මුදල් යොදවපු ජනතාව අසරණ කරන්න එපා


අද ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවධානයට යොමුවෙන වඩාත් බරපතළ ගැටලු අතර පියයුරු පිළිකාව ප්‍රමුඛස්ථානයක් ගනී. කාන්තාවන්ට වැලඳීමේ වැඩි අවදානමක් ඇති මෙම රෝගය වසරෙන් වසර ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් ද පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවලට අනුව, ලෝකයේ සෑම කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයකුටම ජීවිත කාලය තුළ පියයුරු පිළිකාවක් ඇතිවිය හැකිය. 

ඒ අනුව ලංකාවේ ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ දිනකට කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවෙන බවත් ඉන් තිදෙනෙකු මියයන බවත් ය. එම නිසා ගෙවී යන ඔක්තෝබර් මාසය රෝස පැහැති මාසය ලෙස නම් කරමින් පියයුරු පිළිකා පිළිබඳව දැනුම්වත් කරන්නට ද පියවර ගෙන තිබේ. 

පියයුරු පිළිකා යනු වඩාත් සුලබ පිළිකා වර්ගයකි. එක් පියයුරක හෝ දෙකෙහිම ඇති පටකවලට මෙහිදී  පහර දෙනු ලබයි. පියයුරු පිළිකා ඇති වෙන්නේ සෛල නිවැරදිව ක්‍රියා කිරීම නැවැත්වූ විට හා පාලනයකින් තොරව වර්ධනය වන අසාමාන්‍ය සෛල නිර්මාණය කිරීමෙනි. මෙම පිළිකා සෛල ගැටිති/ගෙඩි ලෙස නිර්මාණය වෙයි. ප්‍රතිකාර නොකළ හොත් ශරීරයේ අනෙකුත් කොටස්වලට ද පැතිර යා හැක. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරුලි ප්‍රනාන්දු ගෙන් අපි විමසුවෙමු.

“වර්තමානය වෙද්දී ලංකාවෙ පමණක් නොවේ ලෝකය පුරාමත් කාන්තාවන්ට පියයුරු පිළිකා වැලඳීමේ ප්‍රවණතාවක් පවතිනවා. පියයුරු  පිළිකාවක් ඇතිවීම සඳහා එක් හේතුවක් බලපාන්නේ නැහැ. හේතු සාධක ගණනාවක එකතුවක් විදියට හඳුනාගන්න පුළුවන්. 

වයසත් සමග  පියයුරු  පිළිකා ඇතිවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපට හමුවෙන රෝගීන්ගෙන්  සියයකට පනහකට වඩා වැඩි පිරිසක් අවුරුදු අසූවට වඩා වැඩි අය. ඒ වගේම පිරිමි අයෙකුට වඩා කාන්තාවකට පියයුරු පිළිකාවක් වැලඳීමේ අවදානම සියයට සියයක් වැඩියි.

අනෙක් කාරණය තමයි මවුපිය පාර්ශ්වයෙහි කිසිවෙකුට හෝ  පියයුරු පිළිකාවක් ඇත්නම් තමාට ද පියයුරු පිළිකාවක් වැලඳීමේ ප්‍රවණතාව ඉතා ඉහළයි. එයින් අදහස් වෙන්නේ ලේ ඥාතීන්ගෙන් පැමිණීමේ ප්‍රවණතාව වැඩියි කියන කාරණය. ඒ වගේම විකෘති ජානවලින් ද පියයුරු පිළිකාවක් හැදෙන්න පුළුවන්. නමුත් මෙම ජාන විකෘතිවීම ඇතිවන්නේ සියයට පහක් දහයක් තරම් ඉතා අඩු පිරිසකටයි.

පියයුරු පිළිකාව යනු ඊස්ට්‍රජන් හෝමෝනය සමග සම්බන්ධ වූ රෝගයක්. එහිදී ඊස්ට්‍රජන් හෝමෝනයට නිරාවරණය වන කාල සීමාව වැඩි වූ අයෙකුට පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව වැඩියි. සාමාන්‍යයෙන් ළමයි නැති කාන්තාවන්ට, ඒ වගේම අවුරුදු එකොළහට පෙර මල්වර වූ ගැහැණු ළමයින්ට සහ  අවුරුදු පනහට පසු මාසික ඔසප් වීම නතර වූ කාන්තාවන්ට වැලඳීමේ ප්‍රවණතාව වැඩියි. ඒ වගේම දුම් පානය. එහිදී සැමියා බොනවා නම් බිරියට පියයුරු පිළිකාවක් හැදීමේ අවදානම වැඩියි. අනෙක් හේතුව තමයි ආර්ථවහරණයෙන් පසුව ඇතිවන තරබාරුකම.

එමෙන්ම බෝ නොවෙන රෝග සඳහා ද අවදානම් සාධක පවතිනවා. අපේ ජීවන රටාව, ආහාර රටාව සහ ව්‍යායාම් නොකිරීමත් පියයුරු පිළිකාවක් සෑදීමේ ඉඩකඩ වැඩිවීමට බලපෑමක් වෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් ඇල්කොහොල් භාවිතයත් බලපානවා. දුම්බීම සහ ඇල්කොහොල් භාවිතය නැවැත් වීමෙන් පියයුරු පිළිකාවක් සෑදීමේ අවදානම අඩු කරන්න පුළුවන්. නමුත් අපට එය නතර කරන්නට බැහැ.

මෙම රෝගී තත්ත්වය පිළිකාවක් දක්වා වර්ධනය වීමට පෙරාතුව යම් කාන්තාවකට ස්වයංව අත්මිදීමේ හැකියාව ලැබෙනවා. ස්වයං පියයුරු පරීක්ෂාව ලෙස අප එය හඳුන්වනවා.

එය අවුරුදු විස්සට වැඩි සෑම කාන්තාවක්ම දිනකට එක් වරක් හෝ සිදු කළ යුතු ස්වයං පරීක්ෂණයක්. විනාඩි පහකට අඩු කාලයක් තමයි මේ සඳහා වැය වෙන්නේ. මාසික ඔසප් වීම හැදෙන කෙනෙක් නම් මාසික ඔසප් වීම වැලඳි දවසේ සිට දවස් හතකට පසුවයි මෙම ස්වයං පරීක්ෂණය සිදු කළ යුත්තේ. මාසික ඔසප් වීම නතර වූ කාන්තාවක් නම්  මාසයේ ඕනෑම දවසක ස්වයං පියයුරු පරීක්ෂාව කරන්න පුළුවන්. එතනදී කරන්නේ තමා විසින් තමාගේ පියයුරු පරීක්ෂා කර ගැනීම යි. මෙයින්  බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පියයුරේ ස්වභාවය පිළිබඳව හැම මාසෙම පරීක්ෂා කර ගැනීමත් යම් වෙනස්කමක් සිදුවී ඇත්නම් ඒ ගැන කල්තියාම හඳුනා ගැනීමත් ය.

මෙය සෑම  මසකම සිදු කළ හැකිනම් වඩාත් සුදුසුයි. තමන්ගේ දකුණු පියයුර පරීක්ෂා කරනවා නම් එය පරීක්ෂා කරන්නේ වම් අතින්. වම් පියුර පරීක්ෂා කරන්නේ දකුණතින්. එහිදී මුලින්ම කරන්න ඕනේ කණ්ණාඩියක් ඉදිරියට ගිහින් උඩුකය නිරාවරණය කර ගැනීමයි. එහිදී පළමුව තම පියයුර ඇස් මට්ටමින් පරීක්ෂා කළ යුතුයි. එහිදී පියයුරේ ප්‍රමාණය වෙනස් වීමක් වළගැසීම, වර්ණය වෙනස් වීම හෝ තණ පුඩුව ඇතුළට ගිලී පවතීදැයි පරීක්ෂා කළ හැකියි.

ඉන් පසුව දකුණු පියයුර නම් බලන්නේ දකුණු අත ඔළුවට පිටිපස්සෙන් තියාගෙන වම් අතින් තමයි බලන්නේ. වම් අතේ ඇඟිලිවල දෙවැනි පුරුක් ආසන්නයෙන් පියයුරට තදකර දක්ෂිණාවර්තව ඇඟිලිතුඩු යවමින් කවාකාරව පිරිමදිමින් පරීක්ෂා කරන්න පුළුවන්. ඉන්පසු නැවතත් වම් පියයුර පරීක්ෂා කිරීමේ දී දකුණතින් පෙර සඳහන් කළ ආකාරයටම පරීක්ෂා කළ යුතුයි. ඉන් පසු කිහිල්ලේ ඇති ගැටිති ද පරීක්ෂා කළ යුතුයි. එයට හේතුව කිහිල්ලේ පවතින ගැටිති ද පියයුරු පිළිකාවලට මූලික ලක්ෂණ බව හඳුනා ගැනීමයි. වර්තමානයෙහි හඳුනාගෙන ඇති පියයුරු පිළිකාවන්ට බලපෑ මුඛ්‍ය හේතූ මෙසේයි. 

ලෝකය පුරා විවිධ වූ පිළිකා වැඩිවීමේ අවදානම මෙන්ම විවිධ වූ වාර්තා කිරීම සහ විවිධ වූ පරීක්ෂා සිදුකිරීම නිසා මේ පිළිබඳව හඳුනාගනු ලබන ප්‍රවණතාව වැඩියි. ලංකාවේ පමණක් නොව ලෝකය පුරාමත් පියයුරු පිළිකා වැලඳීමේ අවදානම වැඩිවෙලා තියෙනවා. සාමාන්‍යයෙන් පන්දාස් පන්සීයක් පමණ පියයුරු පිළිකා රෝගීන් වසරක දී හඳුනා ගනු ලබනවා.

පියයුරු පිළිකාවක් වැලඳීමේ අවදානම අවම කරගත හැකි අතරම එය තම ජීවිතය අහිමි වීම දක්වා කියන භයානක කාරණය දක්වා නොගොස් ඉන් අත්මිදීමේ හැකියාව ලැබෙනවා. පිළිකාවක් වැලඳුණු පුද්ගලයෙකුට මුල් අවස්ථාව සහ පසු අවස්ථාව යනුවෙන් අවස්ථා දෙකක් පවතිනවා. මුල් අවස්ථාවේදී තමන්ට පිය‍යුරු පිළිකාවක් පවතිනවා යයි හඳුනාගත්තොත් අපට පුළුවන් එය සියයට සීයක් මුළුමනින්ම සුව කරන්න. එය පසු අවස්ථාවට පැමිණි පසු තරමක් අපහසුයි.  සෑම කාන්තාවකටම ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකිරීමට අප වෛද්‍ය උපදෙස් ලබා දෙන්නේ ඒ නිසයි. 

ස්වයං පියයුරු පරීක්ෂාවට පසුව රුධිර පරීක්ෂාව, බයෝ ඔක්සි වැනි පරීක්ෂා සිදුකිරීමෙන් පියයුරු පිළිකාවක් ඇත්දැයි මුලින්ම හඳුනාගන්න පුළුවන්. ඒ සඳහා විවිධ වූ දියුණු ප්‍රතිකාර ක්‍රමවේද පවතිනවා. මුල් අවස්ථාවේදීම පියයුරු පිළිකාවක් හඳුනාගෙන ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නට උපදෙස් ලබා දෙන්නේ ඒ නිසයි. යම් අයෙකු පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් සිට ඒ අතරමග දී නතර කළ හොත් නැවතත් එය යථා තත්ත්වයට ගැනීමට අපහසු වෙනවා.

මෙවැනි අවස්ථාවකදී ළඟම ඇති රෝහලට, එසේත් නැතිනම් පවුලේ වෛද්‍යවරයාට, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියාට දැනුම් දෙන්න පුළුවන්. රෝහල්වල සිදු කරගෙන යන සුවදිවි සායන, සුවනාරි සායන, එසේත් නැතිනම් රෝහල්වල ශල්‍ය සයන හෝ පියයුරු සායනවලට සහභාගී වීමේ හැකියාවත් තියෙනවා”

අනෙකුත් පිළිකා සමග සැසඳූ විට, පියයුරු පිළිකාව සෑම වයස් කාණ්ඩයක කාන්තාවකටම බලපෑ හැකි අතර, නිරෝගී දිවියක් ගෙවමින් සිටින කාන්තාවෝ වුවද මෙම අනතුරින් තොර නොවෙති. එම නිසාම රෝගය පිළිබඳ නිවැරදි දැනුම්වත් කිරීම, කලින් හඳුනාගැනීමේ තාක්ෂණය හා ව්‍යාප්තිය වැළැක්වීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීම, සමාජයේ සෑම කාන්තාවකට මෙන්ම පුරුෂයන්ට ද අත්‍යවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පළ කළ අදහස් මෙසේය.

“අද වෙන විට සෞඛ්‍ය පද්ධතියෙහි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශ සහ සෞඛ්‍ය නිලධාරී කාර්යාල මගින් පිළිකා හඳුනා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නිසා සහ අදාළ පර්‌‌යේෂණවලට කඩිනමින් යොමුවීමෙන් සැකසහිත පියයුරු පිළිකා හඳුනාගැනීමේ ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. මේ නිසා වර්තමානයෙහි කාන්තාවන් අතර පියයුරු පිළිකා වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අංශ අර්ථකතනය කරනවා.   

පළමුව ස්වයං පියයුරු පරීක්ෂාවට යොමුවීමත් ඉන්පසු ස්කෑන් සහ mri පරීක්ෂණවලට යොමු වීමත් යන හේතු සාධක පාදක කරගනිමින් ඉන් අත්මිදීමට ක්‍රිය කළ හැකියි. දැනට ලංකාවේ රෝහල්වල මෙම පහසුකම් තිබුණත් රෝගීන්ගේ වැඩිවීමත් සමඟ පොරොත්තු ලේඛනවල වැඩිවීමක් දකින්න පුළුවන්. එනිසා  පිළිකා රෝග හඳුනාගැනීමේ වැඩසටහන් දිරිමත් කරනා ලෙස අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා. සෞඛ්‍ය හා පෞද්ගලික අංශවල කාර්යාලවලට ගොස් ඒ පිළිබඳව දැනුවත් කළ යුතුයි. පියයුරු පිළිකාවක්  කියන්නේ හඳුනාගත් මුල් අවස්ථාවේදීම සුව කළ හැකි රෝගයක්.

මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වන්නේ කල් තියා රෝගය හඳුනාගැනීම, හැකි ඉක්මනින් වෛද්‍ය පරීක්‍ෂණවලට යොමු වීම, රෝහල් පද්ධතිය ඇතුළේ සිදුවෙන ප්‍රමාද වීම් වළක්වා ගැනීම හා දියුණුම විකිරණ තාක්ෂණික ප්‍රතිකාර ක්‍රමවේද හඳුන්වාදීම යනාදියයි. 

නිසි කලට මෙවැනි වූ ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ නම්  පියයුරු පිළිකාවක් වැලඳීමේ අවදානම අඩුකර ගත හැකිය.

මදුශා දිල්ශානි