හොර නෝට්ටුවක් සමඟ දෙන්නෙක් මාට්ටු


(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු  අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ උහන පාලම් කදවුර සහ උහන තිස්සපුර පදිංචි අවුරුදු 29 ක සහ  21 ක  තරුණයින් දෙදෙනෙකි.

රූපවාහිනී යන්ත්‍ර අළුත්වැඩියාකරන්නෙකුවන එක් සැකකරුවෙකු, රූපවාහිනී යන්ත්‍රයක් අළුත්වැඩියාකර  පුද්ගලයෙකුගෙන්  ලබාගත් රුපියල් 6000 ක මුදලින් රුපියල් 5000 නෝට්ටුව රැගෙන අනෙක් සැකකරු සමඟ යතුරු පැදියට ඉන්ධන ලබාගැනීම සදහා උහන නගරයේ ඉන්ධන පිරවුම්හලකට ගොස් ඇති අතර, එම 5000 නෝට්ටුව ව්‍යාජ මුදල් නෝට්ටුවක් බව පවසා පිරවුම්හලෙන් ඉන්ධන ලබාදී  නොමැතිබව, මූලික පොලිස් විමර්ශනයේ දී අනාවරණයවී ඇත.

ඉන්පසු ඔවුන්  ඊයේ (23) රාත්‍රීයේදී උදයගිරිය මාර්ගයේ රටබීම අලෙවිසැලකට රුපියල් 5000 නෝට්ටුව ඉදිරිපත්කර ගොස් රටබීමබෝතල් ‍ දෙකක් ඉල්ලා ඇති අතර, මුදල් යන්ත්‍රය මගින් පරීක්ෂා  කිරීමේ දී, එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බවට තහවුරුවීමෙන් පසු පොලිසියට දැනුම්දීමෙන් පසු පැමිණි පොලිස් නිලධාරීන්, ප්‍රශ්න කිරිමෙන් පසු  සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.