‘ස්පුට්නික් v’ එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබන සතියේ මෙරටට


(ඩයනා උදයංගනී)

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් v’ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි දෙසතිය තුළ මෙරටට ලැබීමට නියමිත බවත් සයිනොෆාම් සහ ෆයිසර් එන්නත් ද ඇනවුම් කර ඇති බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

‘ස්පුට්නික් v එන්නත් මාත්‍රා ලක්‍ෂ 130 ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂ 50ක් ඇනවුම් කර ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරිය ඇස්ට්‍රා සෙනෙකා එන්නත් පළමු මාත්‍රා ලබාගත් අයට දෙවැනි මාත්‍රාව ලබාදීමට එන්නත් මාත්‍රා ලක්‍ෂ 6ක් සොයාගැනීමේ දැඩි උත්සාහයක රජය නිරතවන බව ද කීවාය.

ඇස්ට්‍රා සෙනෙකා මාත්‍රා ලක්‍ෂ 15ක් ඇනවුම් කර තිබුණත් ඉන්දියාවේ සීරම් ආයතනයේ ඇතිවූ ගින්න සහ ඉන්දියාවේ තත්වය දරුණු වීම නිසා ලබාගැනීමේ ගැටලුවක් ඇතිවූ බව කී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ වන විට එම එන්නත් පළමු මාත්‍රාව ලබාගත් සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශවල 2,21,363 කට දෙවැනි මාත්‍රාව ලබා දී ඇතැයි ද සඳහන් කළාය.