
වාණිජ හා සංස්කෘතික අගය ඉහළ නංවාලීමේ අරමුණෙන් මීට දශකයකට ඉහත දී පිටකොටුව බැස්ටියන් මාවතේ ඉදිකෙරුණු පාවෙන වෙළඳ සංකීර්ණය ලංකාවේ පළමු පාවෙන වෙළඳ සංකීර්ණය විය. කොළඹ නගර සංවර්ධන හා අලංකරණය කිරීමේ වැඩ සටහනක් යටතේ ඉදිකෙරුණු මෙය ජනතා අයිතියට පත්වෙන්නේ - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයන්හි ලේකම් ධුරය දැරූ වකවානුවට අයත් 2014 අගෝස්තු 28 වැනි දා ය.
මෙය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වූයේ - දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් ගෙන්වා ගනිමින්, ආර්ථිකමය වශයෙන් ඵලදායී ස්ථානයක් ලෙස පවත්වා ගෙන යාමය. රුපියල් මිලියන 352ක් වැය කොට නිම කෙරුණු මෙම පාවෙන වෙළඳ සංකීර්ණයට වැය කෙරුණු එම මුදල වසර පහක් තුළ පියවා ගැනීම සැලසුම් කරුවන්ගේ අභිප්‍රාය විය. එහෙත් 2015 පැමිණි යහපාලන ආණ්ඩු සමයේ දී මෙම වෙළඳ සංකීර්ණයට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. ඒ නිසාම මෙම වෙළඳ සංකීර්ණය දිනෙන් දින විනාශයට පත්වෙමින් ගිය අතර, බෝට්ටු අබලන් වීම හේතුවෙන් එම ස්ථානවල තිබූ කඩවල් ඉවත් කර ගැනීමට සිදු විය.
පෙරදා මත්ලෝලීන්ගේ රජදහනක්ව පැවතී, මිලියන ගණනක් වැයකර මනරම් ස්ථානයක් ලෙස නිර්මාණය කරනු ලැබූ මෙම භූමිය - මේ වන විට යළි මත්ලෝලීන්ගේ රජදහනක් වී, අතිරේකව දැඩි දුර්ඝන්ධයක් හමන තැනක් බවට ද පත්වී ඇත.
2020 වන විට වෙළඳකුටි 103 න් 80 කට වැඩි ප්‍රමාණයක්ම වැසී තිබුණි. නැවතත් දෙවන වරට මිලියන 25 ක් පමණ වැයකොට ප්‍රතිසංස්කරණය කරමින් 2021 විවෘත විය. නමුත් නැවතත් මෙහි නඩත්තුව නිසියාකාරව සිදු නොවුණු නිසා කණකොකා හඬන්නට විය.
ඒ අතරතුර පාවෙන වෙළඳ සංකීර්ණය සංචාරක පුරවරයක් බවට පත්කිරීමේ අරමුණින්, 2024 වසරේ දී ජපන් ආයෝජකයෙක් ඉදිරිපත් විය. මාස 6 පමණ ව්‍යාපෘති කාලයකට ජපන් ආයෝජකයා අත්සන් කළ ගිවිසුමට සිදු වූයේ කුමක්දැයි අදටත් ප්‍රශ්නාර්ථයකි. මේ වනවිට පවතින වෙළඳ කුටි 92 හි වර්තමාන තත්ත්වය සොයා ඉරිදා ලංකාදීප අප පාවෙන වෙළඳ සංකීර්ණ පරිශ්‍රයේ සංචාරයක නියැළුණෙමු.

මුල් කාලයේ දී බේරේ වැවේ කුඩා කොටසක සිට ඇරඹුණු සක්‍රීය බෝට්ටු සේවාවක් ද ක්‍රියාත්මකව පැවැතිණි. නමුත් මේ වනවිට පාවෙන වෙළඳසැලට යාබද ඒ කොටසේ බෝට්ටු සේවාව ක්‍රියාත්මක වන්නේ නැත. දිරාපත් වෙමින් පවතින බෝට්ටු අභ්‍යන්තරයෙහි ඒකරාශීව පවතින වැසි ජලය, දිරාපත් වූ ආසන, මෙම පාවෙන වෙළඳසැලට අත් වූ ඉරණම සංකේතාත්මකව කියාපානු ඇත.
පාවෙන වෙළඳසැලට ඇතුළු වන්නට තිබෙන කොටසේ ඉහළින් ස්ථාපනය කොට ඇති නාමපුවරුවේ FLOATING MARKET- PETTAH ලෙස සටහන් කෙරී ඇත. එතැනින් ගමනාරම්භ කිරීමේ දී - ප්‍රවේශ පාලමේ ඉදිකිරීම් සඳහා යොදා ගෙන ඇති ඇති ලී දඬු දිරාපත්වීම සිතට ජනිත කරන්නේ දැඩි අනාරක්ෂිත බවකි. පාවෙන වෙළඳසලෙහි ගමන් මාර්ගයේ එවැනි ආනාරක්ෂිත ස්ථාන කීපයක්ම දක්නට ඇති අතර, එම සංකීර්ණයට කුඩා දරුවෙකු ගෙන ඒම ආරක්ෂිත යැයි සිතෙන්නේ නැත.
මෙම ව්‍යාපෘතියේ ආරම්භ කළ මුල් සමයේ දී මෙය ජනතාවගේ ඇස ගැටුණු, නිතර බොහෝ පිරිසක් පැමිණි ආකර්ෂණීය වෙළඳ සංකීර්ණයක් වූ නමුත් - වර්තමානයේ දී දක්නට ඇත්තේ ඊට හාත්පසින් ම වෙනස් තත්ත්වයකි.
පසුව වෙළඳසැල් අනූවකට ආසන්න කුටි ප්‍රමාණයක් ක්‍රියාත්මකව තිබුණ ද, වර්තමානයේ දී එහි විවෘතව පවතින්නේ එයින් අඩකටත් අඩු සංඛ්‍යාවකි. ඇතමුන් තමන්ට හිමි කොටස කුඩා ආයතන වලට කුලියට ලබා දී ඇත. තවත් පිරිසක් ඔන්ලයින් ක්‍රමයට මෙහි තම ව්‍යාපාර පවත්වා ගෙන යති. තවත් වෙළඳසල් සම්පූර්ණයෙන්ම හිස්ව ඇත.
ආරම්භයේ රුපියල් හය දහසක මාසික කුලියකට ලබා දී ඇතැයි කියන මෙහි වෙළඳකුටියක නැත්නම් ඒකකයක වත්මන් මාසික කුලිය රුපියල් නවදහසක් බැව් කියැවේ. මැනිං වෙළඳපොළ ඉවත් කිරීමත් සමග, එහි වෙළෙඳාමේ නිරත වූ වෙළෙඳුන්ට මෙහි කුටි ලබාදීමට එකල පැවති ආණ්ඩුව තීරණය කළේය. නමුත් වර්තමානය වන විට වෙළඳුන්ට කුලියට අමතරව විදුලි සහ ජල බිල් වෙනුවෙන් වැය කරන මුදල පියවා ගැනීමට සරිලන වෙළඳාමක් හෝ සිදු නොවන බව දැනගන්නට ඇත.
“ගෝඨාභය මහත්තයාගේ කාලයේ දී අපිට මෙම කඩ ලැබුණා. අද රුපියල් නවදහසක් ගන්නවා. වතුර විදුලියත් එක්ක මාසෙකට රුපියල් විසිදහසක් විතර අපිට ගෙවන්න සිද්ධ වෙනවා. මෙතන කඩ අනූවක් විතර තිබුණත් දැන් බාගෙට බාගයක් වැහිලා. තව කිහිපයක්ම හෙට අනිද්දා වැහිලා යාවි.

මේ දැන් ඉන්න මිනිස්සු මෙහෙම හරි වෙළඳාම් කරන්නේ වෙන කරන්න දෙයක් නැති නිසයි. සමහර දවස්වල රුපියල් පන්සියක ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. කඩය වහලා දැම්මොත් කඩේ රජයට අයිති කර ගනිවී කියන බයට දරුවෝ එපා කියද්දී අතින් වියදම් කරගෙන මෙතනට ඇවිල්ලා හවස් වෙලා ගෙදර යනවා.
යැයි මෙම වෙළඳ සංකීර්ණයේ වෙළඳාමේ නිරත වන ශ්‍රියානි මහත්මිය“ඉරිදා ලංකාදීපය”ට අදහස් දක්වමින් පැවසුවාය.
පාවෙන වෙළඳසැල ඉදිරිපිට ඇළේ ජල පදාසය සම්පූර්ණයෙන්ම තද කොළ වර්ණයෙන් යුත්තය. බේරේ වැවේ කොටසක් වන මෙයින් වහනය වන දුර්ඝන්ධය - නිසි වැසිකිළි කැසිකිළි පද්ධතියක් නොමැතිවීම නිසා, ඇතැමුන් තම හදිසි අවශ්‍යතාවයන් ඉටු කර ගන්නේ ද මෙම පාවෙන වෙළඳසැලේ ඇති හිස් අවකාශ භාවිත කිරීම වීමෙන්, දෙගුණ තෙගුණ වී හමා යන්නේ, නාස් කුටීර ඉබේ හකුළුවමිනි.
මේ හේතුව නිසාම සිත් රුචියෙන් යුතුව ආහාර ගැනීම කෙසේ වෙතත්, කහට උගුරක් බීමට හෝ මෙම පාවෙන වෙළඳසැලට එන්නට ජනතාව යොමු වන්නේ නැත. ඉඳහිට වැරදීමකින් හෝ කෙනෙකු මීට ගොඩ වැදුණ ද, යළිත් වතාවක් ඒමට සිත් දුන්නොත් විමතියකි.
පාවෙන වෙළඳසැලේ ඉදිකර ඇති ලී බංකු දිරාපත්ව ඇත. ගමන් ගන්නා මාර්ගයට අතුරා ඇති ලී තැනින් තැන දිරාපත් වී ඇත. ගමන් කරද්දී යම් හෙයකින් දුරකතනය හෝ පසුම්බිය මේ ආසන්නයේ බිම වැටුණහොත් එය වැටෙන්නේ පහළ ජලය කොටසටය. ජල කොටස පවිත්‍ර කිරීමට ජලයේ ඉදිකර ඇති පවිත්‍ර කිරීමේ උපකරණය ක්‍රියාත්මක තත්ත්වයේ නැත.
“ඔය කොටස ඔහොමම තමයි. කිසිම පවිත්‍ර කිරීමක් කරන්නේ නැහැ. ඔන්න ඉතින් ලොක්කෙක් එනවා නම් ඔය සේරම කොහොම හරි වැඩ. වතුර මල් වැඩ කරන්න නම් පාවෙන වෙළඳසැල බලන්න ලොක්කෙක් එන්නම ඕනේ. ඒ ටික වැඩ කළොත් තව ටිකකින් ලොක්‌කෙක් එනවා කියලා අපිට හිතාගන්න පුළුවන්. ආදායමක් නැතත්, අපෙන් වෙලාවට සල්ලිත් ගන්නවා. හැබැයි කිසිම නඩත්තු කටයුත්තක් සිදුවන්නේ නැහැ.”
වෙළඳසැල් හිමිකරුවකු වන රංගන එසේ පැවසීය.
පාවෙන වෙළඳසැලෙහි ඉදිකර තිබූ විදුලි පහන්කණු අද පවතින්නේ ඉතා අබලන් තත්ත්වයකය. නිසි නඩත්තුවක් නොවීම හේතුවෙන් ඇතැම් විදුලි පහන් කණු කැඩී ගොස් ඇත. ඇතැම් විදුලි පහන් දැල්වෙන්නේ නැත. ඒ නිසාම රාත්‍රී කාලයේ දී මෙහි ඇතැම් තැන් පවතින්නේ දැඩි අඳුරේය. නමුත් ඇතමුන්ට මෙය රජමඟුල් කැන්දන වරමකි. විශේෂයෙන් පිටකොටුව නගරයේ වෙසෙන ගණිකාවන් තම රැකියාව සිදුකරනු ලබන්නේ ද මේ ස්ථානය ආශ්‍රිතවය. රාත්‍රිය මත්කුඩු පානය කරන්නන්ගේ සහ වෙළඳාම් කරන්නන්ගේ රජදහනකි.

බොහෝ සංචාරකයන් වර්තමානයේ දී මෙරටට පැමිණෙන්නේ අන්තර්ජාලය භාවිත කොට රටෙහි විශේෂිත හා සුන්දර තැන් පිළිබඳ දළ හෝ අවබෝධයක් සහිතව පුද්ගල රැචිය අනුව වරණයකින් තෝරා ගැනීමක් සිදු කොටය. අපේ මෙම පාවෙන වෙළඳසැල පිළිබඳව යොදා ඇති ඡායාරූප හා විස්තර බලා යම් විදේශීය සංචාරකයෙකු මෙයට ගොඩ වැදුණහොත් රටේම සායම යනු නිසැකය.
“දැනට තියෙන විදියට අපි මේ වෙළඳ සංකීර්ණය කරගෙන යනවා. ඉදිරියේ දී මෙය සංවර්ධනය කරන්නට හැකි වේවි කියලා අපි විශ්වාස කරනවා. මෙය රජයෙන් වියදම් කරලයි හැදුවේ. මේකෙන් ලැබෙන ආදායම ගොඩක් අඩුයි. ආයෙත් රජයෙන් වියදම් කරලා ප්‍රතිසංස්කරණය කරන්න අමාරුයි. ඒ නිසා පෞද්ගලික ආයතන සමග එකතු වෙලා මෙය සංවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතිනවා. මේ වසරේ දී අපිට හැකි අන්දමින් නඩත්තු කටයුතු කළා. ඇතැම් වෙළඳුන් ලබා දිය යුතු මුදල ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මෙහි ආදායමට වඩා නඩත්තු වියදම වැඩිවෙලා තියෙනවා. කිසි ආදායමක් නැතුව වියදම් කරලා වැඩක් නැහැ. ඒ නිසා ඉතා ඉක්මනින් පෞද්ගලික ආයතන හා සම්බන්ධ වෙලා සංවර්ධනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”
නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (දේපොළ වෙළදාම් හා ඉඩම් කළමනාකරණ) පී. ඒ. සී. ප්‍රියශාන්ත “ඉරිදා ලංකාදීපය” කළ විමසුමකට පිළිතුරු දෙමින් එසේ ප්‍රකාශ කළේය.
කෙසේ වුවද, මෙම ව්‍යාපෘතියේ භාරකරුවන් මේ බලා සිටින්නේ ඉතා විශාල මුදලක් වැයකොට ඉදිකළ ලංකාවේ පලමු පාවෙන වෙළඳ සංකීර්ණය බේරේ වැවේ පතුලටම කඩා වැටෙනතුරුද....?
දිශානි ජයමාලි කරුණාරත්න

