‘අජිත් රෝහණට එහෙම කියන්න බෑ‘


(සුජිත් හේවාජුලිගේ )

දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  මහතාට  ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ නියමිත නිත්‍යානුකූල ක්‍රමවේදය අනුව බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවැසීය.

අජිත් රෝහණ මහතා ඇතුළු   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ පූර්ණ ආවරණ අනුමැතියට යටත්ව බව පැවසූ අමාත්‍යවරයා පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව එවැනි මාරු කිරීම් කිරීමට ඒ කොමිසම බලය ලබාදී  ඇති බවද ප්‍රකාශ කළේය.

ඔහු දකුණු පළාතට මාරුකර  යවනු ලැබුවේද ඉහත  ක්‍රමවේදය අනුව බවත් ඒ අවස්ථාවේදී   දකුණු පළාතට ගිය අජිත් රෝහණ මහතා එම ක්‍රමවේදය යටතේම නැගෙනහිර පළාතට මාරු කළ අවස්ථාවේදී එය  ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි  ටිරාන් අලස් මහතා ප්‍රශ්න කළේය.

සේවා අවශ්‍යතා මත කළ උසස් පොලිස් නිලධාරින් රැසකට මාරුවීම් ලබාදී  ඇති අවස්ථාවක  අජිත් රෝහණ මහතා පමණක් එම  මාරුවීම ප්‍රතික්ෂේප කිරීම ගැටළු සහගත කාරණයක් බව  පැවසූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒ පිළිබඳව රජයේ  විශේෂ අවධානය යොමුවී ඇතැයිද  ප්‍රකාශ කළේය.