අපේ හෙද සේවාව ඩොලර් උල්පතක් කරගන්න පුළුවන්


හෙද හෙදියන් ලෝකයේ බොහෝ ලෙස හිඟතාවක් පෙන්වීම තුළ සමස්ත ලෝක සෞඛ්‍ය සේවාව ක්‍රමවත්ව පවත්වාගෙන යාම ඉතා අසීරු තත්ත්වයක පවතින අවස්ථාවක ඉතා දියුණු රටවල් තම සෞඛ්‍ය සේවාව ක්‍රමවත්ව පවත්වා ගැනීම සඳහා දියුණුවෙමින් පවතින රටවල්වලින් පුහුණු හෙද හෙදියන් ඉතා ඉහළ වැටුප් තල යටතේ තම රටවල් වෙත ගෙන්වා ගනිමින් පවතී.

ඇමරිකානු කම්කරු සංඛ්‍යා දත්තවලට අනුව පසුගිය වර්ෂ 2008 - 2018 තුළ ලියාපදිංචි හෙද හෙදියන්ගේ ඉල්ලුම ‍ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වන බව පෙන්වාදී තිබේ. එමෙන්ම මීට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව දියුණු රටවල ලියාපදිංචි හෙද සේවාවේ අවශ්‍යතාව එරට ජනගහනයට අනුව 75% සීමාව අභිභවා යමින් පවතී. මෙම හෙද හිඟය සපුරාලීම සඳහා නියත වශයෙන්ම දියුණුවෙමින් පවතින රටවල හෙද හෙදියන්ට ඉතා පුළුල් අවස්ථාවක් එළඹ ඇත.

හෙද සංක්‍රමණික ප්‍රවණතාව ඉතා පැහැදිලි දියුණුවෙමින් පවතින රටවලින් ඉතා ශීඝ්‍රයෙන් පුහුණු හෙද හෙදියන් ඉතා ඉහළ වැටුප්වලට අලෙවිවෙමින් පවතී. හෙද සංක්‍රමණික ක්‍රියාවලියේ ඉතා ඉහළින්ම සිටින රටවල් අතර ඉන්දියාව (කේරල/ තමිල්නාඩු) පිලිපීන් දූපත්, කැරිබියන් දූපත්, දකුණු අප්‍රිකාව සහ ඝානා හැඳින්විය හැක. හෙද හෙදියන්ට සංක්‍රමණයවීමට හේතු ලෙස විශේෂයෙන් තම වෘත්තියේ ඉහළ පිළිගැනීම, ඉතා යහපත් ලෙස සේවාව ලබාදීමට සුදුසු පරිසරයක් තිබීම, ඉහළ වැටුප් පරිමාණ, තම පෞද්ගලික ජීවිතයේ දියුණුවක් දැක්විය හැකිය. එමෙන්ම ඉතා වටිනා විශ්‍රාමික වැටුප් සැලසුම්, ක්‍රමවත් ජීවිත රක්ෂණ සැලසුම් දැක්විය හැක. මෙම ප්‍රතිලාභ තම උපන් රටේ හෙද සේවාව තුළ නොලැබීම නිසා බොහොමයක් හෙද හෙදියන් ඉතා දියුණු රටවලට තම සේවාව සැපයීම සඳහා සිය වෘත්තීය හැකියාවන් දියුණු කරගනිමින් පවතී. ශ්‍රී ලංකාව තුළ මෑතකදී ඇති වූ ආර්ථික පරිහානිය නිසා අප රටෙන් ද හෙද හෙදියන් ඉතා ශීඝ්‍රයෙන් සංක්‍රමණයවීමේ නැඹුරුතාවක් පසුගිය වර්ෂවල සෞඛ්‍ය අංශවල වාර්තා පෙන්නුම් කර ඇත. මෙම ප්‍රවණතාව නිසා අප රටේ ද සෞඛ්‍ය සේවයේ අඩාළවීමක් බලාපොරොත්තු විය හැක.

හෙද සේවාව හා බැඳී ඇති ඉතා කටුක වෘත්තීය අත්දැකීම් නිසා ඇතැම් හෙද හෙදියන් සිය රාජකාරිය වෙනත් රටවල් කරා ලබාදීමට මහත් උනන්දුවක් දක්වයි. එමෙන්ම දිගු සේවා මුර ඇතැම් අයට තම සේවාවේ අතෘප්තිමත් බවක් ගෙන දෙයි. එමෙන්ම හෙද සේවාව සහ රෝහල් වාට්ටුවල පරිපාලන ක්‍රියාවලිය ඇතැම් හෙද හෙදියන් අභියෝගයකට ලක් කරමින් සිටී. මීට අමතරව සේවය කරමින් හෙද සේවාවට අදාළ උසස් දැනුම ලබාගැනීම සඳහා ඉතා දුෂ්කර කටයුතු කිරීමට සිදුව තිබේ. ඇතැම් හෙද වෘත්තිය සංගම්වල ක්‍රියාකාරකම් ද තම සේවාව නිසි පරිදි පවත්වාගෙන යාමට අපහසු වී ඇත. සේවාව තුළදී ලබාගන්නා අමතර සේවාවන් පුහුණු වැඩසටහන්වල හිඟතාවක්ද ක්‍රමවත් සැලසුමකට අදාළව ක්‍රියාත්මක නොකිරීම, පුහුණු පාඨමාලා වෙනුවෙන් ලබන සහතික පත් සඳහා තවමත් ලකුණු ක්‍රමයක් නිර්මාණය නොවීම ඉතා කනගාටුදායක තත්ත්වයකි. Continuous professional development (cpd) point system

ශ්‍රී ලංකාවේ හෙද හෙදියන්ට විදේශ රටවල හෙද සේවාවට යොමු වීමට ඇති බලපෑම.

  • ඉංග්‍රීසි භාෂාව නිවැරදිව හැසිරවීමේ නොහැකියාව - සත්‍ය වශයෙන්ම මෙයට නතුවන්නේ හෙද හෙදියන් පමණක් නොවන අතර අප සමස්ත ජන සමාජයම ලෝකය තුළ අපව අසරණ කර ඇත්තේ එක්තරා දිනක අප දේශපාලන ඉතිහාසයේ අනුවණ ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසය.
  • ජාත්‍යන්තරයට ගැළපෙන ලෙස සෞඛ්‍ය සේවා පුහුණු රට තුළ අලුතෙන් නිර්මාණය නොවීම.
  • ඇතැම් දියුණු රටවල සුලභව භාවිත කරන සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති ක්‍රියා පිළිවෙත් (Protocols/policies)
  • ඉතා උසස් සායනික දැනුම, හෙද තොරතුරු තාක්ෂණය (Nursing Informatics) ඉතා සුළු වශයෙන් හෙද සේවාව තුළ ඇතුළත්ව තිබීම.

මෙම හිඩැස් තුළ ශ්‍රී ලාංකීය හෙද සේවාව ජාත්‍යන්තර සෞඛ්‍ය සේවාව වෙත යොමුකිරීම ඉතා අසීරු තත්ත්වයක පවතී.

ඉහත අභියෝග ජයගෙන ශ්‍රී ලංකා හෙද සේවාව සැලසුම් සහගතව දියුණු කරන්නේ කෙසේ ද?

හෙද හෙදියන්ට වෘත්තීයමය ඉංග්‍රීසි භාෂා විභාග සඳහා යොමුවීමට ඉතා පුළුල් පරිසරයක් රට තුළ නිර්මාණය කිරීම (IELTS) Informational English Language testing System, OET-Occupational English test, PTE - pearson test for English

  • මැද පෙරදිග හෙද සේවාවට අවශ්‍ය

(DHA Dubai Health Authority, Prometric exam) සඳහා ද පහසුකම් සැලසීම. එමෙන්ම ඇමරිකාවටම වෙන් වූ “Nclex” වැනි විභාග පැවැත්වීමට කටයුතු කිරීම.

ජාත්‍යන්තරව හෙද සේවාවේ අත්‍යවශ්‍යම අංශයන් සොයා ඒ වෙනුවෙන් අප හෙද පුහුණුව සහ හෙද සේවාව යාවත්කාලීන කිරීම

උ.දා:- (දැඩි සත්කාර හෙද සේවා පුහුණු පාඨමාලා වැඩිදියුණු කිරීම මන්ද විදේශ රටවල මේ සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතී.) මීට අමතරව කායික රෝගවලින් පෙළෙන සහ මරණාසන්නව සිටින රෝගීන් සඳහා වූ palliative Care, End of life care Nursing පුළුල්ව හැදෑරීම සඳහා රට තුළ අවස්ථා වැඩි දියුණු කිරීම. තව ද මහලු රෝගීන් වෙනුවෙන් කෙරෙන deriatice Nursing, රුධිර කාන්දුකරණ හෙද සේවාව (dialysis Nursing) පාඨමාලා පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණු පාඨමාලා ලෙස ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම සහ ව්‍යාප්ත කිරීම. එමෙන්ම හෙද සේවාව තුළ වර්ධනය සඳහා නව පාර්ලිමේන්තු ප්‍රතිපත්ති සැකසීම.

බොහෝ දියුණු රටවල හෙද වෘත්තීය සඳහාම වෙන්වූ continuous professional education points system ක්‍රියාවට ලක් කිරීම. එමෙන්ම එය වාර්ෂිකව හෝ ද්විවාර්ෂිකව ගණනය කර තම හෙද සේවා ලියාපදිංචිය අලුත් කිරීම හෝ යාවත්කාලීන කිරීම සිදු කරයි.

යුරෝපීය රටවල සහ මැදපෙරදිග රටවල හෙද සේවාව සහ අනෙකුත් රෝහල් කටයුතු සිදු කරන්නේ තොරතුරු තාක්ෂණ මෙවලම් සහ ඊට අනුබද්ධ වැඩසටහන් භාවිතයෙනි. නමුත් අවාසනාවකට අප රජයේ සේවය කරන හෙද හෙදියන් ඇතුළු අනෙකුත් රෝහල් සේවා සපයන අයට ද මෙම අවස්ථාව නොලැබී ඇත. එනමුත් අප රටේ පෞද්ගලික රෝහල් තුළ ඉතාමත් සැලකිය යුතු ලෙස තොරතුරු තාක්ෂණය භාවිත කරන අතර එය සේවාවේ වැඩිදියුණුවට ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාව තුළ බොහොමයක් හෙද හෙදියන්ට මෙම මෘදුකාංග (software) භාවිතය පිළිබඳ දැනුම් ඉතාමත් පහළ මට්ටමක පවතින නිසා ලෝකයේ දැනට පවතින ඉහළ හෙද ඉල්ලුම සඳහා ශක්තිමත්ව තරග කළ නොහැක.

ඉහත දැක් වූ තොරතුරු කෙතෙක් දුරට සාධාරණ දැයි තහවුරු කරගැනීමට මම කොළඹ ජාතික රෝහලේ ඉතා මෑතකදී වසර 36 ක සේවා කාලයක් අවසන් කර එමෙන්ම වසර 20ට ආසන්න කාලයක් හෙද කළමනාකාර සේවයේ සිටි විශ්‍රාමලත් මහත්මයකු සංවාදයට ලක් කළෙමි. ඔහු ප්‍රධාන ලෙස ඉස්මතු කළේ ඉංග්‍රීසි භාෂා ගැටලුවයි. එමෙන්ම වෘත්තීය දිවියට නිවැරදි ගමන් මගක් නොමැතිවීමය. සේවා කාලය තුළ ලබන පුහුණු වැඩසටහන් සඳහා ලකුණු ලබාදීමේ ක්‍රමයක් නොමැතිවීමය.

වර්තමානයේ බොහොමයක් හෙද හෙදියන් රැකියාව සඳහා යොමු වන්නේ ඉතා දුෂ්කර පළාත්වලිනි. මෙම පවුල් බොහෝමයක් මධ්‍යම පාන්තික සහ ඉතා අඩු ආදායම් ලබන අය ය. මෙ නිසා බොහොමයක් හෙද හෙදියන්ට තම වෘත්තීය දියුණුවට වඩා සිය පවුලේ ආර්ථිකය දියුණු කිරීමට වැයවීමට සිදුවේ.

මේ නිසා මුල්පත්වීම ලබා නගර ආශ්‍රිත රෝහල් සඳහා පැමිණෙන හෙද හෙදියෝ වසර 2-5 අතර කාලසීමාව තුළ වාර්ෂික ස්ථාන මාරු ලබා තම නිවස ආශ්‍රිත රෝහල්වලට යොමුවෙති. විශ්‍රාම යන තුරුත් කිසිම වෘත්තිය දියුණුවක් නොමැතිව සිය වටිනා සේවාව අවසන් කරති.

මේ සම්බන්ධයෙන් දැනට සේව​ෙය් යෙදී සිටින හෙදියන් ගේ පොදු අදහස මෙසේ දැක්විය හැකිය.

  • රජය මඟින් විදේශ හෙද සේවාව සඳහා අවශ්‍ය ප්‍රමාණවත් අනුග්‍රහයක් නොමැතිවීම.
  • ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට තිබෙන බිය. එය හැදෑරීමට තිබෙන අකමැත්ත.
  • සේවය කරන ස්ථාන තුළ විවිධ හේතුන් මත ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ අපහසුතා.
  • ඉතාමත් අඩු හෙද හෙදියන් ප්‍රමාණයක් වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුවීම.
  • හෙද හෙදියන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉතා අඩු බව
  • අනෙකුත් සේවා කාර්ය මණ්ඩල තුළින් ඇතිවන බලපෑම
  • හෙද හෙදියන් පිළිබඳව ඇති ගතානුගතික මත

දැනට එංගලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකික හෙදියක් විදේශ සේවයට යැවීමේදී දියුණු විය යුතු කරුණු කිහිපයක් අනාවරණය කළාය.

  • හෙද හෙදියන් වෙනුවෙන් සිදු කරනු ලබන පුහුණු පාඨමාලාවට නිසි ප්‍රමිතියක් යටතේ වටිනාකමක් ලබා දී එය ශ්‍රී ලංකා හෙද සභාවේ දත්ත පද්ධතිය තුළ ලියාපදිංචිව ඇති එක් එක් හෙද හෙදියන්ගේ ලිපිගොනුවලටත් ඇතුළත් කිරීම.
  • එමගින් විදේශීය රටවල හෙද සභාවන්ට එය පහසුවෙන් ප්‍රවේශනය කිරීමේ හැකියාව ලබාදීම.
  • ශ්‍රී ලංකා හෙද සභාව මගින් දැනට ලබාදෙන හෙද සේවාවන් තවදුරටත් වැඩි දියුණු කිරීම.
  • දැනට ලබාදෙන හෙද ලියාපදිංචිය අවම වශයෙන්වත් වසර පහක කාල සීමාවකට යටත්ව ලියාපදිංචි අලුත් කිරීම. එහිදී එක් එක් හෙද හෙදියන් ලබාගෙන තිබෙන අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය ඇගයුමකට සහ ගණනයකට ලක් කිරීම.

වත්මන් රජයේ රට සංවර්ධනය කිරීමේ එක් ක්‍රියා මාර්ගයක් ලෙස රටට අවශ්‍ය විදේශ ප්‍රේෂණ වැඩි කර ගැනීමට අප සතුව පවතින හෙද සේවාවක් ඉහත ක්‍රම ඔස්සේ වැඩිදියුණු කර ලෝක හෙද සේවාව සඳහා පුරප්පාඩු වන හෙද හෙදියන් අපනයනය කරන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව නිතැතින්ම පත් කළ හැක. මෙය සැලසුම් කර ක්‍රමවත්ව පවත්වාගෙන යාමෙන් ඉතා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් දිගුකාලීනව ලබාගත හැක. සරල වශයෙන් කිවහොත් අප හෙද සේවාව විද්‍යාත්මක ලෙස වර්ධනය කළ යුතුය. එය හෙද සේවාවට නව අගයක් එකතු කිරීමකි. (Value added Service)

කොලින් ශ්‍රියන්ත කාරියවසම්
MN (OUM) මැලේසියාව
ලියාපදිංචි හෙද නිලධාරි - ශ්‍රී ලංකා හෙද සභාව
දැඩි සත්කාර හෙද සේවය.