‘අගමැතිගේ දේශපාලනික සේවය අනික් දේශපාලනඥයින්ට ආදර්ශයක්‘


 (නිමල කොඩිතුවක්කු) 

  
  එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ආගම දහම අනුව කටයුතු කරමින් සැබෑ බෞද්ධයකු ලෙස රට වෙනුවෙන් සිදුකරන සේවය අනිකුත් දේශපාලඥයින්ට ආදර්ශයක් බව කොල්ලූපිටිය වාලූකාරාමයේ විහාරාධිකාරී උඩවෙල කෝලිත හිමියෝ කොළඹදී  අද (16) පැවසූහ.


රනිල් වික‍්‍රමසිංහ මහතා කිසිදු අවස්ථාවක දේශපාලනය වෙනුවෙන් ආගම ප‍්‍රදර්ශන  භාණ්ඩයක් බවට පත් කර නොගත් බවද සදහන් කළ  උන්වහන්සේ ආගම දහම වෙනුවෙන් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පවුලේ උදයවිය සිදුකර ඇති සේවය අගය කළ යුතු බවද සදහන් කළහ.


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පස්වන වරටත් ශ්‍රී ලංකා අග‍්‍රාමාත්‍යධුරයට පත්විමෙන් පසුව කොල්ලූපිටිය වාලූකාරාමයට අද(16) පස්වරුවේ  පැමින ආගමික වතාවත් වල නිරත වූ අතර එහිදී අනුශාසනාවක් සිදුකරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.


එහිදි මහා සංඝරත්නය කොල්ලූපිටිය වාලූකාරාමයේ බෝධින් වහන්සේ ඉදිරිපිට සෙත් පිරිත් දේශනා කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ආශිර්වාද කළහ.


ආගමික වතාවත් වල නිරත විමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දේවාශිර්වාද ලබා ගැනීමක්ද සිදුකළේය.


කොල්ලූපිටිය වාලූකාරාමය ඇතුලූ පංචමහා විහාරාධිපති මහරගම නන්ද හිමියෝ, එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සභාපති බෝපිටියේ ධම්මිස්සර හිමියෝ, නුගේගොඩ නාලාන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියෝ, සේදවත්ත පුරාණ විහාරාධිපති අබන්පොල ඥාණාලෝක හිමියෝ අතුළු මහා සංඝ රත්නය මෙම අවස්තාව සදහා වැඩම කළහ.


 
 ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා