මිනිසා සහ පරිසරය මුදා ගැනීමට සමත් වන බව මනාව සනාථ වී තිබේ. 

මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න

මේ සුවිශේෂ ශ්‍රී ලාංකීය පොහොර, ජෛව පටල ජෛව පොහොර  ලෙස  Biofilm biofertilizer (BFBF)  දැන් ලෝකයේම සම්භාවනාවට සහ අවධානයට ලක්ව හමාරය. මෙහි ඇති සුවිශේෂ ගුණාත්මක භාවය දිගු කාලීන පර්‌යේෂණ මගින් තහවුරු වූ නිසාම දැන් එය මහා පරිමාණයෙන් නිපදවීම සහ බෙදා හැරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක්ද ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝබර් 14දින ඔයාමඩුව ප්‍රදේශයේදී මෙම පොහොර නිෂ්පාදන නව  ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ.

ක්ෂුද්‍රජීව ජෛව පටල හෙවත් බැක්ටීරියා සහ දිලීර එකතුවක් මගින් ඇති කරන ජෛව පටල මත පදනම්ව නිපදවා ඇති ලොව පළමු ජෛව පොහොර වන මෙය ලොව ඉහළම විද්‍යාඥයින් 2% අතරට  එක්ව සම්භාවනාවට ලක්ව සිටින දැනට මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්‌යේෂණ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්නයන්ගේ ප්‍රධාන විමර්ශනය යටතේ ආචාර්ය මහේෂ් ප්‍රේමරත්න, අනුර පතිරණ සහ එස්. ඒකනායක යන විද්වතුන්ගේ එකමුතුවෙන් නිමැවුණු නවෝත්පාදනයකි. 2002 වසරේ සිට ආරම්භ කරන ලද ක්ෂුද්‍රජීව ජෛව පටල පොහොර නිපැයුමේ මේ නව පර්‌යේෂණය ඉතා ඉක්මන් සාර්ථකත්වයක් පෙන්වූ අතර පේටන්ට් බලපත්‍රය පවා හිමිකර ගැනීමට සමත් විය. 

ඉන්පසු තේ පර්‌යේෂණායතනය හා මූලිකව සම්බන්ධව තේ වගාව සම්බන්ධ කර ගනිමින් මෙම පොහොරේ වාණිජමය උපයෝගිත්වය සහ පලදායකත්වය වසර 5ක පමණ කාලයක් පුරා පර්‌යේෂණයට ලක් කරන ලද අතර ඒ මගින් තේ වගාවටම සරිලන සේ භාවිත කළ හැකි ක්ෂුද්‍රජීව ජෛව පටල- තේ , පොහොරක් නිපදවීමට හැකි විය. එය භාවිතයෙන් රසායන පොහොර අඩකට වඩා අඩු කළ හැකි වීම නිසා බිලියන ගණනක ලාභයක් ලබා ගත හැකි බව සනාථ කිරීමට ද හැකි විය.

2014 දී ලංකා ජෛව පොහොර සමාගම ඇරඹීමට අඩිතාලම වැටුණේ එලෙසය. එහි ක්‍රියාකාරිත්වයෙන් වාණිජ පලදායිතාව හඳුනාගැනීමත් සමග  පසුව මෙය වී වගාව සඳහා යොදාගැනීමට කටයුතු කළ අතර ඒ සම්බන්ධයෙන් වූ පර්‌යේෂණය 2018- 2024 දක්වා කාලයෙහි  තෝරාගත් දිස්ත්‍රික්ක15ක කන්න10කට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක කෙරිණ.  නව සොයාගැනීම අතිශය සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බව මෙම දිගු කාලීන විමර්ශනය දැන් සනාථ කර හමාරය.

විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන ඔයාමඩුව ව්‍යාපෘතිය ආරම්භකළ අවස්ථාව.

මීට සමගාමීව එළවළු, පලතුරු සහ බඩ ඉරිඟු‍ වැනි අනෙකුත් භෝග සඳහා ද මෙහි පලදායකත්වය විමසීමට කටයුතු ඇරඹී තිබුණි. ඉන් ලද ප්‍රතිපලද සාර්ථක විය.

මේ අනුව දැන්  රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වයෙන් යුතු ව්‍යාපෘතියක් ලෙස මෙය මහා පරිමාණයෙන් නිපදවීමට තීරණය වී ඇති අතර මුදල් අමාත්‍යාංශයේ අනුමතිය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ඔයාමඩු ව්‍යාපෘතිය 2026 ජනවාරි සිට 2028 ජනවාරි දක්වා වසර 3ක් මූලිකව ක්‍රියාත්මක වීමට නියමිතය.

සිය සොයාගැනීම සහ එහි පලදායිතාව පිළිබඳව “ඉරිදා ලංකාදීපය” සමග අදහස් දැක්වූ මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්නයන් මෙතෙක් කලක් ලෝකයෙන් ලංකාවට ගෙනා තාක්ෂණ දැනුම වෙනුවට දැන් ලෝකය  වෙත  විශිෂ්ට නව තාක්ෂණයක් ඉදිරිපත් කිරීමට ලංකාවට  හැකිව ඇති’ බවට උදම් ඇනුවේය.

“මේ පොහොර හැඳින්විය යුතු නියම විදිය තමා - ක්ෂුද්‍රජීව ජෛව පටල ජෛව පොහොර- යන යෙදුම. ඒ කීවේ මෙයට පෙර ඕනෑ තරම් ජෛව පොහොර තිබුණත් ක්ෂූද්‍ර ජීවීන් යොදා ගනිමින් තැනූ ජෛව පටල ආශ්‍රිතව සාර්ථක පොහොරක් නිෂ්පාදනය කළේ මුල් වතාවට ලංකාවෙ අපි පමණයි. එය අපේම ක්‍රමයක්. දැන් මේ ගැන ලෝකයේ  රටවල් ගණනාවක පර්‌යේෂණ සිදුකෙරෙනවා. ඉන්දියාව,  බංග්ලාදේශය, ජපානය වගේම බ්‍රිතාන්‍යය, අමෙරිකාව වැනි බටහිර රටවලු‍ත් මේ ගැන හොයනවා.  කැනඩාව අප සමග සහයෝගයෙන් මෙය ඔවුන්ගේ රටට අවශ්‍ය ලෙස වැඩි දියුණුව සඳහා මූලික සාකච්ඡා කර තියෙනවා”. 

“මෙම ක්ෂුද්‍රජීව ජෛව පටල පොහොර, කාබනික කැට පොහොර සමග ඒකාබද්ධ කර භාවිතාව මගින් රසායනික පොහොර භාවිතාව සියයට 50කින් අඩුකළ හැකියි. ඒ වගේම අස්වැන්න සීයට20-30 දක්වා වැඩිකළ හැකියි.  දිගටම කෙරෙන පර්‌යේෂණ මගින් අපි උත්සාහ දරන්නේ මෙය සීයට50 මට්ටම දක්වා ගෙන එන්නයි. එය කළ හැකි බවට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම ක්ෂුද්‍රජීව ජෛව පටල මගින් රසායන භාවිතයෙන් පසෙහි දැනට විනාශ වී ඇති අත්‍යවශ්‍ය ක්ෂුද්‍රජීවී ගහනය නැවත වර්ධනය කර ඒවායේ ක්‍රියාකාරිත්වය සක්‍රීය කරනවා. ඉන් පසෙහි ජෛව විවිධත්වය ඉහළ දමනවා. පෝෂක අවශෝෂණයට සහ ජලය රඳවා ගැනීමට සමත් පාංශූ ජෛව පටල තැනීම ප්‍රේරණය කරනවා. පසෙහි පෝෂක කාන්දුව අඩුකර කාබනික ද්‍රව්‍ය සංයුතිය ඉහළ දමනවා.  එපමණක් නොවේ. සහල් ආශ්‍රිත පර්‌යේෂණවලින් පෙනී ගිය පරිදි ජෛව පටලයේ ඇති ක්ෂුද්‍ර ජීවීන් ශාක සඳහා පෝෂක ලබා ගැනීමේ හැකියාව ඍජුවම වැඩි දියුණු කරනවා. එය අස්වැන්නේ නිරෝගී බව සහ පෝෂණ ගුණයද ඉහළ නංවනවා”. 

“ලංකාවේ වගේම ලෝකයේත් ඇති බැරෑරුම් සෞඛ්‍ය  ගැටලු‍වක් සඳහා ද මෙයින් විසඳුම් ලැබෙනවා. ඒ තමා රසායන භාවිතය නිසා සිදුවන ආසනික්, කැඩ්මියම් වගේ බැර ලෝහ ශරීරගතවීම නිසා හැදෙන වකුගඩු පිළිකා වැනි දිනෙන් දින ඉහළ යන නිදන්ගත මාරාන්තික රෝග, ක්ෂුද්‍රජීව ජෛව පටල මේ තත්ත්වය වළක්වා පස මෙන්ම බෝගද සරු නිරෝගී සෞඛ්‍ය සම්පන්න මට්ටමකට නැවත ළඟාකරනවා. කෙටියෙන් කිව්වොත් පැරණි සරු පස, සරු භෝග නැවත ගොවියාට මහපොළොවට, ස්වභාවධර්මයට ප්‍රතිනිර්මාණය කර දෙනවා”.යැයි ඔහු පෙන්වා දුන්නේය.

පර්‌යේෂණ දත්ත මගින් සනාථ කර ඇත්තේ පර්‌යේෂණයට ලක් වූ වගා බිම්වල බෝග අස්වැන්න සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇති බව ත් ඉහළ මට්ටමේ ප්‍රතිඔක්සිකාරක ඇතුළුව ධාන්‍යවල පෝෂණ ගුණය වැඩි දියුණු කළ හැකි බවත්ය. වැඩිදියුණු කළ පාංශු තත්ත්වයන් ශාක වර්ධන වේගය වැඩි දියුණු කර, ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩිකර, ශාක නියඟයට වඩාත් ප්‍රතිරෝධී කර, ශාකයන්හි පරිසරයට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නංවන බවද සනාථව තිබේ. සහල් සම්බන්ධ පර්‌යේෂණයන්හිදී ක්ෂුද්‍රජීවී ජෛව පටල ජෛව පොහොර  නිසා අස්වැන්න ප්‍රමාණය පමණක් නොව සහල්වල ඇති ප්‍රතිඔක්සිකාරක මෙන්ම මොළය සහ ස්නායුක ක්‍රියාකාරිත්වයට බලපාන ගැබා GABA  අන්තර්ගත වැනි ජෛව ක්‍රියාකාරී සංයෝගවල සැලකිය යුතු වැඩි වීමක්, ප්‍රමාණය සහ ඖෂධීය ගුණ යන දෙකම වැඩි දියුණු කිරීමක්, වාර්තා වන බව සිලෝන් ජර්නල් ඔෆ් සයන්ස්හි  වාර්තාව ඇතුළු පර්‌යේෂණ වාර්තා ගණනාවක්ම තහවුරු කර ඇත.

ඒ අනුව  දැනට මෙරට සහ පිට රට  වාර්තාගත පර්‌යේෂණාත්මක ප්‍රතිපල අනුව ක්ෂුද්‍රජිවී ජෛව පටල ජෛව පොහොරවල  සාර්ථක ක්‍රියාකාරිත්වයන් කැටි කර දැක්වුව හොත්, - වායුගෝලීය නයිට්‍රජන් ඇමෝනියා (ශාක-භාවිත කළ හැකි ආකාරය) බවට තිර කරයි. පසෙහි පොස්පරස් ද්‍රාව්‍ය කරයි. ශාක වර්ධන හෝමෝන නිපදවයි. ක්ෂුද්‍රජීවී විවිධත්වය සහ පසේ සාරවත් බව වැඩි දියුණු කරයි. ජලය රඳවා තබා ගැනීම සහ නිසඟ ප්‍රතිරෝධී ගුණ වැඩි දියුණු කරයි. පසෙහි කාබනික, පෝෂක චක්‍ර සහ ජලය රඳවා තබා ගැනීම වැඩි දියුණු කරයි. පස, ශාක සහ ක්ෂුද්‍ර ජීවීන්ගේ ඔරොත්තු දෙන ජාලයක් නිර්මාණය කිරීමෙන් වඩාත් තිරසාර කෘෂිකාර්මික පද්ධතියක් ප්‍රවර්ධනය කරයි.

රසායනික පොහොර සහ වල්නාශක මගින් හානි වූ ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරකම් පුනර්ජීවනය කරමින් පාංශු ප්‍රතිසංස්කරණය සිදුකරයි. බාහිර ජීවීන් හඳුන්වා නොදී හානිකර ක්ෂුද්‍ර ජීවීන් සහ පළිබෝධක ස්වාභාවිකවම මර්දනය කරයි.

වාර්තාගත ආර්ථික සහ පාරිසරික ප්‍රතිලාභ අතර දැනට තේ සඳහා වාර්ෂිකව ආනයනය කරන රසායනික පොහොර මෙට්‍රික් ටොන් 188,000කට ආසන්න ප්‍රමාණයක් සඳහා වසරකට වැය වන පිරිවැය වන  රු. බිලියන 50 (රුපියල් බිලියන 40 ක සහනාධාර ඇතුළුව) අඩකින් පහළ දැමීමට මේ නව නිපැයුම සමත් බව තහවුරුව තිබේ.

නව පොහොර නිපැයුම් 

බොහෝ ජෛව පොහොර රසායනික භාවිතය සීයට25 කින් පමණක් අඩු කරයි. එහෙත් අපේ විද්‍යාඥයන්ගේ නවතම හඳුන්වාදීම වන  ක්ෂූද්‍ර ජීවී ජෛව පටල මෙහිදී  සීයට 50 දක්වා ඉහළ අගයකට ළඟා වන අතර එය ගෝලීය වශයෙන් සුපිරි තරගකාරී මට්ටමකි. 

ඒ අනුව මේ ක්ෂුද්‍රජීව ජෛව පටල පොහොර නව නිපැයුම  ලෝකයම වස විසෙන් තොරව පරිසර හිතකාමීව සරුසාර කරන යුගයේ නව කෘෂි විප්ලවයකට මඟ පෑදිය හැකි සොයා ගැනීමක් වන බවට දැනටමත් සුබ පෙරනිමිති පහළ කර හමාරය.

ඒ නිසාම  ක්ෂුද්‍රජීවී ජෛව පටල ජෛව පොහොර තාක්ෂණය හඳුන්වාදීම මගින් පමණක් නොව මහා පරිමාණව නිපදවා ලෝකයට බෙදා හැරීම මගින්ද අපට ලද හැකි ආර්ථික ප්‍රතිලාභය සුළුපටු නොවේ.

සුගත්ප්‍රිය කුලතුංග ආරච්චි - සේයාරූ නිත්‍යා සිල්වා