
මිනිසෙකුට එකම වෘත්තියක නියැළිය හැකි කාලයේ උපරිමය කොපමණ ද? අවුරුදු 20 ක්? 30 ක් ? නැත්නම් 40 ක් විය හැකිය. එහෙත් පසුගිය සතියේ අප සොයාගිය අපූරු පුද්ගලයා දැනටමත් එකම වෘත්තියක 65 වසරක සේවා කාලයක් පූර්ණ කොට, තවදුරටත් අඛණ්ඩව සේවයෙහි ව්‍යාවෘතව සිටී. හේ නමින් කීර්ති බොතේජුය.
ලංකාවේ වාහන ඉතිහාසය ලියද්දී ඔහුගේ නමද රන් අකුරින් ලියැවෙනු ඇත්තේ, ලංකාවේ පමණක් නොව මුළු ආසියාවේම වැඩිම කාලයක් වාහන බැටරි අලෙවිකරු ලෙස ක්‍රියා කළ පුද්ගලයා ලෙසය.
“මම මේ බැටරි විකුණන බිස්නස් එකට බැස්සේ 1960 දී යි. ආමර් වීදියෙන් හැරිලා ජේතවනාරාමය පැත්තට යනකොට තිබුණා තොම්සන් ඉලෙක්ට්‍රිකල් කියලා කොම්පැණියක්. ”
කීර්ති කියන්නේ ඔය කියන සන්දියේ ලංකාවේ පාරවල වැඩිපුරම තිබුණේ ඉංග්ලිෂ් වාහන බවය.
“ඒ කාලේ කාර් බැටරි ඔක්කොම ගෙනාවේ එංගලන්තයෙන් තමයි. එක්සයිඩ් බැටරිය ගෙන්නුවේ බ්‍රවුන්ස් කම්පැණිය. වොකර් කම්පැණිය ගෙනාවා ලූකස් බැටරිය. ඩැගනයිට් බැටරිය ගෙනාවේ රෝලන්ඩ් කොම්පැණිය. අන්තිමට මේ කොම්පැණි තුනම එකතු වුණා ABM (Asian Battery manufactiory) කියලා ඒ 1966 දි”
කීර්ති කියන පරිදි එම කාර් බැටරිවලට අමතරව වෙනත් ඉම්පෝටර්ඩ් බැටරි වී ඇත්තේ vata, wilad සහ Mosc වර්ගයන්ය. ඒ අතරින් රෙඩිනයිට් redinite බැටරිය ආනයනය කොට ඇත්තේ ලාල් ඇන්ඩ් නිහාල් කොම්පැණියයි.
“1960 දි ඉතිං කාර් බැටරියක් කීයක් වුණා ද?” මම නැවත අසා සිටියෙමි.
“ඒ දවස්වල එංගලන්තෙන් ගෙනාපු ඇම්පියර් 90 බැටරියක් රුපියල් අනූවයි වුණේ.”
“දැන් ඒ බැටරිය කීයක් වෙනවා ද?”
කීර්ති බැටරි මිලගණන් සහිත කාඩ්පත පිරික්සා අපට පැවසුවේ වසර 2 ක වගකීම සමග එදා රු. 90 ට විකිණූ බැටරියේ අද මිල රු. 36,000ක් වන බවය. කීර්ති කියන්නේ ඔය කියන හැටේ දශකයේ මුල ලංකාවේ භාවිත කළ වාහන වර්ග අද බොහෝමයක් දැකගන්නට වත් නැති බවය.
“මොනවාද ඉතිං ඔය ඒ කාලේ තිබ්බ ඔය කියන කාර් වර්ග?”
“තාම දුවන්නේ මොරිස් මයිනර් වගේ කීපයක් විතරයි.”.

“එතකොට අනික් කාර් වර්ග මොනවාද? නැවත කීර්තිට පැනයක් යොමු කළෙමි.
බැටරිවලින් දුවන කාර් හුඟක් ජනප්‍රිය වුණේ නැහැ.
“ඒ කියන්නේ ඉතිං ඔස්ටින්, ෆොක්ස්වැගන්, බොගබාඩ්,බොග්වාඩ් ෆියෙට්, ෆෝඩ්, බෙන්ස්, කැඩිලැක්, චවලට්, ට්‍රැම්ප් හිල්මන්, හංසා, ප්‍රින්ස්, හිල්ටන්, ඕපල් වගේ තව ගොඩක් තිබ්බා.”
කීර්ති කියන්නේ ඩී.ඇස්. සේනානායක, බණ්ඩාරනායක, කොතලාවල වැනි ප්‍රභූන් බාවිත කොට ඇත්තේ ‘’කැඩිලැක්’ රථ බවයි.
“ඒ කාලේ ඉතිං වාහනවලට කියපු හුරතල් නම් මොනවාද?”
“ගොඩක් තිබුණා. ෆොක්ස්වැගන් කනේ මයිල්, දඬු ෆෝඩ් වගේ නම් ගොඩක් ලංකාවේ දාලා තිබුණා. දැන් ඒ වාහන පේන්නත් නැහැ.”
මේ කියන වකවානුවේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ වෙළෙඳපොළේ නොතිබූ අතර, වෑල් රේඩියෝ ඇසීමට භාවිත කොට ඇත්තේ කාර් බැටරි වීම විශේෂත්වයකි. කීර්තිට රැකියාව ලැබෙන විට ජීවත්වූයේ කෝට්ටේ එපිටමුල්ල පාරේය. මහා සාහිත්‍යවේදියෙකු වූ එදිරිවීර සරච්චන්ද්‍ර ගේ වාසභවන පිහිටා තිබුණේ ද මෙම එපිටමුල්ල පාරේමය. කීර්ති ගේ පියාගේ ජීවන මාර්ගය වූයේ සිල්ලර කඩයකි. 1960 වන විට ආමර් වීදියේ බැටරි කඩයේ අයිතිකරු වූයේ මකීම් මහතාය. බැටරි කඩේ සේවකයන් දෙදෙනා වූයේ හරමානිස් සහ පොඩි සිංඤෝ ය. ඔය කියන කාලේ කීර්ති, එතෙක් දැලිරැවුල වත් හරිහමන් විදියට ඇවිත් නොතිබූ දාහත් වැනි වියෙහි පසුවූ ගැටවරයෙකි .

පුෂ්පමාලා සුභසිංහ එකල ජනප්‍රිය ගායිකාවක විය. ඇගේ පියා සුභසිංහ කීර්ති ගේ නිවසට නිතර ආ ගිය අසල්වැසියෙක් විය. දිනක් කීර්තිගේ තාත්තාගෙන් ඔහු වෙත ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණි. “සුභසිංහ මහත්තයෝ මේ අපේ කොල්ලට මොකක් හරි ජොබ් එකක් හොයලා දෙන්නකෝ” යන්න එම ඉල්ලීම විය. සුභසිංහ වහා ක්‍රියාත්මක විය. පොඩි සිංඤෝ සේවය කළ ආමර් වීදියේ බැටරි කඩේ රැකියාවක් සොයා දීමට කීර්තිගේ පියාට පොරොන්දු විය.
“ඒ කාලේ බී.ජේ. කොම්පැණියේ බස් තිබ්බේ. කෝට්ටේ ඉඳන් ආමර් වීදියට යන්න සත16ක් ගියා. මගේ මුල්ම රස්සාව, දවස් පඩියට වැඩ කළේ. හවස් වෙනකොට පඩිය දෙනවා. දවස් පඩිය රුපියලයි. දිනකට රුපියලක පඩියක් කියන්නේ ඒ කාලේ ලොකු පඩියක්. බස් ගාස්තුව සත පහෙළාව ඉතුරු කරගන්න මායි පොඩි සිංඤෝයි සමහර දවසට පයින් එනවා. ඒ කාලේ කොල්ලන්ට ඕක මොකක්ද?
ඒ කාලේ කෝට්ටේ ඉඳන් වෙසක් බලන්න කොළඹ ගියෙත් කොල්ලො කට්ටිය පයින් තමයි”.
මේ අතර කීර්ති හා පොඩි සිංඤෝ බැටරි වැඩපළේ වැඩකරන අතරේ පොඩි පොඩි සිංඤෝ CTBඑකේ රැකියාවක් ලැබුණි. කීර්ති ඒ වන විට එම බැටරි කොම්පැණියේ වසරක් වැඩ කොට තිබුණි. එය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමාගේ කොළඹ වලව්ව තිබුණේ කීර්ති වැඩ කළ බැටරි අලෙවිසැලට හූවක දුරිනි. එය අද හැඳින්වෙන්නේ ‘බණ්ඩාරනායක මාවත’ ලෙසය.
“එතකොට බණ්ඩාරනායක මහත්තයා කැඩිලැක් කාර් එකේ බැටරිය පෙන්නන්න ඔතනට එනව ද?” මම කීර්තිගෙන් ඇසූවෙමි.
“මම ඔතන වැඩට එනකොට බණ්ඩාරනායක මහත්තයා වෙඩි තියලා මරලා. මට කලින් වැඩ කරපු අය නම් දැකලා තියෙනවා. ඔය කියන කාලේ අද වගේ අඩියෙන් අඩිය බැටරි කඩ තිබුණේ නෑ. වාහනයක් තිබුණෙත් එහෙමත් ගෙදරක තමයි.”
“ඔය පාරේ නම ප්‍රින්ස් ඔෆ් වේල්ස් මාවත නේ ද?” මගෙන් යළි පැනයකි.
බැටරි සමාගම් සම්මානත් දීලා
“ඒක සිරිමාවෝ මැතිනිය අගමැති වුණාම සිරිමාවෝ බණ්ඩාරනායක මාවත වුණා. අද ලංකාවේ වාහන බැටරි සහ ටයර්වලට ප්‍රසිද්ධ පාර තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මාවත කියන්නේ. හරියට හෙට්ටි වීදිය කිව්වාම රත්‍රං බඩු වගේ. මේ මං කියන ඉතිහාසය අවුරුදු 65 කට කලින් එකක්”
තොම්සන් ඉලෙක්ට්‍රිකල් ආයතනයට සමුදෙන කීර්ති, ඊළඟට එක්වන්නේ පංචිකාවත්තේ ටවර් හෝල් රඟහල අසල එඩිසන් ආයතනයටය.
“ඒක අයිති වෙලා තිබුණේ මැන්ඩිස් කියලා මහත්තයෙකුට. අවුරුදු දෙකක් විතර ඒකේ වැඩකළා. එතකොට 1974 විතර.”
“හැත්තෑ එක කැරැල්ල කාලේ මොකද කළේ ?” මම අසා සිටියෙමි.
“රස්සාවට යන්න තියා ගෙදරින් එලියට බහින්නවත් දුන්නෙ නැහැ.ඒ කැරැල්ල කාලේ පිටකෝට්ටේ පොත්ගුලටත් ගිනි තිබ්බා මතකයි.”
“ඉතිං 1988 ජේ.වී.පි. දෙවැනි කැරැල්ලෙ දි ආයිත් පොත්ගුල ගිනි තිබ්බා නේ ද?” මම කීර්තිට ඉතිහාසය මතක්කර දුන්නෙමි.
සිය වැටුපෙහි චාජ් එක වැඩි කරගන්නට අප කථානායකයා මරදානේ එඩිසන් ආයතනයේ සිට ඊළඟ කරනම ගැහුවේ දෙහිවල සිටි බැටරි වර්ක්ස් ආයතනයටය.
“ඒ කාලේ පිටකෝට්ටේ ඉඳන් 163 දෙහිවල බස් එකට ගාස්තුව කීයක් වුණා ද?”
“නෑ.නෑ. මම වැඩට ගියේ පිටකෝට්ටේ ගෙදර ඉඳන් පුෂ් බයික් එකේ ගාණක් ඉතුරු කරගන්නත් එක්ක”
මේ වනවිට කීර්ති අධිෂ්ඨානයක් කරගෙන සිටියේ තමාගේම බැටරි ව්‍යාපාරයක් ආරම්භ කිරීමටය.
“දෙහිවල බැටරි කඩේට ආපු එරික් ප්‍රනාන්දු මට දවසක් කිව්වා, මොරටුවේ කඩයක් දාන්න උදව් කරන්නම් කියලා. ටික දිනකට පසු රාවතාවත්තේ ’නිව් සිටි බැටරි වර්ක්ස්’ නමින් බැට්රි කඩයක් ඇරඹුවා.”

කලක් ගිය විට තම මල්ලිට මොරටුව බැටරි ආයතනය භාර කළ කීර්ති තම ව්‍යාපාරය නුගේගොඩට රැගෙන ආවේය. ගොඩනැගිල්ලේ මාසික කුලිය රු. 150 ක් විය.
“ඔය නුගේගොඩ සුපර් මාර්කට් එක තියෙන තැන ඒ කාලේ තිබ්බේ නාන ළිං පද්ධතියක්. අඩු තරමින් ඒක හදන්න මුල්ගලවත් තියලා තිබුණේ නැහැ.”
බැටරි ගෙනාවේ එංගලන්තයෙන්
කීර්ති කියන්නේ ඒ කාලයේ වාහන සඳහා භාවිත කර ඇත්තේ 6V බැටරිය බවය. එහෙත් අද භාවිත කරන්නේ 12V බැටරිය.
“ඒ කාලේ බැටරි ගැහුවේ හාඩ් රබර් Hard Rubber වලින්. අද වගේ ඒ කාලේ බැටරි අයින් කළේ නෑ. කෑල්ලෙන් කෑල්ල කපලා රෙපයාර් කරනවා බැහැපු ෂෙල් කපලා අයින් කරලා.”
මේ අතර 1977 යූ.ඇන්.පී. ආණ්ඩුව බිහිවීමත් සමග ලොව නන්දෙසින් විවිධ වෙළෙඳ නාම යටතේ පැමිණි බැටරි වෙළෙඳපොළ ආක්‍රමණය කරන්නට විය. කෙසේ වෙතත් ඉලෙක්ට්‍රික් කාර් අද ජනප්‍රිය වෙමින් පවතී. එයින් කෙරෙන්නේ චාජ් කරන බැටරියක් ආධාරයෙන් වාහනයක් ගමන් කිරීමය. එහෙත් හැටේ දශකයේ දී ද ලංකාවේ මෝටර් රථ ඉංජිනේරුවන් බැටරියෙන් ක්‍රියාත්මක වන වාහන නිපදවූවත්, ඒවා එතරම් ජනප්‍රිය නොවීමට හේතු වී ඇත්තේ ඒවා චාර්ජ් කර ගැනීමට ‘චාර්ජින් පොයින්ට් නොමැති වීම සහ එකල අඩු මිලට පෙට්‍රල් සුලභව ලබාගත හැකිව තිබීමයි.
ලංකාවේ පලමු පාසල වූ කෝට්ටේ ’ක්‍රිස්ටියන් කොලේජ්’ හි මූලික අධ්‍යාපනය ලැබූ කීර්තිට, ’ලලනි’ මුණගැහෙන්නේ තම මිතුරු බැටරි වෙළෙන්දෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වන්නට නුවර ගිය අවස්ථාවකය. සිය ජීවිතය ආරෝපණය කර ගැනීමට හෙවත් චාජ් කරගැනීමට කීර්ති අවසානයේ ලලනි සමග විවාහ විය.
දැන් සොයාගැනීමටත් නැති 6V කාර් බැටරි හා ඒවා අලුත්වැඩියා කරන උපකරණ තවමත් කීර්ති සතුව සිහිවටනක් ලෙස සුරක්‍ෂිතව ඇත.
“ඒ කාලේ සික්ස් වොට් බැටරිය (6V) දැන් බැටරිය වගේ උස නැහැ. ඇම්පියර් 60, 90, 110, 120 වගේම වැඩිම ඇම්පියර් ගාන 155 යි. ඊට පස්සේ ආවේ ටුවෙල් වොට් (12V ) ප්ලාස්ටික් බැටරි යුගයක්. ඇම්පියර් 45, 55, 62, 90, 120, 150 වගේම ඇම්පියර් 200 වෙනකම් තියෙනවා”
ඒ කාලේ වෑල් රේඩියෝ ඇහුවෙත් කාර් බැටරි චාජ් කරලා
මෙරට සුප්‍රසිද්ධ බැටරි සමාගම් කීර්තිට සම්මාන පුදකළ අවස්ථා බොහෝමයකි. හැටපස් වසරක් යනු දශක හයකටත් වැඩි කාලයකි. කීර්ති බොතේජු වැනි අඛණ්ඩව වසර 65 ක් බැටරි ව්‍යාපාරයේ යෙදුණ පුද්ගලයෙකු මෙම ක්ෂේත්‍රයේ සිටී දැයි, මෝටර් රථ වාහන රසිකයින් මෙන්ම මෙරට බැටරි ව්‍යාපාරිකයන් ද විමසා බැලිය යුතු කටයුත්තකි.
ලොවපුරා දැන් හඹා යන්නේ විද්‍යුත් වාහන රැල්ලකි. බොහෝ දෙනා අනාවැකි කියන්නේ පංචිකාවත්තේ වාහන අමතර කොටස් අලෙවිසල්වලට එය දැඩි අභියෝගයක් එල්ල විය හැකි බවය. ඊට හේතුව ඉලෙක්ට්‍රික් වාහන සඳහා ඔය මොන අමතර කොටසක් වත් අවශ්‍ය නැති නිසාය. අපි වාහනවල අංගෝපාංග ගැන, අවසන් වශයෙන් කීර්තිගෙන් විමසා සිටියෙමු.
“ඔය කොච්චර කිව්වත් - ඉලෙක්ට්‍රික් වාහන ඇවිල්ල එන්ජින් ඔයිල්, එන්ජින් පාට්ස් මොනවා නැති වුණත් ඕන කරන දෙකක් තියෙනවා. පෙට්‍රල්, ඩීසල් වාහනවලටත් එහෙමයි. මේ වාහන දෙවර්ගයටම ඕන කරන අත්‍යවශ්‍ය අංග දෙකෙන් එකක් තමයි ’බැටරිය. ඒක නැතුව වාහනය පණගන්වන්න බෑ. අනික ’ටයරය. ඒක නැතුව පාරේ දුවන්න බෑ.” හෙතෙම අවසන් වශයෙන් පැවසීය.
-මහින්ද රණවීර

