‘තනියා‘ සතියකදී නිවාස 6ක් විනාශ කරලා


 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව කොට්ටුකච්චිය හා අවට ගම්මාන වල  සැරිසරමින් නිවාස වනසා දමා වී සොයන තනි අලියා සතියක් තුළදි නිවාස හයකට පහර දී බරපතල හානි සිදුකර ඇති බව ජනතාව පවසයි.

මෙම තනි අලියා අද( 5 )  අලුයම කොට්ටුකච්චිය ඇතුන්ගොඩ ගම්මානයට කඩා වැදි නිවාස තුනකට පහර දී නිවෙස් වල ගබඩා කර තිබු වී උර රැගෙන ගොස් ඇති බව ගම්වාසිහු  කියති.

එම නිවසට 5 දින අලුයම  තිනියා පහර දෙන දී බිත්ති පෙරළා දමා වී උර පැහැර ගනිද්දි 65 හැවිරිදි  නිවෙස් හිමියා වන ගාමිණි තිලක මහතා  පමණක් නිවස තුළ සිට ඇති බවත් සද්දන්තයා විදුලි ආලෝකයෙන් දැක දැඩි ලෙස බියට පත්වි යටිගිරියෙන් කෑ ගසා නිවසේ නිදි යහන යටට රිංගා දිවි බේරා ගෙන ඇති බව කියයි.

ජනතාව පවසන්නේ මෙම තනියා අඩි නවයකට ආසන්න උසකින් යුතු සද්දන්තයකු බවයි.

එම නිවසට පහර දි වී උර රැගෙන ගොස් එය ගිල දමා තවත් නිවාස දෙකකට ද පහර දි බිත්ති පෙරළා වී රැගෙන ගොස් ඇති බව කියයි.

මෙම තනියා දින කිපයකට පෙරද කොට්ටුකච්චිය කච්චිමඩුව ගම්මානයට මෙලෙසම කඩා වැදි නිවාස වලට පහර දෙමින් බිත්ති කඩා ගබඩා කර තිබු වී උර රැගෙන යාම සිදුව ඇති බව කියයි.

ඒ හේතුවෙන් ජනතාව මේ දිනවල තම නිවෙස් වල ගබඩා කර ඇති වී හා නිවාස ආරක්ෂා කර ගැනිමට මහත් පරිශ්‍රමයකින් කටයුතු කරන බව කියයි.