දිවි නසා ගන්න ගිය තරුණයාගේ ජීවිතය ​ෙරූ පොලිස් නිලධාරියා


මෙලොව ජීවත්වෙන සෑම මිනිසෙකුගේම බලාපොරොත්තුව වෙන්නේ සතුටින් ජීවිතය පවත්වාගෙන යාමයි. නමුත් අප අතර ජීවත් වන බොහෝ දෙනෙක් අතරින් අතලොස්සක් හැර අන් සියල්ලෝම ජීවිතය පිළිබඳව වින්දනීය ආකල්පයක් දරන්නේ නැත.   


පසුගිය 09 වැනිදා අරණායක ප්‍රදේශයේදී සිය දිවි නසා ගැනීමට ගෙල වැලලාගත් වයස අවුරුදු 35 ක තරුණයෙකුගේ ජීවිතය බේරා ගැනීමට අරණායක පොලිසියේ උපපොලිස් පරීක්ෂකයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙක් කටයුතු කර තිබුණු අතර එම නිලධාරින් එම දිනයේ ඉක්මන් තීන්දු තීරණ ගෙන කටයුතු නොකළානම් එම තරුණයාගේ ජීවිතය අහිමි වනු ඇත. 

 
අරණායක පොලිස් බල ප්‍රදේශයේ ඩී 71/2, කල්වාන, අරණායක ප්‍රදේශයේ ජීවත් වන අවිවාහක තිස්පස් හැවිරිදි සී.එම්.ආර්. ජනක බණ්ඩාර යන අය මෙලෙස ගෙල වැලලාගෙන සිය දිවි නසා ගැනීමට උත්සාහ කර තිබුණි. මීට වසර කිහිපයකට කලින් මෙම තරුණයාගේ මවගේ හිසට පොල් ගෙඩියක් වැටී මිය ගොස් ඇති අතර පියා ඊට පෙර මිය ගොස් ඇති බව කියයි. එමෙන්ම වැඩිමහල් සහෝදරයෙක් නිවසේ ජීවත් වෙන අතර ඔහු කායික ආබාධිත අයෙකි. දෙමාපියන් මියගිය පසුව කායික අාබාධිත තරුණයාද මෙම සහෝදරයා බලා ගනිමින් එම නිවසේ කටයුතු කර ඇත. ඔහුට අවශ්‍ය ඇඳුම් පැලඳුම් මෙන්ම කෑම බීම සහ ලෙඩකදි බෙහෙත් හේත් ගෙනවිත් දෙන මෙම තරුණයාගේ රැකියාව කුලී වැඩ කිරීමය. ඉහත දිනයේ යම් සිත් තැවුලක් පදනම් කරගනිමින් සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති අතර එය දුටු සහෝදර කායික අාබාධිත තරුණයා නිවස වටේ දුවමින් නිවසේ යම් කරදරයක් ඇති විලස ඇඟවීම නිසා ගම්වාසීන් කිහිප දෙනෙක් නිවස වෙත ගිය විට මෙම බිහිසුණු අනතුර දැක අරණායක පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමීමට කටයුතු කර තිබේ.   


පැමිණිල්ල දැමීමට පැමිණි ගම්මුන් විසින් අරණායක පොලිසියේ පැමිණිල් අංශයේ එම අවස්ථාවේ රාජකාරි කළ උපපොලිස් පරීක්ෂක ජේ.එම්.එස්.එස්.එච්. ජයසුන්දර මහතාට පවසා ඇත්තේ දිවි නසා ගන්නට හැදූ පුද්ගලයා තවමත් මිය ගොස් නැති බවත් සිහි මුර්ඡා වී සිටින බවත්ය. ඉන්පසු උපපොලිස් පරීක්ෂකවරයා පැමිණිලි ලියමින් සිටීම කාලෝචිත නොවන බව තේරුම් ගෙන ගම්මුන් සමග ඉතා ඉක්මනින් එම ස්ථානයට ගොස් ඇත්තේ අරණායක පොලිසියේ පොලිස් කොස්තාපල් 82722 මධුසංක මහතා සමග යතුරු පැදියකිනි. එදින රාත්‍රී එම නිවස වෙත ගිය අරණායක පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා විසින් ගෙල වැලලාගෙන සිටි පුද්ගලයාගේ ගෙලට වැටී ඇති වයරය ඉවත් කොට වෑන් රථයකින් තරුණයා රෝහල් ගත කිරීමට ප්‍රධාන මාර්ගයට රැගෙන එමට කටයුතු කර තිබේ. ඉන්පසු ගම්වැසියන් විසින් 1919 හදිසි ගිලන් රථ සේවාව මගින් මෙම තරුණයා රෝහල් ගත කර ඇත. 

 
එහිදී හදිසි ප්‍රතිකාර ලබා දුන් රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය රෝගී තරුණයාගේ ජීවිතය බේරා ගෙන ඇත.   


උපපොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා සහ කොස්තාපල්වරයා එක්ව සිදු කළ මෙම කාලෝචිත ක්‍රියාව බොහෝ දෙනෙකුගේ ඇගැයීමට ලක් විය. පොලිස් නිලධාරියා මෙම තරුණයා බේරා ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග නොගත්තේ නම් ඔහුගේ ජීවිතය අහිමි වීමට ඉඩ තිබුණි.   


සිද්ධිය සම්බන්ධයෙන් අපට විස්තර කළ උපපොලිස් පරීක්ෂක ජේ.එම්.එස්.එස්.එච්. ජයසුන්දර මහතා මෙසේ පැවසීය.   


“මේ වාගේ හදිසි අවස්ථාවකදි සිවිල් ජනතාව කරන්නේ පොලිසියට මේ බව දැන්වීමයි. ඔවුන් මෙවැනි පුද්ගලයන් බේරා ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. නීතියෙන් මොනවා හරි ගැටලුවක් ඇති වෙයි කියලා බයයි. ගමේ අය දෙදෙනෙක් පොලිසියට ඇවිත් සිද්ධිය මට කියනකොටම තේරුම් ගියා මේ කට උත්තරය ලියමින් පැමිණිලි සටහන් කරන්න කලින් මෙම තරුණයාට කුමක් සිදු වී ඇත්දැයි පරික්ෂා කිරීමට ඉක්මනින් එම ස්ථානයට ගොස් කටයුතු සිදුකළහොත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වේයැයි මට සිතුනා. මම එතනට යනකොටත් ඔහු බාල්කයේ දඟලමින් සිටියා. 

 
කලින් අපිට පොලිසියේ විවිධ උපදේශනවලින් උගන්වලා තිබුණා මේ වාගේ ගෙල සිර වීමකදී එකවර මිය යන්නේ නැති බව. ඒ අනුව මම මුලින්ම කළේ වයරය පිහියකින් කපා දැමීමයි. ඉන් පසු වාහනයක් ගෙන්වා ගැනීම කළා. මුලින්ම ත්‍රීවීල් එකක් ආවේ. ඒකේ ගියොත් රෝගියාට අපහසු වෙන නිසා මම කීවා වෑන් එකක් ගේන්න කියලා. අසල නිවසක වෑන් එකක් අරන් ආවා. ඒ වෙනකොටත් ඔහු සිටියේ කඩා හැලෙමින්. එලෙස සිටි තරුණයා තමයි රෝහල් ගත කිරීමට රැගෙන ගියේ. ජීවිතය බේරා ගත්තා කියලා කීවාම ලොකු සතුටක් දැනුනා මම නිසා ඒ තරුණයාට ජීවත් වීමට අවස්ථාව ලැබුණා කියලා.   


අසරණ පවුලක තම වැඩිමහල් සහෝදරයා බලා කියාගෙන හිටපු මෙම තරුණයා යම් සිත් තැවුලකින් ඉඳලා ජීවිතය නැති කරගන්න උත්සාහ කරලා තිබුණා. මාගේ අරමුණ දිවි ගලවා ගත් තරුණයාට නැවත අවවාද කරලා ඔහුට මෙවැනි අපරාධයක් නැවත ඇති නොකර ඉන්න තත්ත්වයට හුරු කිරීම. රටේ විවිධ ස්ථානවල සේවය කර ඇති මම බොහෝ තැන්වලදී මිනිස්සුන් වෙනුවෙන් අපිරිමිත සේවයක් කරලා තියෙනවා. ඒ වාගේම මම ඉතා කැමැත්තෙන් ආශාවෙන් මේ රාජකාරි සිදු කරනවා. ඒ මහතා පැවසීය. 

 

ජායාරූප සහ සටහන : මාවනැල්ල හෙම්මාතගම
සමන් විජය බණ්ඩාර