නිදාගන්න නගරයක් පුබුදුවන්න මට හැකි වුණා


ලොවපුරා උන්මාදයක් ලෙස පැතිර ගිය පොප් සංගීතයට 70 දශකයේ දී ශ්‍රී ලාංකීය මුහුණුවරක් ලබාදෙමින් සිංහල පොප් සංගීතය මෙරටට හඳුන්වා දුන් මෙරට පොප් සංගීතයේ අයිකනය බඳු ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ දිවියේ සුවිශේෂී මතක සටහන් රැගත් සංගීතමය සිනමා නිර්මාණය වන තුසිත විජයසේන නිෂ්පාදන කාර්යයක් ලෙසින් සහ දිවියෙන් සමුගත් නිර්මාණවේදී තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණයක් වන ‘රිදම් ඔෆ් ගිටාර්’ සිනමා නිර්මාණය පසුගිය සිකුරාදා (27දා) දිවයින පුරා සිනමාශාලාවලදී ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මධ්‍යයේ ප්‍රදර්ශනය කිරීම ඇරඹුණි.

දැවැන්ත මූල්‍ය පිරිවැයක් දරමින් සහ නිෂ්පාදකවරයෙකුගේ බර දරමින් අධ්‍යෂකවරයා අතරමග දී මියයාමත් සමග සිනමා නිර්මාණයේ අවසන් කිරීමේ අභියෝගය සියතට ගත් අරමුණක් දැක්මක් සහිතව ‘ආලෝකෝ උදපාදී’ නිර්මාණය කළ කීර්තිමත් ව්‍යවසායක තුසිත විජයසේන මහතා ‘රිදම් ඔෆ් ගිටාර්’ සඳහා ලොව නූතනම තාක්ෂණික සත්කාරයද ලබාදී මෙරට ප්‍රේක්ෂකයන්ට ජාත්‍යන්තර අත්දැකීමක් මෙරට දී ලබාගැනීමට අවස්ථාව උදාකර තිබේ.

මහනුවර පිහිටි කැන්ඩි සිටි සෙන්ටර් (KCC) ජාත්‍යන්තර මට්ටමේ වෙෙළඳ සංකීර්ණයේ සභාපතිතුමන් වන තුසිත විජයසේන මහතා සිය නිර්මාණය පිළිබඳව සහ KCCආයතනය පිළිබඳව මෙලෙස අප හා සංවාදයකට එක්විය.

‘රිදම් ඔෆ් ගිටාර්’ ෆිල්ම් එකට සම්බන්ධ වෙන්න අදහස් කළේ ඇයි ?

ලංකාවේ පළමු වැනි අපනයනය තමයි ත්‍රිපිටකය. මම මේ ගැන සමන් වීරමන් කතා කරලා ඇහැව්වා අපට මේකට ගැළපෙන දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඒ වනවිට මම ඔහුගේ සිද්ධාර්ථ චිත්‍රපටය සඳහා ඉතා උනන්දුවෙන් නිෂ්පාදකවරයා එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඒ අනුව තමයි වළගම්බා රජ කතාව එළියට එන්නෙ. වළගම්බා කතාව ගැන මහාචාර්ය ඉඳුරාගාරේ නායක හාමුදුරුවෝ ඇතුළු පිරිසක් අවුරුදු 1 1/2ක් පමණ රිසර්ච් කරලා තමයි ‘ආලෝකෝ උදපාදි’ නිර්මාණය බිහි කරන්න සැලසුම් කළේ.

ඒ චිත්‍රපටය සඳහා මෙරට මෙතෙක් භාවිත නොවුණු ටෙක්නොලොජිස් මම භාවිත කරනවා. මම චිත්‍රපට නිෂ්පාදකයෙක් නෙවෙයි, අරමුණක් තිබෙන පුද්ගලයෙක් පමණයි. උත්සාහය තිබෙන, උත්සාහය අතනොහැර උත්සාහය ජය ගන්නා තුරු කටයුතු කරන පුද්ගලයෙක් පමණයි. ඒ නිසා අපි මුලින්ම මෙම චිත්‍රපටය අඳිනවා. ඇන්දට පස්සෙ නිවැරදි කළ යුතු තැන් හඳුනාගෙන නිවැරදි කළා. මේකෙදි අපිත් එක්ක වැඩ කරපු හුඟක් අය අලු‍ත්. ඒ වගේම ලංකාවේ සුන්දර පසුතල 86ක පමණ රූගත කිරීම් කළා. 4000කට වැඩි පිරිසක් මේ කටයුත්ත සඳහා දායක වුණා. මිලියන තුන් හාරසියයක් වියදම් කළා. උසස්ම තාක්ෂණය ඇතුළත් කළා. හදලා අවුරුදු 2කට පස්සෙ එළියට දැම්මා. මේ චිත්‍රපටයට අදාළ දර්ශන පැය 36ක් ෂූට් කරලා තිබුණා.

චිත්‍රපටය කරන කාලේ මේකට ජාතිවාදි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කිව්වා. එහෙම කිසිම දෙයක් වුණේ නෑ. හැබැයි අපි ජාත්‍යන්තර වෙෙළඳපොළ නම් ජයගත්තා. චීනය, වියට්නාමය, කාම්බෝජියාව හා ජපානය වැනි බෞද්ධ රාජ්‍යයන් මේ චිත්‍රපටය මිලදී ගත්තා සහ තායිලන්තයේ දී චිත්‍රපටය ප්‍රදර්ශනය කරා.

‘ආලෝකෝ උදපාදි’ මංගල දර්ශනය දවසේ රාජ්‍ය නායකයන් හා ආගමික නායකයන් ඉදිරියේ මම කිව්වා චිත්‍රපට 10ක් හදනවා, සිනමා ශාලා 60ක් හදනවා සහ එමගින් ලක්ෂයකට රැකියා උත්පාදනය කරන්න පුළුවන් කියලා. අන්තිමට චිත්‍රපටය එළිදැක්වූවට පස්සෙ කවුරුත් මට උදව් කළේ නෑ. මට ඇහුන්කන් දුන්නේ නෑ සියල්ලෝම විරුද්ධව නැගී සිටියා. මම නිශ්ශබ්ද වුණා.

මෙහෙම ඉන්න අතරේ මම KCC මෝල් එකේම වෙනම කොටසක ලංකාවේ හොඳම චිත්‍රපට ශාලා 3 හැදුවා. ඇත්තටම ඒ කටයුත්ත කළේ මගේ පුතා වන තරිඳු විජයසේන විසින්. ඔහු මේ ගැන අධ්‍යයන කරපු, තාක්ෂණය සම්බන්ධව සවිඥානක කෙනෙක්. ඒ නිසා ඩොල්බි ඇට්මොස් ප්‍රොජෙක්ටර්ස් භාවිත කරලා, එකළ පැවති කොවිඩ් වැනි ලෙඩරෝග පැතිර යාම වැළැක්වීම සඳහාම වෙනම එයාර්කන්ඩිෂන් පද්ධතියක්, හයිජෙනික් ෂීට් පද්ධතියක්, සිල්වර් ස්ක්‍රීන් ආදි අංගවලින් සමන්විත සිනමා ශාලා 3ක් නිර්මාණය කළා. චිත්‍රපට ශාලාවක් කියන්නෙ ආස්වාදයක් ලබන්න පුළුවන් පරිසරයක්, පිරිසුදුභාවයක් සහිත තැනක් වෙන්න ඕනි. 

මම විශ්වාස කරන දෙයක් තමයි මිනිස්සු වුණාම සංස්කෘතියට, පරිසරයට හා සංගීතයට ආදරය කළ යුතුයි යන්න. ඒ නිසා සංගීතය පිළිබඳ චිත්‍රපටයක් කිරීම හෝ සංගීත ප්‍රකාශනයක් කරන්න මහේෂ් දෙනිපිටිය මහතා සමග සාකච්ඡා කරමින් ඉන්න අවස්ථාවේ තමයි ‘ආශාවරී’ චිත්‍රපටය කළ තේජා ඉද්දමල්ගොඩ මට හමුවුණේ. ඔහුගේ ආශාවරි මගේ චිත්‍රපට ශාලාවලත් ප්‍රදර්නය කළා. නමුත් ඒ චිත්‍රපටයෙන් ඔහුට ලාබ ලබාගන්න බැරිවුණ බව ඔහු ප්‍රකාශ කළා. 

කොහොම වුණත් ඔහු මාව හමුවෙලා ක්ලැරන්ස් සිනමා නිර්මාණයට අදාළ කතා පුවත් ගැන මාව දැනුවත් කළා. ඉන් පස්සෙ මම මගේ කණ්ඩායමට මේ ගැන බලන්න කියලා දුන්නම ඔවුන් කිව්වා සමහර තැන් වෙනස් වෙන්න ඕනි කියලා. මොකද නිර්මාණයක් ඇතුළෙ චරිත ඝාතන හෝ පවුල් ඝාතන කරන්න බෑ කියන ස්ථාවරයේ මම ඉන්නවා. ඔහු ඒ වගකීම භාර ගත්තා. 

ඉන් පස්සෙ චිත්‍රපටයට අදාළ විය යුතු ගීත මොනවාද කියලා අපි තෝරනවා. එම ගීත සඳහා අනුමැතිය ලබා ගැනීමේ වගකීම ඔහු භාරගන්නා බව ඔහු ප්‍රකාශ කළා. එවක මේ සිනමා නිර්මාණය නම් කර තිබුණේ ‘සඳ එක් දිනක්’ නමිනුයි. අපි ඒ නම යටතේ චිත්‍රපට සංස්ථාවේ අපේ කම්පැනිය නමින් රෙජිස්ටර් කළා. 2023 ජනවාරි 23 තමයි අපි මේ කටයුතු ආරම්භ කළේ. ඔහු මට යෝජනා කළා ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ උපන් දිනය යෙදෙන අගෝස්තු 23දා පෙන්වන්න ලෑස්ති කරමු කියලා.

ඒ අනුව අපි සිනමා නිර්මාණයේ වැඩ කටයුතු ආරම්භ කළා. නමුත් ඔහු රැගෙන ආව ප්‍රධාන නළුවා සහ නිළිය ඇතුළු කණ්ඩායම මේ සඳහා ගැළපුණේ නෑ. මොකද දැනට රඟපාන නළුවෙක් මේකට යෙදුවොත් ක්ලැරන්ස් කෙනෙක් එන්නෙ නෑ කියලා මම කිව්ව. ඒ අනුව බොහෝ අය ඉදිරිපත් කළත් ඒ කිසිවෙක් ක්ලැරන්ස්ගේ චරිතයට ගැළපුණේ නෑ. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක වන රුවන් කොස්තා විසින් රැගෙන ආව දමිත් විජයතුංග ක්ලැරන්ගේ චරිතයට ගැළපුණා. ප්‍රධාන නිළිය සඳහා නෙහාරි පෙරේරා සුදුසුයි කියලා තීරණය කළා. සෙසු චරිත සඳහා සාරංග දිසාසේකර, දිනක්ෂි ඇතුළු පිරිස තෝරා ගත්තා. 

චිත්‍රපටයේ සංගීතය සඳහා මට අවශ්‍ය වුණේ මගේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළ මිලින්ද තෙන්නකෝන් හෝ මහේෂ් දෙනිපිටිය යොදාගැනීමටයි. නමුත් තේජා ගේ බලවත් ඉල්ලීම මත සුරේෂ් මාලියද්ද යොදා ගන්න තීරණය කළා. මගේ ප්‍රතිපත්තියක් තියෙනවා, වැඩක් කරන්න දුන්නට පස්සෙ ඇඟිලි ගහන්නෙ නෑ. හැබැයි මම සුපවයිස් කරනවා. මොකද රසාස්වාදය මගේ. 

කොහොම හරි මේ චිත්‍රපටය සඳහා ඔහු යොදා තිබුණ ‘සඳ එක් දිනක්’ නම මේ සඳහා සුදුසු නෑ කියලා මම ඔහුට කිව්වා. ඉන් පස්සෙ ඔහු ඔහුගෙ කාලසටහනට වැඩ කරගෙන ගියා. නිෂ්පාදකයත් රැකගෙන අරමුණත් රැකගත්තොත් තමයි පැවැත්මක් වෙන්නේ කියලා මම හිතන්නෙ. ඔය අතරෙ අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් සිදුවුණා. ඒ එක්කම ඔහු රෝගී වුණා. අවසානයේ ජීවිතයෙන් සමුගත්තා.

ඉන් පසුව මම මගේ කණ්ඩායමට කිව්වා මේක අතහැරලා දාන්න කියලා. ඒ වනවිට අපි විශාල මුදලක් වියදම් කරලා තිබුණා. මාස කිහිපයක්ට පස්සෙ මේ වැඩේ නැවත පණගන්වන්න තීරණය කළා. එතැන දී රුවන් කොස්තා මහතා ගොඩක් උදව් කළා. ඉන් පස්සෙ සහාය අධ්‍යෂකවරයාගේ සහාය අරන් නැවත සාකච්ඡාවක් කරලා චිත්‍රපටය යළි ප්ලෑන් කළා. මේකෙදි මට තේරුණා අනුමැතිය ලබාගැනීම් සම්බන්ධ කාරණා සම්බන්ධව නිෂ්පාදක අතේ තමයි වගකීම තියෙන්නෙ කියලා. අවසර ලබාගෙන ඇති බව පැවසුවත් මට තේරුණා කිසිම දෙයක් ලබාගෙන නොමැති බව. ඒ අනුව චිත්‍රපටයට යොදාගත් ගීතවල අයිතිය තිබෙන්නෙ කාටද කියලා අපි හොයලා බැලු‍වා. 

ඒ අනුව එම්. එන්ටටේන්ට්මන්ට්, සූර්යා රෙකෝඩ්ස් හා ශීලා විජේවර්ධන මහත්මියට තමයි මෙම ගීතවල අයිතිය හිමිව තිබුණේ. අධ්‍යෂකවරයා අවම වශයෙන් ශීලා විජේවර්ධන මහත්මියගෙන් මෙම චිත්‍රපටය නිර්මාණය සඳහා කැමැත්ත ලබාගෙන නැති බව මට තේරුණා. මීට අවශ්‍ය අනුමැතිය අරගන්න මගේ කණ්ඩායමට වසර 1 ක පමණ වෙහෙසකර කාර්යක නියැළෙන්න සිදුවුණා. විශේෂයෙන් ශීලා විජේවර්ධන මහත්මියට විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුයි. එතුමිය විදේශයක හිටියත් මේ කටයුතු වෙනුවෙන්ම ලංකාවට ආවා.

ඒ වගේම එතුමිය බෙහෙවින් කනගාටුවට පත්වුණා. ක්ලැරන්ස් මහතාගේ ගීත ඇයවත් නොදැන වෙනත් අය හිමිකර තිබීම ගැන. කොහොම හරි අපි අවසානයේ සියලු‍ අවසර ලබාගත්තා. 2023 ආරම්භ කරපු චිත්‍රපටය පෙන්වන්නෙ අදයි.

මම මේ චිත්‍රපටයේ නම ‘රිදම් ඔෆ් ගිටාර්’ යනුවෙන් වෙනස් කළා. ඇතැමුන් ඊට විරුද්ධ වුණත් ඒක මගෙ අයිතිය. මේ චිත්‍රපටයෙ ගීතයක් තියෙනවා ‘මමයි මගෙ ගිටාරයයි’ කියලා. ඒ ඔස්සේ තමයි මම චිත්‍රපටය සඳහා‘රිදම් ඔෆ් ගිටාර්’ නම සුදුසුයි කියලා හිතුවෙ. 

මම මේ චිත්‍රපටයෙ අග භාගය වෙනස් කළා. ඒ වගේම ගුණාත්මක භාවය වැඩි කරමින් ඩොල්බි ඇට්මොස් තාක්ෂණය එක් කළා. චිත්‍රපටය ආරම්භයේ දී මම ඔය ගැන කිව්වහම ඉද්දමල්ගොඩ මහතා කැමති වුණේ නෑ, මොකද විශාල මුදලක් වැය වෙන නිසා සහ එම තාක්ෂණය තියෙන්නෙ අපේ සිනමා ශාලාවල පමණක් නිසා. නමුත් ඒවෙලෙත් මගේ අරමුණ වුණේ මේ චිත්‍රපටය ජාත්‍යන්තරයට රැගෙන යාම ගැනයි.

අපි ජාත්‍යන්තර මට්ටමින් චිත්‍රපටයක් කළොත් ඒ සඳහා යන වියදම රට ඇතුළින් කවර් කර ගන්න බැහැ. එහෙම හිතුවොත් කරන්න වෙන්නෙ අඩු පිරිවැයක චිත්‍රපට නිෂ්පාදනයි එය රටට අහිතකරයි. ඒ වගේම හොඳ ශිල්පීන් බිහිවෙන්නෙත් නෑ. රටේ කීර්තියට හානි කරයි. මෙතනදී මම හා මගේ කණ්ඩායම තීරණය කළා ලෝකයේ උසස්ම ගණයේ දෙයක් කරන්න ඕනි කියන දේ.

ලංකාවේ ජනගහනය මිලියන 22ක කිව්වත් මගේ දැනුමෙ හැටියට ජනගහනය ඉන්නෙ මිලියන 18ක් විතර. මොකද මිලියන 4ක් විතර විදෙස් ගතවෙලා සිටිනවා. මෙහෙම බලනවිට අපට ජාත්‍යන්තර වෙ​ෙළඳපොළක් තියෙනවා.

ලංකාවේ චිත්‍රපටයක් බලන උපරිම ප්‍රේක්ෂක ප්‍රමාණය ලක්ෂ 5ක්. මේ ප්‍රමාණයට පමණක් චිත්‍රපටයක් කරලා වැඩක් නෑ. නමුත් ලංකාවෙන් පිට සිටින ශ්‍රී ලාංකිකයන් වෙත අපේ නිර්මාණ ගෙන යන්න පුළුවන් කියන කාරණය මට වැටහුණා. මම ලෝකය පුරා යන කෙනෙක්. ලංකාවෙන් පිට සිටින මිනිස්සු ලංකාවට ආදරෙයි. 

ඔහුන් විදෙස් රටවල සිට වෙසක් උත්සව, අලු‍ත් අවුරුදු උත්සව, නත්තල් උත්සව ඉතා හොඳින් සමරනවා. මේ මේ පිරිසට උසස්ම මට්ටමින් සිංහල චිත්‍රපටයක් කරලා ඉදිරිපත් කළොත් ඔහුන් එය නරඹනවා කියන විශ්වාසය මට තිබෙනවා. මේ තාක්ෂණික කටයුතු සඳහා චිත්‍රපටයෙ සංගීත අධ්‍යෂකවරයා, සංස්කාරකවරයා ඇතුළු කණ්ඩායමක් ඉන්දියාවට යවලා එහි නේවාසිකව තබා ගනිමින් ශබ්ද හා වර්ණ උපරිම තලයකට ගෙනාවා. 

මම දන්නා තරමින් ඩොල්බි ඇට්මොස් තියෙන්නෙ KCC සිනමා ශාලා තුනේ පමණයි. අපි ලෝකෙට යනවා නම් අපෙ කොලිටිය තියාගන්න ඕනි. ඒ වගේම මේක සම්බන්ධ කරලා තියෙනවා අපේ සංස්කෘතිය එක්ක. මේ කාරණා සමගයි මගේ චිත්‍රපට ශාලා 3 නිර්මාණය කර තිබෙන්නෙ. ශාලා 3 සම්බන්ධකරගෙන තමයි චිත්‍රපටය එළිදක්වන්න මම අදහස් කරගෙන ඉන්නෙ. 

මේ චිත්‍රපටය කිරීමේ දී අධ්‍යක්ෂකවරයාගේ කාර්ය භාරය වුණේ කතා පිටපත හා කොටසක් රූපගත කිරීම පමණයි. හැබැයි අපි ඔහුට ගෞරවය දෙනවා මේ යෝජනාව අප වෙත රැගෙන ආවාට.

ඒ වගේම සඟබෝ කොරයා, විජය කොරයා, ඇනස්ලි මාලේවන මහත්වරුන්ට සහ ශීලා විජේවර්ධන හා ඉන්ද්‍රානි පෙරේරා මහත්මීන්ට මගේ ස්තූතිය පිරිනමනවා. අපි නොදන්න බොහෝ තොරතුරු අපිට ලබාදුන්නාට.

‘රිදම් ඔෆ් ගිටාර්’ කියන්නෙ වාර්තා චිත්‍රපටයක් නොව සංගීතමය චිත්‍රපටයක් පමණයි. මෙය සිතූ විදිහට ලෝකයට ගියා. ඒකට ප්‍රධානම හේතුව KCC සහ පුද්ගලික සම්බන්ධතා. දැනට රටවල් 32කින් ඉල්ලලා තියෙනවා. මගේ ප්‍රාර්ථනාව වෙන්නෙ එකවර මේ චිත්‍රපටය විදේශ නගර 300කට ප්‍රදර්ශනය කරන්නයි. ඒක වාර්තාවක් වේවි.

මම ජීවිතය පටන් ගත්තෙ අවුරුදු 15දී. මම පොඩි කාලේ ඉගෙනගත්ත තියරියක් තියෙනවා. ඔබට දියුණු වෙන්න අවශ්‍ය නම් අවුරුදු 25 වෙන්න කලින් කොහේද යන්නෙ, මොකද කරන්නෙ, ඉවර කරන්නෙ කොතනින් ද කියලා සැලසුමක් තියෙන්නෙ ඕනි. මට සැලසුමක් අරමුණක් තිබුණා. යමක් කර මිය යායුතුයි කියන සංකල්පය යටතේ මම වැඩ කරන්නෙ. ඒ නිසා ම නිදාගන්න නගරයක් පුබුදුවන්න මට පුළුවන් වෙලා තියෙනවා.

මම ව්‍යාපාරිකයෙක් නෙවෙයි. මට විෂන් එකක් තියෙනවා, ටේස්ට් එකක් තියෙනවා. මට සාර්ථක කාර්ය මණ්ඩලයක් ඉන්නවා. සාර්ථක වෙන්න නම් ඔහුන්ට හොඳ පවුල් සංස්ථාවක් තියෙන්න ඕනි. ලෝකේ හැම රටකම කරලා තියෙන්නෙ මේක තමයි.

චිත්‍රපටය සම්බන්ධයෙන් දැනට ලැබෙන ප්‍රතිචාර කෙබඳු ද?

මම ලංකාවේ ප්‍රමුඛ ආයතන 100ක ඉහළම ස්තරයේ නිලධාරීන් පිරිසකට මේ චිත්‍රපටය බලන්න ආරාධනා කළා. එදා මේ පැය දෙක තුළ එම නිලධාරීන් වෙනත් දේවලට ආධානය යොමු නොකර චිත්‍රපටයේ දර්ශන දෙස බලමින් අත්පුඩි ගසනවා, අඩනවා, හිනාවෙනවා මම දැක්කා. එදා මම තේරුම් ගත්තා මට මේකට මාර්කටින් කරන්න දෙයක් නෑ කියලා. මේ නිලධාරීන් පිරිස යටතේ අවම වශයෙන් සේවකයන් ලක්ෂ 5ක් වත් සේවය කරනවා. ඔහුන් මේ චිත්‍රපටයට ආදරෙයි සහ ඔවුන්ගේ සංගීතය මේක තමයි කියලා මට තේරුණා.

නිදාගෙන සිටි නගරයක් අවධි කරන්න KCC නිර්මාණය කළේ කොහොම ද?

මම 1989-90 පමණ කාලයෙදී තමයි මහනුවරට යන්නෙ. මගේ බිරිඳ තලාතුඔය පදිංචි ඉද්දමල්ගොඩ පරම්පරාවේ කෙනෙක්. මම දිගන ප්‍රදේශයෙන් ඉතා සුන්දර ඉඩමක් ගන්නවා. අද එය හඳුන්වන්නෙ වික්ටෝරියා රේන්ජ් නමින්. එය පෙර අයිතිව තිබුණෙ තොණ්ඩමන් මහතාට. ඒක ඒ කාලෙ මහ කැලෑවක් වගේ තිබුණේ. ඉන් පස්සෙ මම ඒක සංවර්ධනය කළා. මුළු පැත්තම මිනිස්සුන්ට උදව් කළා. ඔතෙන්දි තමයි ශ්‍රී දළදා මාලිගාවට සම්බන්ධ වෙන්නෙ. එවක සිටි දියවඩන නිලමේ නෙරන්ජන් විජේරත්න මහතා මාව මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් වෙත එක්ක යනවා. ඔය අතරෙ මට ආරාධනා කරනවා පෙරහර බලන්න. අතිගරු රඹුක්වැල්ලෙ මහනායක හාමුදුරුවෝ තමයි එවක සිටියේ. මට අද වාගේ මතකයි පෙරහරේ ඇඳුමෙන් භාගයක් ඇඳගත්තු අලි ඇතුන් යනවා, සරම කැහැපොට ගහගෙන ඇත්ගොව්වො යනවා. අලින් ඇඳගෙන ඉන්න ඇඳම්වල විශාල ලෙස ඇඳුම ලබාදුන් ආයතනවල, අයගෙ නම් ගහලා. මේක නුසුදුසු දෙයක් කියලා තේරුණ නිසා මම මේ ගැන මහනායක හිමියන්ට කිව්වා.

ඒ අනුව පසුදා මට හා දියවඩන නිලමේතුමාට මහානායක හිමියන් හමුවෙන්න එන්නයි කීවම අපි උන්වහන්සේව මුණ ගැසුනා. ඉන් පස්සෙ නාහිමියෝ විමසුවා මේකට කරන්නෙ මොකක් ද කියලා. ඒ අනුව මම කිව්වා සියලු‍ම ඇඳුම් මම ලබා දෙන්නම් හාමුදුරුවනේ කියලා. එදා සිට අද දක්වාම අවුරුදු 25ක දීර්ඝ කාලයක් අලි ඇතුන්ට, කසකරුවන්ට, නර්තන ශිල්පීන් ආදි සියලු‍ දෙනාටම ඇඳුම් ලබාදී පෙරහර වෙනස් කරන්න මට වාසනාව හිමිවුණා. එදා මා ආරම්භ කළ අලි ඇතුන්ට, පන්දම් කරුවන්ට සහ බොහෝ ශිල්පීන්ට අවශ්‍ය සියලු‍ම ඇඳුම් ලබාදීම පුරා වසර 25 ක් මුළුල්ලේ අදටත් සිදු කරගෙන යනවා.

අපේ මිනිස්සු පිංකමත් මාර්කට් කරන පිරිසක්. මම බොහෝ දේවල් කරලා කවදාවත් ඒ ගැන කියන්නෙ නෑ. අපි සියලු‍ ආගම්වලට උපකාර කළ යුතුයි. 

මේ අතරතුර දැන් KCC පිහිටා ඇති ඉඩම විකුණනන්න දාලා තිබුණා. එය අයත්ව තිබුණේ වෝකර්ස් නම් විදේශික සමාගමකට. ඔය අතරෙ මහනායක හාමුදුරුවො කොළඹට වැඩිය වෙලාවක මගේ කොළඹ නිවසට ඇවිත් කිව්වා “නුවර අතහැරලා මිනිස්සු පිට වෙනවා, නුවර ආලෝකමත් කර වෙනස් කරන්න”‍ කියලා. 

මහනුවර අතීතයේ වැඩිම ජනාකීර්ණ බවක් තිබුණු නගරයක්. රෑ 12ටත් චිත්‍රපට පෙන්නපු, රෑ 12ටත් බස් වැඩ කරපු, සාර්ථක විශ්වවිද්‍යාල පද්ධතියක් තිබුණු, වැඩිම උගතුන් පිරිසක් සිටි නගරයක්. නමුත් පසුව ඒ සියල්ල පිරිහිලා ගියා. බෝගම්බර වැව තමයි මහනුවර ඓතිහාසික වැව වෙන්නෙ. දැන් ඔය තියෙන නුවර වැව පසුව ඉදි කළ එකක්. අතීතයේ බෝගම්බර වැව තිබුණු තැන තමයි දැන් අපි ඉන්නෙ.

මම මේ ඉඩම බලන්න ගියහම බිරිඳ කිව්වා මොනවා හරි කරන්න කියලා. ඒ අනුව මම මේ ඉඩම ගන්න තීරණය කළා. හැබැයි අපි හිතුවෙ නෑ මේ තමයි බෝගම්බර වැව කියලා. අනතුරුව අපි මේකට BOI ව්‍යාපෘතියක් ලෙස සිදුකරන්න සැලසුම් කළා. 

මම ගොඩක් ට්‍රැවල් කරන කෙනෙක්. ජපානයේ ටෝකියෝ ගින්සා ස්ට්‍රීට් එකට ගියහම මම හිතනවා කවදද අපි මේ වගේ වෙන්නෙ කියලා. අපි ඒ රටවලට ගිහින් ඒවා බලනවද නැත්නම් ලෝකේ මෙහෙට ගේනවද කියන තැන හිටපු මම තීරණය කළා ලෝකය මෙරටට ගේනවා කියලා. මට අවශ්‍ය දේ නිර්මාණය කරන්න මම සිංගප්පූරුව නිර්මාණ කළ ගෘහ නිර්මාණ ශිල්පියා වූ චන්ද්‍ර අබේසිංහ මහතා සම්බන්ධ කරගත්තා. ඒ වගේම ලංකාවේ සංස්කෘතිය නිරූපණය කළ යුතු නිසා ඇශ්ලි ඩී වෝස් මහතා සම්බන්ධ කර ගත්තා. ඒ අනුව ලංකාවේ සංස්කෘතියත් සිංගප්පූරුවේ මොඩනයිෂේෂන් එකත් එකතු කරලා ව්‍යාපෘතිය ඇරඹුවා. 

මුලින් සැලසුම් කළේ  KCC එකයි, කාර් පාර්ක් එකයි, හන්තාන කේබල් කාර් එකයි, ඩිස්නි එකයි, ගුවන් පාලමක් හරහා දුම්රිය ස්ථානය සම්බන්ධ කොට එහි කොන්ක්‍රීට් ස්ථර දෙකක් ඉදි කොට අක්කර 35 ක භූමියක් වැඩිපුර ලබාගෙන ඒ මත බස් පර්යන්තයක්, වෙෙළඳ කුටි සහ චැනලින් සෙන්ටර් ඉදිකිරීම, ඉන් පස්සෙ පාරවල්වල ගස් සිටුවලා හරිත කලාපයක් කිරීම අපේ අදහස වී තිබුණා. හැබැයි අවාසානාවට මිනිස්සු මේකට විරුද්ධ වුණා.

ඔය අතරෙ 1994 ආණ්ඩු වෙනස් වුණා. නැවත අනුමැතියන් අරගෙන වැඩ පටන් ගන්න යනකොට 1998 වුණා. ඒ වනවිටත් මම බිලියන ගණනක මුදල් වැයකරලා. මම හදන්න පුළුවන් උපරිම හොඳ විදිහට සිදු කළා. නමුත් මම කොච්චර හොඳ දෙයක් කරන්න හැදුවත් කිසි කෙනෙක් මට උදව් කළේ නෑ. මගේ උදව්වට හිටියෙ හාමුදුරුවෝ සහ ආගමික නායකයන් පමණයි. ඔය අතරෙ තවත් හොඳ මිනිසුන් කීප දෙනෙක් සිටියා. බැංකුවලින් මට මේකට ණය දෙන්න බෑ කිව්වා. නමුත් මම සැලුණේ නෑ. මගේ කොළඹ තිබුණු සකළ දේපළ විකුණන්න. හදන එක හැදුවා මතු පරපුරට මතක හිටින තැනක් විදිහට.

අද වනවිට KCC  තුළ අපිම ක්‍රියාත්මක කරන ආයතන 19ක් තිබෙනවා. සිනමා, ෆෲඩ්, එන්ටටේට්මන්ට් ආදි වශයෙන්. අපිම මේ දේවල් කරන්නෙ වෙන කාටහරි දුන්නට හරියට මේ දේවල් වෙන්නෙ නැති නිසයි. මගේ පවුල, මගේ දරුවො දුක්විඳලා තමයි මේ දේ බිහිකරලා තියෙන්නෙ. 

මම මෙතනට ගිහින් බලාගෙන ඉන්නකොට සාමාන්‍ය ජනතාව ඇවිත් සතුටු වෙනවා දැක්කම කියන්න බැරි හැඟීමක් ඇතිවෙනවා. මම මේ කරපු දේ මතු ආත්මෙටවත් වැඩක් වෙයි කියලා මම හිතෙනවා.

මම මේ රටේ සියලු‍ ප්‍රශ්න විසඳිය හැකි ව්‍යාපෘති මෙරටට ගෙන ඒමට උත්සාහ කළත් කිසිවෙක් ඒ සඳහා අවස්ථාවක් දෙන්නේ නෑ. මා සතු ලොව පුරා ඇති සම්බන්ධතාවලින් රටට ප්‍රයෝජන අති විශාලයි. නමුත් මට ඒ සඳහා අවස්ථාව නොදෙන්නේ මම මේ රටේ කෙනෙක් නිසා වෙන්න ඇති. 

මම හරි සරල ජීවිතයක් ගත කරන්නෙ. මට මගේ දෙමාපියෝ උගන්නලා තියෙන්නෙ ජීවත්වෙන්න මූලික ධනයක් තිබුණාම ඇති කියලයි. එනම් මැරෙනකල් ජීවත් වෙන්න පොඩි ආදායමක්, බෙහෙත් ටික ගන්න හා පවුල නඩත්තු කරන්න මුදල් සහ දරුවන්ට උගන්වන්න අවශ්‍ය මුදල් කියන කාරණයි. ඒ ජීවන මට්ටම මට හොඳටම ඇති.

ධර්මයත් එක්ක ගළපල ද ජීවත් වෙන්නෙ?

ඔව්. බෞද්ධ දර්ශනය සමග තමයි කටයුතු කරන්නේ. ඒ වගේම කතෝලික දර්ශනයටත්, ඉස්ලාම් දර්ශනයටත් හින්දු ආගමටත්, ගරු කරමින් තමයි ආයතනය පවත්වාගෙන යන්නේ. ඔවුන්ගේ ආශීර්වාදය තමයි මගේ ශක්තිය. සියලු‍ම ආගමික නායකයන් මා සමග මෙන්ම මාගේ කාර්ය මණ්ඩලය සමග ඉතා ළෙන්ගතුව කටයුතු කරනවා. එයට හේතුව කැන්ඩි සිටි සෙන්ටර් පිහිටා තිබෙන්නේ එක් පසකින් ශ්‍රී දළදා මාලිගයත් අනෙක් පසින් ඉස්ලාම් පල්ලියත්, කතෝලික පල්ලියත්, කතරගම දේවාලයත් ආදී නොයෙකුත් ආගමික සිද්ධස්ථාන මධ්‍යයේ බැවිනි. එබැවින් අප හා බද්ධ වී ඇත්තේ හන්තාන පරිසරයත් බෞද්ධ දර්ශනයත්ය යන කාරණායි. මා විශ්වාස කරන්නේ මේ සියලු‍ කර්තව්‍යයන් සිදු කරගෙන යාම සඳහා එකී කි සියලු‍ දෑ මගින් මා හට විශ්ව ශක්තිය හා ආශීර්වාදය ලබා දී ඇති බවයි. මා හට හැඟෙන්නේ මොනවා කරත් එය හරිහැටි කිරීමෙන් එය වැඩිපුර මිනිස්සුනේගේ යහපත උදෙසා හේතුවන බවයි, එමගින් මා වින්දනයක් ලබනවා. මා උපයාගත් ධනය අවසානයේ ආශ්වාදයක් පමණක් විය හැකියි, ධනය යනු මුදල් නොව, මා රැස්කරගත් කුසල් හා කුසලතා පමණක් මා රැගෙන යනු ඇතැයි මා විශ්වාස කරනවා. එබැවින් මිනුස්සුන්ගේ ආශ්වාදය හා සතුටත් රටේ සතුටත් වෙනුවෙන් ”‍නුවරට නුවරක්”‍ ඉදිකරනු ලැබුවා. 

ඒ වගේම ‘ආලෝකෝ උදපාදී’ චිත්‍රපටයත් ‘Rhythm of Guitar’ චිත්‍රපටයත් නිර්මාණය කරනු ලැබුවා.

මෙම කටයුතු සඳහා සහය දැක්වූ සියලු‍ දෙනා හට මම මගේ ස්තූතිය පුද කරනවා.

නිරෝෂාන් ප්‍රේමරත්න
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි