හානි වූ යටිතල පහසුකම් ඉක්මනින් ගොඩනගන්න


(අංජුල මහික වීරරත්න)

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදා ගැනීම් සහ සහන සේවා කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දෙන අතරම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අත්‍යවශ්‍ය මූලික යටිතල පහසුකම් යළි ස්ථාපිත කිරීමට ඉහළ අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.

ඒ සඳහා සියලු දෙනා අතර මනා සම්බන්ධීකරණයෙන් යුත් ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍ය බවද  ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ස්ථාපිත කිරීම සහ අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ අදාළ රේඛිය අමාත්‍යාංශ සහ ආයතන සමග අද (30) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. 

මෙහිදී මහා මාර්ග හා සෙසු මාර්ග, පානීය ජල පහසුකම්, වාරිමාර්ග ප්‍රතිසංස්කරණ සහ දුම්රිය මාර්ග හා දුම්රිය සේවා යළි ස්ථාපනය පිළිබඳව අවධානය යොමු විය.

ආපදා තත්ත්වය හමුවේ විනාශ වී ගිය මහාමාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කරමින් ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ සඳහා හානියට පත් සියලුම මාර්ග හදුනා ගැනීම, දුම්රිය මාර්ග හා සේවා ප්‍රතිසංස්කරණයට උපක්‍රමික වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා විය.

සියලුම යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණයේ පළමු පියවර හානි තක්සේරු කිරීම බවත්, ඒ සමගම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදාගත හැකි සම්පත් (භෞතික හා මානව සම්පත්) හඳුනා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය යන කේන්ද්‍රීය අමාත්‍යාංශවල ලේකම්වරු සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන මණ්ඩලය ආදී ආයතනවල ප්‍රධානීහු සහ රාජ්‍ය නිලධාරිහුද,  ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ට නිලධාරිහුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.