‘‘වරාය නගර ව්‍යාපෘතියට අපේ උපරිම සහාය‘‘


(මුදිතා දයානන්ද)

වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා වාමාංශික  පක්ෂයක් ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙනවා යැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදි පැවති ලංකා සමසමාජ පක්ෂයේ හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ලෝකයේ අර්ථික වශයෙන් බලවත්ම රාජ්‍යය බවට මේ වන විට චීනය පත්ව ඇති බවද, බටහිර ආර්ථිකය අභිබවා ආසියානු ආර්ථිකය ඉදිරියට පැමිණ ඇති බවද චිනයට එරෙහිව දුර්මත ප්‍රචාරය කරනු ලබන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් විසින් බවද ගුණසේකර මහතා එහිදි පැවසිය.

වරාය නගරය සම්බන්ධයෙන් රජය ඉදිරිපත්කරන ලද වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත ව්‍යවස්ථානුකූල විය යුතු බවද ඒ සම්බන්ධයෙන් යම් ගැටලු වේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊට අදාල තීන්දු ලැබෙනු ඇති බවද සඳහන් කළ ගුණසේකර මහතා මෙම ව්‍යාපෘතිය රටේ ආර්ථික අර්බුදය ජය ගැනීමට ගත හැකි වැදගත්ම හොඳම තීන්දුවක් බවද සඳහන් කළේය.

මේ වන විට රට දැවැන්ත විදේශ විනිමය සංචිත කඩා වැටීමේ අර්බුදයකට මුහුණ පා සිටින බවද එය පියමං කිරීම සඳහා රටට විදේශ ප්‍රාග්ධනය ගෙන්වා ගත යුතුව ඇති බවද ඒ කාර්යයේදි වරාය නගර ව්‍යාපෘතිය වැදගත් බවද ඔහු පැවසීය. අද ලෝකයේ දැවැන්තයා බවට පත්ව සිටින ඇමරිකන් ඩොලර් වෙනුවට චීන යුආන් භාවිතාවට එන්නේ නම් ඒ ගැන සතුටු වෙනවා වෙනුවට වාමාං‍ශික පක්ෂයක් ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ විරෝධය දැක්විම පුදුම සහගත බවද ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේය.