මාතර තේ වතු ගම්මානයක ඉපිද ජාත්‍යන්තරය ජයගත් ජීවිත ගමනක ආදර්ශය
මාතර හා සබරගමුව දෙපළාතට මැදිව පිහිටා ඇති ඌරුබොක්ක ප්‍රදේශයේ මනරම් ගම්මානයක් වන කැටවල නම් ගමේ නිස්කලංක කඳුකර ප්‍රදේශයේ ළමාවිය ගෙවූ දේවසිරි එන්. ජයන්ත සිහින මැව්වේ, හිමිදුම් වලාවෙන් වැසි තේ වතු සහ දිය ඇලවලට ඔබ්බෙන් වූ ලෝකය පිළිබඳව ය. මේ නිස්කලංක පරිසරයේ ඉපිද, පහේ ශිෂ්‍යත්වය ජයගත් එම ගම්මානයේ පළමුවැන්නා ඔහු වූ අතර එම ජයග්‍රහණය, වෘත්තීය හා විෂයය ක්ෂේත්‍ර ගණනක් මෙන්ම ජාත්‍යන්තරය ජය ගැනීම දක්වා වූ ඔහුගේ සාර්ථක වෘත්තීය ගමනේ මූලාරම්භය ද විය. අද වන විට, සබරගමුව විශ්වවිද්‍යාලයේ මූල්‍ය පිළිබඳ මහාචාර්යවරයෙකු පමණක් නොව, පර්යේෂණ, අධ්‍යාපනය සහ නායකත්වය සම්බන්ධයෙන් ලොව පිළිගත් ආයතනයක් වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සභාපතිවරයා ද වන්නේ ඔහුයි. මිනිසකුගේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව පමණක් නොව, ජීවිත කාලය පුරාම හැදෑරීම මෙන් ම අරමුණු මත ගොඩනැගෙන වර්ධනයේ ශක්තිය පිළිබඳව ඔහුගේ ජීවිතය අපට සාක්ෂි සපයයි. මහාචාර්ය දේවසිරි එන්. ජයන්ත මහතා සමඟ මෙම සංවාදය පැවැත්වීම අපට ගෞරවයකි, ඔහුගේ කැපීපෙනෙන ජීවිත ගමන්මග, සෑම පාඨකයෙකු, ශිෂ්‍යයකු, වෘත්තිකයකු මෙන් ම අනාගතය පිළිබඳ සුබවාදී සිහින දකින්නෙකු ම, ඒ සඳහා පොලඹවන්නකි.
ප්රශ්නය - ඔබගේ ගමනේ මූලාරම්භයෙන් ම අපි මේ සාකච්ඡාව ආරම්භ කරමු ?
පිළිතුර - මම ඉපදුණේ මාතර දිස්ත්‍රික්කයේ, සබරගමු පළාතට ආසන්නව ඌරුබොක්ක කියන ප්‍රදේශයේ, පිහිටි නිස්කලංක, සුන්දර ගම්මානයක් වුණු කැටවල ගමේ. ඒ ගම තේ වතු, දිය ඇලි සහ කඳුවලින් වට වූ සුන්දර පරිසරයක්. මගේ අධ්‍යාපනය ආරම්භ කළේ මූලික පහසුකම් පමණක් ඇති පුංචි ඉස්කෝලයක් වුණු මාතර කැටවලගම කනිෂ්ඨ විද්‍යාලයෙන්. මගේ ජීවිතය වෙනස් වුණේ ඒ ඉස්කෝලෙන්ම පළමු වැනි වතාවට, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමත් එක්කයි. මට කොළඹ නාලන්දා විද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණේ ඒකෙන්. එතැනින්, මම නාලන්දෙ හොස්ටල් එකට ඇතුළත් වුණා. ඒ පිම්ම, පුංචිම පුංචි ගම්බද ඉස්කෝලෙක ඉඳල කීර්තිමත් නාගරික ඉස්කෝලයක් දක්වා පැන්න විශාල පිම්මක්.
ප්රශ්නය - නාලන්දා විද්‍යාලයේ පාසල් ජීවිතය කොහොමද? විශේෂයෙන් ම, එතරම් කුඩා වයසකදී ග්‍රාමීය පසුබිමකින් පැමිණි ඔබට ඒ වෙනස දැනුණෙ කොහොම ද?
පිළිතුර - නාලන්දෙ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණේ, අධ්‍යාපනයෙන් විතරක් නොවෙයි. එය මගේ පෞද්ගලික ජීවිතයේත් සුවිශාල වෙනසක් කළා. මම 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වූ ගමන් ම, ඒ කියන්නේ මට අවුරුදු එකොළහේ දී නාලන්දෙ නේවාසිකාගාරයට ඇතුළු වුණා. ඒක හින්දා 6 පන්තියේ ඉඳල ම ස්වාධීනව ජීවත් වෙන හැටි ඉගෙන ගන්න මට සිද්ධ වුණා. මගේ ඇඳුම් හෝදල මැදගන්න එක, මගේ කාලසටහනේ හැටියට වැඩ ටික නියමිත විදිහට කරගන්න එක, අනෙක් දිනපතා වැඩත් එක්ක සමබර කරලා කරගන්න සිදුවුණා. සමහර අවස්ථාවල දී ඒක අමාරු වුණත්, මට ආත්ම විශ්වාසයයි, විනයයි හදාගන්න හැටි කියලා දුන්නෙ ඒ මුල්ම පාඩම.
මගේ පාසල් ජීවිතය ගැන සුන්දර මතකයන් මට තිබෙනවා. මම ඉස්කෝලෙ හොකී ක්‍රීඩා කළා, මම ක්‍රීඩාවෙන් නාලන්දා විද්‍යාලය නියෝජනය කළේ හරි ම ආඩම්බරයෙන්. ඒ වගේ ම, අදටත් මා අගය කරන යාළු මිත්‍රකම් නාලන්දෙ දී ඇති වුණා. ඒ හැම දේටම වඩා, නාලන්දා විද්‍යාලය, මට අලුත් පරිසරයකට අනුවර්තනය වන විදිහ, ජීවත් වෙන විදිහ වගේ ම, දියුණු වන විදිහත් ඉගැන්නුවා. මම “අත්දැකීමෙන් ඉගෙන ගන්න කෙනෙක්” බවට පත්වුණා. ඒක මගේ ජීවිත කාලය පුරා ම වෙනස් නොවන දෙයක්. ආයතනික ලෝකයේ නායකත්වය දැරීමේදී වේවා, අධ්‍යයන කටයුතුවලදී පර්යේෂණ කාර්යයන් හැදෑරීම වේවා, හැමවිටම අත්දැකීම් තුළින් සැබෑ ම ඉගෙනීම ලැබෙන බව මම හැම අවස්ථාවකම විශ්වාස කළ දෙයක්.
නාලන්දෙදි, මම මහන්සි වෙලා හොඳින් පාඩම් වැඩ කරලා, සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ 8ක් සහ සම්මාන සාමාර්ථ 2ක් ගත්තා. කොහොම වුණත්, උසස් පෙළදි මම කොච්චර මහන්සි වුණත් මට ගන්න පුළුවන් වුණේ, (ජීව විද්‍යා අංශයෙන්) සම්මාන සාමාර්ථ තුනක් විතරයි. ඒ කියන්නේ, මට ඒ වෙලාවෙ විශ්වවිද්‍යාලයට යන්න බැහැ කියන එක. ඒක මට දරාගන්න බැරිවුණු දුකක්. ඒත් ඒක තමයි, මගේ ජීවිතෙ හැරවුම් ලක්ෂ්‍යය වුණෙත්.
ප්රශ්නය - විශ්වවිද්‍යාල වරම් අහිමි වීම දරාගන්න අමාරු බව ඔබ කිව්වා. එතනින් එහාට මොකද වුණේ?
පිළිතුර - විශ්වවිද්‍යාල වරම් අහිමි වීම ඇත්තටම දරාගන්න ටිකක් අමාරු වුණා. ඒත් උත්සාහය අත්හරින්නේ නැතුව මං කුඩා අවන්හලක සේවකයෙකු විදිහට වැඩ කරන්න ගත්තා. ඒ අත්දැකීම තමයි මාව වෙනස් කළේ. ඒකෙන් මම, නිහතමානී වෙන එක කොච්චර වටිනවද, මහන්සි වෙලා වැඩ කරන එක කොච්චර වැදගත්ද කියලා තේරුම් ගත්තා. එක එක තරාතිරමේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන හැටි මං ඒකෙන් ඉගෙන ගත්තා. එතනදී මට තේරුණේ, අපේ ජීවිත නිතර ම සැලසුම් කරන විදිහට ගත කරන්න බැහැ කියලයි. ඒත් මුහුණ දෙන සෑම දේකින්ම අපට වැදගත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්.
මම ඒ රස්සාවෙන් සන්නිවේදනය, ඉවසීම, පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය වගේම ආවේග පාලනයත් ඉගෙන ගත්තා. මේවා, අදටත් අලෙවීකරණ ක්ෂේත්රයේ සහ අධ්‍යාපන ක්ෂේත්රයේ භාවිත කරන කුසලතා. ඒ රස්සාව තමයි සැබෑ ජීවිතයේ මගේ පන්ති කාමරය වුණේ.
ප්රශ්නය - ඉන්පසු ඔබ පෞද්ගලික අංශයේ රැකියා ලෝකයට පිවිසුණා. ඔබගේ වෘත්තීය ජීවිතය වෙනස් වුනේ කොහොමද?
පිළිතුර - මම වෘත්තිය ආරම්භ කළේ අලෙවි සහ පාරිභෝගික සේවා අංශයේ කුඩා ම රැකියාවකින්. කාලයත් සමඟම, මම විදුලි සංදේශ සහ තාක්ෂණික ක්ෂේත්රවල කළමනාකරණ සහ නායකත්ව තනතුරු දක්වා පියවරෙන් පියවර ඉදිරියට ගියා. ඒක ලේසි පහසු වැඩක් වුණේ නැහැ. ඒ වුණත්, මම ඒ හැම රැකියාවක්ම සැලකුවෙ මට ඉගෙන ගන්න තියෙන පන්ති විදිහට. හැම අවස්ථාවක්ම භාවිත කළේ, මගේ ඉගෙනීම හා දියුණුව සඳහායි.
පිළිගත් ආයතනයක කළමනාකරුවෙකු විදිහට කටයුතු කරද්දි තමයි ඇත්තටම මට අධ්‍යාපනයේ වටිනාකම හරියටම දැනෙන්න පටන් ගත්තේ. ක්ෂේත්රයේ දියුණු වෙන්න නම්, ශක්තිමත් අධ්‍යයන පදනමක් ගොඩනඟා ගන්න අවශ්‍යයි කියල මට තේරුණා. මම අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න පටන් ගත්තා, ඊට පස්සෙ උසස් ඩිප්ලෝමාවක් කළා. අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවකුත් සම්පූර්ණ කළා. එතැන ඉඳලා මගෙ දැනුම් පිපාසය වැඩි වුණා. පස්සේ, මම සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරයකු වුණා. ඊළඟට, ව්‍යවහාරික මූල්‍ය පිළිබඳ MSC උපාධියත් සම්පූර්ණ කළා. ඒ වගේම, එක්සත් රාජධානියේ රජයේ විශ්වවිද්‍යාලයකින් ව්‍යාපාර පිළිබඳ BA (Hons) උපාධියකුත් ලබාගත්තා, ඒක ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක්. මූල්‍ය පිළිබඳ මගේ ආචාර්ය උපාධිය මං ලබාගත්තෙ, කොළඹ විශ්වවිද්‍යාලයෙන්.
මට වැදගත් වුණේ වැටුප නෙමෙයි. ඒකෙන් සිදුකෙරෙන සමාජ බලපෑම, අරමුණ වගේ ම දායකත්වයයි. මට අධ්‍යාපන ක්ෂේත්රයට යොමුවීමෙන්, ඉගැන්වීමට, උපදේශනය ලබාදීමට පමණක් නෙවෙයි, පර්යේෂණ තුළින් ක්ෂේත්රයට ගැඹුරින් සම්බන්ධ වීමටත් පුළුවන් වුණා. පන්ති කාමරය තුළ හදාරන දේ සහ පර්යේෂණ හරහා අප සොයා ගන්නා දේට සැබෑ ලෝකය තුළ අදාළත්වයක් සහ වටිනාකමක් පවතින බව සහතික කරමින්, මම දිගට ම න්‍යාය සහ ප්‍රායෝගික භාවිතය සිදුකරනවා.
මේ සියලුම සුදුසුකම් මම සපුරාගත්තේ ජාතික හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින්. ඒ වගේම, ඒ සියල්ල මම පූර්ණ කාලීන තනතුරුවල සේවය කරමින් සිටියදී සපුරාගත් සුදුසුකම් රැකියාව, ජීවිතය සහ අධ්‍යාපනය කළමනාකරණය කරන එක කොහෙත්ම පහසු දෙයක් වුණේ නැහැ, විශේෂයෙන් ම, සැමියෙක් හා දරුවන් තුන් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් විදිහට රෑ නිදිමරා ගෙන ඉගෙන ගත්ත, අධික ලෙස කාර්ය බහුල වුණු වගේ ම ඉතාමත් වෙහෙසකර අවස්ථාවන් තිබුණා. ඒත්, මම කිසිම වෙලාවක ඉලක්කය අත්හැරියේ නැහැ.
මගේ අධ්‍යයනය මාතෘකාවලටවත්, සහතිකවලටවත් සීමා වුණේ නැහැ, ඒක මෙම ක්ෂේත්රයේ මා මුහුණ දුන් සැබෑ ගැටලු විසඳීමෙන් ලැබූ අධ්‍යාපනයක්. නව අදහස් පාදා ගනිමින් පුද්ගලයෙකු හා වෘත්තිකයෙකු ලෙස පරිණාමය වීමෙන් ලැබූ අධ්‍යාපනයක්. ඒවා මගේ සාර්ථකත්වයේ මෙවලම්. මම එක ම වේගයකින් ඉගෙනීම ලුහුබැඳ ගියා.
ප්රශ්නය - ඔබ ශ්‍රී ලංකාවේ ලාබාලතම මූල්‍ය මහාචාර්යවරයා බවට පත් වුණා. අලෙවිකරණ ක්ෂේත්රයෙන් අධ්‍යයන ක්ෂේත්රයට මාරු වීමට ඔබව පෙලඹවූ කාරණය කුමක්ද?
පිළිතුර - මම පෞද්ගලික අංශයේ වසර 17ක් ගත කළාට පස්සෙ, මුලින්ම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු විදිහට සබරගමුව විශ්වවිද්‍යාලයට බැඳුණා. පෞද්ගලික අංශයෙන් අධ්‍යාපන ක්ෂේත්රයට මාරුවීම කොහෙත්ම පසුබැසීමක් වුණේ නැහැ. ඒක ඉතාමත් කල්පනාකාරීව, ඉතාමත් උනන්දුවෙන් අරගත්ත තීරණයක්. ඒ වෙද්දිත්, මිනිසුන් මූල්‍ය තීරණ ගන්නේ ඇයි, වෙළෙඳ පොළ සැබවින්ම මෙහෙයවන්නේ කුමක් විසින් ද යන ප්‍රශ්න වගේ ම, උපායමාර්ගික චින්තනය සහ ජාතික සංවර්ධනය වැඩිදියුණු කිරීමට පර්යේෂණ භාවිත කරන්නේ කොහොමද වගේ ගැඹුරු ප්‍රශ්න මට තිබුණා.
වයස අවුරුදු 37 දී, මූල්‍ය පිළිබඳ මහාචාර්යවරයෙකු විදිහට උසස්වීමක් මට ලැබුණා. මාව ඒ තනතුරට පත්වෙද්දි, ශ්‍රී ලංකාවේ ඒ තනතුර දැරූ ළාබාලතමයා මමයි. ඒත්, ඒ වෙනුවෙන් මට ලොකු කැප කිරීමක් කරන්න සිදුවුණා. ඒ වෙනුවෙන්, අධ්‍යයන ක්ෂේත්රයේ ලබාගත්ත වැටුපට වඩා හතර ගුණයකින් වැඩි ආයතනික වැටුප මං අත් හැරියා. එය ලෙහෙසි පහසු තීරණයක් නොවෙයි. ඒත්, අධ්‍යයනය කියන්නේ, වෘත්තියක්ම නෙමෙයි. ඒක දෛවයේ කැඳවීමක් කියලා මං එදත් විශ්වාස කළා, අදටත් විශ්වාස කරනවා.
එතැනදී මට වැදගත් වුණේ වැටුප නෙමෙයි. ඒකෙන් සිදුකෙරෙන සමාජ බලපෑම, අරමුණ වගේ ම දායකත්වයයි. මට අධ්‍යාපන ක්ෂේත්රයට යොමුවීමෙන්, ඉගැන්වීමට, උපදේශනය ලබාදීමට පමණක් නෙවෙයි, පර්යේෂණ තුළින් ක්ෂේත්රයට ගැඹුරින් සම්බන්ධ වීමටත් පුළුවන් වුණා. පන්ති කාමරය තුළ හදාරන දේ සහ පර්යේෂණ හරහා අප සොයා ගන්නා දේට සැබෑ ලෝකය තුළ අදාළත්වයක් සහ වටිනාකමක් පවතින බව සහතික කරමින්, මම දිගට ම න්‍යාය සහ ප්‍රායෝගික භාවිතය සිදුකරනවා.
ප්රශ්නය - මූල්‍ය පර්යේෂණ සඳහා නව ක්‍රම හඳුන්වා දීම සම්බන්ධයෙන් ගෞරවය හිමි වන්නේ ඔබටයි. අපගේ පාඨකයන්ට ඒ පිළිබඳව පැහැදිලි කළ හැකි ද?
පිළිතුර - ඇත්තටම ඔව්. මූල්‍ය සම්බන්ධයෙන් සිදුකරන සාම්ප්‍රදායික පර්යේෂණ බොහෝ විට රඳාපවතින්නේ සංඛ්‍යා සහ ආකෘති මත පමණයි. කෙහොම වුණත්, මානව හැසිරීම්, මූල්‍ය ක්ෂේත්රයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. මෙම තත්ත්වය ග්‍රහණය කර ගැනීමට, අපි දත්ත ත්‍රිකෝණකරණය කියන ක්‍රමය හඳුන්වා දුන්නා. එය, විවිධ පර්යේෂණ මෙවලම් (සම්මුඛ සාකච්ඡා, සමීක්ෂණ සහ දත්ත විශ්ලේෂණය ආදි) ඒකාබද්ධ කරමින්, සමස්ත තත්ත්වය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමේ ක්‍රමවේදයක්.
මූල්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් දැන් ලොව පුරා විද්වතුන් භාවිත කරන්නේ මෙම ක්රමවේදයයි. මේ ක්‍රමවේදය, සංඛ්‍යා දත්ත මගින් පෙන්වන දේ සහ සැබෑ ලෝකයේ භාවිතය අතර පරතරය පියවීමට උපකාරී වෙනවා.
ප්රශ්නය - ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපතිවරයා මෙන් ම, (Emerald & Publishing) හි දකුණු ආසියානු කලාපය සඳහා ප්‍රථම සන්නාම තානාපතිවරයා ද ඔබයි. එම තනතුර පිළිබඳව ඔබේ අදහස කුමක් ද?
පිළිතුර - ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සභාපතිවරයා ලෙස, මගේ දැක්ම කේන්ද්‍ර වී තිබෙන්නේ, වෘත්තීය සංවර්ධනය, සදාචාරාත්මක නායකත්වය සහ අලෙවිකරණ වෘත්තිය තුළින් නවෝත්පාදන කරා මෙහෙයවීම අරමුණු කරගෙනයි. ඒ වගේම මගේ ප්‍රධානතම ප්‍රමුඛතාවක් වන්නේ, අධ්‍යාපනය, ප්‍රායෝගික හා ඉදිරි දැක්මෙන් යුක්ත බව සහතික කරමින්, එම ක්ෂේත්රය සහ කර්මාන්තය අතර පවතින සම්බන්ධය ශක්තිමත් කිරීමයි.
ඒ සඳහා මම, සතිපතා පලවන ජාතික පුවත්පතක, අලෙවිකරණය පිළිබඳ තීරු ලිපියක් ආරම්භ කළා. එය, ලියැවෙන්නේ, රට පුරාම අලෙවිකරුවන්, ව්‍යවසායකයින් සහ ව්‍යාපාරික නායකයින් සඳහා ප්‍රායෝගික අවබෝධයක් ලබාදීමේ අරමුණ ඇතිවයි. ඊට පෙර, මම ජාතික පුවත්පතක පළවන දකුණු ආසියාවේ ප්‍රථම, පර්යේෂණ තීරුව පළ කළා සතිපතා පළවන ගවේශන තීරු ලිපියක් ලෙස. ඒ රටපුරා සිදුකරන පර්යේෂණ, සාමාන්‍ය ජනතාවට ප්‍රවේශ විය හැකි මෙන් ම ඵලදායී පර්යේෂණ බවට පත් කිරීමේ අරමුණ ඇතිවයි. මෙමගින් පර්යේෂකයින්ට අලුත් වේදිකාවක් නිර්මාණය කළා තමන්ගේ පර්යේෂණ ජනගත කරන්නට.
Emerald Publishing හි දකුණු ආසියා කලාපයේ ප්‍රථම සන්නාම තානාපතිවරයා ලෙස, මෙම කලාපයේ පර්යේෂණ සම්බන්ධ ප්‍රචාරණය, පර්යේෂණ අඛණ්ඩව පළ කිරීම මෙන්ම ශාස්ත්‍රීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනවා. මම තදින්ම විශ්වාස කරන්නේ, දැනුම මිනිසුන් වෙත ළඟා විය යුතු බව හා පර්යේෂණ සම්බන්ධ විද්වත් තීරණ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ යුතු බවයි. එමෙන්ම, රටේ සංවර්ධනයට දායක වන පර්යේෂණාත්මක දැනුම සඟරාවලට පමණක් සීමා නොවිය යුතු බවත් මම විශ්වාස කරනවා.
ප්රශ්නය - පර්යේෂණ, අධ්‍යාපනය සහ නායකත්වය සඳහා ඔබව පොළඹවන්නේ කුමක්ද?
පිළිතුර - ඒ ගැන එක වචනයකින් කිව්වොත්, ඒ ‘තිරසර බලපෑම / ප්‍රභාවය’ නිසයි. සිසුන්ට උපදේශනය හෝ කර්මාන්ත නායකයින්ට මග පෙන්වීම හෝ සාමාන්‍ය ජනතාව සඳහා ලිවීම වුණත්, මම භාර ගන්නා හැම තනතුරක්ම මග පෙන්වන් නේ එකම ගැටලුවකින්. ඒ කියන්නෙ, ‘මෙයින් සමාජයට අර්ථවත් බලපෑමක් ඇති වෙනවා ද?’ කියන කාරණය මතයි.
ඇත්තෙන්ම මාව මෙහෙයවන දෙය තමයි, ජීවිතවලට බලපෑම් කිරීමට, චින්තනය සකස් කිරීමට සහ ධාරිතාව ගොඩනැගීමට මිනිසකු තුළ ඇති හැකියාව. (Phd) සිසුන්ට සහ මුල් වෘත්තීය පර්යේෂකයන්ට පැහැදිලි අරමුණකින්, නිවැරදිව විශ්වාසයෙන් යුතුව අධ්‍යයන ජීවිතයේ ගැටලු මැද ඔවුන්ට මග පෙන්වීම මට ගැඹුරු තෘප්තියක් ලැබෙන දෙයක්. තරුණ විද්වතුන්ට ස්වාධීන විද්වතුන් ලෙස වර්ධනය වීමට සහාය වීම වගකීමක් විතරක්ම නොවෙයි, ඒක මගේ කැමැත්තක්.
මම පර්යේෂණ පද්ධති සහ දැනුම හුවමාරු කිරීමේ වෙබ් අඩවි හා වේදිකාවන් ගොඩනැගීමටත් වඩාත් උනන්දුවෙන් කටයුතු කරනවා. දකුණු ආසියා කලාපය තුළ විශේෂයෙන්ම, ව්‍යවහාරික පර්යේෂණ සහ ප්‍රතිපත්තිවලට අදාළ ශිෂ්‍යත්ව ක්ෂේත්‍රයන්වල, විශාල වශයෙන් භාවිත නොකළ හැකියාවන් තිබෙන බව මට විශ්වාසයි. කොහොම වුණත්, ගෝලීය සහයෝගීතාවන්, උපදේශනය, ගෝලීය ප්‍රකාශන මාධ්‍ය සහ විශ්වවිද්‍යාල හා ක්ෂේත්‍ර සමග ඇති කරගන්නා සම්බන්ධතාවන් ඔස්සේ, මෙම හැකියාවන් ගොඩනැගිය හැකියි.
නායකත්වය කියන්නේ මට නම්, මාතෘකා හෝ ගෞරවය සම්බන්ධ කාරණයක් නෙවෙයි. නායකත්වය කියන්නෙ, අන් අයට අවස්ථා උදා කිරීම, නවෝත්පාදනය බිහිකිරීම සහ දැනුම හා ප්‍රායෝගික භාවිතය අතර සම්බන්ධතාවයක් ඇති කිරීමයි. මම පර්යේෂණ පත්‍රිකාවක් සම්බන්ධයෙන් කටයුතු කළත්, දැනුවත් කිරීමේ වැඩසටහනක් සකස් කළත්, SLIM හෝ වෙනත් ආයතනයක් මගින් සිදුකරන වෘත්තීය හැඩගැස්වීමක් සම්බන්ධයෙන් කටයුතු කළත් මගේ අරමුණ එකයි. ඒ, තනතුරු සහ සම්මාන ඉක්මවා යන දිගුකාලීන, තිරසර බලපෑමක් ඇති කිරීමයි.
ප්රශ්නය - ග්‍රාමීය හෝ දුෂ්කර ප්‍රදේශවලින් පැමිණෙන තරුණ තරුණියන්ට ඔබ දෙන පණිවිඩය කුමක් ද?
පිළිතුර - මගේ පණිවිඩය සරලයි, ප්‍රබලයි. ඔබේ ගමනාන්තය තීරණය කරන්නේ, ඔබ මුලින්ම යමක් ආරම්භ කරන තැන නෙවෙයි. ඔබේ පසුබිම හෝ තාවකාලික බාධා හේතුවෙන් ඔබේ සිහින හැබෑ කරගත නොහැකි බවට, කිසිම වෙලාවක ඔබට ඒත්තු ගන්වන්න ඉඩදෙන්න එපා. ගම්බද ඉස්කෝලෙකින් පැමිණීම, අවිනිශ්චිත පාරක ගමන් කිරීම වගේ ම තමන් ගැන සැක සංකා මතුවීම, කොයි ආකාරයේ අත්දැකීම්ද කියල මම දන්නවා. ඒත්, දුෂ්කරම කාලවලත් ඔබේ අරමුණ අත හරින්නේ නැතුව නොපසුබට වීර්යයෙන් කටයුතු කරද්දි, කුමක් කළ හැකිදැයි මම දන්නවා.
පළමු අවස්ථාව නැති වුණහම අධෛර්යවත් වෙන්න එපා. සමහර විට එක් අසාර්ථක වීමක්, ඔබේ ඊළඟ සාර්ථකත්වයට ඉන්ධනයක් බවට හේතුවක් වෙනවා. කොච්චර පුංචි වුණත්, දුප්පත් වුණත් හැම රැකියාවකින්ම ඔබට දෙයක් ඉගෙනගන්න පුළුවන්. ඔබ ඒවායෙන් ඉගෙන ගන්න, විනය, නිහතමානීකම, ඔරොත්තු දීමේ හැකියාව සහ සන්නිවේදනය කියන මේ අත්දැකීම් තමයි ඔබේ ගමනට ගැඹුර සහ ශක්තිය එකතු කරන්නේ.
මගේ ජීවිතය වෙනස් කළේ අධ්‍යාපනයයි. මට ඒක කරන්න පුළුවන් වුණේ වෙහෙස මහන්සි වෙලා වැඩ කිරීමෙන්. මම පූර්ණ කාලීන රැකියාවක් කරන ගමන් රෑට ඉගෙන ගත්තා, එකවරකට එක් පියවරක් ඉස්සරහට ගත්තා. කෙටි මාර්ග තිබුණේ නැහැ. ඒක පහසු දෙයක් වුණේ නැහැ.
ඒක හින්දා, මේක බලන හැම තරුණ තරුණියන්ට ම මට කියන්න තියෙන්නේ, අනිත් අය විශ්වාස නොකළත්, ඔබ ඔබව විශ්වාස කරන්න කියලා. අභියෝග ඔබේ ඉදිරි පියවරක් විදිහට භාවිතා කරන්න. හැම තිස්සෙම කුතුහලයෙන්, කැපවී කටයුතු කරන්න. ඔබට ආශ්වාදයක් සහ ශක්තියක් ලබා දෙන පිරිස ආශ්‍රය කරන්න. පුංචි ගමකින් ආපු මට මෙතැනට එන්න පුළුවන් වුණා නම්, ඔබටත් ඒක කරන්න පුළුවන්. ගමන දිගයි, ඒත් ඒ ගමන ඔබේයි.
ප්රශ්නය - ඔබේ ඊළඟ පියවර කුමක්ද?
පිළිතුර - අනාගතය දිහා බලද්දි, මගේ ප්‍රධානම අරමුණක් තමයි, විශ්වවිද්‍යාල සහ කර්මාන්ත ක්ෂේත්රය අතර ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැගීම. විශේෂයෙන්ම, සැබෑ ලෝකයේ මිනිසුන් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සපයන Phd මට්ටමේ පර්යේෂණවලට සහාය වීම. බටහිර රටවල් බොහොමයක, ප්‍රායෝගික ගැටලු විසඳන අතරම නවෝත්පාදනයන් දියුණු කරමින් එවැනි ක්ෂේත්රවල පර්යේෂණ සඳහා අරමුදල් සැපයීමට ආයතනික අංශය අත්වැල් බැඳගැනීම සාමාන්‍ය දෙයක්. ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ, අපි තවමත් එවැනි සංස්කෘතියක් ගොඩනැගීම අතින් මුල් අවදියකයි පසුවෙන්නේ. නමුත් එය අනාගතයේදී කළ හැකි බව මම ස්ථිර වශයෙන් විශ්වාස කරනවා.
දැනුම සඳහා ආයෝජනය කිරීමට අපට පෞද්ගලික අංශය දිරිගන්වන්න පුළුවන් නම්, අපගේ අධ්‍යයන කාර්යයන්වල අදාළත්වය වැඩි කිරීමට පමණක් නොවෙයි, ආයතනවලට වඩාත් ඉදිරිගාමී දැක්මක් මෙන්ම, නවතම විසඳුම් සඳහාත් උපකාර කළ හැකියි. වඩාත් ප්‍රබල මෙන්ම, ගැටලු සම්බන්ධයෙන් විසඳුම් සපයන අනාගතයක් වෙනුවෙන් අපගේ උසස් අධ්‍යාපන ක්ෂේත්රය සූදානම් කිරීමට, මෙම පරතරය පියවීම අත්‍යවශ්‍ය කාරණයක්.
මගේ තවත් එක සිහිනයක් තමයි, ප්‍රායෝගික, ව්‍යවසායකත්වය මුල් කරගත් වෘත්තිය අධ්‍යාපනය සඳහාම වූ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම. ඒ විශ්වවිද්‍යාලය, සිසුන්ට රැකියා සොයා ගැනීමට ඉවහල් වන විශ්වවිද්‍යාලයක් නෙමෙයි, රැකියා උත්පාදනය කිරීමට පුහුණු කරන ස්ථානයක්. ඒ තුළින් මම බලාපොරොත්තු වෙන්නේ, න්‍යාය ඉගැන්වීමෙන් ඔබ්බට ගිය, අභ්‍යන්තරව විනයානුකූල මෙන්ම ප්‍රායෝගික ඉගැන්වීමක් ලබාදෙන තැනක් වගේම, පළමු වැනි දවසේ සිටම සිසුන් තුළ ව්‍යවසායකත්ව මානසිකත්වයක් පෝෂණය කරන ආයතනයක්.
ශ්‍රී ලංකාවේ අතිවිශාල දක්ෂතාවන් සහ භාවිත නොකළ අනාගත හැකියාවන් පවතිනවා. අපට දැන් අවශ්‍ය වන්නේ, තිරසර ව්‍යාපාර මෙහෙයවන, අන් අයට රැකියා උත්පාදනය කරන, මෙන්ම පුළුල් වර්ධනය කරා මෙහෙය වන නවෝත්පාදකයින්, ගැටලු විසඳන්නන් සහ හෙට දවස ගොඩනගන්නන් බිහිකරන අධ්‍යාපන පද්ධතියක්. රැකියා සොයන ජාතියක සිට වෙනස්කම් ඇති කරන්නන් සහ නිර්මාණකරුවන් පිරුණු ජාතියක් බවට මාරු වීමට කාලය දැන් එළඹිලා තිබෙනවා. මට සහය වීමට අවශ්‍ය, එවැනි උරුමයක් ගොඩනැගීම සඳහායි.
ධම්මික ප්‍රේමරත්න