‘‘මේ වසර අලුත් ආණ්ඩුවක් හැදෙන - හදන වසරක්‘‘


(ඩයනා උදයංගනී)

මැතිවරණ වසරක් වන මෙම වසර රටේ අලුත් ආණ්ඩුවක් හැදෙන හා හදන වසරක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී අද (31) පැවසීය.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛව රටට ආදරය කරන පුළුල් ජනතා ව්‍යාපාරයක් බිහිකරගෙන ඉදිරියට යා යුතු බව කී ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ඒකරාශී වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

සාම්ප‍්‍රදායික දේශපාලන මත සමඟ ඇලී ගැලී සිටින අය දේශපාලන හා දේශපාලන නායකයින් පරාජය කිරීම ගැන කතාකළත් වර්තමානයේ කළ යුත්තේ පක්‍ෂ හෝ නායකයින් පරාජය කිරීම නොව රටට, ජනතාවට ද්‍රෝහී බලවේග හඳුනාගෙන ඒ බලවේග පරාජය කිරීම බව ද කියා සිටියේය.

සෑම දේශපාලන පක්‍ෂයකම රටට ආදරය කරන, අවංක පිරිසක් මෙන්ම රටට ද්‍රෝහීකම් කරන පිරිසක් සිටින බව කී ජනාධිපතිවරයා ඒ රටට ආදරය කරන පිරිස තෝරාගෙන ඉදිරියට යා යුතු බව ද ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් කාර්යාලය, කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවතේදී විවෘත කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

වර්තමානයේ ආණ්ඩු සැදීමේදී 50, 60, 70, 80, 90 දශකවල ආකාරයෙන් කටයුතු කළ නොහැකි බව ද මෙහිදී කී ජනාධිපතිවරයා රටට ආදරය කරන පිරිස් සමඟ එක්ව රටට ආදරය නොකර තමන් පමණක් වර්ධනය වන පිරිස් සමඟ සටන කරන්නේ කෙසේ ද යන්න සියලු දෙනා පැහැදිලිව තේරුම් ගත යුතුයැයි ද කීවේය.

අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළහොත් බිහිවන නව ආණ්ඩුව රටට ආදරය කරන ආණ්ඩුවක් බවට පත්කරගත හැකි බව කී ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පැය 24 පුරා වෙහෙසෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින්ගෙන් ඉල්ලා සිටින බව ද කියා සිටියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර, ශ්‍රී.ල.නි.ප කොළඹ දිස්ත‍්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ලසන්ත අලගියවන්න, ශ‍්‍රියානි විජේවික‍්‍රම, ෆයිසර් මුස්තාපා, සුමේධා ජී ජයසේන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.                                                             

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි