
ඉන්දියාවේ රංචි මොරබාඩ් බිරිසා මුණ්ඩා ක්‍රීඩාංගණයේ (birisa munda Athletic stadium) පසුගියදා දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ආසියාවේ වේගවත්ම කාන්තාව ලෙස අභිෂේක ලබන්නට ශ්‍රී ලංකාවේ මොහොමඩ් ශෆියා යමික්ට හැකියාව ලැබුණි. වයස අවුරුදු විසි හයක් වූ ශෆියා මීටර් 100 තරගය අවසාන කළේ තත්පර11 . 53 කිනි. මීට200 සහ මීටර් 100* 4 ඉසව්වලට සහභාගි වූ ශෆියා එම ඉසව් දෙකෙහිම රන් පදක්කම් ලක්මාතාවට ගෙන හිමිකර දෙමින් නවතම වාර්තාවක් පිහිටුවීමට සමත් වූවා.
සම්ප්‍රදායට අභියෝග කරමින්, වෙනස්ම මාවතක් ඔස්සේ ගමන පටන් ඇය මේ මොහොත වන විට දකුණු ආසියානු වේගවත්ම කාන්තාව ලෙස ඉතිහාස පොතට එක් වී හමාරය. තත්පර කිහිපයක් තුළ දී මහ බලාපොරොත්තු ගොන්නක් සැබෑ කරමින් ඉන්දියාවේ දී සිංහ කොඩිය තෙවරක්ම ඉහළට එසවන්නට සමත් වූ ඒ පුංචි කෙල්ල ආ ගමන කෙතරම් දුෂ්කර වුවත් ඇයගේ මුහුණේ ඇඳෙන සිනහව, සැහැල්ලුකම හරි අපූරූය. ඉරිදා ලංකාදීප අප ඇය සමඟ ඒ සතුට විඳගත් මොහොතයි මේ.
ඉරිදා ලංකාදීප අපෙන් සුබ පැතුම්...?
“ගොඩක් ස්තූතියි ඒ සුබ පැතුමට”...
රන් පදක්කම් තුනක්,
දැන් මොකද හිතෙන්නේ ?
“ගොඩක් සතුටුයි. මේ දවස් කීපයේ දී ලංකාවේ බොහෝ දෙනා මුණ ගැහිලා එයාලගෙ සුබපැතුම් මට ලබලා දුන්නා. අම්මෝ... ආදරය සුබ පැතුම් ගොඩ ඒක මට හිතාගන්නවත් බැහැ. මාරම මාර සතුටුයි. ඒ මට විශ් කරන, මට ආදරේ කරන, හැමෝටම මම හරි ආදරෙයි. මගේ රටට, මගේ රටේ ජාතික කොඩියට මම හරි ආදරෙයි .”
මේ ජයග්‍රහණය පිටුපස තියෙන ලොකුම හයිය ශෆියාගේ අම්මයි තාත්තයි ?
“ඇත්තම ඔව්. මගේ අම්මයි තාත්තයි නැත්නම් අද මම මෙතන නැහැ. මගේ අම්මාගෙ තාත්තාගේ ආරක්ෂාව, ආදරය අදටත් එහෙමමයි. මම ඉපදුණු කාලේ ඉඳන් අද දක්වා මට ඒ දෙන්නගේ ආරක්ෂාව තියෙනවා. තාත්තා මගේ පස්සෙන්මයි. මගේ තාත්තා තමයි මට ඒ දේවල් පවා තාමත් කරලා දෙන්නේ.
තාමත් තාත්ත තමයි මගේ සපත්තු දෙක හෝදන්නේ එයාට තාම මාව පොඩි දරුවෙක් වගෙයි. තාමත් මගේ ඇඳුම් පවා පුහුණුවලට ලෑස්ති කරලා දෙන්නේ මගේ අම්මා. මට කන්න බැහැ කිව්වහම මොන මොනවා හරි කියලා කොහොම හරි එකතුවෙලා මට කවන්නේ නංගිලා දෙන්නා. මම ගෙදර ඉන්න දවස්වලට මගේ අතින් කෑම කන්නේම නැති තරම්. මට කෑම ටික පවා කවන්නෙත් මගේ අම්මා හරි තාත්තා හරි. අවුරුදු විසි හයක් වෙලත් ඒ දෙන්නා මාව පුදුම ආදරෙන් බලා ගන්නවා. ඒ දෙන්නා නැති වුණොත් මම මොනවා කර ගනීද කියලා මම දන්නේ නැහැ. එච්චරටම මම එයාලට ආදරෙයි. ඒ වගේම තමයි ක්‍රීඩා පැත්තෙන් ඉස්සරහට එද්දී ගොඩාක් අභියෝගවලට මුහුණ දෙන්න වුණා. සමහර අවස්ථාවල බලපෑම් ආවා මාව ක්‍රීඩාවට යොමු කරන්න එපා. ගෙදර වැඩ පුරුදු කරලාගේ ඇතුළේ තියා ගන්න කියලා. මම කොටට ඇඳලා දුවනවා ඒවා ටීවීවල පෙන්නනවා. අපේ ඉස්ලාම් ආගමේ සංස්කෘතිය හැටියට ඒක බාධාවක් කියලා සමහර අවස්ථාවල ගැටලු මතු වුණා. නමුත් අම්මායි තාත්තායි මගේ හීනෙට යන්න මට ඉඩ හදලා දුන්නා.”
එදා ඉන්දියාවේ තරගයට ඉදිරිපත් වුණු දවසේ අවසාන තත්පරේ දී ශෆියට මොකද හිතුණේ..?
“මම ලංකාවේ මොන තරඟයක් තිබුණත් ඒ තරඟයට කලින් පෙර සූදානමක් කරලා අනිවාර්යෙන්ම තාත්තිට කෝල් කරනවා. එහෙම කතා කරලා “තාත්ති.. අම්මේ... මම දැන් දුවන්න යන්නේ මට හොඳට දුවන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න” කියලා කියනවා. හැබැයි ඉන්දියාවේ ගියාම මට ඒ අවස්ථාව මගහැරුණා. ලංකාවෙන් ඉන්දියාවට යද්දි මම රෝමින් හදාගෙන ගියේ නැහැ. ඒ වෙලාවේ මට wifi වලින්වත් ඒ දෙන්නා සම්බන්ධ කරගන්න බැරි වුණා. ඒ වෙලාවේ ඇත්තටම මට ඇඬෙන්න තරම් දුකක් දැනුණා. ඒත් මට අඬන්න බැහැ. මම සිහිනයක් දකින්නයි තිබුණේ. ඒ මගේ අම්මාගෙයි තාත්තාගෙයි සිහිනේ. ඉන්දියාවට එද්දි මට අම්මා කිව්වා “ඔයා තරඟය දුවන්න හදද්දී ආගම සිහි කරගන්න. මොන දේ වුණත් ඔයාට අල්ලා දෙවිඳුන් ඉන්නවා” කියලා . හැම ආගමකම ආශිර්වාදයත් මට තිබුණා කියලා මම විශ්වාස කළා. කතා කරන්න බැරි වුණ නිසාද මන්දා දුවන්න සූදානම් වුණු අන්තිම තත්පරේදිත් මගේ අම්මාගෙයි තාත්තාගෙයි මුහුණු මැවිලා පෙනුණා. ඒ දෙන්නා ඒ මොහොතේ මගේ ළඟ නොසිටි එක ගැන මට දුකක් තිබුණත් ඒ දෙන්නාගේ ආශීර්වාදය තරඟාවලිය පුරාම මට තිබුණා.

ජයග්‍රහණයෙන් පස්සේ තාත්තා මුලින්ම මොකද කිව්වේ?
“ඔයා ඒක කළා” කියලා කෑ ගහලා කිව්වා. තාත්තාගේ කඩහඬින් එයාට සතුට කොච්චර කියලා මට දැනුණා. මම ලංකාවන් ඉන්දියාවට ගියේ රන් පදක්කමක් ගේනවා කියලයි. ඒ දේ මම කළා.”
ශෆියා බයිසිකලයක් අරගෙන දෙන්න පොරොන්දු වුණේ කාටද...?
“ඒ මගේ ලොකු අක්කාගේ පුතාට. එයාගේ උපන් දිනයට මගෙන් බයිසිකලයක් ඉල්ලුවා. එයාගේ පුංචි ආසාව ඉෂ්ට කරන්න එතකොට දෙන්න මගේ අතේ සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා “මම රන් පදක්කමක් අරගෙන ලංකාවට ආවොත් මම ඔයාට අනිවාර්‌යෙන්ම බයිසිකලයක් අරගෙන දෙන්නම් “ කියලා මම පොරොන්දු වුණා. මම රන් පදක්කම ගත්තු වෙලාවෙ තාත්තාගෙනුයි අම්මාගෙනුයි පස්සේ මට කතා කළේ අක්කාගේ පුතා. කෝල් කරලා “දැන් ඔයා දින්නනේ... දැන් මට බයිසිකලේ හම්බ වේවි නේද” කියලා ඇහුවා.
“මෙවැනි ජයග්‍රහණයක් ලැබෙයි කියලා විශ්වාසයක් ශෆියාට තිබුණද...?
“ ඇත්තම කිව්වොත් රන් පදක්කම් ගැන මට විශ්වාසේ තිබුණේ මීටර් 100 සහ මීටර් 100X4 විතරයි. මීටර් 200 රන් පදක්කම බලාපොරොත්තුවෙන් ඉන්දියාවට ගියේ නැහැ. ඒ වෙද්දී ඉන්දියානු ක්‍රීඩිකාව මට වඩා හොඳ කාලයක් වාර්තා කරලයි තිබුණේ. හැබැයි අවසානයේ දී ඒ රන් පදක්කමත් මගේ රටට ගෙන එන්නට මට පුළුවන් වුණා.”
මේ ජයග්‍රහණය වෙනුවෙන් යුද හමුදාවෙන් ලැබුණු සහයෝගය කොහොමද...?
යුද හමුදාවේ දෙවන සංඥා බලකායට සම්බන්ධ වුණේ 2020 වසරේදී. එදා සිට අද දක්වාම යුද හමුදාවෙන් මට ලොකු සහයෝගයක් ලබලා දෙනවා. කවදාවත් අපව හිර කරලා නැහැ. ක්‍රීඩාවට යොමුවෙන්න පූර්ණ නිදහස නිතරම ලබලා දුන්නා. ඒ සහයෝගය නොතිබුණා නම් මේ ජයග්‍රහණය ලංකාව වෙනුවෙන් ගෙනෙන්න මට අවස්ථාව ලැබෙන්නේ නැහැ. යුද හමුදාපතිතුමා ඇතුළු යුද හමුදාවේ සියලුම දෙනාට මම මේ මොහොතේ ස්තුති කරනවා. ඒ වගේම මගේ පුහුණුකරු සුමිත් විතානගේ සර්ටත් මම ගොඩාක් ස්තුති කරනවා. ඉන්දියාවේදී මගේ හිතට හැම හයියක්ම ලබල දුන්නේ ඔහුයි.
ශෆියාගෙ තාත්තාගෙන් එයාගේ ක්‍රීඩා කටයුතුවලට ලොකු සපෝට් එකක් පුංචි කාලේ ඉඳන්ම ලැබුණා
දවසක් දුවගේ තාත්තා දුව සෙල්ලම් කරන තරගයක් බලන්න මාවත් එක්ක ගෙන ගියා. එතන දී දුවට ලැබෙන ආරක්ෂාව, ආදරය, වගේම එයාගේ දක්ෂතාව ගැන එයා මට පහදා දුන්නා. එදා මගේ දුව ගැන මට පුදුම හිතුණා
මේ ලැබුණ ජයග්‍රහණයත් එක්ක ඉදිරියේදී ශිෂ්‍යත්වයක් හෝ ලැබී යුරෝපා රටකට යන්නට අවස්ථාව ලැබුණොත් ශෆියා මේ රට අතහැරලා යාවිද...?
දැනට මට එහෙම යන්න බලාපොරෙත්තුවක් නැහැ. මගේ අම්මයි තාත්තායි එක්ක යන්න ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් ඒ දෙන්නා එක්ක මම යනවා. හැබැයි මම යන්නේ මගේ රට නියෝජනය කරන්න පමණයි. මගේ අභිවෘද්ධිය උදෙසා මගේ රට දාලා කවදාවත් යන්නේ නැහැ. මගේ අම්මයි තාත්තායි නැතුව මම කොහෙවත් යන්නේ නැහැ. මාස දෙක තුනකට පුහුණුවීමකට යන්න මම ආසයි. හැබැයි මම කිසිම දවසක වෙනත් රටක් නියෝජනය කරන්නේ නැහැ. අදටත්, හෙටටත් හැමදාමත් මං මේ ලංකාවෙම කෙල්ලෙක්.”
මහනුවර, කටුකැලේ පදංචි ජේ.එම්. යමික් සහ උම්ශෆියාගේ දියණියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ ශෆියා තුන්වැනි දරුවා ය. කුඩා කල සිටම ශෆියා පොතපතට වඩා සෙල්ලමට ඇලුම් කළ දියණියකි. තම නිවස අහල පහළ ජීවත් වූ තම වයසේ පසුවන කුඩා දරුවන් සමග ශෆියා ක්‍රිකට් සෙල්ලම් කළාය. පාපන්දු සෙල්ලම් කළාය. බොහෝ කුඩා දියණියන් බෝනික්කන් සමග සෙල්ලම් ගෙවල්වල සෙල්ලම් කරන්නට වැඩි කැමැත්තක් දක්වද්දී ශෆියාගේ කැමැත්ත වූයේ තම සම වයසේ පිරිමි දරුවන් සමග සරුංගල් යැවීමටය. කුඩා කාලයේ දී බෞද්ධ යහළුවන් සමග ශෆියා වෙසක් කූඩු නිර්මාණය කළාය. කුඩා කල සිටම ඇය දඟකාර, ක්‍රියාශීලි දරුවකු වූවාය. ශෆියාට සිංහල, මුස්ලිම්, හින්දු, කතෝලික යහළුවන් බොහෝය.
එවකට ඇයගේ වයස අවුරුදු නවයකි. ගමේ ජීවත් වූ වසන්ත නම් අසල්වැසි සොයුරා ඇතුළු පිරිස සමග එක්ව ඇය ගමේ දරුවන් වෙනුවෙන් අවුරුදු උලෙළක් පැවැත්වූවාය. ගමේ පළමු අවුරුදු උත්සවය එයම විය. එදින ශෆියා කෙටි දිවීමට සහ ගම හරහා දිවීමට සහභාගි වූවාය. ඇය ඒ ඉසව් දෙකෙහිම පළවෙනියා වූවාය. ගමේ සිටි “අමේසා මාමා” අතින් රුපියල් එක්දාස් දෙසීයක් දැමූ ලියුම් කවරයක් ඇයට තෑගි ලැබුණි. පුංචි ශෆියා අවුරුදු ගණනාවක් ඒ පළමු ලියුම් කවරය පරිස්සම් කළාය. එය ඇය ලැබූ පළමු ජයග්‍රහණයයි. එතැන් සිට ඇය වසර කීපයක්ම ස්වකීය ගමෙහි හා ඒ අවට පැවති අවුරුදු උත්සවවලට සහභාගි වෙමින් තමා දිනූ තෑගි නිවසට ගෙන ආවාය.
ශෆියා මුස්ලිම් ජාතික දියණියක හෙයින්ම ඈ ඇතුළු ඇයගේ දෙමාපියන් හා සමීපතමයන් සාපේක්ෂව සංස්කෘතික ප්‍රතිමාන හා බැඳී වෙලී සිටින බවද අමුතුවෙන් කිවයුතු නැත. එය එසේ වී තිබියදීත් ඇගේ මාපියෝ අනවශ්‍ය අයුරින් ශෆියා කොටු කර තැබීමට ක්‍රියා නොකළහ. දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව අප රටින් බිහි වූයේ එනිසාය.

ශෆියාගේ පියා මොහොමඩ් යමික් ක්‍රීඩාවට ඇලුම් කළ පියෙකි. එහෙයින් ශෆියාට සිය පියාගේ සහයෝගය, ආශිර්වාදය නොඅඩුව, නොමඳව ලැබුණි. මේ වනවිට ඔහු සිය නිවසේ කුඩා සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන යමින් ජීවනෝපාය සලසා ගන්නා අතර, මව රැකියාවක් නොකරයි. මෙම දියණියගේ ක්‍රීඩා කුසලතාව සම්බන්ධයෙන් ශෆියාගේ පියාට තිබුණේ විශාල උනන්දුවකි.
ශෆියාගේ පියා ඇගේ ක්‍රීඩා කෞශල්‍යය නැංවීමෙහිලා අත්‍යන්තයෙන්ම වූ කැප වීම පිළිබඳව ශෆියාගේ මව අප වෙත දක්වා සිටියේ මෙසේය.
“ශෆියාගෙ තාත්තාගෙන් එයාගේ ක්‍රීඩා කටයුතුවලට ලොකු සපෝට් එකක් පුංචි කාලේ ඉඳන්ම ලැබුණා. මගේ ලොකු අකමැත්තක් තිබුණේ නැහැ. හැබැයි එයා සෙල්ලම් කරද්දී එයා වැටිලා අතපය කඩා ගනීවි කියා නිරන්තර බයකින් පසු වුණා. දවසක් එයාගේ තාත්තා දුව සෙල්ලම් කරන තරගයක් බලන්න මාවත් එක්ක ගෙන ගියා. එතන දී දුවට ලැබෙන ආරක්ෂාව, ආදරය, වගේම එයාගේ දක්ෂතාව ගැන එයා මට කියලා පෙන්වා පහදා දුන්නා. එදා මගේ දුව ගැන මට පුදුම හිතුණා. එතැන් පස්සේ මම දුව ක්‍රීඩා කරනවාට කැමති වුණා. ශෆියා විතරක් නෙමෙයි, ඇයගේ තවත් සොයුරියන් දෙදෙනෙකුත් ක්‍රීඩාවට විශේෂ දස්කම් දක්වනවා.”
දියණිය ඉන්දියාව බලා පිටත්ව ගිය දිනයේ පටන් ඈ යළි මෙරටට පැමිණි දා තෙක් ශෆියාගේ පියා දුරකථනය හරහා සියලු තතු සොයා බැලුවේය. තරගාවලිය සජීවිව විකාශනය වෙන රූපවාහිනී නාලිකාව සම්බන්ධයෙන් ද ඔහු සොයා බැලුවේය. ශෆියා පමණක් නොව ශ්‍රී ලංකාව නියෝජනය කළ සියලු තරගකරුවන්, කාරියන් සහභාගි වූ සෑම තරගයක්ම නරඹා ඒ හැම ශ්‍රී ලාංකික දරුවකුටම ආශිර්වාද කරන්නට තරම් මේ දෙමව්පියෝ කාරුණික වූහ. ශෆියා ඉදිරිපත් වූ තරග සජීවීව රූපවාහිනී තිරය ඔස්සේ විකාශනය වෙද්දී - ඔවුන්ගේ හදවත මොහොතකට නතර වූවා සේ ඔවුන්ට හැඟුණි.
ශෆියා යමික් සේවය කරන්නේ යුද හමුදා සංඥා බලකායේ ය. මුස්ලිම් ජාතික කාන්තාවන් හමුදා සේවයට එක්වීම එතරම් සුලබව සිදුවන්නේ නැත. ශෆියාගේ ජීවිතය වූයේ ක්‍රීඩාවය. පාසල් අධ්‍යාපනයෙන් පසුව ද ඇයට ක්‍රීඩා කිරීමට අවශ්‍ය විය. අනාගතයේ දී ක්‍රීඩා අංශයෙන් ඉදිරියට යාමට මග විවර කර ගැනීමට ඇති හොඳම ප්‍රවේශය හමුදා සේවයට එක්වීම බැව් ඇය ප්‍රත්‍යක්ෂ කර ගත්තාය. ඉනික්බිති යුද හමුදාවේ සේවයට යාමට ඈ මාපියන්ගෙන් අවසරය ඉල්ලුවාය. ඒ අනුව දෙමාපියන්ගේ අවසරයත්, ආශිර්වාදයත් ඇතිව ඇය යුද හමුදාවේ සංඥා බලකායේ සේවයට එක් වූවාය. නෑ සියන්ගෙන් ද ඇගේ ගමනට බාධාවක් ඇති නොවීම සුවිශේෂය.
ශෆියා සාමාන්‍ය පවුලක උපත ලද දරුවෙකි. නිවසේම පවත්වාගෙන යන සිල්ලර වෙළෙඳසැ ලෙන් ලැබුණු සුළු ආදායමෙන් වැඩි කොටසක් ඇගේ පියා වියදම් කළේ ඇයගේ ක්‍රීඩා කටයුතුවලට සහ ඇගේ ආහාර පාන වෙනුවෙනි. ක්‍රීඩිකාවකට දිය යුතු සමබර පෝෂ්‍යදායී ආහාර වේල්, අතිරේක විටමින් වර්ග සෑමවිටම ලබාදීමේ ආර්ථික ශක්‍යතාවක් ඔහු සතු නොවුණි.
ඔවුන් ජීවත් වන්නේ සාමාන්‍ය සරල නිවසකය. එය පුළුල් කරන්නට ඇගේ පියාට අවශ්‍ය නොවීය. වරක් ආ ගංවතුරකින් සාෆියාගේ නිවසේ තිබූ බොහෝ දෑවලට අලාභ හානි සිදුවිය. ගංවතුරින් ශෆියාගේ ළමා කාලයේ මතක සියල්ල ගසාගෙන ගියේය.
ශෆියා ක්‍රීඩාවේ නිරත වෙද්දී පොදුවේ සෑම අයෙක්ම අඳින සාමාන්‍ය ක්‍රීඩා ඇඳුම සම්බන්ධයෙන් ඇතැමුන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කතා කීහ.
“දුව ක්‍රීඩාවට අඳින ක්‍රීඩා ඇඳුම ගැන අපේ අකමැත්තක් තිබුණේ නැහැ. ක්‍රීඩාව කරද්දී ඒ වෙනුවෙන් ක්‍රීඩා ඇඳුමක් තියෙනවා. ඒ නිසා දුවගේ ඇඳුම ගැන අපිටවත්, අපේ ගමේ කිසිම කෙනෙකුටවත් ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.”
ඇගේ මව එසේ පවසයි.
ඇය ඉගෙනුම ලැබුවේ මහනුවර විහාර මහාදේවි විදුහලෙනි. කලා විෂය ධාරාව යටතේ ඇය උසස් පෙළ කළාය. ඇයගේ ක්‍රීඩා කෞශල්‍යය නිසාම මහනුවර ප්‍රධාන ධාරාවේ සෑම ජනප්‍රිය බාලිකා පාසලකින්ම ඇරයුම් ලැබුණි. ඇගේ මවද ’පුතේ වෙන ලොකු ඉස්කෝලෙකට යමු ද?’ යනුවෙන් කීපවතාවක්ම අසා තිබුණි. ’අම්මා විහාර මහාදේවිය මට මගේ අම්මා වගේ. මට අම්මව අතාරින්න පුළුවන් ද?’ ඊට ශෆියා තම මවට පිළිතුරු දුන්නේ එලෙසිනි. නුවර විහාර මහාදේවී විදුහලින් ශෆියාගේ හැකියාවන්ට උපරිම සහයෝගය ලැබුණි.
ශෆියාට සිහිනයක් ඇත. ඒ ඔලිම්පික් සිහිනයයි. ඒ සිහිනය සැබෑ කරගන්නට ඇයට හැකි වේවි. ඒ මේ රටේ හැම මනුස්සයෙකුගේම හදවතින් ලැබෙන ආශිර්වාදයත් සමගය.
ශෆියා ඔබට සදා ජය....!!
දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූප ලහිරු හර්ෂණ

