
(නිමල කොඩිතුවක්කු)
නිසි ක්‍රමවේදයකට අනුව ඩීසල් ලබාදීමට පියවර නොගතහොත් සියලුම ප්‍රවාහන සේවාවලින් ඉවත් වන බව සමස්ත ලංකා ප්‍රවාහන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සම්පත් රණසිංහ මහතා කොළඹදී අද(13)පැවසීය.
ඒ අනුව සති දෙකක් තුළ ඉන්ධන ලබා දීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් නොකළහොත් මගී බස් රථ සේවා, පාසල් සේවා, කාර්යාල සේවා, ත්‍රී රෝද රථ, භාණ්ඩ ප්‍රවාහන සේවා, බහලුම් ප්‍රවාහන සේවා ඇතුළු සියලුම සේවා වලින් ඉවත් වන බවත් ඔහු සඳහන් කළේය.
පෞද්ගලික බස් රථ සංගම්, ත්‍රීරෝද රථ සංගම්, පාසල් වෑන් රථ සංගම්, ඇතුළු ප්‍රවාහන රථ සංගම් දාසයක් සමඟ කොළඹදී කැඳවූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
පවතින උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ ආදායම් නොමැතිව වාහන සඳහා ලීසිං ගෙවා ගැනීමට නොහැකි වී ඇති බවත් දෙසැම්බර් මාසය දක්වා මාස හයක කාලයකට ලීසිං සහනයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු එහිදී කීවේය.
දින හතරක් ඉන්ධන පෝලිම් වල රැඳී සිට එක් දිනක් පමණක් මගී ප්‍රවාහන සේවා කටයුතු වල නිරත වීමට සිදුව ඇති බවත් රණසිංහ මහතා පැවසීය.
මේ හේතුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ නිවෙස් වල අයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පවා මුදල් නොමැතිව දැඩි දුෂ්කර තත්වයකට පත්ව සිටින බවත් ඔහු වැඩි දුරටත් කීවේය.

