ලංකාවටම එකයි.... ගුවන් හමුදාවේ පළමු පියාසර ඉංජිනේරුවරිය ඇයයි


ජීවිතයේ අනේකවිධ දුක් පීඩාවන්ට මුහුණ දෙන කාන්තාව තමන්ගේ  ජීවිතය මෙන්ම තම රටත් ලෝකයක් වෙනස් කිරීමට දෙන දායකත්වය අප අසා ඇත. දැක ඇත. ලොවක් මවන ඇය ලොවක් තනන්නේ උපන්දා සිට විවිධ භූමිකා හිසදරා ගනිමිනි. බිලිඳියක් ලෙස කිරි සිනහවෙන් නිවසක් එළිය කරන ඇය තරුණියක වී ලෝකයක්  සුන්දර කරයි.  බිරිඳක ලෙස  කුටුම්බයක් තනමින් ඇය ගැහැණියක වී දේශයක් ගොඩනගන්නේ ලෝකයක් ජීවනාලිය බවට කරමින්ය. ලාංකීය ජනගහනයෙන් ශ්‍රම බලකායට සියයට 36ක කාන්තා දායකත්වයක් දෙමින් බොහෝ අංශවලට ඉහළම දායකත්ව ලබාදෙන ඇය පවුලේ කුසගිනි නිවනු වස් ඉසිඹුවක් නොලබාම පිරිමින් හා උරෙනුර ගැටෙමින් ජීවන මඟ සිතුවම් කරන්නීය.

මේ ලියන්නේ එලෙස අභියෝග මැදින් ජීවිතය සිතුවම් කරගත්, රටේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයේ අහස සිපගත් සුවිශේෂ ලියක් පිළිබඳවය.

තවදුරටත් ඇය මුළුතැන්ගෙට කොටු වූ භාණ්ඩයක් නොවෙනුවස් , හැඳිමිටට උවම් කියූ දැනුමෙන් සාම්ප්‍රදායික පවුරු වළලු බිඳදමමින් ලෝකය වෙනස් කළ කාන්තාවන් අතර  ශ්‍රී ලාංකීය ඉතිහාසයෙහි කන්තාවට හිමි සමාජ පසුබිම වෙනස් කර ගනිමින් අභියෝග මැදින් තම ජීවන ගමන වෙනස් මාවතකට රැගෙන ගිය එම දිරිය දියණිය නමින් පූර්ණිමා අනුරංගිය. 

මෙරට ගුවන් හමුදාවට පමණක් අයිති ශ්‍රී ලංකාවේ එම්.අයි. 17 හෙලිකොප්ටර්වලට සහ ඒ.එම්.32 ගුවන් යානාවලට පියසර ඉංජිනේරුවන් යොදා ගන්නා අතර මේ ගුවන් යානා වර්ග දෙක අතරින් එම්.අයි. 17 හෙලිකොප්ටර් වර්ගයේ ගුවන් යානාවල ශ්‍රී ලංකාවේ පළමු කාන්තා පියසර ඉංජිනේරුවරිය ලෙස පූර්ණිමා අනුරංගි ඉතිහාසයට එක්වීම  විශේෂත්වයකි. 

ඇය  ඉතිහාසයට එක් වෙන්නේ මෙරට පළමු හෙලිකොප්ටර් පියාසර ඉංජිනේරුවරිය වශයෙනි. එය මෙතෙක් අප රටට නොතිබුණු තත්ත්වයකි. දකුණු ලකට අභිමානයක්ව එම්.අයි. 17 පියසැරියෙහි අලුත් පිටුවක් පෙරලමින් ලක්මවගේ පළමු පියසර ඉංජිනේරුවරිය ලෙස කිරුළු පලඳින්නට වාසනාවන්ත වූ ඇය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අනභිබ වනීය නිමැවුමකි.   

එම්. ඩබ්ලිව්. අනුර මහත්මාටත්, පී. එච්. පී. අයිරාංගනී මහත්මියටත් දාව උපන් කුලඳුල් දරුවා වූ  පූර්ණිමා අනුරංගි හැදී වැඩෙන්නේ අම්බලන්ගොඩ, පටබැඳිමුල්ල ග්‍රාමයේ සමාන්‍ය පවුල් පසුබිමකය. දකුණු ලක කීර්තිමත් විද්‍යාලයක් වන ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම දිවයිනේ කීර්තිමත් චරිත බොහොමයක් බිහිකළ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවියක වන ඇය පොත පතට වගේම වැඩි වශයෙන්ම ඇලුම් කළේ ක්‍රීඩාවටය. එමෙන්ම ජය පරාජයට වඩා ජීවිතයේ අභියෝගයන්ට මුහුණ දීමට ඇය වඩාත් ඇලුම් කළාය.

දුව ගුවන් හමුදාවට බැඳිලා අවුරුදු හතක් වගේ කෙටි කාලයකදී මේ වගේ දස්කමක් දැක්වීම සම්බන්ධයෙන් දුව ගැන අපට තියෙන්නේ ඉතාම අහිංසක ආඩම්බරයක් වගේම සතුටක්. මීටත් වඩා ඉහළට යන්න මගේ දුවට ලොකු ධෛර්ය තියෙනවා කියලා මට විශ්වාසයි. මේ හැමදෙයක්ම ඇතුලෙම තියෙන්නේ එයාගේ ධෛර්ය

“මට දරුවෝ දෙන්නයි. වැඩිමල්ම දුව තමයි පූර්ණිමා අනුරංගි, බාලම පුතා සචින් චානක මේ වෙනකොට සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලයක වැඩිදුර අධ්‍යාපනය හදාරනවා.  දුව ගැන කියනව නම්  පුංචි කාලේ ඉඳලාම හරිම ධෛර්යවන්ත දරුවෙක්. මේක කරන්න අරක කරන්න කියලා අපි කිසිම දෙයක් ඇඟිල්ලෙන් ඇණ ඇණ කියන්න අවශ්‍ය වුණේ නැහැ. කුඩා කාලේ ඉඳලාම එයාට වගකීම් හොඳ අවබෝධයක් තිබුණා.  එයාට හිතුණා නම් මට මේ දේ කරලා බලන්න ඕන කියලා එයා ඒක කොච්චර අමාරු වුණත් ඒකට තමයි යොමු වෙන්නේ.

දූලාගේ තාත්තා කරන්නේ මුහුදු රස්සාව. මම බළපිටිය රෝහලේ වාට්ටු ලිපිකාරිනියක් ලෙස සේවය කරනවා. මම රැකියාවට යනවා. තාත්තා මූදු රස්සාවේ යනවා. ආච්චි තමයි දරුවෝ දෙන්නා බලා ගත්තේ.  මුහුදු රස්සාවේ ගියාම මාසයක් වගේ දූලාගේ තාත්තා ඉන්නේ මුහුදේ.  මමත් රස්සාවට යනවා. තාත්තයි, මමයි දෙන්නාම නිතර ගෙදර රැඳෙන්නේ නැති වෙලාවට ගෙදර වගකීම් දැරුවෙත් දුව. ඇත්තම කියනව නම් එයා ගෙදර සමහර වගකීම් දරන්නේ දුවෙක් වගේ නෙමෙයි ගෙදර ලොකු පුතා වගේ.

මම වැඩ ඇරිලා ගෙදර එනකොට මල්ලිවත් බලාගෙන මල්ලිගෙ වැඩත් කරලා තියන්නේ දුව. එයා පුංචි වුණත් හරි වගකීමෙන් ඒ දේවල් කළා. මල්ලිට ඉගෙන ගන්නත් පිටිපස්සෙන් ඉඳන් ලොකු ශක්තියක් වුණේ දුව. පොත පතේ වැඩටත් වඩා දුව ගොඩාක් ආස කළේ ක්‍රීඩා අංශයට. පිහිනුම්, නෙට්බෝල්, මලල ක්‍රීඩාවලට. අපි ඒ කිසිම දෙයක් එපා කිව්වේ නැහැ. එයා මොන බාහිර වැඩේ කළත් අධ්‍යපන වැඩ කටයුතුත් කරගනීවි කියන විශ්‍වාසය මට තිබුණා.”

පූර්ණිමාගේ මව ඇගේ කුඩා කාලයේ මතකය ඇවිස්සුවේ එලෙසය,  2006 වර්ෂයේ සුනාමි රකුසාගෙන් බැට කෑ අමිහිරි මතකයද පූර්ණිමාගේ දියණියගේ ජයග්‍රහණය මැද්දේ යළිත් ඇය සිහිපත් කළේ සතුටු කඳුළු මැද්දේය.

ජීවිතේ හැමදේම බින්දුවටම කඩා වැටුණේ සුනාමියත් එක්ක. එතකොට පූර්ණිමා දුව දෙක වසරේ ඉගෙන ගත්තේ. සුනාමියට කලින් දවසේ අපි විනෝද චාරිකාවක් ගිහින් හිටියේ. 

එද්දී ඉතුරු වෙලා තිබුණේ අපි මේ ජීවත් වෙන ගෙදර අඩිතාලම විතරයි. අපට ඉතුරු වුණේ ට්‍රිප් එකට අරන් ගිය රෙදි ටික විතරයි. මොකද්දෝ වාසනාවකට එදා විනෝද චාරිකාව ගිය නිසා අපි බේරුණා. එතැන් පටන් ආයෙම ටික ටික නැගිට්ටා.

පූර්ණිමා දුව අනුන්ට හරියට උදව් කරන දරුවෙක්.  ක්‍රීඩාවලින් දක්ෂතා දක්වද්දී දුවට ගොඩාක් ශිෂ්‍යත්ව එහෙම ලැබුණා පාසල් කාලෙදි. එයා කවදාවත් ඒවා ගත්තේ නැහැ.  අපටත් වඩා ආර්ථික අතින් නැතිබැරි කෙනෙකුට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා දුව ගුරුවරුන්ට කිව්වා. පූර්ණිමා ඒ තරම් පරිත්‍යාගශීලී දරුවෙක්.”

එම්. අයි. 17 හෙලිකොප්ටර් යානාවල ලංකාවේ පළමු  පියාසර ඉංජිනේරුවරිය වීමේ ගෞරවය හිමි වෙන්නේ ඔබේ දියණියට. මවක් විදහට ඒ සතුට එදා කොහොමද දැනුණේ?

මගේ එකම හීනය තිබුණේ දුව හෙදියක් වෙනවා බලන්න. දුව ඒකට පොඩ්ඩක්වත් කැමැත්තක් තිබුණේ නැහැ. ගුවන් හමුදාවට බැඳෙන්න ඕන කිව්වාම ගැහැනු දරුවෙක් නිසා හිතේ පුංචි බයකුත් තිබුණා. ඒත් දුව ආස කළේ ගුවන් හමුදාවට බැඳෙන්න. පස්සේ තාත්තායි මමයි දුවගේ කැමැත්තට ඉඩ දුන්නා.  

පුංචි කාලේ ඉඳලා එයා බොහොම නිර්භීත දරුවෙක් නිසා මට ලොකු විශ්වාසයක් තිබුණා දුව තෝරගත්ත පාරේ ලොකු ගමනක් යාවි කියලා. ඒ ගමනට දක්වපු උනන්දුව මම දැක්කා. දුෂ්‍කරතා අපමණ වින්දා. හැබැයි දුව එයාගේ වෘත්තියට බොහෝ සෙයින් ආදරය කළා.  

අද මේ ජයග්‍රහණ දකිද්දී හිතෙනවා අපේ දුව එදා ගත්ත තීරණය හරි කියලා. දුව දෙයක් හිතුවොත් එය කරලාම තමයි පස්ස බලන්නේ. එයා ඒ වෙනුවෙන් ගොඩාක් කැප කිරීම් කළා. මහන්සි වුණා. ගුවන් හමුදාවට බැඳිලා අවුරුදු හතක් වගේ කෙටි කාලයකදී මේ වගේ දස්කමක් දැක්වීම සම්බන්ධයෙන් දුව ගැන අපට තියෙන්නේ ඉතාම අහිංසක ආඩම්බරයක් වගේම සතුටක්. 

දුව ඕනම දේකට යන්න කලින් මට කතා කරනවා. ඒ කියපු සැනින් මම ළඟ පන්සලට ගිහින් බුදුන් වඳිනවා. එදත් ඒ විස්තරේ කිව්වාම මම දුවලා ගියේ පන්සලේ බෝධිය ළඟට. මම ගොඩාක්ම බය වුණේ දුව පැරෂුට් කෝස් එක කරද්දී. ඒ දවස්වල මම පන්සලේමයි. අනේ මම කොයි වෙලාවෙත් පන්සලට ගිහින් දුව ආරක්ෂා කරලා දෙන්න කියලා බෝධි පූජා තිබ්බා. මීටත් වඩා ඉහළට යන්න මගේ දුවට ලොකු ධෛර්ය තියෙනවා කියලා මට විශ්වාසයි.”

පූර්ණිමාගේ මව මේ වදන් එකතු කළේ සතුටු කඳුළු සමඟිනි.  

28 හැවිරිදි වියේ පසුවන  මණික්කුවාව‍ඩු පූර්ණිමා අනුරංගි  ගුවන් හමුදාවට එකතු වුණේ  2018 ජනවාරි 16 වැනිදා කැඩේට් නිලධාරිනියක ලෙසය. ගුවන් හමුදාවේ දියතලාව මූලික සටන් පුහුණු පාසලේ මාස හයක පුහුණුවෙන් පසුව චීන වරාය ගුවන් හමුදා කඳවුරේ මූලික අධ්‍යාපන සුදුකම් සැපිරුවාය.  එම සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව හිඟුරක්ගොඩ ගුවන් හමුදා අංක හත පුහුණු අංශයේ ගුවන් හමුදා ඉංජිනේරු නිලධාරිනියක ලෙස වසර දෙකක් පුහුණු වූවාය. පූර්ණිමාගේ ගුවන් හමුදා දිවියේ  ස්වර්ණමය අවස්ථාව උදා වෙන්නේ හිඟුරක්කොඩ ගුවන් හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදීය. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගත් අභීත ක්‍රියාවක ප්‍රතිපලයක් ලෙසය.

“ගුවන් හමුදා කාන්තා ඉතිහාසයේ පියාසර ඉංජිනේරුවරියන් මීට පෙර සේවයක් සපුරා තිබුණේ නැහැ. මම මුලින්ම රාජකාරි ආරම්භ කළේ අංක 7 හෙලිකොප්ටර් බලගනයෙන්. 2023 වසරේදී මම හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිටියදී පියසර ඉංජිනේරු පාඨමාලාවක් ආරම්භ වුණා. මට හිතුණා ඒ අභියෝගය භාරගන්න. අනතුරුව මම අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අංක 6 බලගනයට යොමු වී ගොඩබිම් පුහුණුවීම් සම්පූර්ණ කරමින් රත්මලාන අංක 4 හෙලිකොප්ටර් බලගනයෙන් පියාසර පුහුණුවීම් සම්පූර්ණ කළා. ඒ විදිහට මම මෙම පාඨමාලාව අවසන් කර වසර එකහමාරක් ඇතුළත පියාසර ඉංජිනේරුවරියක් ලෙස බැජ් පැලඳීමේ අවස්ථාව ලැබුණා. 

මේක මම තනියම ආපු ගමනක් නෙවෙයි. හිටපු ගුවන් හමුදාපතිතුමන්, වත්මන් ගුවන් හමුදාපතිතුමන්, හිටපු ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්, වත්මන් ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්ෂතුමන්, කඳවුරු සහ බළගණවල අණදෙන නිලධාරිතුමන්ලා, පියාසර පුහුණු උපදේශකවරුන්, ජ්‍යෙෂ්ඨ පියාසර ඉංජිනේරුවරුන්, සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරිනියන් ඇතුළු සියලුම දෙනාගේ සහයෝගය මතයි පියාසර ඉංජිනේරුවරියක ලෙස වර්තමානයේ සේවය කිරීමට හැකියාව ලැබුණේ.

ගුවන් හමුදාවේ ඉහළ නිලයන්හි ආශීර්වාදය සහ අනුබලය නොඅඩුව ලැබුණ නිසාත් ඒ සඳහා අවැසි සෑම පුහුණුවක්ම ගුවන් හමුදාව මට ලබා ගන්න අවස්ථාව සලසා දුන් නිසාත් මගේ හීනයට යන්න පහසු වුණා.”

ඉතා සංකීර්ණ ක්‍රියාවලියක අභියෝගය පිළිබඳව ඇය කියා සිටියේ මෙසේය. 

“ගුවන් යානා ඉංජිනේරු ක්ෂේත්‍රය ඉතා සංකීර්ණයි. එම ක්‍රියාවලිය ඉගෙන ගැනීමට ඉහළ කැප කිරීමක් අවශ්‍යයි . මීට කලින් ගුවන් යානා ඉංජිනේරුවරියන් ගුවන් හමුදාව තුළ නොසිටි නිසා නිලධාරිනියක් ලෙස මුහුණ දීමට සිදුවන අභියෝග මොනවාද කියලා මට දැනුවත් කමක් තිබුණේ නෑ. නමුත් මට අභියෝග එන සෑම අවස්ථාවකම මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරිනියන් මගපෙන්වීම මට ලොකු රුකුලක් වුණා.”

එම්. අයි. 17 හෙලිකොප්ටර් යානාවල ලංකාවේ පළමු පියා සර ඉංජිනේරුවරිය ඔබයි. ඔබට දැනෙන හැඟීම?

මම ගුවන් හමුදාවට එනකොට හිටපු තැනයි දැන් ඉන්න තැනයි එක්ක බලනකොට මම ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. ඒ ගැන මට ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම මගේ දෙමව්පියන්ටත් මා ඉගෙනගත් පාසලටත් ඉමහත් අභිමානයක් සහ ආඩම්බරයක් ගෙන ඒමට ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ගොඩාක් ගැහැනු ළමයි ආසාව තිබුණත් සමහර අභියෝග භාරගන්න බයයි. ජීවිතේ කිසිම දෙයක් දිනාගන්න පහසු නැහැ. ගුවන් හමුදාවේ කාන්තාවන් කියලා වෙනසක් නෑ. ඕනෑම නිලධාරිනියකට, ගුවන් කාන්තාවකට තමන්ගේ දක්ෂතා මත ඉදිරියට යන්න අවස්ථාව තියනවා.

මේකද ඔබ දුටු එකම සිහිනය?

මගේ හිතේ පොඩි කාලේ ඉඳන්ම තිබුණේ හමුදාවට බැඳෙන්න ඕන කියන අදහස. මේක මගේ සිහිනවලින් එකක්, මගේ මුල්ම සිහිනය වුණේ ගුවන් හමුදාවේ නිලධාරිනියක් වීම සහ පැරෂුට් පාඨමාලාව හදාරා පැරෂූට් භටයෙකු වීම. එතැන් සිට මම මගේ ක්ෂේත්‍රයෙන් ඉහළට යන්න අරමුණු කර ගත්තා. මම පාසල් කාලේ ඉඳලාම වැඩි කැමැත්ත දැක්වූවේ ක්‍රීඩා කරන්න. මම පළමු වසරේ සිටම මලල ක්‍රීඩා සහ පිහිනුම්, නෙට්බෝල් කළා. හැබැයි අම්මායි තාත්තායි ඒ දේවල් කිසිම දෙයක් කරන්න එපා කිව්වේ නැහැ. දෙමාපියන්ගේ තේරුම් ගැනීම මට ලොකු පිටුවහලක් වුණා. අම්මා නිතරම පස්සෙන් හිටියා. තාත්තා මල්ලිගේ ආරක්ෂාව තිබුණා. මේ හැමදේටම ඒ තුන්දෙනාගේ ශක්තිය මට තදින්ම බලපෑවා. 

ඔබේ අවසාන ඉලක්කය මොකද් ද ?

මට ගුවන් හමුදාවෙන් දුන්නු මේ අවස්ථාවෙන් උපරිම සේවයක් ගුවන් හමුදාවටත් රටටත් කරන්න බලාපොරොත්තු වෙනවා.  මගෙන් පසුව ගුවන් යානා ඉංජිනේරුවරියන් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට මාගේ දැනුම ලබා දෙමින්  ගුවන් හමුදාවට සහ රටට සේවය කළ හැකි ඉංජිනේරුවරියන් බිහි කරමින් උපදේශක වරියක ලෙස කටයුතු කිරීමටද බලාපොරොත්තු වෙනවා. ගුවන් හමුදාව කියන්නේ කාන්තාවන් හට තම බලාපොතේතු ඉටුකර ගැනීමට හැකි තැනක්. ගුවන් හමුදාවට එක්වෙලා ගුවන් නියමුවරියන් හා අනෙකුත් සියලුම වෘත්තීන් සමග සම්බන්ධ වී  වෘත්තීය දැනුමෙන් මව්බිමට සේවය කිරීමට හැකි කාන්තාවක් වීමට ගුවන් හමුදාව සමග එක් වෙන්නැයි මම ආරාධනා කරනවා.

විශේෂ ස්තූතිය: ගුවන් හමුද‌ා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ඇතුළු කාර්යය මණ්ඩලය.

නදීශා අතුකෝරළ