ලෝක ආහාර දිනය ඉකුත් 16 වැනි දාට යෙදී තිබිණ. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමෙහි වැදගත්කම ගැන එයින් ලොවට දුන් පණිවුඩය එහි තේමාවෙහි ගැබ්ව තිබුණි. ආහාර සුරක්ෂිතතාව තහවුරු කරගැනීම සම්බන්ධ ශ්‍රී ලංකාවේ කතිකාව අලුත් වෙමින් ඉදිරියට යයි. ආර්ථික අර්බුදයෙන් ඉක්බිති මෙරට ආහාර සුරක්ෂිතතාව අර්බුදයට ගිය සැටිත් එහි ප්‍රතිඵලයක් ලෙස ළමා මන්දපෝෂණය වැඩි වූ සැටිත් අපට මතක ය. දරුණු ආර්ථික අර්බුදයකින් මිදෙමින් සිටින රාජ්‍යයක් වශයෙන් ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීමෙහි වැදගත්කමත් එහිලා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් විමසමින් කෘෂි විද්‍යාඥ මහාචාර්ය බුද්ධි මාරඹේ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියක් මෙසේ ය.
“වඩා හොඳ ආහාර සහ වඩා හොඳ අනාගතයක් සඳහා අත්වැල් බැඳගැනීම” යනු පසුගිය 16 වැනි දිනට යෙදුණු ලෝක ආහාර දිනයෙහි තේමාව යි. සියලු පාර්ශ්ව එකතු වී ආහාර සුරක්ෂිතතාව අරබයා ක්‍රියා කළ යුතු ය යන ඇඟවුම මෙහි අන්තර්ගත ය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිර්වචනය කර ඇති පරිදි ආහාර සුරක්ෂිතතාව යන්නෙන් සෑම පුද්ගලයකුටම සෑම අවස්ථාවකම තමන්ගේ රුචිය හෝ අභිමතය පරිදි අවශ්‍ය ආහාර සුලභවීම, පහසුවෙන් ළඟා විය හැකි වීම සහ දරාගත හැකි මිලකට ලබාගත හැකි වීම අදහස් වේ.
එසේම එම ආහාර සෞඛ්‍යාරක්ෂිත බවින් සහ පෝෂණ ගුණයෙන් අනූන වීමත් ඊට අයත් වේ. එයින් පැහැදිලි වෙන්නේ ආහාර සුරක්ෂිතතාව නිර්වචනය කර ඇත්තේ සංකල්පනාත්මක විග්‍රහයක් වශයෙන් බව ය. ආහාර සුරක්ෂිතතාව ළඟාකර ගැනීමට පියවර තැබීම රටකට ඉතා වැදගත් ය. ආහාර යනු පෝෂණ ප්‍රභවයක් බව ද අමතක නොකළ යුතු ය.
මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන ගමනේ දී උච්චාවචන තිබූ බව ද සිහි කළ යුතු ය. විශේෂයෙන් ම දේශගුණික විපර්යාස නිසා ආහාර සුරක්ෂිතතාවට අහිතකර බලපෑම් එල්ල වූ අවස්ථා තිබිණි. නිදසුනක් ලෙස 2016 සහ 2017 වසරවල දී ඇති වූ දරුණු නියං තත්ත්වය හේතුවෙන් එවක වී අස්වනු සියයට 35 න් පමණ කඩාවැටිණ. ඒ හේතුවෙන් 2017 අවසාන කාර්තුව සඳහා රටට අවශ්‍ය සහල් මෙට්‍රික් ටොන් 747,000 ක් පමණ ආනයනය කිරීමට සිදුවිය. ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 300 ක මුදලක් වැය විණි. මෙපරිදි අවශ්‍යතාව මත විටින්විට සහල් ආනයනය කිරීමට සිදු වුව ද අප සතුව හොඳ වී ප්‍රභේද තිබෙන බවත් මතක තබා ගත යුතු ය. දෙමුහුන් වී ප්‍රභේද තිබුණ ද ඒවා ව්‍යාපාර මට්ටමින් වගා කිරීමක් සිදු වෙන්නේ නැත. එමෙන් ම අප සතුව මනා වී වගා කිරීමේ තාක්ෂණයක් ද ගොවීන් සහ විද්‍යාඥයන් සතුව අවැසි දැනුම ද ඇත. එනයින් 2017 දී කඩාවැටුණු වී වගාව 2020 සහ 2021 කාලය වනවිට වර්ෂයකට වී මෙට්‍රික් ටොන් මිලියන 5 ඉක්ම වූ පරිදි යථා තත්ත්වයට පත් කරගැනීමට හැකි විය.
වසර 2021 දී කාබනික ගොවිතැනට යොමු වීමට ගත් දුර්වල තීරණය හේතුවෙන් 2022 වෙද්දි වී නිෂ්පාදනය සියයට 34 න් පමණ පහත වැටිණ. එහි ප්‍රතිඵලයක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 783,000 ක් ඩොලර් මිලියන292 ක් වැය කර ආනයනය කිරීමට සිදුවිය. වී වගාව යළි ඔසොවා තැබීමට පියවර ගත්ත ද එය ඉදිරියට ඇදෙන්නේ ඉබි ගමනේ ය. අපේක්ෂිත ඉල්ක්ක කරා ළඟා වීමට නොහැකි වී තිබේ. මෙය අවධානයට ලක්විය යුතු ය. පසුගිය වසර තුන පුරාම වී වගාව සඳහා යොදා තිබෙන්නේ යූරියා පොහොර නිර්දේශිත ප්‍රමාණයෙන් සියයට 65 කටත් අඩු ප්‍රමාණයකි. වී යනු අපට බත සපයන ශාකය යි. එසේ නම් ශාකයට නිසි පෝෂණය ලබා දිය යුතු ය. පොහොර යනු එසේ ශාකයට අවැසි පෝෂණය ලබා දෙන ප්‍රභවයකි. නයිට්‍රජන් යනු ශාකයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයකි. නිර්දේශිත ප්‍රමාණයට වඩා අඩු පෝෂණයක් වී ශාකයට ලබා දෙන්නේ නම් ඉහළ අස්වැන්නක් බලාපොරොත්තු විය නොහැකි ය. ආහාර සුරක්ෂිතතාව ගැන සිතන්නේ නම් ඒ ගැනත් අවධානය යොමු කළ යුතු ය.
නිෂ්පාදනය අඩු වූ විට එලෙස අඩු වෙන ප්‍රමාණය ආනයනය කිරීමට සිදුවෙන අතර ඒ සඳහා විදේශ විනිමය වැය වේ. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය ආහාර ආනයනය කිරීම ප්‍රශ්නයක් නොවන බව කිව යුතු ය. එය ඕනෑම රජයක වගකීමකි. එහෙත් ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයට බර රටක් බව අපි දනිමු. එවැනි පසුබිමක රටේ ප්‍රධාන ආහාරය වෙන බත සැපයීමට අවශ්‍ය වී ප්‍රමාණය වගා කර ගත නොහැකි නම් ඇති ඵලය කුමක්දැයි යමකුට ප්‍රශ්න කළ හැකි ය. ඇතැම් කාලවල අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වී නිපද වූ බව අමතක නොකළ යුතු ය. එහෙත් එවැනි කාලවල දී ද සහල් ආනයනය කරන ලදි. ඒ විවිධ හේතු සඳහා ය. නිදසුනක් ලෙස සංචාරක කර්මාන්තය සඳහාත් යම් ප්‍රමාණයකට දේශීය පරිභෝජනය සඳහාත් බාස්මතී සහල් එලෙස වාර්ෂිකව ආනයනය කෙරේ. මීට දින කිහිපයකට ඉහත දී කීරි සම්බාවලට සමාන සහල් වර්ගයක් ආනයනය සඳහා ඉඩ දීමට රජය තීරණය කළේ ය. රටේ සමස්ත වී වගා කරන ඉඩම් ප්‍රමාණයෙන් සියයට 8 ක ප්‍රමාණයක පසුගිය කන්න දෙකේ දී කීරි සම්බා වගා කර තිබේ. රටට අවශ්‍ය කීරි සම්බා ප්‍රමාණය එයින් නිපදවෙන්නේ නැත. කීරි සම්බා කොතරම් ප්‍රණීත සහල් වර්ගයක් වුව ද සෙසු වී වර්ග සමග සැසඳීමේ දී කීරි සම්බා වීවලින් ලැබෙන්නේ අඩු සහල් ප්‍රමාණයකි.
ඉදිරියේ දී හිඟ වන කීරි සම්බා සහල් ප්‍රමාණය සම්බන්ධයෙන් ගිය වසරේ අගභාගයේ පටන් අපි පෙන්වා දුන්නෙමු. මෙම වසරේ මාර්තු මාසය වෙනවිට කීරි සම්බාවලට සමාන සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් පමණ ආනයනය කිරීමට රජය තීරණයක් ගෙන තිබිණ. එහෙත් එය ක්‍රියාත්මක වූයේ නැත. නැවතත් ඔක්තෝබර් 15 සිට නොවැම්බර් 15 දක්වා මාසයක කාලයක් දක්වා කිසිදු ආනයන බලපත්‍රයකින් තොරව එක පුද්ගලයකුට උපරිම සහල් මෙට්‍රික් ටොන් 510 ක් වෙන පරිදි කීරි සම්බාවලට ආදේශක සහල් වර්ගයක් ආනයනය කිරීමට ඉඩ දී තිබේ. අවශ්‍යතාව පසුකාලීනව හෝ තේරුම් ගෙන ඇති බව එයින් පෙනේ. ඉදිරියේ දී උත්සව කාලය එන බව අප අමතක නොකළ යුතු ය. එබැවින් හිඟවෙන සහල් ප්‍රමාණය ආනයනය කිරීම වරදක් නොවේ. විද්‍යාත්මක දත්ත මත තීන්දු තීරණ ගත යුතු ය.
කෘෂිකාර්මික රටක් හැටියට ඉදිරියට යන අතර කාර්මික හා සේවා අංශ ද දියුණු කළ යුතු ය. ආනයනය වරදක් නොවුණ ද ආනයනය අනවශ්‍ය පරිදි කරන තැනට රටේ කෘෂිකර්මාන්තය පත් කරන්නේ නම් කෘෂි අංශයට කරන ප්‍රධාන අසාධාරණය එයයි. ලෝක ආහාර දිනය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී මන්දපෝෂණය ගැන අවධානය යොමු කිරීම ද වැදගත් ය. අවශ්‍ය කරන ආහාර පෝෂ්‍යදායී ගුණයකින් යුතුව නොලැබේ නම් කුඩා දරුවන්ගේ කායික මානසික වර්ධනය අඩාළ වෙන බව අපි දනිමු. ප්‍රෝටීන් සමග සම්බන්ධ වූ මන්දපෝෂණය දරුණු දෙයකි. එහි බලපෑම එන්නේ කාලයක් ගත වූ පසු ය. ආර්ථික අර්බුදය ඇති වූ අවස්ථාවේ බිත්තරයක මිල රුපියල් 17 සිට 70 දක්වා ඉහළ ගියේ ය. එහෙයින් ඇතැම්හු බිත්තර පරිභෝජනයෙන් ඉවත් වූහ. බිත්තරය සැලකිය හැක්කේ පෝෂණ ගුළියක් ලෙස ය. දරිද්‍රතාවෙන් පෙළෙන පවුල්වල දරුවන්ට බිත්තර පවා ලබා දිය නොහැකි තත්ත්වයක් එවක දී ඇති විය. එහි බලපෑම දැකිය හැක්කේ වසර දෙක තුනක් ගිය පසු ය.
යුනෙස්කෝ සංවිධානය මෑතක දී ප්‍රකාශ කළේ ලංකාවේ දරුවන්ගෙන් මිලියන 2.3 ක පිරිසකට අවැසි පෝෂණීය ආහාර නොලැබෙන බව ය. තවත් විදියකට කියන්නේ නම් සෑම දරුවන් දෙදෙනකුගෙන් එක් අයකුට පෝෂණීය ගුණයෙන් යුතු ආහාර නොලැබෙන බව ය. මෙය බරපතළ තත්ත්වයකි. මන්දපෝෂණය හෝ ඌන පෝෂණය වසර කිහිපයකට කලින් නිසි පෝෂණීය ආහාර නොලැබීම නිසා ඇති වන තත්ත්වයක් බව අවධාරණය කළ යුතු ය.
ආහාර මිල ගණන් අඩුවෙන විට මිනිසුන්ට පහසුවෙන් ආහාර වෙත ළඟාවීමටත් ආදායම් වැඩි වෙද්දි පහසුවෙන් ආහාර මිලදී ගැනීමටත් හැකි වෙන බව කිව යුතු ය. දැනට වෙළෙඳපොළේ තිබෙන මිල උච්චාවචන හා ඉල්ලුම දෙස අවධානය යොමු කිරීමේ දී පෝෂණයට අදාළව පැවති තත්ත්වයට වඩා ඉදිරි අනාගතය යහපත් වෙතැයි විද්‍යාත්මක දත්ත පරික්ෂා කිරීමේදී කිව හැකි ය. මේ සියලු කරුණු මධ්‍යයේ වැදගත් වෙන්නේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම පිණිස ගත හැකි සහ ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳ සාවධාන වීම ය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අමතරව අන්තර්ජාතික සංවර්ධන සහකරුවන් වන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක ආහාර සංවිධානය යන මේ සියලු ආයතනවල සහාය ලබාගෙන රටේ කෘෂිකර්මයේ දියුණුවට සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නොයෙක් ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේ. ව්‍යාපෘතිවල බලපෑම තිබෙන තාක් ඒවා හොඳින් ක්‍රියාත්මක වීමත් එසේ නොවන විට අඩපණ වීමත් අපට ඉතිහාසයෙන් උගත හැකි පාඩම් ය. මෙවැනි ව්‍යාපෘති තිරසර ආකාරයට වඩාත් හොඳින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න ගැන අප සතුව සැලසුම් නොතිබිණ. පැවතිය ද ඒවා නිසි පරිදි ක්‍රියාවට නැංවූයේ ද නැත. එය අවාසනාවන්ත තත්ත්වයකි.
ලෝකයේ ඇති සෑම දෙයක් ම ක්‍රියාවට නංවමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ නොහැකි ය. ඒ අරබයා කළ යුතු නිශ්චිත දේවල් හඳුනාගෙන ඒවා ප්‍රමුඛතා පිළිවෙළ අනුව ලැයිස්තුගත කළ යුතු ය. එපරිදි ප්‍රමුඛතාගත කිරීමේදී රටේ ප්‍රධාන ආහාරය වන බත සපයන වී කෙරෙහි පළමුව අවධානය යොමු කළ යුතු ය. බඩඉරිඟු සත්ව ආහාර භෝගයකි. එයින් ලැබෙන අස්වැන්නෙන් සියයට 80 ක් පමණ සත්ව ආහාරවලට යොදවන අතර මිනිස් සිරුරට අවැසි ප්‍රෝටීන සහිත මස් සහ බිත්තර ලැබෙන්නේ සතුන්ගෙනි. එබැවින් බඩඉරිඟු ප්‍රමුඛතා ලැයිස්තුවේ දෙවැනි තැනට ගෙනා යුතු ය. තෙවැන්න තේ ය. එය රටට වැඩිපුරම විදේශ විනිමය ලැබෙන භෝගය යි. මෙපරිදි වී, බඩඉරිඟු සහ තේ යන භෝග තුනට ප්‍රමුඛතාව ලබාදීම වැදගත් ය. සෙසු භෝග නොසැලකිය යුතු යැයි එයින් අදහස් නොවේ. මෙම ප්‍රමුඛතා පිළිවෙළ මත පදනම්ව රජයේ නියාමනය ද සහිත ව පෞද්ගලික අංශයේත් ගොවි ප්‍රජාවගේත් සහාය ඇතිව ඒවා ප්‍රවර්ධනය කළ යුතු ය. අවශ්‍ය ප්‍රමාණයට ආහාර නිෂ්පාදනය නොකළ හොත් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්නයට මුහුණ පෑමට සිදුවෙන්නේ නාගරික ජනතාවට මිස ගොවි ජනතාවට නොවන බව ද සිහිතබා ගත යුතු ය. ඒ අස්වැන්නෙන් තමන්ගේ ගෘහාශ්‍රිත ආර්ථික අවශ්‍යතාව සපුරා ගත හැකි ආකාරයේ ආහාර ගබඩා කිරීමක් ගොවි ජනතාව කරන හෙයිනි. එහෙත් නාගරික ප්‍රදේශවල ජනගහනය වැඩි නිසා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්නය දැනෙන්නේ නගරයට ය. ගම සහ නගරය අතර ආහාර සබඳතාව හොඳින් ක්‍රියාත්මක වීමට නම් මේ භෝග වර්ග තුනට ප්‍රමුඛතාව දිය යුතු ය.
වසර 2027 යල කන්නය තෙක් වී සහ බඩඉරිඟු සැලැස්මක් ඇතිව වගා කළ හොත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වී අස්වැන්නක් ලබා ගත හැකි අතර බඩඉරිඟු අවශ්‍යතාවෙන් සියයට 80 කට වැඩි ප්‍රමාණයක් ලබා ගත හැකි වෙනු ඇත. 2024 දී හා 2025 මුල්භාගයේ දී බඩඉරිඟු අවශ්‍යතාවෙන් නිෂ්පාදනය කිරීමට හැකි වූයේ සියයට 50 කටත් වඩා අඩු ප්‍රමාණයකි. එබැවින් ගොවි මහතුන් දිරිගන්වමින් ශාකයට අවශ්‍ය පෝෂණය ලැබෙන පොහොර හෝ වෙනත් ද්‍රව්‍යයක් වෙළෙඳපොළෙහි සුලබ කළ යුතු ය. ඊට අවැසි ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු ය. මේ ප්‍රධාන භෝග තුන ආශ්‍රිත නිෂ්පාදන දියුණු කර ගැනීමට නොහැකි වුව හොත් ඉදිරියේ දී ආහාර සුරක්ෂිතතාව ගැන ධනාත්මකව කතා කිරීමට නොහැකි වනු ඇත. එසේ නොවිය යුතු ය.
මේ වසර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට ඉඩ දී තිබෙන බව ද අමතක නොකළ යුතු ය. මෙට්‍රික් ටොන් ලක්ෂ හය ඉක්මවන අවශ්‍යතාවෙන් නිෂ්පාදනය කර තිබෙන්නේ මෙට්‍රික් ටොන් 310,000 ක ප්‍රමාණයක් හෙයින් මේ සා බඩඉරිඟු තොගයක් ආනයනය කිරීමට තීරණය කර තිබේ. මේ ආකාරයට ඉදිරියට යා නොහැකි ය. සත්ව කර්මාන්තය දියුණු වීමට නම් සත්ව ආහාර තිබිය යුතු ය. සත්ව ආහාර සඳහා ගන්නා ප්‍රධාන මූලිකය බඩඉරිඟුය. ඒවා හිඟ වෙනවිට සත්ව ආහාර වෙනුවෙන් විශේෂයෙන් ම කුකුළු ආහාරවලට භාවිත කරන්නේ සහල් ය. වෙළෙඳ විෂය භාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී පවසා තිබුණේ කුකුළු ආහාර නිපදවීමට වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් තුනක් වැය වී ඇති බව ය. ඒ අනුව, ඒ සඳහා යන වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 440,000කි. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් බඩඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවිය යුතු ය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වී වගාව සඳහා යෙදිය යුතු යැයි නිර්දේශ කර ඇති ප්‍රමාණවලින් පොහොර යොදමින් ඉදිරි කන්නවලදී වී වගාවෙහි යෙදෙන ලෙස මම ගොවීන්ගෙන් ඉල්ලා සිටිමි. එවිට අපේ ඉලක්ක සපුරා ගත හැකි වෙනු ඇත. ලෝක ආහාර දිනයත් එහි තේමාවෙහි සඳහන් අදහසත් අනුව ඉදිරියට යා හැකි නම්, ආහාර සුරක්ෂිතතාව නුදුරු අනාගතයේ දී සාක්ෂාත් කර ගත හැකි බව මම විශ්වාස කරමි.
උපුල් වික්‍රමසිංහ