
(අංජුල මහික වීරරත්න)
රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනඟන අතරම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීමද රජය භාරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි බලය සමඟ සමාජය දැවැන්ත විනාශයකට ඇඳ දමා තිබෙන කළු පාලනය අවසන් කිරීමට රජය තැබූ පියවර කිසිසේත් ආපසු හැරවීමට කටයුතු නොකරන බවද ජනාධිපති ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නාරම්පනාවේ ආනන්ද අස්ගිරි අභිනව අනුනාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අද (03) පස්වරුවේ මහනුවර ඓතිහාසික මඟුල් මඬුවේ පැවති පූජෝත්සවය අමතමිනි.
සමාජ පුනරුදය ඇති කිරීමේදී මහා සංඝරත්නයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අතීතයේදී රාජ්‍යය අභියෝගයට පත් වූ සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් ඉදිරියට පැමිණියේ මහා සංඝරත්නය බවද සඳහන් කළේය.
ධර්මධර, විනයධර, සුපේෂල ශික්ෂාකාමී මහා යතිවරයාණන් වහන්සේ නමක් වන නාරනම්පනාවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ ජාතික, ආගමික, සමාජයීය සහ අධ්‍යාපනික වශයෙන් ඉටු කරන සේවාව මෙහිදී අගය කළ ජනාධිපතිවරයා මෙම යුගය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් වහන්සේ වැනි යතිවරයාණන් වහන්සේලා දහස් ගණනක් අවශ්‍ය වන යුගයක් බවද පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම වෙනුවෙන් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කිරීම රජයේ අරමුණ බවත්, එහිදී ගම්දනව් සිසාරා වැඩම කරමින් ජනතාව අවදි කිරීමේදී මහා සංඝරත්නයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී රටට අහිතකර කිසිවක් නොකිරීම රජයේ ප්‍රතිපත්තිය බව කී ජනාධිපතිවරයා මෙරට ඓතිහාසික උරුමය, සොබා සෞන්දර්ය, වනජීවි කලාප සහ ශ්‍රී ලාංකීය ජනතාවගේ ආගන්තුක සත්කාර පිළිබඳ ලෝක ඇගයුම වැනි සාධක පදනම් කර ගනිමින් සංචාරක කර්මාන්තය ගොඩනැංවීම රජයේ ඉලක්කය බවද පැවසීය.
අභිනව අනුනා හිමි වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර, අභිනව අනුනායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිළිගන්වන ලදී.




