
සිය අස්වැන්නට නිසි මිලක් නොමැතිකමින් මේ වනවිට දැඩි පීඩාවට පත්ව සිටින ලූනු සහ අල ගොවීහු ඒ පිළිබඳ විරෝධතාව බලධාරීන් වෙත පළකරමින් සිටිති.
වී හා ධාන්‍ය ගොවියාට මේ ප්‍රශ්නය ඇතිවීම වළක්වා ගොවීන් ගොවිතැනේ රඳවාලමින් ඔහුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන අතරේ රටේ ආර්ථිකයට සවියක් ලබා දීමේ අරමුණින් 2015 වසරේදී ලෝක බැංකු ආධාර යටතේ මුදල් අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් “ගුදම් කුවිතාන්සි මූල්‍යකරණ ව්‍යාපෘතිය’ අරඹනු ලැබීය. මෙය ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල බහුලව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් නිසා මෙරටට හඳුන්වා දීමට කටයුතු යොදා තිබිණ.
මේ අනුව වී හා ධාන්‍ය ගොවියා යම් හෝ ස්ථාවර මට්ටමක සිටිනු ගුදම් කුවිතාන්සි මූල්‍යකරණ ව්‍යාපෘතියට අදාළ ගබඩා පරිශ්‍ර පිහිටි ප්‍රදේශ බහුතරයක ගොවීන් පිළිබඳ දත්ත නිරීක්ෂණ කිරීමේදී පැහැදිලි වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ කෝටි 27ක මුදල වැයකරමින් ලංකාව පුරා ගබඩා 6ක් ස්ථාපිත කරනු ලැබීය. එහි පළමු ගබඩාව අනුරාධපුර ගලෙන්බිඳුණුවැව, උපුල්දෙණිෙයහි ආරම්භ කරන ලද අතර අනතුරුව බුත්තල, ඇඹිලිපිටිය, කිලිනොච්චි, මුරුක්කන්, මැදිරිගිරිය යන ප්‍රදේශවල සෙසු ගබඩා ස්ථාපිත කරනු ලැබීය. මෙම සෑම ගබඩාවකම ධාන්‍ය ටොන් 3500 -5000ක ගබඩා කිරීමේ ඉඩ පහසුව පවතී. මින් ඇඹිලිපිටිය ගබඩාව ගොවිබිම්වලින් තරමක් බැහැර ප්‍රදේශයක පිහිටීම නිසා සක්‍රීය තත්ත්වයෙන් බැහැරවීම හේතුවෙන් සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇත. එසේම මැදිරිගිරිය ගබඩාවද ගොවිබිම්වලින් තරමක් ඈත්ව පිහිටීම නිසා ගොවීන් සම්බන්ධවීමේ අඩුවක් පැවතියත්, අනුරාධපුර, බුත්තල, මුරුක්කන්, කිලිනොච්චි ගබඩාවල ගොවීන් වැඩි වශයෙන් අස්වනු ගබඩා කර තිබේ.
ගොවීන්ට සුවිශේෂ ලාභයක්
මුදල් අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් අරඹන ලද මෙම ගබඩාවල හිමිකාරිත්වය අදාළ ප්‍රදේශවල දිසාපතිවරයා සතුවේ. නමුත් මෙහි කළමනාකාරිත්වය ප්‍රාදේශීය සංවර්ධන බැංකු වෙත ලබා දී ඇත. ඒ අනුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් පත්කරන ලද සේවකයෝ මෙම ආයතනවල සේවය කරති.
මෙම ගබඩා අතරින් වැඩිම ධාරිතාවක් සහිත ගබඩාව වන්නේ අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව, උපුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ගබඩාවය. එහි ධාන්‍ය ටොන් 5000ක් පමණ ගබඩා කිරීමේ පහසුකම් පවතී.
මෙම ගබඩා මගින් ආකාර දෙකකට ගොවීන් වෙනුවෙන් පහසුකම් සපයනු ලබයි. ඒ අනුව අස්වනු නෙළන සමයේ නිසි ප්‍රමිතිය යටතේ ආරක්ෂිතව අස්වනු ගබඩා කිරීම සිදුකරන අතරම ගබඩා කරනු ලබන ධාන්‍යවල වෙෙළඳපොළ වටිනාකමින් සීයට70ක් ණය මුදලක් ලෙස සීයට7ක වාර්ෂික පොලියට ලබාදීමද ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් සිදුකෙරේ. විශේෂයෙන් අස්වනු නෙළීම උදෙසා වැය වන මුදල් මෙලෙස ලබාගන්නා ණය මුදල හරහා පියවීමටත්, අස්වනු නෙළා මාස 2-3ක් ගතවෙන විට වී හා ධාන්‍ය මිල ඉහළ යන අවස්ථාවලදී ගබඩා කර ඇති අස්වැන්න විකුණා ගබඩා පහසුකම් ලබාගැනීම වෙනුවෙන් හා සීයට7ක පොලියට ගත් ණය මුදල පියවීමටත් ගොවියාට හැකියාව සැලසේ.
නිෂ්පාදන පිරිවැය ඉහළ අගයක් ගන්නා මෙවන් සමයක ගුදම් කුවිතාන්සි මූල්‍යකරණ ව්‍යාපෘති ගබඩා ගොවීන්ට සුවිශේෂ ලාභයක් උදාකරදීමට සමත්ව තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කය උදාහරණයක් ලෙස ගතහොත් මෙවර මාස් කන්නයේ අස්වනු නෙළන සමයේ බඩ ඉරිඟු කිලෝවක මිල රු.130ක් වූ අතර ඉන් කෙටි කලක් ගතවූ පසු මිල රු. 160 දක්වා ඉහළ ගියේය. කිලෝ 10,000ක් ගබඩා කර තිබූ ගොවීන් රු. ලක්ෂ 3ක අමතර ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. එසේම වී අස්වැන්න නෙළන සමයේ වී කිලෝවක් රු.108ක මට්ටමක පැවති අතර ඉන් කෙටි කලකදී කිලෝවක් රු. 125 දක්වා ඉහළ ගොස් ඇත. මේ අනුව වී කිලෝ 10,000ක් ගබඩා කර තිබුණු ගොවියාට රු. 170,000ක අමතර ලාභයක් ලබා ගැනීමට අවස්ථාව උදා වී තිබුණි.
ගබඩාවේ තැන්පත් කරන ධාන්‍ය භෝගවල ආරක්ෂාව, කෘමි හානි වළක්වා ගැනීම, රක්ෂණය ආදි සියලු කටයුතු ගබඩාව විසින් සිදුකරන අතර ගබඩාවේ තැන්පත් කරන ධාන්‍ය කිලෝවක් සඳහා අයකරනු ලබන්නේ ද ඉතා සුළු මුදලක් පමණි. ඒ අනුව මාසයක කාලයකට වී සඳහා සත 25, තල සඳහා සත 70, බඩඉරිඟු හා රටකජු සඳහා සත 30 ලෙස ගාස්තු අයකරනු ලබයි.
ගොවීන් පමණක් නොව සුළු පරිමාණ තොග රැස්කරන්නන්ට මෙම ගබඩා පහසුකම් ලබාගැනීමේ අවස්ථාවද සලසා තිබේ. රට කජු, සෝයා ආදි තොග රැස්කරන්නන් කිලෝ 50,000ක් පමණ මෙහි ගබඩා කරන අතර ඔවුන්ටද ඉන් වැඩි වාසියක් අත්කර ගැනීමේ අවස්ථාව පවතී.
විශේෂයෙන් මහ පරිමාණ ගැනුම්කරුවන් විසින් ධාන්‍ය කුණු කොල්ලයට ගැනීම වළක්වා ගැනීමට සුළු පරිමාණ තොග රැස් කරන්නන් නිසා අවස්ථාව හිමිව තිබේ. අනුරාධපුර ගබඩාව මහා පරිමාණ ධාන්‍ය වියළන ඩ්‍රයර්, කමත් ආදියෙන් සමන්විත වන නිසා මේ වනවිට බිත්තර වී නිපදවන්නෝ නිසි ප්‍රයෝජන ගනිමින් සිටිති. මහඉලුක්පල්ලම කෘෂි පර්‌යේෂණ ආයතනයෙන් බිත්තර වී රැගෙන විත් මෙහි තැන්පත් කර පැකට් ලෙස සකසා එහි ප්‍රමිතිය යළි මහඉලුප්පල්ලම නිලධාරීන් ලවා සහතික කරගෙන අලෙවි කිරීමද මෙහිදී සිදුකෙරේ. ඒ අනුව මෙම ස්ථානය භාවිත කරමින් නිපද වූ බිත්තර වී කිලෝ ලක්ෂයක් පමණ මේ වනවිට වෙළෙඳ පොළට නිකුත් කර තිබේ.
සේවාව පුළුල් කළ යුතුයි
සුබසාධන සේවාවක් උදෙසා අරඹන ලද මෙම ගබඩාවල පිරිවැය සම්බන්ධයෙන් මේ වනවිට ගැටලුවක් පැන නැගී තිබේ. මෙම ස්ථානයෙන් සිදුකරන සේවාව පිළිබඳව ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් වැඩි ගොවීන් පිරිසක් මීට සම්බන්ධ කර ගැනීමෙන් රජයට වැඩි ලාභයක් උපයා ගැනීමේ අවස්ථාව උදාකර ගත හැකිය. මෙම ගබඩාවේ වහලය සෝලා ව්‍යාපෘතියක් සඳහා ලබාදීමෙන් රජයට ඉහළ ආදායමක් උපයා ගැනීමේ අවකාශ සලසා ගත හැකිය. කිලෝවොට් 500ක පමණ සෝලා පද්ධතියක් සවිකිරීමේ අවකාශයක් මෙහි පවතී.
එසේම ධාන්‍ය ගබඩා කර තබා විකුණන අවස්ථාවේදී ගොවීන් ලබන ලාභයෙන් සුළු ප්‍රතිශතයක් බදු ලෙස අයකර ගැනීමද රජයට ආදායම් වර්ධනය කරගැනීම සඳහා භාවිත කළ හැකි ක්‍රමවේදයකි.
ගබඩා සේවකයින්ගේ කැපවීම ඉහළයි
එසේම පසුගිය මාස් කන්නය වනවිට අනුරාධපුර උපුල්දෙණිය ගබඩාවෙන් සීයට50ක් සතොසට සහල් ගබඩා කිරීම සඳහා රජය උත්සාහ කළද සහල් ඇටයක්වත් නොලැබීම නිසා ධාන්‍ය ගබඩා කිරීමේ ව්‍යපෘතිය පවත්වාගෙන යෑමට තවදුරටත් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවටම අවස්ථාව සැලසිණ. මේ හේතුවෙන් ගොවීන්ට මෙම ආයතනය අහිමිවීමේ අවදානමෙන් යම් තරමකට ආරක්ෂා වී තිබේ.
වසර 10ක් තිස්සේ ගොවීන්ට සුවිශේෂ සේවාවක් සපයන අනුරාධපුර, උපුල්දෙණිය ගබඩාව ඇතුළු සෙසු ගබඩාවල සේවයේ නිරත සේවකයෝ සේවය ස්ථිර නොවීම හා වැටුප් වැඩිවීම් සිදුනොවීම ආදී ගැටලු රැසකටද මුහුණ දී සිටිති. විශේෂයෙන් ගොවීන් සමග සමීපව ඔහුන්ගේ අස්වනු මෙම ගබඩාව වෙතට ගෙන්වා ගෙන රජයේ ආදායම ඉහළ නන්වන්නට සේවකයන් වෙහෙස දරද්දී ඔහුන්ට ලැබිය යුතු රැකියා සුරක්ෂිතතාව නොලැබීම ගැටලු සහගතව තිබේ.

විශේෂයෙන් වසර 10ක සේවා කාලය සම්පූර්ණ කළ සේවකයෝ මේ හරහා දැඩි අපහසුතාවට පත්ව සිටිති. මේ පිළිබඳව ප්‍රාදේශීය සංවර්ධන බැංකු ඉහළ කළමනාකාරිත්වය මෙන්ම, රජයේ ඉහළ බලධාරීන්ගේද, කම්කර අමාත්‍යාංශයේද අවධානය යොමු විය යුතුව තිබේ.
අනුරාධපුර, උපුල්දෙණියේ පිහිටි ධාන්‍ය ගබඩාව පිළිබඳ විශ්‍රාමික විදුහල්පති එච්.එම්. අමරසිරි ගුණසිංහ මෙසේ කීය.
“ගබඩාවේ සේවය කරන පිරිස කැපවෙලා සිදුකරන සේවය ඇගයිය යුතුයි. ඔවුන්ගේ කැපවීම නිසයි මෙතරම් ගොවීන් ප්‍රමාණයක් හෝ මේ ගබඩාව සමග සම්බන්ධ වෙලා ඉන්නෙ. හුරුලු ජනපදයේ ගොවීන් වගේම අපේ ගම්මානවල විශාල ප්‍රමාණයක් මින් ප්‍රයෝජනයක් ලබනවා. ගොවියන් අස්වැන්න නෙළන සමයේ විවෘත වෙළෙඳපොළේ මිල පහළ බහිනවා. ගබඩා පහසුකම් නැති ප්‍රදේශවල ගොවීන්ට සිය වියදම් පියවා ගන්න අඩු මුදලට හෝ තම අස්වැන්න අලෙවි කරනවා ඇර වෙන විකල්පයක් නැහැ. නමුත් අපිට මේ ගබඩාව නිසා එවැනි පීඩාවකට ලක්නොවී අඩු මිල තිබෙන සමයේ වී අස්වැන්න ගබඩාවට දී එහි වටිනාකමෙන් සීයට70ක ණය මුදලක් සීයට7ක් වැනි අඩු පොලියකට ලබාගෙන මාස කිහිපයකට පසු අස්වනු කිලෝවක මිල රු. 125 -130 පමණ ඉහළ ගියපසු අලෙවි කර ණය පියවා ලාබයකුත් ලබාගැනීමට හැකිව තිබෙනවා.
ගෙවල්වල වී කිලෝ 100 - 200කට වැඩිය තැන්පත් කිරීමේ පහසුකම් නැහැ. නමුත් අපිට මේ ගබඩාවෙන් ඒ පහසුකම හොඳටම ලැබෙනවා. මහා පරිමාණ නිෂ්පාදකයන් ඔවුන්ගේ මහා පරිමාණ ගබඩාවල වී තැන්පත් කරගෙන ලබපු ලාබය මේ ගබඩා ක්‍රමය නිසා දැන් ගොවියන්ට ලැබෙනවා.
ඒ වගේම උපුල්දෙණිය ගබඩාවේ ඇති වී පිරිසිදු කරන යන්ත්‍ර සහ වියළන යන්ත්‍ර හුරුලු ජනපදයේ බිත්තර වී ගොවීන් විසින් භාවිත කරමින් බිත්තර වී කිලෝ බුසල් 20,000කට අධිකව නිෂ්පාදනය කරන්න සමත්වෙලා තිබෙනවා.
මෙම ගබඩාවේ අපේ අස්වැන්න ගබඩා කරනවාට අය කරන්නෙ ඉතා සුළු මුදලක්. අනික අස්වැන්න සුරක්ෂිත වෙනවා, කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. මේ නිසා රජය මැදිහත්වෙලා මේ ගබඩාව ගොවීන් වෙනුවෙන් සුරක්ෂිත කළ යුතු වනවා. ගොවීන් විදිහට අපට අසරණ නොවී සිටීමට මේ ගබඩාව වගේම තවත් ගොවි පෙදෙස් කිහිපයකම ඉදිකර ඇති ගබඩා සුරක්ෂිත කර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.”
බඩඉරිඟු අස්වැන්නට ඉහළ මිලක් ලැබුණේ ගබඩාව නිසයි
බඩඉරිඟු ගොවියෙකු වන මනුප්‍රිය උදයංග දිසානායක මෙසේ කීය.
“කිලෝ 15,000ක මගේ බඩඉරිඟු අස්වැන්න වේළලා ගබඩා කළා. බඩ ඉරිඟු ගබඩා කරන විට පැවති මිල රු. 135යි. ගබඩාවේ මාස 5ක් තැන්පත්කර තබා රු. 160ට විකුණන්න මට පුළුවන් වුණා.
සීයට70ක ණය ලබාගැනීමට නොහැකි වුණා නම් බඩ ඉරිඟු අස්වැන්න අඩු මුදලකට අලෙවි කරන්නයි වෙන්නෙ. ගුදම් කුවිතාන්සිකරණ ණය අරගන්න විනාඩි 5ක්වත් යන්නෙ නෑ. ඒ තරම් ඉක්මනට අපිට මේ ගබඩාවෙ තියෙන අස්වැන්න ඇපයට තබා ණය ලබාගන්න පුළුවන්.
ගබඩාවේ ධාන්‍ය දමන උරවල හිඟයක් තිබෙනවා. ඒ වගේම ඉස්සරහ කාපට් එක ගහලා දෙනවා නම් ලොකු සහනයක්. ඒ වගේම ආයතනයේ පරිපාලනයට ඉහළ වැටුප් ගෙවන ජ්‍යෙෂ්ඨ කළමනාකරු තනතුරු අවශ්‍ය නැහැ කියලයි මට නම් හිතෙන්නෙ. ඒ වෙනුවට සාමාන්‍ය වැටුපක් ලබන කළමනාකරුවෙක් පමණක් යෙදවීම ප්‍රමාණවත්. එවිට ඉතිරි වන මුදල ආයතන නඩත්තුවට හෝ ගොවීන්ට තටදුරටත් සහන සැලසීමට යොදවා ගත හැකියි.
ඇත්තටම උපුල්දෙණිය ගබඩාව කියන්නේ ගොවීන්ට සම්පතක්. මේ ආයතනය ගොවීන් වෙනුවෙන් දිගටම පවත්වාගෙන යන්න කියලා තමයි ඉල්ලා සිටින්නෙ”.
බීජ මිලට අනුව ණය දීම වැදගත්
බිත්තර වී නිෂ්පාදකයෙකු වන අබේකෝන් රත්නායක මෙසේ කීය.
“මම බිත්තර වී නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය සිදු කරනවා. මේ නිසා මේ ගබඩාව පැති කිහිපයකින් ප්‍රයෝජනවත් වෙනවා. අපිට මූලික බීජ දෙන්නෙ, වගාව නිරීක්ෂණය කරන්නෙ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසිනුයි. ඔවුන් ලබාදෙන මාර්ගෝපදේශ යටතේ නිසි ප්‍රමිතිය සහිතව ගබඩා කළ යුතු වනවා. ඒ සඳහා අපට උපුල්දෙණිය ගබඩාව බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා.
මගේ ගම නොච්චියාගම, අපි බිත්තර වී ප්‍රොසෙස් කරන්නේ රාජාංගණයේ. එහේ ඉඳලා ගලෙන්බිඳුණුවැව, උපුල්දෙණියෙ පිහිටි මේ ගබඩාවට අපේ අස්වැන්න අරගෙන එන්නෙ ඒ වටිනාකම් නිසයි.
ඒ වගේම මෙම ගබඩාවට බීජ වී විදියට සුද්ධ පවිත්‍ර කරන්න උසස් තත්ත්වයේ මැෂින් පහසුකම් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. බිත්තර වී තැන්පත් කරන්නට සාමාන්‍ය වී වල මිලට නොව බීජ මිල අනුව සීයට70ක ණය මුදල ලබාදිය හැකි නම් බෙහෙවින් වැදගත්.
උපුල්දෙණිය ගබඩාවේ සේවකයන් සිය සේවය ඉතා හොඳින් ලබා දුන්නත් රජය පැත්තෙන් ඔවුන්ගේ සේවා සුරක්ෂිතතාව ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ.

ගොවියෙකුට ගබඩා කිරීමට අවස්ථාව ලබාදෙන්නේ කිලෝ 12,000ක් පමණයි. ඒ ප්‍රමාණය කිලෝ 15,000ට වැඩි කරනවා නම් ගොඩක් හොඳයි. මේ ගබඩා ක්‍රමය තඹුත්තේගම ප්‍රදේශයටත් එනවා නම් ගොඩක් ප්‍රයෝජනවත්. ධාන්‍ය පමණක් නොව ශීතාගාර පහසුකම් සහිත ගබඩාත් ඇතිකරනවා නම් ගොවීන්ට බෙහෙවින් වැදගත් වෙනවා.”
බඩඉරිඟු තැන්පත් කිරීමේ නිසි ප්‍රමිතියක්
උපුල්දෙණිය ගබඩාවෙන් විවිධ ආහාර නිෂ්පාදකයන්ද මෙම ගබඩාව හරහා ප්‍රතිලාභ ලබන අතර එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ගොවියාට වැඩි වාසියක් අත්වීමය. මේ අනුරාධපුර, හිදෝගම නේචර් ෆෘඩ්හි හිමිකාරිත්වය දරන සෝමසිරි දැක්වූ අදහස්ය.
“මමත් සහ මිතුරෙකු එක්ව බඩඉරිඟු නිෂ්පාදන පෙළක් වෙළෙඳ පොළට නිකුත් කරනවා. ඒ සඳහා අවශ්‍ය ඉහළ ගුණත්වයෙන් යුත් බඩ ඉරිඟු අප සපයා ගන්නේ උපුල්දෙණිය ගබඩාවෙන්. මෙහි බඩ ඉරිඟු තැන්පත් කරන්නෙත් නිසි ප්‍රමිතියකින් යුතුවයි. ඒ නිසා අප නිපදවන බඩ ඉරිඟු සහල්, බඩ ඉරිඟු කැඳ මිශ්‍රණ, බඩ ඉරිඟු පිට්ටු හා රොටී මිශ්‍රණ ආදී නිෂ්පාදන සඳහා උපුල්දෙණිය ගබඩාවෙන් ලබාගන්නා බඩ ඉරිඟු මැනැවින් ගැළපෙනවා. ඒ වගේම අපි ටිපිටිප් නිෂ්පාදකයන් සඳහා බඩ ඉරිඟු සැපයීමත් සිදුකරනවා.
අප වැනි සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට අවශ්‍ය අස්වැන්න මිලදීගන්න නිසි ප්‍රමිතියෙන් ඒවා ගබඩා කර තිබෙන මෙවැනි ගබඩාවක් ඉතාමත් ප්‍රයෝජනවත්. අපට මාසෙකට බඩ ඉරිඟු කිලෝ ලක්ෂ 1 ½ක් පමණ අවශ්‍ය වෙනවා. අප සතුවත් යම් බඩ ඉරිඟු එකතුවක් තිබුණත් අපගේ අවශ්‍යතාවට එය ප්‍රමාණවත් නෑ. අපට අවශ්‍ය ඉතිරි බඩ ඉරිඟු ප්‍රමාණය මේ ගබඩාව හරහා ගොවීන්ගෙන් මිලදී ගැනීමේ පහසුකම ලැබී තිබෙනවා. අපි වෙළෙඳපොළේ මිලට වඩා වැඩි මිලක් දීලා තමයි ගොවීන්ගෙන් අස්වැන්න මිලදී ගන්නෙ. ගොවීන් රැසකට පොදුවේ ගබඩා පහසුකම් සලසන මෙවන් ස්ථාන රැකගෙන පවත්වාගෙන යාම ගොවීන්ට වගේම අප වැනි නිෂ්පාදකයන්ටත් ලොකු උපකාරයක්.”
ගොවීන්ට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක මෙවන් ව්‍යාපෘතිවලින් ලාභයම අපේක්ෂා නොකර ගොවීන් නගාසිටුවීමට මැදිහත්වීම රජය සතු යුතුකමකි. එසේම ජනතාවාදී ආණ්ඩුවක් යැයි ප්‍රකාශ පමණක් සිදුකරමින් නොසිට ක්‍රියාවෙන්ද එය සනාථ කිරීමට රජයට මෙය කදිම අවස්ථාවකි. එසේම මෙය දිවයිනේ තෝරාගත් සෙසු ගොවි බිම් ඉලක්ක කරගෙන නිසි ස්ථාන බලා ගබඩා ඉදිකර පවත්වාගෙන යා යුතු සුබසාධන වැඩපිළිවෙළකි.
නිරෝෂාන් ප්‍රේමරත්න

