හම්බන්තොට නගරාධිපති එරාජ් කොළඹදී යකා නටයි


(නිමන්ති රණසිංහ)

බම්බලපිටිය කොතලාවල ඇවනිව් ඉඩමකට කඩාවැදී එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට පහරදී තුවාල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.

එරාජ් ප්‍රනාන්දු මහතාගෙන් පහරකෑමෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටීයි.

සිය මෝටර් රථයෙන් තනිවම එම ස්ථානයට ගොස් ඇති එරාජ් ප්‍රනාන්දු මහතා මෙම පහරදීම කර ඇතැයි පැවසෙන්නේ පෙරේදා (14) රාත්‍රීයේ දී ය.

කිසිදු හේතුවක් සඳහන් නොකර පැමිණී එරාජ් ප්‍රනාන්දු මහතා තමාටත් තමන් සමග සිටි අනෙක් ආරක්ෂක නිලධාරියාටත් පරුෂ වචනයෙන් බැන වැදී පහර දුන් බව එම ස්ථානයේ රැඳී සිටි පෞද්ගලික අංශයක ආරක්ෂක නිලධාරියකු බම්බලපිටිය පොලිසියට කළ පැමිණීල්ලේ සදහන් වෙයි.

ඔහු මෙම පැමිණීල්ල කර තිබුණේ ඊයේ (15) පෙරවරුවේ දීය.

කිසිදු අදාළත්වයක් නොමැතිව එම ස්ථානයට පැමිණ ඇති එරාජ් ප්‍රනාන්දු මහතා එහි සිටි ආරක්ෂක නිලධාරින්ට බැණ පහරදී ඇත්තේ කුමන හේතුවක් මත දැයි මේ වන විටත් කරුණු අනාවරණය වී නොමැති බව ද පොලීසිය පවසයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් සිව් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම ප්‍රකාශ ඔස්සේ පරීක්ෂණ පවත්වා එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කරමින් සිටින බවත් බම්බලිපිටිය පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.

ඒ අනුව, එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විශේෂ කණ්ඩායමක් ඔහු සොයා පිටත්ව ගොස් ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් පවසයි.

බම්බලපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා ඇතු`ථ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරති.