(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගියදා පැවැති මහ සභාව අදාල සියලුම පාර්ශව නියමිත පරිදි දැනුවත් කර ඉතාම නීත්‍යානුකූලව සහ විනිවිදභාවයෙන් යුක්තව පැවැත්වූ බවත් එම රැස්වීමට හිටපු සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට ද ආරාධනා කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (24) පැවසීය.
එම මහ සභාව නීත්‍යානුකූල නොවන බවට ජී. එල්. පීරිස් මහතා නීතිඥායන් මාර්ග කළ දැනුවත් කිරීම්වලට නීතිඥායන් හරහාම පැහැදිළි කිරීම් කළ බව කී කාරියවසම් මහතා එම මහ සභාව පැවැත්වෙන බව මැතිවරණ කොමිසම ද දැනුවත් කළ බව ද සඳහන් කළේය.
ජී. එල්. පීරිස් මහතා 2016 වසරේ සභාපති ධූරයට පත්වීමෙන් පසුව පැවැති සියලුම මහ සභා රැස්වීම්වල මුලසුන ඒ මහතා දැරූ බවත් එම මහ සභා රැස්වීම් පැවැති ආකාරයටම මෙවරත් මහ සභා රැස්වීම් පැවැති බවත් කාර්යවසමම් මහතා කීය.
පීරිස් මහතා බොහෝ කාලයක් පක්‍ෂයේ වැඩකටයුතුවලට සහභාගි නොවූ බව කී කාරියවසම් මහතා පැවසුවේ එසේ වුවද ඒ මහතාට සභාවට ආරාධනා කළ බවත්ය.
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් විනාශ කරන්නා වූ කිසිඳු පනතකට පක්‍ෂයක් හැටියට එකඟ නොවන බවත් ප්‍රතිත්‍රස්ත පනතට මේ වන විට මහනායක හිමිවරු පවා අදහස් ප්‍රකාශ කර තිබෙන බවත් නීතිඥා සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් පැවසීය.
බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (24) පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

