හෙට විරෝධතාවට කොළඹ මාර්ග කිහිපයක් තහනම් වෙයි


(නිමන්ති රණසිංහ)

ගාලුමුවදොර ‘ගෝඨාගෝ ගමට’ දින 50ක් පිරීම නිමිත්තෙන් හෙට (28) පැවැත්වීමට නියමිත විරෝධතාවේ උද්ඝෝෂකයන්ට කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා තහනම් ආඥාවක් අද (27)  නිකුත් කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 වන වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලද මෙම නියෝගයට අනුව, කොළඹ එන් ඒ එස් වටරවුමේ සිට චෛත්‍ය පාර දක්වා කොටස, එන් ඒ එස් වටරවුමේ සිට ජනාධිපති මාවත දක්වා කොටස, සෙරමික් හන්දියේ සිට යෝක් විදීය, යෝක් වීදියේ සිට ලේඩි බැස්ටියන් මාවත දක්වා කොටස, මුදලිගේ මාවත, රෝයල් වීදිය, බැංකු මාවත, බාරොන් ජයතිලක මාවත සහ චැතැම් වීදිය යන ස්ථානවලට ඇතුළු වීම, ගමන් කිරීම, විරෝධතා පැවැත්වීම, ගැවසීම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යනාදිය තහනම් කරමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවිය හැකි බවට තොරතුරු හෙළිවී ඇති බැවින් මෙම ආඥාව නිකුත් කරන ලෙසට කොළඹ කොටුව පොලීසිය අද (27) අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාතවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.

කොළඹ නගරයේ පිහිටා ඇති මහ බැංකුව, බැංකු මූලස්ථාන, ලෝක වෙළෙද මධ්‍යස්ථානය, වරාය, වරාග නගරය, ශ්‍රී ලංකා රේගුව, මුදල් අමාත්‍යාංශය, පොලිස් මූලස්ථානය වැනි මර්මස්ථාන විශාල සංඛ්‍යාවක් පිහිටි ඇති බවත්, එම ස්ථානවලට ලක්ෂයකට අධික ජනතාවක් දිනපතා සේවයට පැමිණෙන බවත් කොටුව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව, මෙම උද්ඝෝෂණය හේතුවෙන් මහජනතාවට සිය දෛනික රාජකාරි සිදුකර ගැනීමට අපහසුතා මතුවී එමගින් දෛනික ජන ජීවිතය අඩාලවිය හැකි බව කොටුව පොලීසිය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 වන වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කළේය.