මේ දවස්වල හැමතැනම වෛරස්


ශ්‍රී ලංකාව තුළ “බෝවෙන රෝග”  ඉතා ශීඝ්‍රයෙන්  පැතිරී යෑමේ අවදානමක් ඉස්මතු වී තිබේ.බැක්ටීරියා,වෛරස වැනි ක්ෂුද්‍ර ජීවීන්ගේ ආසාදනයන් හේතුවෙන් ඇතිවෙන බෝවෙන රෝග පිළිබඳ සාමාන්‍ය පමණක හෝ අවබෝධයක් දැනුමක් නොමැති වීම හා රෝගනිවාරණ කටයුතු පිළිබඳ අල්ප දැනුම මෙහිලා අත්‍යන්තයෙන්ම බලපා ඇති බැව් ද පෙනේ.

වෛරස ආසාදනය හේතුවෙන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන රෝග අතුරින් ඉන්ෆ්ලු‍වෙන්සා (උණ), ඩෙංගු සහ චිකුන්ගුන්යා මූලික වේ. ආසාදිත පුද්ගලයෙකු කැස්ස, කිවිසුම් යාම හෝ කතා කරන විට ඔහුගේ හෝ ඇයගේ මුඛයෙන් නිකුත් වෙන ඇසට නොපෙනෙන කුඩා ඛේට අංශු නැත්නම් බිඳිති සහිත වාතය නිරෝගී අයෙකු ආශ්වාස කිරීම හරහා ඉන්ෆ්ලු‍වන්සා හෙවත් උණ රෝගය පැතිරෙන අතර, ඩෙංගු සහ චිකුන්ගුන්යා පැතිරෙන්නේ ඊඩීස් නම් මදුරුවන් දෂ්ට කිරීමෙනි.

උණ හා ශ්වසන රෝග වැලඳීම වළක්වා ගැනීම සඳහා ජනතාව රෝග නිවාරණ කටයුතු පිළිබඳ අවබෝධයෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පිළිබඳව - වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ (MRI) බෝවෙන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වෛරස් විද්‍යාඥ වෛද්‍ය ජූඩ් ජයමහ ප්‍රකාශ කරනුයේ,

“මේ වන විට, වැඩිපුරම පැතිරෙන්නේ ඉන්ෆ්ලු‍වෙන්සා වර්ගයA , විශේෂයෙන් H1 උප වර්ගය, නමුත් H3 ද පවතිනවා,” යනුවෙනි.

මෙම වෛරස් ප්‍රභේදය සාමාන්‍යයෙන් නාසය, මුඛය හෝ ඇස් හරහා ශරීරයට ඇතුළු වන බැවින්, සෑම පුද්ගලයෙකුට ම නිරන්තරයෙන් අත් සේදීමටත් මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටින ලෙසත්, ආසාදන අවදානම අවම කිරීම සඳහා ජනාකීර්ණ ගෘහස්ථ අවකාශයන්හි මුඛ ආවරණ පලඳින ලෙසත්, වෛද්‍ය ජයමහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

උණ යනු ස්වයං-සීමාකාරී රෝගයක් බව වෛද්‍ය ජයමහ පැහැදිලි කරයි. එනම් එය සාමාන්‍යයෙන් ඉබේ ම සුව වන රෝගයකි. පොදු රෝග ලක්ෂණ වනුයේ උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අමාරුව සහ හුස්ම ගැනීමේ අපහසුතා ආදියයි. යමෙකුට උණ වැලඳුණහොත් -ඔහු හෝ ඇය හොඳින් විවේක ගත යුතුය. හැකි තරම් දියර වර්ග පානය කළ යුතු අතර, දිනක් හෝ දෙකක් තුළ රෝග ලක්ෂණ පහව නොයන තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නම් නොපමාව වෛද්‍යවරයෙකු හමුවිය යුතු ය.

කුඩා දරුවන්, වැඩිහිටියන්, ගර්භණී කාන්තාවන්, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් සහ පිළිකා වැනි බරපතළ රෝග තත්ත්වයන් ඇති පුද්ගලයින් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් විශේෂයෙන් ප්‍රවේශම් විය යුතු බව ඔහු අවධාරණය කරයි. ඉබුප්‍රොෆෙන් සහ ඇස්පිරින් වැනි ස්ටෙරොයිඞ් නොවන ප්‍රතිජීවක ඖෂධ (NSAIDs) භාවිත නොකළ යුතු බවට ද ඔහු අනතුරු අඟවයි. මන්ද ඒවා අක්මාවට හානි කළ හැකි බැවිනි.
සංකූලතා සම්බන්ධයෙන් වෛද්‍ය ජයමහ පවසන්නේ - ඇතැම් අවස්ථාවල උණ හේතුවෙන් නියුමෝනියාව (පෙණහලු ආසාදන) සහ කලාතුරකින් එන්සෙෆලයිටිස් (මොළයේ ආසාදන) ඇති කළ හැකි බවයි.

උණ නිවැරදි ව හඳුනාගැනීම සඳහා, ඡක්‍ඍ පරීක්ෂණය වඩාත් විශ්වාසදායක ක්‍රමය ලෙස සැලකේ. වර්තමානය වන විට වෙනත් කඩිනම් පරීක්ෂණ ද ඇත. ඵඍෂ හි මෙන් ම මහනුවර, කරාපිටිය සහ අනුරාධපුර රෝහල්වල PCR පරීක්ෂණ පවත්වනු ලැබේ.

යමෙකුට උණ වැලඳුණහොත් -ඔහු හෝ ඇය හොඳින් විවේක ගත යුතුය. හැකි තරම් දියර වර්ග පානය කළ යුතු අතර, දිනක් හෝ දෙකක් තුළ රෝග ලක්ෂණ පහව නොයන තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නම් නොපමාව වෛද්‍යවරයෙකු හමුවිය යුතු ය.

ශ්‍රී ලංකාවේ ඉන්ෆ්ලු‍වෙන්සා වසරක් තුළ සාමාන්‍යයෙන් වාර දෙකක දී පැමිණෙන බව වෛද්‍ය ජයමහ සඳහන් කරයි. එකක් අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුළ වන අතර, අනෙක නොවැම්බර් සිට පෙබරවාරි දක්වා වේ. එය සාමාන්‍යයෙන් මෝසම් සමය සමග සමපාත වේ. Covid-19 සම්බන්ධයෙන්පසුගිය දෙවසර තුළ ඵඍෂ නිරීක්ෂණයට අනුව - අනාවරණය වූ වෛරස් ආසාදනවලින් සියයට 2 කටත් වඩා අඩු ප්‍රමාණයක් Covid-19 නිසා ඇති වූ බව ඔහු පවසයි.

වෛරස් නිරීක්ෂණ සම්බන්ධයෙන් ගත් කළ - වෛද්‍ය පර්‌යේෂණායතනයෙහි ජාතික ඉන්ෆ්ලු‍වෙන්සා මධ්‍යස්ථානයට නිතිපතා සාම්පල යවන ස්ථාන 21 ක් මේ වන විට රට පුරා ස්ථාපනය කර ඇත. මෙය නව උණ ප්‍රවණතා මෙන් ම නව ශ්වසන වෛරස තර්ජන හඳුනා ගැනීමට ද උපකාරී වේ.

වෛද්‍ය ජයමහ පවසන්නේ ඔවුන් වසර පුරා නිරීක්ෂණ කටයුතු සිදු කරන බවයි. සෑම මසක ම විවිධ ස්ථානවලින් සාම්පල 10 ක් ශ්‍රී ලංකාවේ ජාතික ඉන්ෆ්ලු‍වන්සා මධ්‍යස්ථානය වෙත යවනු ලැබේ. මෙම ස්ථානවලට බාහිර රෝගී දෙපාර්තමේන්තු 21 ක් සහ රෝහල් වාට්ටු පහක් ඇතුළත් වේ.

2024 දී නව ස්ථාන දෙකක් මෙම පර්‌යේෂණ ක්‍රියාවලිය සඳහා එකතු කරන ලද අතර - ජනවාරි මාසයේ දී මීගමුව රෝහල කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ආසන්නව පිහිටා ඇති බැවින් ආසාදන සඳහා ප්‍රවේශ ස්ථානයක් ලෙස තෝරා ගැනුණි. 

දෙසැම්බර් මාසයේ දී මන්නාරම රෝහල එකතු කරන ලද්දේ - එය ඉන්දියාවට ආසන්නව මෙන් ම ප්‍රධාන සංක්‍රමණික පක්ෂි මාර්ගයක පිහිටා ඇති නිසා පක්ෂීන් ආශ්‍රිත වෛරස් අවදානම වැඩි කරන බැවිනි.

ශ්‍රී ලාංකික මෙන් ම අන්තර්ජාතික විද්‍යාඥයින් කුරුලු උණ, විශේෂයෙන් ඉන්ෆ්ලු‍වෙන්සා A හි H5 උප වර්ගය පිළිබඳ ව දැඩි අවධානයෙන් සිටින බව වෛද්‍ය ජයමහ පවසයි. මෙම වෛරසය ප්‍රධාන වශයෙන් පක්ෂීන්ට බලපාන නමුත් ඉඳහිට ක්ෂීරපායින්ට සහ මිනිසුන්ට ආසාදනය විය අතර, මීළඟ ගෝලීය වසංගතය සඳහා මූල හේතුව විය හැකි බවට ද සැක පවතී. ජාතික ඉන්ෆ්ලු‍වන්සා මධ්‍යස්ථානය ප්‍රථම වරට වර්ෂ 1968 දී කළුබෝවිල රෝහලේ දී ආරම්භ කරන ලද අතර - 1990 දී වෛද්‍ය පර්ෙ‌ය්ෂණායතනය වෙත ගෙන යන ලදී. 

වර්ෂ 2008 වන විට, ජාතික ඉන්ෆ්ලු‍වන්සා මධ්‍යස්ථානය එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) හි සහාය ඇතිව සෙන්ටිනල් අඩවි භාවිත කිරීමට ආරම්භ කරන ලද අතර සෑම මාස හයකට වරක්,  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහයෝගීතා මධ්‍යස්ථානය වෙත සාම්පල සහ වෛරස නියැදි යවන බව ද වෛද්‍ය ජයමහ ප්‍රකාශ කරයි. ඔහු වැඩිදුරටත් පවසනුයේ 2008 එන්නත් සංයුති රැස්වීමේ දී,  ශ්‍රී ලංකාවේ ඉන්ෆ්ලු‍වෙන්සා වෛරස ප්‍රභේද (H3) වලින් එකක් ගෝලීය වෛරස ප්‍රභේද හතරකින් යුත් අවසාන කණ්ඩායමට ඇතුළත් කිරීමට තෝරා ගත් බවයි.

ලවංගා මාධවී දෑරංගල