ඉවතලන ඇඟලුම්වලින් නව විලාසිතා


විලාසිතා නිර්මාණකරණය ලෝකයේ පරිසර දූෂණයට පිටිවහලක් වෙන කර්මාන්ත අතුරින් දෙවෙනි ස්ථානයට ගැනෙන්නේ යැයි සැලකේ.   එහි තිරසාර නොවන භාවිතයන්, විශේෂයෙන් රේඛීය පරිභෝජනය “භාවිතය” ඉවත දැමීම” බොහෝ විට තිරසාර සංවර්ධන ක්‍රියාදාමයන් යටතේ  විවේචනයට ලක් වෙමින් පවතී. 

නිසි පරිදි පාරිභෝගික අපද්‍රව්‍ය එකතු කිරීමේ, බැහැර කිරීමේ සහ ව්‍යුහගත ප්‍රතිචක්‍රීකරණය හෝ නැවත භාවිත කිරීමේ යාන්ත්‍රණයක් නොමැතිකම නිසා - ශ්‍රී ලංකාව තුළද මෙම රේඛීය පරිභෝජන ආකෘතියේ ප්‍රතිවිපාක වර්ධනය වෙමින් පවතින අතර, රෙදිපිළි ඉවත දැමීම හා පරිසරයට එකතු කිරීම අදෘශ්‍යමාන වුව ද, එය ඉතා අහිතකර අයුරින් සිදුවෙමින් පවතී. එක් පසකින් අපනයන ඇඟලු‍ම් සැකසීමේ කර්මාන්තය තුළින් ද, අනෙත් පසින් භාවිත කළ රෙදිපිළි ඉවත දැමීම තුළින් ද සිදුවන පරිසර ගැටලු‍ රාශියකි. කෙසේ වෙතත් අපනයන ඇඟලු‍ම් සැකසීමේ කර්මාන්තය පාරිසරික ප්‍රතිපත්ති නියාමන ආයතන හරහා අනුකූලතාවන් යටතේ නීති සහ රෙගුලාසි මත පදනම්ව සිදුවීම සැනසිල්ලට කරුණකි. නගරබද ප්‍රදේශවල ගෘහස්ත ඇඟලු‍ම් ඉවත දැමීම සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. මෙම පසුබිමට එරෙහිව මොරටුව විශ්ව විද්‍යාලයේ පර්‌යේෂකයින් විසින් මෙහෙයවනු ලබන “Fashion Graveyard to Green” පර්‌යේෂණ ව්‍යාපෘතිය කාලෝචිත මුලපිරීමක් ලෙස හැඳින්විය හැක. බොහෝ විට අපද්‍රව්‍ය ලෙස සලකනු ලබන ඉවත ලන ඇඳුම් - නිර්මාණකරණ චින්තනය හරහා ඉතාමත් අලංකාර විලාසිතා නිෂ්පාදන බවට පරිවර්තනය කළ හැකි ආකාරය, ඒවාට නව ජීවයක් සහ අර්ථයක් ලබා දිය හැකි ආකාරය මෙම ව්‍යාපෘතිය මගින් ගවේෂණය කරයි. මෙය දැන් විලාසිතා ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රවණතාවක් බවට පත්වී ඇත.


ඉහත සියලු‍ විලසිතා නිර්මාණය කර ඇත්තේ කරදියාන මිහිසරු අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ පුලුස්සා දැමීමට නියමිත අපද්‍රව්‍ය ගොඩකින් ලබාගත් ඇඳුම් වලිනි.
ඡායාරූපකරණය: ඉඳුනෙත් රණවීර (Fashion Design - පළමු වසර)
විලසිතා නිරූපණය: නෙත්මිණි දසනායක (Fashion Design - අවසාන වසර)
ස්ථානය: කරදියාන මිහිසරු අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය


ශ්‍රී ලංකාවේ භාවිත කළ ඇඟලු‍ම් අපද්‍රව්‍ය අර්බුදය 

ශ්‍රී ලංකාවේ භාවිතයෙන් ඉවත් කළ ඇඳුම් ප්‍රධාන වශයෙන් නාගරික ප්‍රදේශවල පාරිසරික අභියෝගයක් මතු කරමින් තිබේ. වාර්ෂිකව විශාල ඇඳුම් ප්‍රමාණයක් අවධානයට ලක් නොවී ඉවත දමනු ලබන අතර, රෙදිපිළි ප්‍රතිචක්‍රීකරණය සඳහා යටිතල පහසුකම් නොමැති වීම හේතුවෙන් ඒවා පරිසරයට එකතු වෙමින් තිබේ. මෙම ගැටලු‍වට විසඳුමක් ලෙස තිරසාර විලාසිතා නිර්මාණයේ නව සංකල්ප අනුව පරිසර හිතකාමී විලසිතා නිර්මාණකරණය (Sustainable Design) හා සජීවී භාවිත කාලයෙන් පසුව අතුරුදහන් විය හැකි “Design to Disappear” විලාසිතා නිර්මාණ සැලසුම් කිරීම කෙරෙහි ගෝලීය අවධානය යොමුව ඇතත්, බිම් මට්ටමේ යථාර්ථය වනුයේ භාවිතයෙන් පසු නව සංකල්ප ලෙස නැවත පෙනී සිටිය හැකි නිර්මාණ සඳහා සැලසුම් කිරීමේ අවශ්‍යතාවයි. අපද්‍රව්‍ය සම්පතක් ලෙස දැකීම සහ බැහැර කිරීම පරිවර්තනයක් ලෙස නැවත සිතා බැලීම මෙයට  විසඳුමකි. මෙම ගැටලුව පාරිසරික ගැටලුවක් පමණක් නොව සංස්කෘතිකමය වන අතර, ඒ මගින්  විලාසිතාවේ වටිනාකම, අනන්‍යතාව සහ ආයු කාලය පිළිබඳ යම් අදහස් මතු කරයි.

විලාසිතා ඇඟලු‍ම් අපද්‍රව්‍ය හරිතකරණය 

මෙම ව්‍යාපෘතිය මොරටුව විශ්ව විද්‍යාලයේ රෙදිපිළි හා ඇඟලු‍ම් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ආචාර්ය සුමිත් ගෝපුර, ආචාර්ය අයේෂා වික්‍රමසිංහ සහ කවිඳු ධර්මකීර්ති (පර්‌යේෂණ සහකාර) විසින් සිදු කරන ගවේෂණාත්මක හා නිර්මාණාත්මක පර්‌යේෂණයකි. විශ්ව විද්‍යාල සෙනෙට් පර්‌යේෂණ කමිටුවේ ආධාර හා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සහාය ඇතිව කරනු ලබන මෙම අධ්‍යයනය අරමුණු කරන්නේ ශ්‍රී ලංකාවේ භාවිත කළ ඇඟලු‍ම් පරිසර පද්ධතියට එක්වන ආකාරය සොයාබැලීම  සහ එසේ පරිසරයට එකතුවන ඇඟලු‍ම් වලින් නව නිර්මාණාත්මක  චින්තනයක් හරහා විලාසිතා නිපදවා, ඉවත ලන ඇඳුම් පරිසරයට හිතකර ලෙස භාවිතයට ගත හැකි ආකාරය  සොයා ප්‍රායෝගික විසඳුමක් ලබා දීමයි.

ඉවත ලන ඇඳුම්වල ජීවන චක්‍රය සොයා ගැනීම සඳහා පර්‌යේෂකයෝ කරදියාන මිහිසරු අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රධාන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථාන වෙත පිවිසෙමින් - කුණු ගොඩවල්වලින් අවසන් වන ඇඟලු‍ම්, භාවිත කළ එහෙත් වෙළෙඳපොළවල විකුණන ඇඟලු‍ම් සහ අවිධිමත් ලෙස නැවත සකස් කරන ලද ඇඟලු‍ම් නිරීක්ෂණය කර දත්ත රැස් කරයි. මෙම ඇඟලු‍ම් නියැදි විශ්ලේෂණය කිරීමෙන්, නිර්මාණාත්මක හා චිත්තවේගීය විලාසිතා ප්‍රතිනිර්මාණය මගින් ඇඳුමේ භාවිතය නැවත පණ ගැන්විය හැකි සහ එහි ආයු කාලය දීර්ඝ කළ හැකි ක්‍රම සොයා බලයි.  

කරදියාන මිහිසරු අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ පුලුස්සා දැමීමට නියමිත අපද්‍රව්‍ය ගොඩකින් ලබාගත් ඇඳුම්වලින් එකක් වන සුදු ලිනන් පිරිමි කමිසය මෙම ව්‍යාපෘතියේ සංකේතාත්මක ආරම්භක ලක්ෂ්‍යයක් බවට පත්විය. එහි පරිවර්තනය භෞතික පමණක් නොවේ - එය සංකල්පීය විය. ඉවත දමා ජරාවට පත් වූ කමිසය සෝදා, විෂබීජහරණය කර නව සංකල්පයක් ඔස්සේ සිතා බලා කාන්තා ඇඳුමක් ලෙස ප්‍රතිනිර්මාණය කර එයට අලු‍ත් කතාවක් පරිකල්පනය කරන ලදී. මෙහිදී මෙම නිර්මාණයට පුද්ගලාරෝපණය කිරීමෙන් ව්‍යාපෘතිය තුළින් ගැඹුරු ආඛ්‍යානයක් ගවේෂණය කරයි. කමිසයේ ජීවන ගමනේ  මතකයන්, අනන්‍යතාව සහ ඉතිහාසය ඔසවා තබයි. ප්‍රතිනිර්මාණය කරන ලද කාන්තා ඇඳුම මුල් කමිසයේ ස්වභාවයෙන් වෙනස් වූවත්, මූලික පිරිමි ඇඳුමේ තිබූ සියලු‍ උපාංග නව නිර්මාණයේදී යොදා ගැනීමට පර්‌යේෂකයන් වග බලාගත්තේ කිසිවක් නැවත ඉවත නොදැමීමේ  (Zero Waste) අභිප්‍රායෙනි. නව නිර්මාණයේ විශේෂ ලක්ෂණයක්  වන්නේ එය තිරසාර විලාසිතා ප්‍රවණතාව මෙන්ම ස්ත්‍රී පුරුෂ භාවයෙන් උදාසීන  “Genderless” සහ “Over Size” කාන්තා විලාසිතා ප්‍රවණතාව මත පදනම්ව නිර්මාණය කිරීමයි. එය පිරිමි කමිසයේ නැවත ඉපදීමක් වූයේ එහි කාලයත් සමග නැතිවූ පෙනුම සහ අගය ප්‍රතිෂ්ඨාපනය කිරීම පමණක් නොව, කමිසය නව්‍ය විලාසිතා සංකල්ප හරහා දැකීමයි. 

මෙම නිර්මාණ එකතුවේ තවත් කැපී පෙනෙන විලාසිතාවක් වන්නේ ඉවත දැමූ ජෝගර් කලිසමක් (Jogger Pant)  කාන්තා සායක් ලෙස ප්‍රතිනිර්මාණය කිරිමයි. මුල් ඇඳුමේ ඉණ පටිය, සියලු‍ම රෙදි ඇතුළුව සෑම උපාංගයක්ම නැවත භාවිතය හරහා පරිසර හිතකාමී සංකල්පයක් තුළින් ඇඳුමට නව ජීවයක් ලබා දී ඇත. ඇඳුමේ පහළ වාටිය වෙනස් කිරීම මගින් උස වෙනස් වන අකරයට සාය සකස්කර ගත හැක (Mini-Midi-Maxi)තිරසාර ඇඟලු‍ම් නිර්මාණකරණයෙන් එහි සෞන්දර්යාත්මක වටිනාකම හෝ සුවපහසුභාවය  මත ප්‍රශ්නයක් ඇති නොකරන ආකාරය මෙම ඇඳුමින් පෙන්වයි. මුල් ඇඳුමේ සියලු‍ උපාංග භාවිතය මගින් මෙම සාය “නැවත ඉවත නොදමන්න” යන ව්‍යාපෘතියේ ආචාර ධර්ම නිරූපණය කරයි. මෙම ව්‍යාපෘතිය ඇඳුම්වල රේඛීය ජීවන චක්‍රය වන “භාවිතය -> ඉවත දැමීම” යන සංකල්පයට බාධා කරන අතර එදිනෙදා ඇඳුම්වලට ප්‍රතිචක්‍රීකරණ අගයන් ඇතුළත් කිරීමට හිතාමතා දරන උත්සාහයක ප්‍රතිඑලයකි.

නවෝත්පාදන සහ ඒවායේ බලපෑම් 

මෙම ව්‍යාපෘතිය විශේෂ වන්නේ එහි තිරසාරභාවය, චිත්තවේගීය නිර්මාණකරණ ස්වභාවය, සහ එතුළින් උකහාගන්නා කතා පරිකල්පනය යන සම්මිශ්‍රණයයි. මෙය නැවත භාවිතය ගැන පමණක් නොව - එය සමාජයේ විලාසිතා නිර්මාණකරණ භූමිකාව ගැන නැවත සිතා බැලීමට අනුප්‍රානයක් සපයයි. නිර්මාණ චින්තනය නාස්තිය අවම කිරීමට යෙදීමෙන්, මෙම පර්‌යේෂකයන් වේගවත් විලාසිතා සම්මතයන්ට (Fast Fashion) අභියෝග කරන අතර, ඇඳුමක ජීවන කාලය දීර්ඝ කිරීමට උත්සාහ දරයි. පාරිභෝගිකයින් ඇඳුම් සමග සම්බන්ධ වන ආකාරය ද ව්‍යාපෘතිය මගින් ප්‍රශ්න කරයි - ඇඳුම්වල ජීවිත කතාවන් නව සංකල්පයන් හා මුසු කළහොත් ඒවා දිගු කාලයක් අගය කළ හැකි ද?

එපමණක් නොව, මෙම ව්‍යාපෘතිය විශ්ව විද්‍යාල ප්‍රමුඛ ඇඟලු‍ම් ප්‍රතිචක්‍රීකරණ පර්‌යේෂණ සඳහා ආදර්ශයක් සපයයි. එහිදී අපද්‍රව්‍ය කළමනාකරණය, චක්‍රීය ආර්ථිකයන් සහ පාරිසරික අධ්‍යාපනය තුළින් ජාතික ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් ලබා දේ. මෙය ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ පාරිසරික කුලුන සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අංක 9,11,12 සෘජුවම ආමන්ත්‍රණය කරයි.

ව්‍යාපෘතියේ ඊළඟ පියවර ලෙස පර්‌යේෂණ කණ්ඩායම එය පුළුල් කිරීමට පහත පරිදි සැලසුම් කරයි.

  • පුළුල් අධ්‍යයනයක් හරහා ඇඟලු‍ම් පරිසරයට එකතු වීමේ ක්‍රම අවබෝධ කරගැනීම සඳහා රට පුරා ඇති කසළ බැහැර කිරීම හා කළමනාකරණය කරන මධ්‍යස්ථාන  අධ්‍යයනය කිරීම. 
  • අපද්‍රව්‍ය ලෙස ඉවත් කරන ඇඳුම් විවිධාංගීකරණය කිරීම සඳහා දේශීය නිර්මාණකරුවන් සහ ශිල්පීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම.
  • ව්‍යාපෘති ප්‍රතිඵල දැනුවත්කිරීමට ප්‍රජාවන් සම්බන්ධ කර ගැනීම.
  • ඇඟලු‍ම්වල ජීවන චක්‍ර අධ්‍යයනය හා ඒවා ඩිජිටල් ලෙස ලේඛනගත කිරීම.
  • විලාසිතා අපද්‍රව්‍ය සහ තිරසරභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට බලපෑම් කිරීම සඳහා ව්‍යාපෘති සොයාගැනීම් ප්‍රකාශයට පත් කිරීම.
  • පාරිභෝගිකයන් මෙවන් විලාසිතා නිර්මාණ භාවිතය සඳහා නැඹුරු කිරීමට ඔවුන්ගේ චින්තනය සකස් කිරීම.

මෙම ව්‍යාපෘතියේ අවසාන ඉලක්කය වන්නේ කිසිදු ඇඳුමක් යල් පැන ගිය එකක් ලෙස නොසලකන සහ සෑම ඉවත ලන ඇඳුමක්ම නැවත ජිවය ලබාදීමට හැකි විලාසිතා පරිසර පද්ධතියක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමයි. 

විශේෂ ස්තූතිය: කරදියාන මිහිසරු අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය, මොරටුව විශ්ව විද්‍යාලයේ පේෂකර්ම හා ඇඟලු‍ම් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අංශාධිපති හා තාක්ෂණික  නිලධාරීන්.

නිරෝෂන් ප්‍රේමරත්න