අන්තර්ජාලයේ අපයෝජනය වෙන දකුණු ආසියාවේ ළමයි


දකුණු ආසියාවේ සෑම ළමුන් අට දෙනෙකු ගෙන් එක් අයෙකු - වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර ලිංගික අතවරවලට ලක්වන බව නව වාර්තාවකින් හෙළි වී තිබේ.

“ගෝලීය ළමා ලිංගික සූරාකෑම සහ අපයෝජනය පිළිබඳ දර්ශකය (ITL දර්ශකය 2025)” අනුව බටහිර යුරෝපය සහ දකුණු ආසියාව පුරා පුද්ගල සහ මාර්ගගත යන ක්‍රමවේද හරහා සිදුකරන ලද සමීක්ෂණයක 2024 වාර්තාවෙන් මෙම කරුණ අනාවරණය වෙයි. 

ගෝලීය ළමා ආරක්ෂණ දත්ත ආයතනයක් වන චයිල්ඩ් ලයිට් ආයතනය  විසින් නිකුත් කරන ලද මෙම වාර්තාව, මෙම කලාපයේ ළමුන් පුද්ගලිකව සහ තාක්ෂණය අවභාවිත කිරීම  නිසාවෙන්  ලිංගික අපයෝජනයන්ට ලක්වීමේ භයානක  පැතිකඩක් පෙන්නුම් කරයි. 

පර්‌යේෂණයට අනුව, කලාපයේ ළමුන් අට දෙනෙකු ගෙන් එක් අයෙකු වයස අවුරුදු 18 ට පෙර දූෂණයට හෝ ලිංගික අතවරයට ලක් වේ. මේ අනුව ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල නියෝජිත සමීක්ෂණ දත්ත ඇතුළත් වාර්තා වෙන් හෙළි වූයේ සමස්ත  ළමුන්ගෙන් සියය12.5 ක් මෙම අපරාධයට ලක්වන අතරම, ඉන් සියයට 14.5 ක්  ගැහැනු ළමයින් සහ සියයට 11.5 ක් පිරිමි ළමුන් බවයි. මෙම වාර්තාවට අනුව සමස්ත රටවල් තුන තුළ පමණක් ළමුන් මිලියන54 ක් පීඩාවට පත්ව ඇති බවට ගණන් බලා තිබේ.

ගෝලීය ළමා ලිංගික සූරාකෑම සහ අපයෝජනය පිළිබඳ වාර්තා වූ දත්තයන් පැවතුණ ද, අඩුවෙන් වාර්තා කිරීම සහ පවතින දත්තවල හිඩැස් හේතුවෙන් සැබෑ ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස වැඩි විය හැකි බව ද එම වාර්තාව සඳහන් කරයි.

එය අන්තර්ජාලය හරහා සිදුවන ළමා ලිංගික සූරාකෑම් සහ තාක්ෂණ‍යේ දියුණුව අවභාවිතයෙන් සිදුවන අපයෝජනයන් බව වාර්තාව අනතුරු හඟවන අතරම, මේ අතරට බලහත්කාරයෙන් හෝ එකඟතාවකින් තොරව ලිංගික රූප බෙදා ගැනීම්, බලහත්කාරයෙන් කාමුක දර්ශනවලට යොමු කරවා ගැනීම් සහ සජීවී ලිංගික වීඩියෝවන් බෙදා හැරීම් ද ඇතුළත් ය.

මෙම සොයාගැනීම්වලින් හෙළි වන්නේ පසුගිය වසර තුළ AI- තාක්ෂණය උපයෝගී කරගෙන ළමා ලිංගික අපයෝජන සියය1,325 කින් ඉහළ ගොස් ඇති බවයි. එයට හේතු වී ඇත්තේ  ළමා ලිංගික අපයෝජනය ද්‍රව්‍යයන් ය. ළමා ලිංගික අපයෝජනය ද්‍රව්‍ය (CSAM) යනු ළමයින් ලිංගිකව සූරාකෑම හෝ අපයෝජනය නිරූපණය කරන රූප, වීඩියෝ හෝ වෙනත් දෘශ්‍ය අන්තර්ගතයන් ය. එහි දී දරුවන්ගේ සැබෑ මුහුණත් ඡායාරූප ලිංගික රූපවලට එක් කරමින් විකෘතිසහගත ලෙස සකසා ප්‍රදර්ශනය කිරීම ඇතුළත් වේ.

ගෝලීය නිරීක්ෂණ ආයතන වන අතුරුදන් වූ සහ සූරාකෑමට ලක් වූ දරුවන් සඳහා වූ ජාතික මධ්‍යස්ථානය (NCMEC) සහ INHOPE ට අනුව, දකුණු ආසියාව තුළ, පරිගණකවලින් අනාවරණය කරගත් ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය (CSAM) වලින් බහුතරයක සත්කාරකත්වය දරන්නේ ඉන්දියාව, බංග්ලාදේශය සහ පකිස්ථානයයි. සාමූහිකව, මෙම රටවල් තුන කලාපයෙන් ආරම්භ වන සියලුම වාර්තා සඳහා වගකිවයුතුය.

2024 දී පමණක්, NCMEC විසින් ඉන්දියාවට සම්බන්ධCSAM වාර්තා 2,252,986 ක්, බංග්ලාදේශය සම්බන්ධ 1,112,861 ක් සහ පාකිස්ථානය සම්බන්ධ 1,036,608 ක් වාර්තා කර ඇත.

චයිල්ඩ්ලයිට් හි විශ්ලේෂණය NCMEC සහ INHOPE වෙතින් ලබාගත් දත්ත භාවිත කරමින් ‘CSAM ලබා ගැනීමේ අනුපාතය’ ගණනය කරයි. එනම් ජනගහන ප්‍රමාණයට සාපේක්ෂව වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවයි.

දකුණු ආසියාවේ ඉහළම අනුපාතය මාලදිවයිනෙන් වාර්තා වූ අතර, පුද්ගලයින් 10,000 කට CSAM ලබා ගැනීම් 94 ක් වාර්තා වූ අතර, බංග්ලාදේශය (64.1) සහ පකිස්ථානය (41.3) දෙවන ස්ථානයේ පසුවිය. භූතානය සිව්වන ස්ථානයේ පසුවන අතර, ඇෆ්ගනිස්ථානය (28.9), ශ්‍රී ලංකාව (27.8) සහ නේපාලය (19.4) දෙවන ස්ථානයේ පසුවේ.

ඉන්දියාවේ නිරපේක්ෂ සංඛ්‍යා ඉහළ මට්ටමක පැවතුණද, කලාපයේ අඩුම සමානුපාතික අනුපාතය වාර්තා විය.

පවතින දත්තවලට අනුව, දකුණු ආසියාවේ ගැහැනු ළමයින් බහුතරයක් පීඩාවට පත්ව සිටිති. ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල ලිංගික අතවරවලට ගොදුරු වූවන් ගෙන් බහුතරය කාන්තාවන් වන නමුත්, සංස්කෘතිමය සහ වෙනත් හේතු පදනම්ව මෙම පිරිස අතර පිරිමි ළමුන් පිළිබඳව වාර්තා වන්නේ ඉතා අඩුවෙනි. 

සමීක්ෂණ සහ ගෝලීය දත්ත මත පදනම්ව, පවුල් ළමා ලිංගික සූරාකෑම සහ අපයෝජනය ප්‍රධාන වුවද, ඒ පිළිබඳව නිශ්චිත දත්ත නොමැති වීම කනගාටුවට කරුණකි. සිදු කරන ලද පාර දත්ත විශ්ලේෂණයෙන් හෙළි වන්නේ“ස්වයං-ජනනය කරන ලද” ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍යයන්හි (CSAM), සැලකිය යුතු වැඩිවීමක් ඇති බවයි.

එනම්, තරුණයින් විසින්ම නිෂ්පාදනය කරන ලද එවැනි අසභ්‍ය ඡායාරූප පිටුපස ඇති අරමුණු තීරණය කිරීම බොහෝ විට සංකීර්ණ බව වාර්තාව අනතුරු හඟවයි. සමහර අවස්ථාවල දී, එකී ඡායාරූප සහ වීඩියෝ සම වයසේ මිතුරන් අතර කලහකාරී අන්තර්ක්‍රියා පිළිබිඹු කරන අතරම, එවැනි   අනවශ්‍ය ලිංගික ඡායාරූප සහ විඩියෝවන් බලහත්කාරයෙන් ලබා ගැනීම්, බෙදාහැරීම් සහ ඒවා ලඟ තබාගෙන කප්පම් ගැනීම් පිළිබඳව ද තොරතුරු හෙළිවේ.

මෙය නවතම ප්‍රවණතාව ලෙස හඳුනා ගෙන ඇති CSAMපිළිබඳ පුළුල් අවබෝධයක් Childlight ආයතනය ඉල්ලා සිටින අතරම, යුරෝපයේ විවාදයට භාජනය වන නියාමන ප්‍රතිසංස්කරණවලට සමාන නියාමන ප්‍රතිසංස්කරණ යෝජනා කරමින්, චයිල්ඩ්ලයිට් දකුණු ආසියාවේ රජයන් ගෙන් පෞද්ගලිකත්ව අයිතිවාසිකම් සහ ළමා ආරක්ෂාව අතර සමතුලිතතාවක් ඇති කර ගන්නා ලෙස ඉල්ලා සිටී.

යථෝක්ත දත්ත වාර්තාවන්ට අනුව ලංකාවේ වර්තමාන තත්ත්වය දෙසද අවදානය යොමු කිරීම ඉතා වැදගත් ය. 
එහිදී 2024ට සාපේක්ෂව 2025 වර්ෂ‍ය තුළ ළමුන් ලිංගික අපයෝජනයන්ට ලක් වූ අවස්ථා බොහෝය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දත්තවලට අනුව මෙම වසරේ ජනවාරි 1 වන දින සිට ජූලි 31 දක්වා මුල් මාස හත තුළ යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 44ක් වේ. ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 141 ක්, ලිංගික අතවර පිළිබඳ පැමිණිලි 330ක් සහ ස්ත්‍රී දූෂණ පිළිබඳ පැමිණිලි 32 ක් වාර්තා වන අතරම, මෙම කාල සීමාව තුළ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ළමා හිංසනයට අදාළවය. එම සංඛ්‍යාව 1,126 කි. තවද ළමා  ජාවාරම සම්බන්ධයෙන් පැමිණිලි 125 ක් සහ ළමා ශ්‍රමය සම්බන්ධ පැමිණිලි 82 ක් ද සඳහන් විය.

එපමණක් නොව, මෙම වසරේ මුල් මාස හත තුළ දරුවන්ට එරෙහි සයිබර් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අධිකාරියට පැමිණිලි 81 ක් සහ ස්වයං-හානියට අදාළ පැමිණිලි 10 ක් ද, මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 63 ක්, ළමා විවාහ තුනක් සහ පැහැරගැනීම් සම්බන්ධ සිදුවීමක් ද ඒ අතර වේ.

ගෝලීය වශයෙන් සහ ලාංකීය වශයෙන් යන දෙයාකාරයෙන්ම සිදුවන ළමා ලිංගික අපචාර සහ අපයෝජනයන් පිළිබඳව අවදානය යොමුකළ යුතුය. 

කත්මන්දු පෝස්ට් වාර්තාවක් ඇසුරෙන්
සටහන - මධුෂා දිල්ෂානි