යළි හිස ඔසවන ඩෙංගු මාරයා


පසුගිය 14 වෙනිදා වනවිට ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අධි අවදානම් තත්ත්වයක් රට තුළ උද්ගතව ඇති බවය. එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, සෞඛ්‍ය වෛද්‍ය බළ ප්‍රදේශ 38ක් තුළ රෝග ව්‍යාප්තිය බරපතළ බව හඳුනා ගෙන ඇති බවය.

මැයි මාසයේ මුල් සති දෙක තුළ පමණක් රෝගීන් 2,200කට වඩා හඳුනාගෙන ඇත. රෝගීන්ගෙන් 47%ක් ම වාර්තා වන්නේ බස්නාහිර පළාත තුළින් ය. මැයි දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. චිකන් ගුන්‍යා රෝගයේ ද වාහකයා මදුරුවෙක් ය. ඒ අනුව බලන කල, අපි ජාතියක් වශයෙන් මදුරු උවදුරෙන් බැටකමින් සිටින්නේ දීර්ඝ කාලයක සිට ය.

ඩෙංගු මර්දනය සඳහා අපි කලින් කලට එක එක විසඳුම් යෝජනා කළත්, ඒවා ක්‍රියාත්මක කළත්, දැඩි නීති හඳුන්වා දුන්නත්, තවමත් ඩෙංගු රටින් තුරන් කරන්නට හෝ අවම කරන්නට අප සමත්ව නැත. මේ නිසාම මෝසම් කාලය උදාවීමත් සමගම හැම අවුරුද්දකම ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙයි. මිනිස් ජීවිත බිලි ගනියි.

පසුගිය මැයි 13 වෙනිදා කැලණිය, දළුගම ප්‍රදේශයෙන් ඩෙංගු රෝගය නිසා මියගිය කාන්තාවක් පිළිබඳ අතිසංවේදී පුවතක් වාර්තා විය. එහි විශේෂත්වය වන්නේ, මිය යන අවස්ථාව වනවිට නිවුන් දරුවන් දෙදෙනෙක් බිහිකරන්නට බලාගෙන සිටි ගැබිනියක් වීමය. මෙවැනි සිදුවීමකදී, අපි සමාජයක් වශයෙන්ම අතිසංවේදී වන බව පෙනෙයි. එය හොඳ දෙයක් ය. එහෙත් සහකම්පනයට එහා ගිය ආත්ම ප්‍රතිසංස්කරණයක් නොවන්නට අපිට මෙවැනි රෝග උවදුරුවලින් ගැලවෙන්නට බැරිවනු ඇත.

මෙසේ ඩෙංගු නිසා අකාලයේ මිය ගොස් ඇත්තේ 1995 අවුරුද්දේ ඉපදුණු සඳුනි නදීශා ඉඳුවර ය. ඇය සිය මූලික අධ්‍යාපනය, කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයෙන් ලබාගෙන ඇති අතර ඉන් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව වාණිජ්‍යවේදී උපාධිය ලබාගෙන ඇත. සඳුනි ඉඳුවර ජීවත්ව සිටි කැලණිය ප්‍රදේශය යනු ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳව නිරතුරු පුවත් මවන ප්‍රදේශයක් ය. ඩෙංගු මර්දනය වෙනුවෙන් ඇමතිවරයෙක් විසින් රාජ්‍ය නිලධාරියෙකු ගස් බැන්දේ ද කැලණිය ප්‍රදේශයේ දීය. ඒ කාලයේ ඩෙංගු ආවාම කැලණියේ මිනිසුන් මිය යන්නේ විශාල වශයෙන් ය. අද එම ප්‍රමාණය අඩු වුණත් සඳුනිගේ කතාව ලියවෙන්නේත් කැලණියේ ය. එයින් හැඟවෙන්නේ කුමක්ද? ඩෙංගු මර්දනයේදී කැලණියේ ප්‍රාදේශීය පාලකයන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් තවමත් අසාර්ථක බවය. බස්නාහිර පළාතම ගත්තත් තත්ත්වය එයමය. මුළු රටම ගත්තත් තත්ත්වය ඒකය. මෙම තත්ත්වය වෙනස් කරන්නේ කෙසේද?

අප්‍රිකානු මහාද්වීපයේ කොංගෝවෙන් ආවා යැයි කියන ‘ඉළ ඇට කැඩෙන වේදනාවක්’ ගෙනෙන මෙම වෛරස තැනින් තැනට අරගෙන යන්නේ ඊඩිස් ගණයට අයත් මදුරුවන් ය. රට තුළ මදුරු ව්‍යාප්තිය වැඩිවෙනවා යනු ඩෙංගු, චිකන් ගුන්යා වැනි රෝග අවදානම ඉහළ යනවා කියන කතාවය. මදුරු ව්‍යාප්තියට ප්‍රධාන හේතුව කුමක්ද? ප්‍රධානතම හේතුව නාගරීකරණය සමග ගැටගැසුණු කුණුකසළ ප්‍රශ්නයයි. තැන තැන වැසි ජලය එකතුවීමට හේතුව නැති කරන්නට අපිට හැකි නම්, දියුණු පිරිසිදු නගරයක් හදන්නට හැකි නම් අපිට මේ ප්‍රශ්නයෙන් මිදෙන්නට හැකි වනු ඇත.

අපගේ පිරිසිදුකම කිරාමැන බලන්නට අවැසිනම්, සිරිපා සමය අවසන් වනවිට කසළ කළමනාකරණයේ ඇත්ත තත්ත්වය කණ්ණාඩියක් ඇල්ලු‍වා සේ පෙනෙනු ඇත. පසුගිය කාලයේ ක්‍රියාත්මක වුණු දළදා දැක්ම මොහොතකට ඔබ මතකයට නඟා ගන්න! ඔබට ඔබගේ කසළ බැහැර කිරීමේ සංස්කෘතිය, මහනුවර වැවේ අපවිත්‍ර ජල තලය පෙන්වා දෙනු ඇත.

සමාජයක් යනු තනි තනි පුද්ගලයන්ගේ එකතුවක් ය. නැති නම් පවුල්වල එකතුවක් ය. එය එසේ නම්, අපි තනි තනිව සිතා, ගන්නා තීන්දු තීරණ මත ඩෙංගු රෝග ව්‍යාප්තිය තවදුරටත් උත්සන්න වෙනවා ද බාල වෙනවාද යන්න තීරණය වනු ඇත. කුමන නීති අණපනත් ගෙනාවත් ඒවා අවසානයේ ක්‍රියාත්මක වනු ඇත්තේ අපගේ සිතැඟියාවන් මත ය. ‘මම ඩෙංගු රෝගය ගැන බියට පත්ව හොඳ කසළ කළමනාකරණයක් පවත්වා ගත්ත ද අසල්වැසියා තැන තැන පොලිතීන් බැහැර කරමින් වැසි වතුර රඳන ස්ථාන නඩත්තු කරගෙන යයි නම් අප දෙදෙනාටම ඩෙංගු රෝගයේ අවදානම ඇත. එනිසා ඩෙංගු මර්දනය යනු තවදුරටත් රජයේ කාර්යයක් පමණක් නොවෙයි. එය ඔබගේත් මගේත් කාර්යක් ය. ඔබත් මමත් සිතන ආකාරය අනුව ඩෙංගු රෝගය තවදුරටත් ලංකාවේ පවතිනවා ද යන්න තීරණය වනු ඇත’.

අපි කසළ බැහැර කිරීමේ දී කෙතරම් දුරකට මදුරු උවදුර පිළිබඳව සැලකිලිමත් වෙනවා ද යන්න මත, සඳුනි ඉඳුවර තරුණියගේ මරණය වැනි මරණ කෙතරම් ප්‍රමාණයක් තවදුරටත් සිදුවෙනවා ද යන්න තීරණය වනු ඇත. ඇය සමග මිය ගිය, මෙලොව එළිය දකින්නට වාසනාව නොලද ඒ කුඩා මිනිස් ප්‍රාණීන් දෙදෙනා වැනි තව කොපමණ දරුවන් ප්‍රමාණයක් අකාලයේ මෙලෙස මෙලොව හැරදා යනු ඇත්ද? මදුරුවා පාලනය වුණොත් ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම වනු ඇත. රෝග ව්‍යාප්තිය අවම තත්ත්වයට පැමිණියහොත් ඩෙංගු මරණ සංඛ්‍යාවද පහළ බසිනු නියතය.

සඳුනිගේ මරණය විසින් ප්‍රකාශ කරන තවත් බරපතළ කාරණාවක් ඇත. ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේදී, රෝගී සත්කාරය ඉතාමත් වැදගත් ය. එමෙන්ම ඉක්මනින් රෝගය හඳුනාගැනීමත් වැදගත් ය. ගැබිනි කාන්තාවක් හට මෙම රෝගය විට, ඇයට කරන ප්‍රතිකාරය මෙන්ම රෝග සත්කාරය ද වෙනස් ය. ඩෙංගු සඳහා ඉහළම රෝග සත්කාරක සේවයක් පවතින රටවල් අතර අපි ප්‍රමුඛතම බව කියයි, එම තත්ත්වය තුළ, සඳුනිගේ මරණය කියන්නේ අපගේ ඩෙංගු රෝගී සත්කාරක සේවාවේ තත්ත්වයේ තවමත් අඩුපාඩු තිබෙන බවද? එයට සෞඛ්‍ය බලධාරීන් උත්තර ලබාදිය යුතුය.

කේ. සංජීව