(මනෝප‍්‍රිය ගුණසේකර)
මාළඹේ තොරතුරු තාක්‍ෂණ විදුහලේ සිසුවකු පැහැරගෙන ගොස් පහර දෙන ලදැයි චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා, බිරිඳ ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට එරෙහි නඩුව ලබන අපේ‍්‍රල් 25 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (13) නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවෙදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
මොහොමඞ් සියාම් ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණීය දඬුවම නියම වී සිටින හිටපු නියෝඡ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සෙසු විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
මාළඹේ තොරතුරු තාක්‍ෂණ විදුහලේ සිසුවකු වු නිපුන රාමනායක නමැත්තා පැහැරගෙන ගොස් ඔහුට පහර දෙන ලද බවට නීතීපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ සිද්ධිය සිදු වී වසර හතක කාලයකට පසුවය.
2009 අගොස්තු මස 08 වැනිදාත් අගොස්තු මස 21 වැනිදාත් අතර කාලය තුළ මාළඹේ තොරතුරු තාක්‍ෂණ විදුහලේ සිසුවකු වු නිපුන රාමනායක නමැත්තා පැහැරගෙන ගොස් ඔහුට පහර දෙන ලදැයි නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා දෙකක් යටතේ නඩු පවරා ඇත.