(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
හෝර්ටන් තැන්නේ ජාතික වනඋද්‍යානයට අයත් පේර කලාපය තුළදී දේශීය ශාක සහ ලයිකන වර්ග ගණනාවක් ද අනවසරයෙන් ගැලවූ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු ඇතුළු තිදෙනෙකුට නුවරඑළිය මහේස්ත‍්‍රාත් පමෝද ජයසේකර මහතා අද(20) රුපියල් හාරලක්ෂ විසිදහසක දඩ මුදලක් නියම කළේය.
මෙසේ දඩ මුදල් නියම වූයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන ෆාලිකා රනිල් සේනානායක, දෙජෝන් ෆ‍්‍රන්සිස් රිචඞ් ද සොයිසා, ශනිල් දේවක රත්නායක යන තිදෙනාටය.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසෙන පට්ටිපොල මාර්ගයේ පේර කළාපය තුළ පුද්ගලයින් කීපදෙනෙකු ශාක වර්ග ගලවමින් සිටිනවිට උද්‍යාන භාරකරු වන පි. කේ. එම්. ප‍්‍රදීප් කුමාර මහතා ප‍්‍රධාන නිලධාරි කණ්ඩායමක් එය දැක සැකකරුවන් තිදෙනා හා උපකරණ සියල්ල ද ඊයේ(19) අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන්ට එරෙහිව අච(20) චෝදනා 7 ක් යටතේ නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණයට යොමුකරනු ලැබූ අවස්ථාවේ දී නුවරඑළිය මහේස්ත‍්‍රාත් ප‍්‍රමොද් ජයසේකර මහතා විසින් එක් චෝදනාවකට රුපියල් 20,000 බැගින් අයෙකුට රුපියල් 140,000 ක් බැගින් තිදෙනාට රුපියල් හාරලක්ෂ විසිදහසක දඩ මුදලක් නියම කරන ලදි. ශාක ගැලවීමට හා රැගෙනයාමට භාවිත කළ උපකරණ සියල්ලම රාජසන්තක කරන ලදි.
මොවුන් නෙළු ශාක වර්ග 4ක්, උඩවැඩියා ශාක වර්ගයක් ඇතුළු හෝර්ටන් තැන්නට ආවේණික ශාක හා දේශීය ශාක වර්ග 7ක් ඇතුළු ලයිකන වර්ග ද ගලවා ඉවත් කර තිබිණි.
වැටලීම සඳහා උද්‍යාන භාරකරු ප‍්‍රදීප් කුමාර මහතා සමග නියෝජ්‍ය උද්‍යාන භාරකරු ටී. වී. දයාරත්න, අඩවි ආරක්ෂක එච්. එම්. එන්. ජයරත්න, වන සත්ත්ව නියාමක චරිතා වන්නිනායක, රියදුරු සුනිල් හතුරුසිංහ යන නිලධාරින් සහභාගී වී ඇත. පැමිණිල්ල උද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. වී. දයාරත්න මහතා විසින් මෙහෙයවන ලදි.



