පාර මාරුවෙන වනඅලින් රකින කාසිකොටේ කුමාර


අතීතයේ සිටම අලි ඇත්තු මිනිස් ජීවිතවල කොටසක් වී සිටිති. අලියා සංස්කෘතික, ආගමික හා සමාජීය වශයෙන් වැදගත් සත්වයෙකු ලෙස සැලකේ. අතීතයේ දී මිනිසුන් හා අලින් ආහාර, ජලය සහ භූමිය සහජීවනයෙන් යුතුව බෙදා ගැනීමට සමත් වී ඇත. ඔවුහු අලින්ට අවශ‍්‍ය පාරිසරික වටපිටාවට හානියක් නොවන ලෙස ජීවත් වූහ. අලි ඇතුන්ගේ හැසිරීම මිනිසුන්ගේ සිත්සතන් ඇදගත් තරමටම අපූර්ව වූ බැවින් “අලි බැලීමත්, බලි බැලීමත් ඇතිවන්නේ නැහැ” වැනි කියමන් ජන වහරේ පැවතුණි. එසේම අතීත පිටරැටියන් ලක්දිව හැඳින්වීම සඳහා ඇතුන්ගේ දේශය (Elephant country)  යන නාමයද භාවිත කර ඇත්තේ මෙරට ඒතරම්ම අලිඇතුන්ගෙන් පිරී පැවතුණු නිසාය. 

ශ්‍රී ලංකාවේ පාරවල් හරහා අලි ඇතුන් ආරක්ෂිතව ගමන් කිරීමට ප්‍රදේශවාසීන් සහ තරුණයන් මැදිහත් වූ අවස්ථා කීපයක්ම අපි අසා ඇත්තෙමු. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගැටදිවුල ග්‍රාමය යනු වනඅලි නිතර ගැවසෙන සහ ඔවුන්ගේ ගමන් මාර්ග පිහිටා ඇති ප්‍රදේශයකි. අලින් මහා මාර්ගයට පැමිණෙන බවට ඉඟියක් ලැබුණු වහාම එම ස්ථානයට පැමිණ, මහා මාර්ගය හරහා වනඅලි සහ ඇතුන් විශාල සංඛ්‍යාවකට ආරක්ෂිතව ගමන් කිරීමට, මාර්ගයේ ගමන් කරන රථ වාහන නවතා, අලි ඇතුන්ට ආරක්ෂිතව ගමන් කිරීමට උදව් කරන තරුණයකු පිළිබඳව ඉරිදා ලංකාදීපයට වාර්තා විය. ඔහු නමින් ජී.එම්. චමින්ද කුමාර ය. 

ඈත දුර සිටම එකා දෙන්නා බැගින් අලි රංචුව එන බව දර්ශනය වූ වහා ම දුම්රිය මාර්ගයෙන් ප්‍රධාන මාර්ගය දෙසට පැන ගෙන, ප්‍රධාන මාර්ගයේ එහා මෙහා යන වාහන නවත්වා සිය ගණනකින් යුක්ත වූ වනඅලි රංචුවට මහා මාර්ගය හරහා ගැටදිවුල රක්ෂිතය දෙසට ආරක්ෂිතව යන්නට ඉඩ සලසා දීම වසර 10 ක කාලයක් තිස්සේ කුමාරගේ දෛනික රාජකාරියේ කොටසක් බවට පත් වී ඇත. ස්වෙච්ඡාවෙන්ම මෙම කාර්ය සිදු කරන ඔහු, ගැටදිවුල - අඹන්පොල ප්‍රධාන මාර්ගය අසල කුඩා වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. 

කුමාර විසින් සිදුකරන මෙම රාජකාරියේ ඇති විශේෂත්වය නම්, මෙ තරම් දීර්ඝ කාලයක් තිස්සේ ඔහු මේ කටයුත්ත සිදු කරන්නේ, කාගෙන් හෝ කිසිදු මුදලක් හෝ වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී හුදෙක්ම සද්භාවයෙන් වීමය. 

තවමත් ඉදිවෙමින් තිබෙන කාසි කොටේ අලි උමගේ කණු අතර සිටිමින්, කැලෑවෙන් එන අලි රංචුව පාර මාරු වී යන තුරු අලි රංචුවේ සහ පාරේ යන එන වාහන සහ මඟීන්ගේ ආරක්ෂාව සලසනුයේ කුමාර ය. ඒ ආසන්නයේම දුම්රිය මාර්ගය ද පිහිටා ඇත. යම් හෙයකින් දුම්රිය පැමිණෙන වෙලාවටම අලි රංචුවත් දුම්රිය මඟ හරහා යන්නට පැමිණිය හොත් අලි රංචුවට ආරක්ෂාව සපයන්නේ ද කුමාර ය. 

චමින්දගේ කඩේ

චමින්ද කුමාර ඔහුගේ මෙම කාර්ය සහ අත්දැකීම් පිළිබඳව මෙසේ ප්‍රකාශ කර සිටියේය. 

“මම ගැටදිවුල - අඹන්පොල ප්‍රධාන පාරේ ගල්ගමුව අතර, පාර අයිනට වෙන්නට පාපිසි, කොට්ට වගේම ධාන්‍ය වර්ග විකුණන පොඩි ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. මගේ ව්‍යාපාරික ස්ථානය පිහිටලා තිබෙන්නෙ අලින් පාර මාරුවෙන ස්ථානයට ආසන්නවයි. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. මේ ව්‍යාපාරික කටයුතු කරන ගමන් තමයි සත්තුන්ටත් මිනිස්සුන්ටත් ආරක්ෂාව සලසලා මම මේ උදව්ව කරන්නෙ. මේක මම මට පවරා ගත් රාජකාරියක්.” 

“අලින් පාර මාරුවෙන්නේ කාසි කොටේ අලි උමං මාර්ගය ආසන්නයෙන්. සාමාන්‍යයෙන් අලින් 200 ත් 300 ත් අතර ප්‍රමාණයක් මෙසේ පාර හරහා ගමන් කරනවා. කාසි කොටේ අලි උමග තිබෙන්නේ ගැටදිවුල - අඹන්පොල හා ගල්ගමුව අතර. ඒ වගේම දුම්රිය මාර්ගයත් වාහන ගමන් කරන මාර්ගයත් එක පේළියට දිවෙන අතර එහි එක් පසක තිබෙන්නේ ගැටදිවුල රක්ෂිතය යි. අනෙක් පස තිබෙන්නේ නිවාස කීපයක්. ඉන් එහාට වෙන්නට තිබෙන්නේ වන ළැහැබ. ඒ නිසා මේ ප්‍රදේශවල නිරන්තරයෙන් අලි ඇතුන් ගැවසෙනවා. මෙහි සිටින අලි ඇතුන් එහා මෙහා මාරුවෙන්නේ රේල් පාර හරහා වැටෙන මහා මාර්ගයෙන්.”

“මෙය ප්‍රධාන මහාමාර්ගයක් නිසා විවිධ ප්‍රදේශවලින් පැමිණෙන මිනිස්සු වාහනවලින් යනවා. එනවා. ඒ අය දන්නේ නැහැ, මේ තැන්වලින් පාරට අලි රංචු පැමිණෙනවා කියලා. ඒ නිසා මේ මිනිස්සුත් ආරක්ෂා වෙන්න ඕන, ඒ වගේම මේ සත්තුත් ආරක්ෂා වෙන්න ඕන. ඒ නිසා තමයි මම මේ කටයුත්ත සිදු කරන්නෙ.”

“මෙතැන අයිති වෙන්නේ අඹන්පොල පොලිස් වසමට. මගේ මේ කටයුත්ත සිදු කිරීමට අඹන්පොල පොලිසියේ මහත්වරු, දුම්රිය දෙපාර්තමේන්තුවේ මහත්වරු වගේම වනජීවී මහත්වරුන් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ අයට මම ස්තූති කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා.” 

මෙම වසරේ දී පාපතරයෙකුගේ වෙඩි පහරකට ලක් වී ලත් තුවාල නිසා අසාධ්‍යව සිට මරණයට පත් වූ ගල්ගමුව ඇත් පන්තියට අයත් භාතිය හස්තියා පිළිබඳව අපට අමතක නැත. භාතිය හස්තියා‍ගේ මරණයෙන් පසුව ගල්ගමුව වනජීවී කලාපයේ සැරිසරන කාවන්තිස්ස හස්තියා ඇතුළු සෙසු හස්තීන්ගේ ආරක්ෂාව පිළිබඳව සමාජයෙහි දැඩි කතාබහක් ඇති විය. කාවන්තිස්ස හස්තියාට පමණක් ආවේණික වූ ගමන් රටාව, කලාතුරකින් සද්දන්තයෙකුට පිහිටන එකිනෙක සමපාත වූ දැවැන්ත දළ යුගලයත් සහ සන්සුන් බවත් හේතුවෙන් කාවන්තිස්ස පිළිබඳව බොහෝ දෙනෙක් දැඩි අවධානය යොමු කරති. අලි රංචු අතර සැරිසරන කාවන්තිස්ස හස්තියා නැරඹීමට බොහෝ පිරිස් ගැටදිවුල රක්ෂිතය ආසන්නයට පැමිණෙති. ඒ පිළිබඳව ද කුමාර මෙසේ පැවසුවේය.

“මෙතනින් යන එන ගොඩක් අය අලි රංචු නරඹනවා. ඒ අතර ගොඩක් අය නරඹන්න කැමති කාවන්තිස්ස හස්තියාවයි. අලි රංචුවලට බාධාවක් නොවෙන විදිහට පාර දෙපැත්තේ දුරින් ඉඳන් බලන අය ඉන්නවා. ඒ වගේම අපි එපා කිව්වට අහන්නෙ නැතිව, මේ සත්තුන්ට බාධාවෙන විදිහට ළඟටම ගිහින් බලන්න උත්සාහ කරන අයත් ඉන්නවා. ඒ වගේ අවස්ථාවල අනතුරුත් සිදු වෙනවා. එහෙම අනතුරු අනන්තවත් සිදුවෙලා තිබෙනවා.” 

“අද ඊයෙක ඉඳලා මෙතන අලි යන පාරක් නෙවෙයි. අපේ මුතුන්මිත්තන්ගේ කාලෙ ඉඳලා මෙතැනින් අලි යනවා. එනවා. අලින් පාර මාරුවෙද්දි දෙපසම උන්ට නිදහසේ යන්න ඉඩක් තියන්නේ නැතිව සමහරු තමන්ගේ වාහන ඒ ළඟටම ගෙනගිහින් නතර කරන් ෆොටෝ ගහනවා. ඒක ඉතා අනතුරුදායකයි. අලින් පෙළට පාර මාරු වෙන එක හොර වුණාම අලි රංචුව උත්සාහ කරන්නේ සී සී කඩ වෙලා හරි පාර මාරු වෙන්නයි. එවැනි අවස්ථාවල තමයි අලින් කුලප්පු වෙන්නෙ. එතකොට පන්නගෙන ගිහින් හරි අලි ගහන සිදුවීම් වෙලා තිබෙනවා.”

“විශේෂයෙන් කාවන්තිස්ස හස්තියා බලන්න එන අය ඌට නිදහසේ යන්න එන්න දෙන්නෙ නැහැ. ඒ සතා යන පාර හරස් කෙරුවම අහල පහළ ගෙවල් තියෙන වතුවල ලගිනවා. ඒ සතාට නිදහසක් නැති වුණාම තමයි කලබල කරන්නෙ. යන පාරේ යන්න දුන්නම පාර මාරුවෙලා තියෙන දෙයක් හොයාගෙන කාලා රක්ෂිතයටම යනවා.”

කෙසේ වුවද, කාවන්තිස්සගේ ජීවිතයට ද තර්ජනයක් ඇති බව බොහෝ පරිසර සංවිධාන හා වනජීවී ඡායාරූප ශිල්පීහු පවසති. ඔවුන් තොරතුරු අනාවරණය කරන්නේ, කාවන්තිස්ස හස්තියා කෙරෙහි මිනිසුන්ගේ ඇති දැඩි අවධානය අවදානමක් බවය. වනඅලින් ඇතුළු වනසතුන් වෙනුවෙන් ඉදිකරන වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම් තවමත් අවසන් නොවී තිබීම නිසා සද්දන්තයන්ට දැඩි ජීවිත අවදානමක් සහිතව දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමට සිදුවී තිබෙන බවය. එවැනි පසුබිමක කාවන්තිස්ස හස්තියාගේ ජීවිතය තවදුරටත් සුරක්ෂිත ද යන්න පිළිබඳව අවිනිශ්චිතතා රැසක් මතුව තිබෙන බව ඔවුහු වැඩි දුරටත් පවසති. 

පසුගිය වසර කිහිපය තුළ දුම්රියන්හි ගැටීම නිසා වනඅලි විශාල ප්‍රමාණයක් මියගොස් තිබේ.  වනඅලි 200 - 300 අතර ප්‍රමාණයක් නිරන්තරයෙන් දුම්රිය මාර්ගය ආශ්‍රිතව සැරිසරන නිසා, වනජීවී උමං මාර්ගයක් ඉදිකිරීමට ගත් යෝජනාව අනුව කාසි කොටේ අලි උමං මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වනජීවී උමං මාර්ගය වන්නේ කාසිකොටේ උමං මාර්ගයයි. කෙසේ වුවද එය ඉතාමත් ඓතිහාසික කාර්යභාරයක් බව සඳහන් කළ යුතුය. මෙහි වැඩ කටයුතු සියයට 70 ක් පමණ දැනට අවසන්ව ඇති බව කුමාර පවසයි.

අලි රංචු පාර මාරුවීමට එන වේලාව පිළිබඳව ද කුමාරට හොඳ ඉවක් ඇත. ඔහු තම ව්‍යාපාර කටයුතු කරන අතරතුර මේ පිළිබඳව හොඳ අවධානයෙන් සිටියි. 

“මේතරම් කලක් මම ඒ අලි ඇතුන් ආරක්ෂා කරනවා. අලියා කියන්නේ බුද්ධිමත් සතෙක්. සමහර අලි ඇතුන් පාර මාරුවීමෙන් පස්සේ හොඬවැල උස්සලා මට ආචාර කරලා තමයි යන්නෙ. ඒ අලින්ගේ මතකයේ මම ඉන්නවා. ඒ ගැන මට තියෙන්නෙ සතුටක්.”

 

“මම පාන්දර 5 ට විතර මෙතැනට ඇවිත් ඉන්නවා. පාන්දර 5 න් පස්සේ වගේ තමයි පාර මාරු වෙන්න අලි රංචු එන්නේ. උදේ 7.30 වෙද්දි අලින්ගේ ගමන අවසන් වෙනවා. මං උදේට කාලා එහෙම කඩේ අරින්නේ 8.00 ට විතර. හවසට වෙලාව 5.30 - 6.30 වෙද්දි අලින් පාර මාරු වෙන්න එනවා. ඒ වගේම දවල් කාලයෙත් සමහර අලි රංචු එනවා. මම රෑට කඩේ වහන්නේ 9 ට විතර. ඉන් පසුවත් අලි එනවද කියලා බලලා තමයි මම ගෙදර යන්නෙ.”

අලින් ඉතා බුද්ධිමත් හා චිත්තවේගාත්මක සතුන් වන අතර, ඔවුන් දිගු කලක් තිස්සේ හඳුනන මිනිස් මිතුරන් හඳුනා ගැනීමට සහ ඔවුන්ට ආචාර කිරීමට හැකියාව ඇති සතෙකි. ඒ අනුව කුමාර ද අලින් ගේ මිතුරෙකු බවට පත් වී ඇත. ඒ පිළිබඳව ඔහු ආඩම්බරයෙන් පවසන්නේ මෙසේය. 

“මේතරම් කලක් මම ඒ අලි ඇතුන් ආරක්ෂා කරනවා. අලියා කියන්නේ බුද්ධිමත් සතෙක්. සමහර අලි ඇතුන් පාර මාරුවීමෙන් පස්සේ හොඬවැල උස්සලා මට ආචාර කරලා තමයි යන්නෙ. ඒ අලින්ගේ මතකයේ මම ඉන්නවා. ඒ ගැන මට තියෙන්නෙ සතුටක්.”

“අවසාන වශයෙන් මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කාසි කොටේ අලි උමං මාර්ගයේ වැඩ කටයුතු ඉක්මනින් අවසන් කරලා දෙන්න කියලා. ඒකෙන් මේ අසරණ සතුන්ගේ ජීවිත බේරෙයි. ඒ වගේම මිනිස්සුන්ටත් අනතුරක් නැති වේවි.”

කුමාර විසින් සිදුකරන මෙම කාර්ය මිනිස් අලි ගැටුම් අවම කිරීමට දරන උත්සාහයකි. එය ඉතාමත් අගය කළ යුතු වූ මානුෂික මෙහෙවරක් බව සඳහන් කළ යුතුය. 

එම්. තාරික්

චමින්ද කුමාර